සමාජ සහන නොදීමට සහ වැටුප් කප්පාදු කිරීමට එරෙහිව ආගරපතන බැල්මෝරල් වත්තේ කම්කරුවෝ පිකට් කරති

කොරෝනා වසංගතයෙන් රැකියා අහිමිව පීඩාවට පත්ව සිටින්නන්ට ආන්ඩුවෙන් ලබා දෙන බව කියූ රුපියල් 5,000 සහ ආහාර සහනාධාර තමන්ට නොලැබීම ගැන විරුද්ධත්වය පල කරමින් අප්‍රේල්  13 වෙනිදා ආගරපතන බැල්මෝරල් වත්තේ කම්කරුවෝ සහ තරුනයෝ පිකට් උද්ඝෝෂනයක් පැවැත්වූහ. මෙම විරෝධතාවට,  රැකියා සඳහා කොලඹ ඇතුලු දිවයිනේ ප්‍රධාන නගරවලට සංක්‍රමනය වී සිට වසංගතය නිසා යලි නිවෙස් කරා පැමින සිටින, වතු කම්කරු තරුනයන් හා වතු කම්කරුවන් 150 ක් පමන  සහභාගී විය.  

උද්ඝෝෂනයට විරුද්ධව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී විසින් පොලීසියට කරන ලද පැමිනිල්ලකට අනුව උද්ඝෝෂනයේ පෙරමුනේ සිටි පනස් දෙනෙකු පොලීසියට කැඳවා ඇඳිරි නීති කාලය තුල කිසිදු  උද්ඝෝෂනයක නොයෙදෙන ලෙස අවවාද කර තිබේ. එය අවවාදයකට වඩා අනතරු ඇඟවීමේ  තර්ජනයකි. උද්ඝෝෂනයේ ක්‍රියාකාරීන් පොලීසිය විසින් හඳුනාගෙන ඇත්තේ ඒ සම්බන්ධව විද්‍යුත් නාලිකාවල පල කෙරුන වීඩියෝ වලිනි. එහි තේරුම පොලීසිය හා බුද්ධි අංශ ආන්ඩුවට එරෙහිව මතුවන කම්කරු- පීඩිත ජනයාගේ කවර හෝ විරුද්ධත්වයක් කෙරෙහි  සමීපව ඇස ගසාගෙන සිටින බවය.

ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම මතුවී දින කිහිපයක් කල්බලමින් සිට ආන්ඩුව ක්‍රියාවට දැමූ  අගුලු දැමීම නිසා රැකියා සඳහා  කොලඹ ඇතුලු ප්‍රධාන නගර සහ නිදහස් වෙලඳ කලාප වලට සංක්‍රමනය වී සිටි වතු තරුන, තරුනියන් දහස් ගනනක්  රැකියා අහිමිව තම නිවෙස් කරා පැමින සිටිති. 

හදිසියේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම සහ ප්‍රමානවත් තරම් ප්‍රවාහන පහසුකම් නොසැපයීම නිසා මෙම සංක්‍රමනික කම්කරුවන්  තම නිවෙස් කරා පැමින ඇත්තේ සතියක් හෝ ඊටත් වැඩි කාලයක් ආහාර සපයා ගැනීමේ අපහසුකම ඇතුලු නොයෙකුත් දුෂ්කරතා වලට මුහුන දීමෙන් පසුව ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මාර්තු මාසයේ වැටුප පවා ලැබී නැත. 

තමන් මුහුන දෙන මෙම දුෂ්කර කොන්දේසි සම්බන්ධයෙන් වතු කම්කරුවන් අතර  මතු වෙමින් පවතින බරපතල විරෝධය පෙන්නුම් කරමින් පසුගිය දින කිහිපය තුල නුවර එලිය දිස්ත්‍රික්කයේ  වතු ගනනාවක කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂන මාලාවක් ම පැන නැගුනි. 

බැල්මෝරල් උද්ඝෝෂනයට ඍජුව සම්බන්ධ වූ සහ ඊට සහයෝගය දුන් බැල්මොරාල්  වත්තේ කම්කරුවෝ තමන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට විස්තර කලහ.

