අශෝක හඳගමගේ ෆේස්බුක් සටහන: ධනේශ්වර ප්‍රිස්මයෙන් ලෝකය දකින්නෙකුගේ නරුම ප්‍රතිචාරයක්

සාමාන්‍ය කාල පරිච්ඡේදයන්හි තම පන්ති ආස්ථානයන් එතරම්ම ප්‍රකට නොකරන ඉහල මධ්‍යම පන්තික මාධ්‍යවේදීන්, බුද්ධිමතුන්  සහ කලාකරුවන්, බලගතු සමාජ කම්පනයන්හි දී, එනම් යුද්ධ, විප්ලව හෝ වසංගත ව්‍යසනයන් පුපුරා යන ඓතිහාසික අවස්ථාවන්හි දී, එකී ආස්ථානයන් කැපී පෙනෙන අයුරින් ප්‍රකට කරන්නට පටන් ගනී.

සමස්ත ග්‍රහලෝකයම ඉමහත් ව්‍යසනයකට ඇදදමා තිබෙන කොවිඩ්-19 වසංගතයෙන් නිර්මානය කෙරී ඇති ප්‍රගාඪ කම්පනය මගින් ඉහත ඓතිහාසික සත්‍යය යලිත් සනාථ කෙරෙමින් පවතී.

මෙම ප්‍රපංචය ශ්‍රී ලංකාව තුලද විවිධ ආකාරයෙන් ප්‍රකාශයට පත්වන අතර, ඒ අතරින්, සිනමාකරුවෙකු ලෙස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට අශෝක හඳගමගේ ප්‍රතිචාරය කැපී පෙනෙයි. 

වසංගතයේ ව්‍යාප්තිය අවම කිරීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක කෙරුනු අගුලු දැමීම (lockdown) ඉවත්කොට වහාම යලි නිශ්පාදන ආර්ථික ක්‍රියාවලිය ආරම්භ කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව සහ සංගත හිමි මහධනපතියන් දරන ප්‍රයත්නය සමග ඒකාබද්ධ වෙමින් හඳගම තම ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කරයි:

“ලංකාව කොරෝනා වලින් ආරක්ෂිතයි කියලා සහතිකයක් දෙන්න දැන්ම නම් සක්කරයට වත් පුලුවන් වෙන එකක් නැහැ. ඉතින් එහෙම වෙනකල් ආර්ථික යන්ත්‍රය වහගෙන ඉන්නවා කියන්නේ ආයේ ගොඩ එන්න බැරි තරම් අගාධයකට තල්ලු වෙනවා කියන එකයි.”

හඳගම කියා සිටින්නේ “කොරෝනා වලින් ආරක්ෂිතයි කියලා සහතිකයක්” නැති වුනත්, ආර්ථික යන්ත්‍රය වහාම ක්‍රියාත්මක කිරීම සඳහා, තම දිවි පරදුවට තබා කම්කරුවන් වැඩට යායුතු බවයි.

එතෙකින් නොනවතින හඳගම මෙසේද පවසයි: “මිනිස් ජීවිතය කියන්නේ කාලා බීලා ගෙදරට වෙලා ඉන්න එක නෙවෙයි. ඒක සංස්කෘතික එකක්. කොරෝනා යෝජනා කරන්නේ අලුත් ජීවන රටාවක්!” 

හඳගම යෝජනා කරන “අලුත් ජීවන රටාව” කිනම් වර්ගයේ එකක් ද? එම ජීවන රටාව යෝජනා කෙරෙන්නේ කවර පන්තියේ සහ කවර නිශ්පාදන ආර්ථිකයක අවශ්‍යතාව සඳහා ද? 

ඔහු කම්කරුවන්ට යෝජනා කරන්නේ බස්රියේ දී හෝ දුම්රියේ දී, නැතහොත් කම්හලේ දී හෝ වැඩබිමේ දී, සහෝදර කම්කරුවන්ගෙන් තමාට වසංගත රෝගය වැලඳෙතැයි යන බියෙන් රැකියාවට යන එන සහ තමා විසින් ම තම අඹුදරුවන් වෙත වෛරසය රැගෙන එන්නේදැයි යන කනස්සල්ලෙන් නිවසට පැමිනෙන දෛනික ජීවන රටාවකි.  

සැබැවින්ම හඳගමටත් වඩා හොඳින් මෙම තර්කය ඉදිරිපත් කරන්නන් ජාත්‍යන්තර තලයේ යහමින් සොයාගත හැක.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නැවත වැඩට දැක්කීමේ පිලිවෙතට සහාය දෙන තීරු ලිපි ලේඛිකාවක් වන එමිලි එස්ෆහනි ස්මිත් අප්‍රේල් 7 දා නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් කියා සිටියේ, “දුක් විඳීමට ද උගෙන ගැනීම වැදගත්” බවයි. 

