ශ්‍රී ලංකාව: කර්මාන්තකරුවෝ ලාභ රැක ගැනීමට රැකියා බිලිගැනීම ගැන සාකච්ඡා කරති

රට තුල හා ජාත්‍යන්තරව කොරෝනා වෛරසය පැතිර යන අතරතුර, ප්‍රධාන අපනයනය ව්‍යාපාර පසුගිය සතියේ සිට ම වැඩ ආරම්භ කර තිබේ. ව්‍යාපාර විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආන්ඩුව සමග එක්ව සුදානම් වන මහ ව්‍යාපාරිකයින් ලාබ රැකගැනීම පිනිස කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා අනෙකුත් අයිතීන් දුෂ්ට ලෙස විනාශ කිරීමට යයි. 

දිනකට 750ට වඩා බෙහෙවින් අඩුවන සීමිත පරීක්ෂනයන් මධ්‍යයේ, අප්‍රේල් 18-20 අතර කාලය තුල කොවිඩ්-19 ආසාදිතයන් 66ක් සොයාගත්තේ, රටෙහි සමස්ත ආසාදිතයන් ගනන 304ට ඉහල දමමින් වන අතර, සිදු වූ මරන සංඛ්‍යාව හතකි. මෙම කාලසීමාව තුල ගෝලීය වසංගත ආසාදිතයන් ගනන මිලියන 2.4 ඉක්මවා ගියේ මරන සංඛ්‍යාව 169,000 පසුකර යද්දී ය.

අඩු කම්කරුවන් ගනනක් සමගින් සූරාකෑම තියුනු කරමින් යලි ව්‍යාපාර අරඹන අතර, කර්මාන්තකරුවන් අනතුරු අඟවන්නේ තම සමාගම්වල වැඩකටයුතු අනිවාර්යයෙන් ම පහත හෙලන බවයි. 

ජුනි මාසය තෙක් ඇඟලුම් කර්මාන්තයේ ඉල්ලුම්වල හැකිලීම සියයට 80ක් තරම් විය හැකි නිසා “ඇඟලුම් අංශය තුල විශාල රැකියා අහිමි වීම් සිදු වනු ඇති” බව  බ්‍රැන්ඩික්ස්හි ප්‍රධාන විධායක නිලධාරී අෂ්රෝෆ් ඕමාර් අප්‍රේල් 16දා පැවති ප්‍රසිද්ධ අන්තර්ජාල සංසදයක දී කීවේ ය.   

බ්‍රැන්ඩික්ස්, කම්කරුවන් 47,000ක් සේවයේ යොදවන, රටෙහි විශාලතම ඇඟලුම් ව්‍යාපාරවලින් එකකි. අප්‍රේල් මාසයේ සිට වැටුප් ගෙවිය නො හැකි බවට කුඩා හා මධ්‍යම කම්හල් දැනට මත් අනතුරු අඟවා ඇතැයි ඔහු අවධාරනය කලේ ය. කම්හල්වලින් සියයට 30-40 අතර ප්‍රමානයක් යලි කිසිසේත් විවෘත කරනු ලැබිය නො හැකි යයි ඔහු තව දුරටත් කීවේ ය. බ්‍රැන්ඩික්ස්හි කාර්ය මන්ඩලයේ වැටුප් සියයට 5 සිට 30 දක්වා කපාහරිනු ඇතැයි ඔහු කලින් නිවේදනය කර තිබුනි. පසුගිය මාසයේ, අතිකාල දීමනා ද ඇතුලත් වූ විට ලැබෙන වැටුපෙන් සියයට 50ක් තරම් වන මූලික වැටුප පමනක් ලද මහා කර්මාන්තශාලාවල කම්කරුවන් මුහුන දෙන තත්වය වඩාත් දුෂ්කර ය.

ඔවුන්ගේ ලාබ දෙගුන කරගැනීම පිනිස එම කඨෝර වැටුප් කප්පාදු පැනවීමට කොවිඩ්-19 වසංගතය විසින් නිර්මිත තත්ත්වය යොදාගැනීමට කර්මාන්තකරුවන් උත්සාහ දරයි. 