හතලිස් එක් හැවිරිදි එන්. සිවකාන්ත එම වත්තේ පදිංචිකරුවෙකි. වත්තේ වැඩ නැති නිසා ඔහු රැකියාව ලෙස කරන්නේ මේසන් වැඩය.  ”මමත් පිකට් එකට සම්බන්ධ වුනා.  මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. වැඩ කලොත්  දවසකට රුපියල් 2300 ක් විතර ලැබෙනවා. මේ මාසේ මට කිසිම වැඩක් කරන්න ලැබුනේ නැහැ. මගේ බිරිඳත් අසනීප නිසා වත්තේ වැඩට යන්නේ නැහැ. මාසයක් ජීවත් වුනේ ගෙදර තිබුන රත්ත්‍රන් බඩු උගස් කරලා. ඉදිරි දවස් වල  ජීවත් වෙන්නේ කොහොම ද කියල හිතා ගන්න බැහැ. ආන්ඩුවෙන් වත් වත්තෙන් වත් අපට කිසිම සහනාධාරයක් ලැබුනේ නැහැ. අවුරුදු 70 ට වැඩි සමහර වයසක අයට රුපියල් 5,000 දීමනාව ලැබුන”  ඔහු පැවසීය

”පොලීසියෙන් කැඳවපු  අය සීඩබ්ලිව්සීි, එන්යූඩබ්ලිව් සහ යූපීඑෆ් (කඳුරට ජනතා පෙරමුන) සමිති වල සාමාජිකයෝ. නමුත් අපි වෙනුවෙන් කිසිම සමිතියක් මැදිහත් වුනේ නැහැ”.සිවකාන්ත සඳහන් කලේ ය.

තිස්නව  වියැති කේ. රූබාකරන්  බැල්මෝරල් වත්තේ කම්කරුවෙකි. අප්‍රේල් 10 වෙනිදා පඩියට රුපියල් 1000 වැටුප ගෙවන බවට ආන්ඩුව  සහ  ලංකා කම්කරු කොංග්‍රසයේ  (සීඩබ්ලිව්සී)  නායක ආරුමුගම්  තොන්ඩමන් පොරොන්දු  වූ  නමුත් එය නොලැබුන බව ඔහු පැවසීය. ”අපිට ලැබුනේ රුපියල් 700 දවසේ පඩිය පමනයි. රුපියල් 1000 වැටුප ගෙවීමට  නොහැකි වුනේ  කොරෝනා වසංගතය නිසා බව තොන්ඩමන් කිව්වා. එහෙම කියල නැවතත් ඔහු අපිව මුලා කලා. වත්තේ වැඩ දෙන්නෙත්  සතියකට දින තුනයි. කෑමට අවශ්‍ය  බඩු  ටික ගන්න වත් ඒ මුදල ප්‍රමානවත්  නැහැ. කිසිම සහන මුදලක්  අපට ලැබුනෙත්  නැහැ. වත්තෙන් හාල් කිලෝ 5 ක් දුන්නා. ඒකත් කන්න බැරි හාලක්. නමුත්  හාල්වල  වියදම අපේ පඩියෙන්  කපනවලු” ඔහු පැවසීය.  

මුහුනු  ආවරනයක්, අත සෝදා ගැනීමට සබන්  කෑල්ලක් හැරුන විට වෙනත් සෞඛ්‍ය  ආරක්ෂන වැඩ පිලිවෙලක් නැත. ඇතැම් වතු වල කම්කරුවන් මුහුනු ආවරන සපයා ගෙන ඇත්තේ ද තමන්ගේ වියදමිනි.

“මම වැඩකරන්නේ ෆැක්ටරියේ. මුහුනු ආවරනයි  සෝදාගන්න සබනුයි දුන්න. නමුත් අපේ නිවාස වල තත්වය ඉතාම නරකයි. කුඩා ලයින් කාමර නිසා කොරෝනා වයිරසය පහසුවෙන් පැතිරෙන්න පුළුවන්. වසංගතය මර්දනය කිරීමට පනවල තියෙන සීමාවන් හොඳයි. නමුත් අවශ්‍ය පහසුකම් නැති නිසා එදිනෙදා අවශ්‍ය බඩු ගැනීමත් අපහසුයි. පැය ගනනක් පෝලිම්වල ඉන්න වෙනවා.මට දරුවෙක් ඉන්නවා. දෙමව්පියෝ රැකබලා  ගන්නෙත් මම. මම ජාතික කම්කරු සංගමයේ (එන්යූඩබ්ලිව්) සාමාජිකයෙක්. නමුත් කිසිම වෘත්තීය සමිතියක් අපේ ප්‍රශ්න ගැන බලන්නේ නැහැ” රූබාකරන්  කීවේය.