නිව්යෝර්ක් හි නිව් ස්කූල්හි සයිමන් ක්‍රිච්ලි ද ට්‍රම්ප් අනුමත කරමින් කියා සිටියේ “මරනයට මුහුන දීම අපගේ විමුක්තිය හා ගැලවිල්ල කරා එලැඹීමේ යතුර විය හැකි” බවයි.  

මාර්තු 22 දින, නිව්යෝර්ක් ටයිම්ස් හි ප්‍රධාන තීරු ලිපි රචක තෝමස් ෆ්‍රීඩ්මාන්, මෙසේ ලිවීය: “අප අපටම, අපේ ආර්ථිකයට, අපේ ඊලඟ පරම්පරාවට කර ගනිමින් සිටින්නේ මොන කෙහෙල්මලක් ද?.....මේ, ප්‍රතිකාරය (අගුලුදෑම)- ඉදින් කෙටි කලකට හෝ - ව්‍යාධියට වඩා නරක එකක් වේ ද?” (උපුටා ගැනීම: “වසංගතය, ලාභය සහ දුක් පීඩා විඳ මියයාම පිලිබඳ ධනේශ්වර සාධාරනීකරනය”-ඩේවිඩ් නෝර්ත්-ලෝසවෙඅ)

හඳගම, ෆ්‍රීඩ්මාන් කියවා තම සටහන තැබුවේද යන්න නොදන්නා නමුත්, ඔවුන් අතර ඇත්තේ බලගතු සාම්‍යයකි. 

මුල්‍ය කතිපයාධිකාරිය ප්‍රමුඛ ධනපති පන්තිය කරදර වන්නේ, ලාභ උකහා ගැනීමේ ක්‍රියාදාමයේ ඇති විය හැකි කඩාකප්පල් වීම හේතුවෙන් තම වත්කම්වල සිදුවිය හැකි සැලකියයුතු ක්ෂය වීම සම්බන්ධයෙනි. 

සයිමන් ක්‍රිචිලි සිට හඳගම දක්වා වන “යලි වැඩට දැක්කීමේ” උද්ඝෝෂකයන් කනස්සල්ලට පත්ව ඇත්තේ ධනේශ්වර ආර්ථික ජීවිතය කඩාකප්පල් වීමෙන් තම සැපපහසු සහ වරප්‍රසාදිත ඉහල මධ්‍යම පන්තික ජීවිතයට සිදුවන බාධාව ගැනයි. ධනපති පන්තියට මෙන්ම මෙම ඉහල මධ්‍යම පන්තික නියෝජිතයන්ට සිදුවෙමින් පවත්නා ඉමහත් ජීවිත හානි පිලිබඳ කවර හෝ උත්සුකයක් නොමැත. 

තම සැබෑ ආසක්තයන් වසන් කිරීමට හඳගම මෙසේ පවසයි: “කොරෝනා සමග සටන කියන්නේ අද හෙට ඉවර වෙන එකක් නෙවෙයි. එය දිගු කාලයක් ඇදගෙන යන්න වෙන එකක්. ඒ නිසා ආර්ථික යන්ත්‍රය දිවෙවුවේ නැත්නම්, මේ රෝගය එක්ක දිගු කාලීන සටනක් කරන්න බැහැ.”

මෙම ධනේශ්වර ආර්ථික යන්ත්‍රය කෙතරම් දිගු කාලයක් ඇදගෙන ගියත් මෙම වසංගතයට හෝ, ඉදිරියේදී එන වසංගතයකට හෝ එරෙහි සටනක් නොකරන බව ලංකාවේ ද ලොවපුරා ද පාලක පන්තීන් තම ඉතිහාසය තුල පෙන්වා ඇත. පසුගිය දශක ගනනාව තුල අනුප්‍රාප්තික ආන්ඩු විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත නොකඩවා කල කප්පාදු හේතුවෙන් එතෙක් පැවති සීමිත මහජන සෞඛ්‍ය පහසුකම් වල පවා සිදුව ඇති ඛාදනය පිරික්සීම වුව එය වටහා ගැනීමට ප්‍රමානවත් වෙයි.

පවත්නා ආර්ථික යන්ත්‍රය එවන් සටනක් නොකරනවා පමනක් නොව, එයට මුලුමනින්ම එරෙහිව සිටින බව මෙම වසංගතයත් සමග ගෝලීය පරිමානව විශද විය.

