ඉදිරිදර්ශන

එක්සත් ජනපදයේ මරන 40,000 ඉක්මවා යාමත් සමග, ට්‍රම්ප් වැඩට යාමේ සහාසික ව්‍යාපාරය තීව්‍ර කරයි

මෙම ලිපිය 2020 අප්‍රේල් 20 දින ඉංග්රීසි බසින් පලවින.

ඉරිදා, එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 40,000 ඉක්මවා ඇති අතර පසුගිය සතියේ පමනක් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ.

වසංගතය ඇමරිකානු සමාජයේ සම්පූර්න අක්‍රියතාවය මෙන්ම මූලික අවශ්‍යතා වන වෛද්‍ය ප්‍රතිකාර, ආරක්ෂක උපකරන පමනක් නො ව ආහාර පවා තම පුරවැසියන්ට ලබා දීමට ඇති තම නොහැකියාව හෙලිදරව් කර තිබේ.

වසංගතයට සූදානම් වීමට ආන්ඩුව කිසිවක් නො කලේ ය. ට්‍රම්ප් මෙම රෝගය “ප්‍රෝඩාවක්” ලෙස ලඝු කොට සැලකූ අතර මාධ්‍ය එය මාස ගනනාවක් තිස්සේ නො සලකා හැරියේ ය. අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩ කිරීමට බල කෙරුනු වික්‍රමාන්විත  සෞඛ්‍ය කම්කරුවන් දහස් ගනනක් අසනීප වී මියගිය අතර, බැංකු හා සංගත මානව ඉතිහාසයේ විශාලතම මුදල් ඇපදීම් ඩැහ ගත්හ.

නිව් යෝක් නගරයේ සමූහ මිනී වලවල් හා මෘතදේහ ශීත කල ට්‍රේලර්වල ගොඩ ගසා ඩෙට්‍රොයිට් නගරයේ සීනයි ග්‍රේස් රෝහලේ අමතර කාමරවල පුරවා ඇති දර්ශන කිසි විටෙකත් ඒවා‍දුටු සෞඛ්‍ය කම්කරුවන්ගේ හෝ සමස්තයක් වශයෙන් කම්කරු පන්තියේ  විඥානයෙන් ඉවත් නො වනු ඇත.

මුහුනු ආවරන නොමැති කම්කරුවෙකු 2020 මාර්තු 31 වන අඟහරුවාදා ලොස් ඇන්ජලීස් හි 365 හෝල් ෆුඩ්ස් සුපිරි වෙලඳසැලෙන් පිටත බලා සිටින පාරිභෝගිකයන් විසින් නැවත භාවිතා කිරීමට පෙර භාන්ඩ ට්‍රොලි විෂබීජහරනය කරයි(AP ඡායාරූපය / ඩේමියන් ඩොවර්ගනේස්)

රට පුරා, සිය දහස් ගනනක් ජනයා තම මිතුරන් හා ආදරනීයයන් අහිමි වීම ගැන ශෝක වෙමින් සිටිති. මිලියන ගනනක් දොට්ට දැමීමත් සමග, ගනන් කල නො හැකි කුටුම්භ සම්පූර්න  අසරනභාවය අද්දරට පමුනුවනු ලැබ, ධාරිතාව ඉක්මවා ගිය සහන බොජුන් හල් වෙත ඇදෙමෙනි.

වසංගතය පාලනය කෙරී ඇති බව කියවෙන ට්‍රම්ප්ගේ කතන්දර තිබියදී, රෝගය රටේ නව ප්‍රදේශවලට ව්‍යාප්ත වෙමින් පවතින්නේ, වසන්ගතය සෑම සාත්තු නිවාසයක් මෙන් ම හිරගෙවල් හරහා හමායමින්, සෑම ප්‍රාන්තයක්ම අවම වශයෙන් එක් මරනයක් හෝ වාර්තා කරමිනි.

මෙම ව්‍යසනය මධ්‍යයේ, වසංගතය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නැතිකම නො සලකා, ට්‍රම්ප් පරිපාලනය තනි මතයට ඇමරිකානු ව්‍යාපාර නැවත විවෘත කිරීමට අවධාරනය යොමු කරයි. ට්‍රම්ප් පරිපාලනයේ වඩා වැදගත් උත්සුකය වන්නේ, වෝල් වීදිය හා ප්‍රධාන සමාගම් පොහොසත් කිරීමට වසන්ගතය බාධාවක් නො වන බව සහතික කිරීම යි.