දරුවන් පස් දෙනෙකුගේ මවක් වන හතලිස් දෙවැහැරිදී එස්. ලෙච්චමී එම වත්තේම කම්කරු කාන්තාවකි. වෙනත් ආදායම් මාර්ගයක් නැති නිසා වසංගතය පැතිරෙදීදිත්  වැඩට යන්න බල කෙරුන බව ඇය පැවසුවාය. පසුගිය මාස වල පැවතී දැඩි නියගය නිසා දලු හිඟ නමුත්  වතු පාලනාධිකාරය දවසකට තේ දලු කිලෝ 18 ක ටාගට්  එකක් ඉල්ලන බව ද ඇය කීවාය.

”අවම වශයෙන් දලු කිලෝ 14 ක් කැඩුවේ  නැත්නම් පඩියෙන් භාගයයි ගෙවන්නේ. උදේ අටේ ඉඳලා සවස පහ වෙනකම් වැඩකරන්න  ඕන. නමුත් පසුගිය මාසේ කම්කරුවන් බොහෝ දෙනෙකුට ලැබුනේ පඩියෙන් භාගයයි. කිසිම වෘත්තීය සමිතියක් මේ අසාධාරනයට විරුද්ධව කතා කරන්නේ නැහැ. පසුගිය මාසේ කනකර උකස් කරලා ජීවිතේ ගැටගහ ගත්තේ” ලෙච්චමී කීවාය.   

ආර්ථික ප්‍රශ්න නිසා ඉගෙනීම අත්හල ඇගේ වැඩිමහල් පුතා සහ  දුව රැකියා කරන්න කොලඹට සංක්‍රමනය වී ඇත. පුතාගේ වයස  අවුරුදු 19 කි.  දුවට 18 කි.  නිවෙස් කරා පැමින සිටින ඔවුන්ට කිසිම ආදායමක් නැත. ”ආන්ඩුවයි තොන්ඩමනුයි   කිව්වා ඒ ගොල්ලන්ට රුපියල් 5,000 ක් දෙනවා කියල. මේ වෙනකම් ලැබුනේ නැහැ. ඒ අය එකතු වෙලා රුපියල් 5,000 ඉල්ලලා ගිය සතියේ පිකට් එකක් කලා. අපි කොපමන දුෂ්කරතාවලට මුහුන දුන්නත් කිසි කෙනෙක් අපිට උදව් කරන්නේ නැහැ” යැයි ඇය පැවසුවාය. 

* දික්ඔය ඈන්ෆීල්ඞ් වත්තේ කම්කරුවෝ ආන්ඩුවෙන්  සහන ඉල්ලා අප්‍රේල්  මාසයේ  මුල දින දෙකක පැවැත්වූ වර්ජනයට 150 ක් පමන  සහභාගී වුහ. උද්ඝෝෂනයෙන් පසු  වතු පාලකයන් පඩියෙන් කපා ගැනීමේ පදනම මත රුපියල් 3,000 ක ආහාර ද්‍රව්‍ය සමුපකාරයෙන් ලබා ගැනීමට කටයුතු යොදා ඇත. මාර්තු මාසයේ වැටුපෙන් ඒ සඳහා  රුපියල් 1,500 ක් අඩුකර ගෙන තිබේ.

* අප්‍රේල් 18 වෙනිදා දික්ඔය වනරාජා වත්තේ සහ බගවන්තලාවේ කැම්පියන් වත්තේ කම්කරුවන් ද රුපියල් 5,000 දීමනාව ඉල්ලා විරෝධතා උද්ඝෝෂන වල යෙදුනි.  

* තලවකැලේ ලිඳුල වත්තේ කම්කරුවන් දළු කිලෝ 16 දෛනික වැඩ ඉලක්කය අඩු කරන ලෙස ඉල්ලා අප්‍රේල් 15 විරෝධතා  උද්ඝෝෂනයක යෙදුන බව  මාධ්‍ය වාර්තා කර තිබුනි. උද්ඝෝෂනයට කම්කරුවන් 100 ක් පමන  සහභාගී වී ඇත.

කොරෝනා වසංගතය පැතිරීමත් සමග  වැවිලි සමාගම් විසින්  වතුවල වැඩ නතර කල නමුත්  අත්‍යාවශ්‍ය සේවා නියෝග යටතේ ආන්ඩුවේ අවසරය සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව  දින කිහිපයක් ඇතුලත යලි කම්කරුවන් වැඩට කැඳවනු ලැබීය.