හඳගම ගේ ආර්ථික යන්ත්‍රය පාලනය කරන ආන්ඩුව, වසංගතය මැඩීමේ අත්‍යවශ්‍යම අංශය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත නැවතත් අවධාරනය කල මහා පරිමාන පරීක්ෂන සඳහා මුල්‍ය ප්‍රතිපාදන වෙන් නොකලේ ය. ආන්ඩුව ඒ වෙනුවට කලේ, කම්කරු-පීඩිත මහජනයා මරනයට අත්හල මහධනපතියන්ගේ හානිය පූරනය කිරීම සඳහා බිලියන ගනන් ප්‍රදානය කිරීමයි.

“කොරෝනා වලින් ආරක්ෂිතයි කියලා සහතිකයක් දෙන්න දැන්ම නම් සක්කරයට වත් පුලුවන් කමක් නෑ” යනුවෙන්  හඳගම පවසන විට ඔහු වසන් කරන්නේ, මහා පරිමානයෙන් පරීක්ෂන කෙරෙන්නේ නම් වසංගතය ඉක්මනින්ම පාලනය කොට එවන් සහතිකයක් දියහැකි බවට වෛද්‍යවරුන් සහ විශේෂඥයන් යලියලිත් ඉදිරිපත් කරන විද්‍යාත්මක සත්‍යය යි. 

මේ සා පරිමාන සමාජ ව්‍යසනයකදී මිලියන සංඛ්‍යාත වින්දිතයන් සහ සහානුමතිකවීමේ සහ ඒ පිලිබඳව ඉමහත් කම්පනයට පත්වීමේ කලාකරුවෙකු සතු මාහැඟි මානුෂීය ගුනාංගය හඳගම අතින් ගිලිහී ගොස්, මෙම ව්‍යසනයට මුලුමනින්ම වගකිවයුතු ධනේශ්වර ආර්ථික ක්‍රියාවලියේ ක්ෂමාලාපකයෙකු වන තැනට පත්වූයේ කෙසේද යන්න වටහා ගැනීම ඔහුට මෙන්ම අන් සියලු කලාකරුවන්ට වැදගත් වෙයි.

ධනේශ්වර නිශ්පාදන-ආර්ථික ක්‍රියාවලිය කිසිදා වෙනස් කල නොහැකි සහ වෙනස් කල නොයුතු පරමයක් ලෙස පිලිගැනීම මෙම ප්‍රතිගාමිත්වයේ මූලයයි. හඳගම වැන්නවුන් ට අනුව, ලාභ පද්ධතිය, නිෂ්පාදන බලවේගවල පෞද්ගලික අයිතිය හා අතිමහත් පුද්ගල වත්කම් නොවෙනස් කල හැකි ද, සදාකාලික ද වේ. එබැවින් ඉහත ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාමට, නොවැලැක්විය හැකි පරිදි මිනිස් ජීවිතවලින්, හා නිශ්චිතව කිවහොත් කම්කරු ජනයාගේ ජීවිතවලින් වන්දි ගෙවිය යුතු වේ.

හඳගම යෝජනා කරන්නේ එයට සරිලන“සංස්කෘතිය” කි.

නමුත් මෙම වසංගතයෙන් පෙන්වා දෙන්නේ, ලොව පුරා සිටින විද්‍යාඥයින්ගේ පර්යේෂන හා තාක්ෂනය බෙදාහදා ගැනීමකින් සහ ග්‍රහලෝකයේ පවත්නා මුල්‍ය සම්පත් දැවැන්ත පරිමානයෙන් යෙදවීමකින් තොරව, මෙවන් ව්‍යසනයක් ජයගත නොහැකි බවයි. එය කම්කරු-පීඩිත මහජනතාව මුහුන දෙන සෑම අතිමූලික   ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එලෙසම වලංගු වෙයි.

නමුත්, මෙය සාක්ෂාත් කිරීමට නම් මහා පරිමාන බැංකු සහ මුල්‍ය සමාගම් මෙන්ම සුවිසල් කමිහල් සහ සංගත කම්කරු පන්තියේ  ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ ජනසතුකල යුතුය. සෑම රටකම කම්කරු පන්තිය රාජ්‍ය බලය අත්පත්කර ගනිමින්, ලාභය මත පදනම් වූ නිශ්පාදන-ආර්ථික ක්‍රමය ද, එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතියද අහෝසි කොට, මානව අවශ්‍යතාවන් සපිරෙන පරිදි ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කර ගත යුතුය. මෙය වනාහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

  

 

Loading