තමන් ව්‍යාපාර නැවත විවෘත කිරීම ඉල්ලා සිටින බව ධවල මන්දිරය පැහැදිලි කර ඇත්තේ, සියලු සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම, ආසාදිතයන් නිරෝධායනය කිරීම හා ඔවුන්ගේ සම්බන්ධතා සොයා ගැනීම සඳහා යටිතල පහසුකම් නොමැති තතු යටතේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා ප්‍රමුඛ වසංගත රෝග විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීම නො තකා, මෙම කොන්දේසි යටතේ ව්‍යාපාර නැවත විවෘත කිරීම සම්පූර්නයෙන්ම වගකීම් විරහිත වන අතර, එය වසංගතයේ යලි පැතිරීමට ගිනි අවුලුවනවා පමනක් වනු ඇත.

නැවත සේවයට පැමිනීමට ට්‍රම්ප් කරන ඉල්ලීමට මාධ්‍යයේ සැලකිය යුතු කන්ඩායම්වල  සහාය ලැබී තිබේ. ඉරිදා, එන්බීසී හි සන්ධ්‍යා ප්‍රවෘත්ති වැඩසටහන මෙහෙයවනු ලැබුවේ දැවැන්ත මරන සංඛ්‍යාවෙන් නොව, ව්‍යාපාර නැවත විවෘත කරන ලෙස ඉල්ලා සිටින, සමහරක් යන්තම් පුද්ගලයන් දුසිම් කීපයකින් යුත්, අන්ත දක්ෂිනාංශික විරෝධතා පෙන්වීම සමගිනි.  උද්ඝෝෂන කැඳවමින්, ප්‍රහාරක රයිෆල් ඔසවා ගනිමින්, සමූහාන්ඩු කොඩි හා ස්වස්තික වනමින් අගනගරයේ වාඩිලා ගනිමින් සිටි අන්ත දක්ෂිනාංශික කන්ඩායම්වල භූමිකාව මාධ්‍ය විසින් නො සලකා හරින ලදි.

අනාරක්ෂිත කොන්දේසි යටතේ නැවත සේවයට පැමිනීමට එරෙහිව රට පුරා සහ ලෝකය පුරා සිදුවන කම්කරුවන්ගේ වැඩ වර්ජන, අසනීප නිවාඩු යෑම හා විරෝධතා විකාශන ප්‍රවෘත්ති මගින් යටපත් කර ඇති අතර, ඔවුන් ඉතා දක්ෂිනාංශික විරෝධතා ජනතාවගේ නීත්‍යානුකූල ප්‍රකාශනය ලෙස මවා පා තිබේ. 

මුල දී මනඃකල්පිත සැලැස්මක් ලෙස ඉදිරිපත් කරන ලද, එක්සත් ජනපදයේ සැලකිය යුතු අංශවල ව්‍යාපාර මැයි 1වැනි දා නැවත විවෘත කල යුතු ය යන ට්‍රම්ප්ගේ යෝජනාව දැන් මූලික පදනම බවට පත්ව ඇත. තම ප්‍රාන්තය රටේ ඉහල ම කොවිඩ් -19 රෝගී මරනවලට මුහුන දී සිටින බව ආන්ඩුකාර මිචිගන් ග්‍රෙට්චන් විට්මර් පවා නිවේදන කල මිචිගන් ප්‍රාන්තයේ පවා, ලබන මස ආරම්භය වීමත් සමග ව්‍යාපාර නැවත විවෘත කෙරෙනු ඇත. 

ව්‍යාපාර නැවත විවෘත කිරීම පිලිබඳ ස්ථාවරය, ආර්ථිකයේ “ක්ෂනික ආරම්භයක්” වෙනුවෙන් පෙනී සිටින ට්‍රම්ප් වැනි අය සහ ක්‍රියාවලිය “ක්‍රමිකව වර්ධනය කල” යුතු යැයි කියන යූටා ප්‍රාන්ත ආන්ඩුකාර ගැරී හර්බට් වැනි අය අතර ගැටුමක් ලෙස ඉදිරිපත් කල ඒබීසී නිව්ස් හි ඉරුදින සාකච්ඡාවේ තේමාව වූයේ “ලොක්ඩවුන් ප්‍රශ්නය බේරුම් කරගැනීම” යන්නයි.