”කොවිඞ් වසංගතය වඩා නරක අතට හැරීමත් සමග මාර්තු 13 වෙනිදා වතුවල වැඩ නතර කෙරුන නමුදු දින හතරක් ඇතුලත යලි වැඩ ආරම්භ කිරීමට  හැකි වීම” ගැන වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද උද්දාමයෙන් යුතුව අප්‍රේල් 17 වෙනිදා ඬේලි නිව්ස් පත්‍රයට පවසා ඇත. ”සියලුම වතු කම්කරුවන්ගේ සහ පලල් වතු ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කර ඇති” බවත් “අත්‍යාවශ්‍ය භාන්ඩ සපයා” ඇති බවත් පොහොලියද්ද වැඩි දුරටත් සඳහන් කර  තිබේ. 

එහෙත් පොහොලියද්ද කියන පරිදි වැවිලි සමාගම් විසින් වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමක් හෝ සෙසු මුලික අවශ්‍යතාවයන් සම්පාදනය කිරීමක් සිදු කර නැත.

ඒ වෙනුවට වැඩ දින ගනන් කප්පාදු කර  ඇත.  නියගය නිසා දළු පලදාව අඩු වී ඇති නමුත් වැඩ ඉලක්ක සම්පුර්න කල යුතු ය. නැතහොත් වැටුප් කප්පාදු කෙරෙයි. ඔවුන් ගේ ආදායම් තව දුරටත් පහත වැටී අතර ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාන්ඩ මිල දී ගැනීමේ දුෂ්කරතාවලට ඔවුහු මුහුන දෙති. 

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින රැකියා අහිමි වූ සහ අඩු ආදායම්ලාභී පවුල් වලට ආන්ඩුවෙන්  දෙන බවට ප්‍රචාරය කෙරුන  රුපියල් 5,000 දීමනාව හෝ ආන්ඩුව පොරොන්දු වූ  රුපියල් 1000 දෛනික වැටුප ද ඔවුන්ට ලැබී නැත.

වතු කම්කරුවන් අතර මතුවෙමින් පවතින අරගල කොරෝනා වසංගතය තුල  මුහුන  දෙන අනාරක්ෂිතභාවය, බලහත් කාරයෙන් වැඩට තල්ලු කිරීම, රැකියා හා වැටුප් කප්පාදුව හා දුෂ්කර වැඩ කොන්දේසිවලට එරෙහිව ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් පවතින අරගල වල කොටසකි. 

එම අරගල වෘත්තීය සමිති වලට පිටින් පැන නැගී ඇත්තේ ඒවා ආන්ඩුව හා කොම්පැනි සමග පෙලගැසී සිටින හෙයිනි.  වතු කම්කරුවන් කල යුත්තේ තම අයිතීන් සඳහා අරගලය සියතට ගැනීමය. ඒ සඳහා ඔවුන් සමිති වලින් බිදී සෑම වත්තකම කම්කරු ක්‍රියාකාරී කමිටු  ගොඩ නගා ගත යුතුය. 

අනාරක්ෂිත හා බලහත්කාරයෙන් සේවය යෙදවීම ප්‍රතික්ෂේප කිරීම, කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය සියලු  සෞඛ්‍ය පහසුකම් ආන්ඩුව සහ වතු සමාගම් විසින් සැපයීම, අසාධාරන වැඩ ඉලක්ක ප්‍රතික්ෂේප කිරීම, ජීවත්වීමට සරිලන මාසික වැටුපක් හා පිරිසිදු  ජලය, විදුලිය ඇතුළු පහසුකම් සහිත නිවාස  ක්‍රියාකාරී කමිටුවල ක්ෂනික ඉල්ලීම් විය යුතුය. එම අරගලය රැකියා, වැටුප් සහ සමාජ සහන කප්පාදුවට මුහුන දී සිටින රාජ්‍ය සහ පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ අරගල සමග ඒකාබද්ධ කල යුතුය.  

මෙම  අත්‍යවශ්‍ය හදිසි ඉල්ලීම් පවා කම්කරු පන්තියට සාක්ෂාත් කල හැක්කේ ගෝලීය ධනේශ්වර ලාබ  පද්ධතිය පෙරලා දමන ජාතන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනය අහෝසි කොට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක්  බලයට ගෙන ඒමට කරන සටන තුල පමනි.

Loading