ලංකාවේ ඇඟලුම් අංශයේ පමනක් කම්කරුවන් 400,000ක් පමන සේවය කරති. බංග්ලාදේශය, වියට්නාමය, මියන්මාරය හා ඉන්දුනීසියාව වැනි රටවල ඔවුන්ගේ තරඟකරුවන් දැනට මත් කම්හල් විවෘත කර ඇති බවත්, ඔවුන්ගේ ඇනවුම් එම රටවල් නිසා අහිමි වී යා හැකි බවත් ඉස්මතු කරමින් තම කම්හල්වල වැඩකටයුතු වහා පටන්ගැනීම ලංකාවේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය විය. බටහිර රටවල ඔවුන්ගේ බහුජාතික සංගතයන්ට අවශ්‍ය ලාභ මිරිකා ගැනීම සඳහා සැපයුම් කිරීමට වසංගතය පැතිරෙද්දීම  කම්කරුවන් වැඩට තල්ලු කරගැනීම මේ සියලු රටවල පාලකයන්ට අවශ්‍යය. ඕමාර්ට අනුව “දැනට මත් වැඩකරන චීනය, බංග්ලාදේශය හා ඉන්දුනීසියාවට සාපේක්ෂ ව නිෂ්පාදනය සියයට 40කින් පහල යාම ඇඟලුම් අංශය විසින් අපේක්ෂා කරයි.”

දකුනු ආසියාව හරහා රැකියා අහිමි වීම හා වැටුප් කප්පාදු පැතිරෙමින් තිබේ. බංග්ලාදේශයේ පමනක්, දසදහස් ගනන් කම්කරුවෝ ඔවුන්ට අහිමි කල වැටුප් හා රැකියා නැවත ඉල්ලමින් අප්‍රේල් 4දා සිට විරෝධතාවන්හි යෙදෙති. නො ගෙවන ලද වැටුප් සහ රැකියා ඉල්ලමින් බංග්ලාදේශයේ ගාසිපූර් ප්‍රදේශයේ වසා දමන ලද කම්හල්වල ඇඟලුම් කම්කරුවන් 20,000ක් පමන, අප්‍රෙල් 13-14 දෙදින තුල උද්ඝෝෂන පැවැත්වූ හ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බටහිර රටවල සංගතවල ඇනවුම් වියැලී යාම නිසා කම්හල් සිය ගනන් වසා දමද්දී, කාම්බෝජයේ හා මියන්මාරයේ ලක්ෂ ගනන් ඇඟලුම් කම්කරුවන් රැකියා අහිමි වීමට මුහුන දී සිටී. කම්හල් වැසීම හේතුවෙන් රැකියා අහිමි වූ තායිලන්තයේ වැඩකල සංක්‍රමනික කම්කරුවන් 20,000ක් පමන පසුගිය මාසයේ පෙරලා මියන්මාරයට පැමිනිය හ.

“තම රැකියාව රැකගත හැකි නම් එය ධනාත්මක දෙයක් බව මහජනයා අවබෝධ කරගත යුතු යි. අප සියලු දෙනා ම කප්පාදු පියවරයන්ට මුහුන දීමට නියමිත යි” යනුවෙන් ශ්‍රී ලංකා අපනයනය සංවර්ධන මන්ඩලයේ ප්‍රධානියා මෙන් ම රබර් කර්මාන්තකරුවෙක් වන පභාෂ් සුබසිංහ ඉහත සඳහන් කල සම්මන්ත්‍රනයට සම්බන්ධවෙමින් කීවේ ය.

ආන්ඩුවේ නිලධාරියෙකු හා ව්‍යාපාරිකයෙකු වන ඔහු කියා සිටින්නේ, මෙම තත්ත්වය ”නව සාමාන්‍යයක්” ලෙස පිලිගෙන, රටක් රටක් පාසා තම අයිතීන් තලා දැමීමට ගෝලීය ධනවාදය ගෙනයන වැඩපිලිවෙලට  කම්කරු පන්තිය අවනත වියයුතු බවයි. 

සමාගම්වලට උපදෙස් සපයන  ආර්ථික විද්‍යාඥයෙක් වන ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මෙම අදහස් වඩා ප්‍රබල ලෙස උච්ඡාරනය කරමින් කතා කලේ ය. ඔහු “අමාරුවෙන් වැඩකර, ස්වේච්ඡා වැටුප් කප්පාදු පිලිගෙන, පරිභෝජනය අඩුකර, ආයෝජනය සඳහා ඉතිරි කිරීම් ඉහල දැමීම” මගින් ධනවාදය වෙනුවෙන් ශ්‍රේෂ්ඨ කැපකිරීමක් කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නෙකි.  

කම්කරු පන්තිය ධනපති පන්තියේ අර්බුදයට වගකිවයුතු නැත. කොරෝනා වෛරස් වසංගතයට ලෝකයේ ම කම්කරුවන් හා දුගීන් බිලිදෙන කොන්දේසි හැදීම ගැන ධනපති පන්තීන්  වගකිව යුතුය. 