ට්‍රම්ප් හා ජනමාධ්‍යවල ප්‍රමුඛ කන්ඩායම්, රට නැවත විවෘත කිරීමේ ප්‍රශ්නය ජීවිත අහිමිවීම හා මහා දරිද්‍රතාවය අතර තෝරාගැනීමක් ලෙස මවා පාති. නමුත් මෙම දෙකට බෙදීම බොරුවකි. එය ධනේශ්වර පද්ධතියේ පරමාධිපත්‍යයන් අනිවාර්ය යැයි උපකල්පනය කරයි. එය තුල ආන්ඩුව මූල්‍ය හා සංගත ප්‍රභූවට අසීමිත සම්පත් දිගු කරන නමුත්, වසංගතයක් අතරතුර කම්කරුවන්ගේ ආර්ථික ජීවනෝපාය සහතික කල නො හැකි ය.

අකාලයේ රැකියාවකට නැවත පැමිනීම සඳහා වන ඉල්ලීම වසංගතය සඳහා චීනය බිල්ලට දීමේ එක්සත් ජනපද උත්සාහයේ දැවන්ත තීව්‍ර කිරීමක් සමග අත්වැල් බැඳ ගනී. ව්‍යාපාර නැවත විවෘත කිරීමේ  ඉල්ලීම සමග, ට්‍රම්ප් ඩෙමොක්‍රටිකයින් මෙන් ම  මාධ්‍ය සඳහා තානය සකසා ඇත. වසංගතය සඳහා චීනයට බොරු දෝෂාරෝපන එල්ල කෙරෙන ප්‍රකාශනයක, ධවල මන්දිරය ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා එක්සත් ජනපද අරමුදල් නවතා දමන බව ට්‍රම්ප් අඟහරුවාදා නිවේදනය කලේ ය.

පසුදා ම, ද ඇසෝසියේටඩ් ප්‍රෙස් “ තීරනාත්මක දින 6 ක් තුල වසංගතයක් ඇති විය හැකි බවට චීනය මහජනතාවට අනතුරු ඇඟවූයේ නැත” යන මාතෘකාවෙන් ලිපියක් ප්‍රසිද්ධ කලේ,  වසංගතය සඳහා  චීනය වග කිව යුතු ය යන ට්‍රම්ප්ගේ බොරු ප්‍රකාශයන් සහතික  කරමිනි. ජනවාරි 14 සිට ජනවාරි 20 දක්වා සතිය ගැන සඳහන් කරන මෙම ප්‍රකාශ එවකට එක්සත් ජනපද මාධ්‍ය වාර්තා විශ්ලේෂන වලින් පවා ප්‍රතික්ෂේප කෙරුනි. එය පැහදිලි කරන්නේ රෝගයේ ප්‍රගතිය ජනවාරි පලමු සතිය වන විට ජාත්‍යන්තර මාධ්‍යවල පුලුල්ව හා නිවැරදිව වාර්තා වෙමින් පැවති බව යි.

ඩිමොක්‍රටිකයින් හා ඔවුන්ගේ  සහචර මාධ්‍ය ආයතන ට්‍රම්ප් ඔහුගේ ම ප්‍රයෝගයේ දී   පරාජය කිරීමට උත්සාහ ගනිමින් සිටිති. ඉරිදා මුල් පිටුවේ ලිපියක නිව් යෝක් ටයිම්ස් පුවත්පත චීනය සතුටු කිරීමට ට්‍රම්ප් ඉතා කැමති බව පින්තාරු කලේ ය. “එක්සත් ජනපදය ජීවිතාරක්ෂක වෛද්‍ය සැපයුම් සඳහා චීනයේ නිෂ්පාදකයින් මත විශ්වාසය තබන මොහොතක, වෙලඳ සාකච්ඡා දිගටම කරගෙන යාමට උනන්දුවක් දක්වන අතර, ජනාධිපති ෂී ජින්පින් සමඟ ඇති තම සම්බන්ධතාවය ආරක්ෂා කර ගැනීමට කෑදර ට්‍රම්ප් මහතා, චීනය ව්වේචනය කිරීමේ රිපබ්ලිකානු උත්සාහයන් නැවත නැවතත් අවුල් කර තිබේ." පුවත්පත් පැවසීය.