ලාබ පිපාසිත පරිපීඩක ධනේශ්වර පද්ධතියේ උවමනාකම් වලට එරෙහිව මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රගතිය සඳහා කම්කරු පන්තිය ජාත්‍යන්තරව එකමුතුවී සටන් කලයුතුවේ. 

විදේශ විනිමය ඉපයීම් සඳහා රටට තිබෙන එකම බලාපොරොත්තුව අපනයනයන් බව සඳහන් කල සුබසිංහ, මේ වසරේ අපනයන ඉලක්ක එක්සත් ජනපද ඩොලර් බිලියන 10 දක්වා අඩකින් පමන කපාදැමීමට සිදු වන බව ප්‍රකාශ කලේ ය. “මෙහි අර්ථය වන්නේ, මේ වසර තුල   ශ්‍රී ලංකාව සතුව එතරම් මුදල් නො තිබෙනු ඇත යන්න යි, අප මෙම යථාර්ථය පිලිගෙන මූලෝපායන් සකස් කල යුතු” යැයි ඔහු වැඩිදුරටත් කීවේ ය.

රටෙහි මහ ව්‍යාපාරික සංවිධානයක් වන ලංකා වානිජ මන්ඩලය (සීසීසී) විසින් “පොදු දැක්මක්, ආර්ථික ප්‍රකෘති මූලෝපාය හා උත්තේජන සැලැස්ම” යන හිසින් යුතු ව අප්‍රේල් 17දා ජනාධිපතිවරයා වෙත යැවූ විවෘත ලිපිය තුල, මහ ව්‍යාපාරිකයේ එම මූලෝපාය ඉදිරියට දමා තිබුනි. ව්‍යාපාර වෙත ප්‍රදානය කල රුපියල් බිලියන 50ක මූල්‍යමය පහසුකම අගය කරන අතර ම, වේගවත් ප්‍රකෘතිමත් වීමක් සඳහා වන කැපවීමක් ලෙස “දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 2.5-3ක් (රුපියල් බිලියන 375-400) අයවැය මගින් සම්පාදනය කිරීම සහතික කරන” ලෙස එය ඉල්ලා සිටියේ ය. ලාභ ඉහල නැංවීම සඳහා මෙම ලොමු දැහැගන්වන සුලු මුදල ඉල්ලා සිටින්නේ, කම්කරුවන් මත වැටුප් කප්පාදු පටවනු ලබද්දී ය.

රාජ්‍ය වියදම් අඩු කරන ලෙසත්, ආදායම් බදු වලින් හා ප්‍රාග්ධන ඉපැයීම් බදුවලින් නිදහස් කරමින් ආයෝජකයන්ට සහන ලබාදෙන ලෙසත්, ව්‍යාපාර සඳහා ඉහල පරිමානයේ මුදල් ලබාගතහැකි, මාස 12 සිට 24 දක්වා වන දීර්ඝ කාලීන උත්තේජක මූලෝපායක්     ක්‍රියාත්මක කරන ලෙසත් එය තව දුරටත් ඉල්ලා සිටියේය.

කම්කරු පන්තිය මත පටවන බර ඉහල දැමීම සඳහා ලබා ගන්නා නය මත සැරසිලි අමුනන බව දැන දැන ම, ක්ෂනික අරමුදල් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග එක්ව කටයුතු කරන ලෙස ද මහා ව්‍යාපාරික සංගමය විසින් යෝජනා කර ඇත.

පැතිර යන වසංගතය නො තකා ව්‍යාපාර ආරම්භ කිරීමට ආන්ඩුව පොලඹවන එක් ප්‍රධාන හේතුවක් වන්නේ, එය කඳු ගැසුනු නය බරින් මිරිකෙන ආර්ථිකයක් මත ලැග සිටීම යි. මේ වසරේ පමනක් නය ගෙවීමට ඩොලර් බිලියන 4.8ක් ආන්ඩුවට අවශ්‍ය අතර, එහි විදේශ මූල්‍ය මූලාශ්‍රයන් වියැලී ගොස් ඇත. මෙම විදේශ නය ගෙවීම පැහැර හැරීමේ අන්තරායක් පවතී.

මෙලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලක් සමග ධනපති පන්තියේ ප්‍රහාරය සම්බන්ධවනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව මිලිටරිය මෙහෙයවා ගනිමින් ධනපතියන්ගේ හා ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ උවමනාකම්  ඉටුකර දීමට රුදුරු ලෙස සූදානම් වෙමින් සිටී. 

Loading