ඩෙමොක්‍රටික ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන් මෙම තේමාව භාර ගත්තේ “චීනයේ නායකයන් කෙරෙහි තම විශ්වාසය” තබමින්, “මෙම වසංගතයට ඇමරිකාව අනතුරේ හෙලමින් හා අනාවරනය කරමින්” අතහැර දැමීම පිලිබඳ නව මැතිවරන දැන්වීමක් තුල ට්‍රම්ප්ට චෝදනා කරමිනි. 

ට්‍රම්ප්ගේ හිටපු ෆැසිස්ට් ප්‍රචාරක කලමනාකාර ස්ටීවන් බැනන් විසින් මාස ගනනක් තිස්සේ ඉදිරියට දමන ලද, කොවිඩ්-19 චීනයේ රසායනාගාරයක නිෂ්පාදනය කරන ලදැ යි  කියන  දක්ෂිනාංශික කුමන්ත්‍රන න්‍යායක් නීත්‍යානුකූල කර ගැනීමට උත්සාහ කරන ලිපියක් අඟහරුවාදා  වොෂිංටන් පෝස්ට් පත්‍රය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. පුවත්පත විසින් බැනන්ගේ පුද්ගලික නරාවලෙන් එම ප්‍රකාශය බිලි බාගෙන, එය ඉරිදා කතා සංදර්ශනයේ ප්‍රධාන මාතෘකාව ලෙස පාවිච්චි කිරීම සඳහා සෝදා පිරිසිදු කරන ලදී. 

පන්ති අරගලය කිසි විටෙකත් විවේක නො ගනී, එමෙන් ම අධිරාජ්‍යවාදය කිසි විටෙකත් තම කොල්ලකාරී අරමුනු ලිහිල් නො කරයි. අර්බුදයක දී මෙය විශේෂයෙන් සත්‍ය වේ. කම්කරුවන් මෙම කැපකිරීම් සිදුකරන අතර, එක්සත් ජනපද ආන්ඩුව වෝල් වීදිය හා ප්‍රධාන සමාගම්වලට ඩොලර් ට්‍රිලියන 6 ක ඇපයක් ලබා දුන්නේය. වසංගතයට පෙර දශකයකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන, ප්‍රමානාත්මක ලිහිල් කිරීම හා අතිශය අඩු පොලී අනුපාත ප්‍රතිපත්තිය ඊට ප්‍රතිචාර වශයෙන් තීව්‍ර කරන ලදී.

පාලක පන්තියට තම මගක් තිබේ නම්, අර්බුදයෙන් මතුවන සමාජය, සංලක්ෂිත වනු ඇත්තේ, වසංගතයට පෙර පැවති සියලු ප්‍රවනතාවන්, එනම් වඩ වඩා අසමානතාව, වඩ වඩා සූරා කෑම, වඩ වඩා දරිද්‍රතාවය හා වඩ වඩා යුද්ධ තීව්‍ර කිරීම මගිනි. 

පාලක පන්තිය අර්බුදය තුල සිය අවශ්‍යතා ප්‍රකාශ කිරීම වඩාත් ක්ෂනික හා සෘජු වන අතර කම්කරු පන්තියේ අධිෂ්ඨානය වඩාත් බලවත් වනු ඇත. ලොව පුරා, ඉතාලියේ සිට කැලිෆෝනියා දක්වා කම්කරුවන් අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කරමින්, අකාලයේ රැකියාවට නැවත පැමිනීමට විරුද්ධව සටන් කරමින් සිටිති. දහස් ගනනකගේ ජීවිත මත දහස් ගනනකගේ වියදමින් තම ධනය පුලුල් කිරීම සඳහා අර්බුදය උපයෝගී කර ගැනීමට කතිපයාධිකාරීන් දරන උත්සාහය ඉමහත් සමාජ නොසන්සුන්තාවක් ඇති කරනු ඇත.

වසංගතය මගින් ධනේශ්වර පද්ධතියේ බංකොලොත්භාවය පැහැදිලි කර තිබේ. ට්‍රම්ප් පරිපාලනයේ වැඩට ආපසු යාමේ ව්‍යාපාරයට එරෙහි තම අරගලයේ දී කම්කරුවන් සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා වන අරගලය භාර ගත යුතු ය.

Loading