ඉදිරිදර්ශන

ට්‍රම්ප් පරිපාලනයේ “නැවත වැඩට යාමේ” තල්ලුව වසංගතය තව තවත් අවුලුවනු ඇත

මෙම ලිපිය 2020 අප්‍රේල් 17 දින ඉංග්‍රීසි බසින් පලවින.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රට පුරා  ව්‍යාපාරවලට නැවත වැඩ ඇරඹීමට   වේදිකාව සකසා දෙමින්,කොවිඩ්-19 එරෙහිව සටන් කිරීම සඳහා වන සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග අවසන් කිරීම සඳහා බ්‍රහස්පතින්දා ප්‍රාන්තවලට  “මාර්ගෝපදේශ” මාලාවක් නිවේදනය කලේය. 

නව මාර්ගෝපදේශ කොරෝනා වෛරස් වසංගතය තවත් අවුලුවනු ඇති අතර මරන තියුනු ලෙස ඉහල යෑමට මග පාදනු ඇත. නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට ඇති උමතු තදියම පිලිබඳ ඇඟවීමක් ලෙස බෝයිං සමාගම තමන් ගුවන් යානා නිෂ්පාදනය ආරම්භ කරන බවත්  කම්කරුවන් 27,000 ක් සඳුදා වන විට ආපසු වැඩට යවන බවත් නිවේදනය කලේ ය.

මෙම පියවර සිදු වන්නේ එක්සත් ජනපදය දිගින් දිගටම වාර්තාගත මරන සංඛ්‍යාවක් වාර්තා කිරීම හා එක්සත් ජනපදයට තවමත් රෝගය පාලනය කිරීම සඳහා ප්‍රමානවත් පරීක්ෂන නොමැති තතු සමගිනි. ඊයේ මරන 2,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ අතර පසුගිය දින තුන තුල 8,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා විය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 අප්‍රේල් 16 වන බ්‍රහස්පතින්දා වොෂිංටන්හි ධවල මන්දිරයේ ජේම්ස් බ්‍රැඩි මාධ්‍ය ප්‍රකාශ කාමරයේදී කොරෝනා ගැන කතා කරන විට ප්‍රශ්නයක් අසන මෙන් වාර්තාකරුවෙකුගෙන් අසයි. (AP ඡායාරූපය / ඇලෙක්ස් බ්‍රැන්ඩන්)

තවමත් පුලුල් ලෙස ප්‍රජා පැතිරීම් පවතී, එයින් අදහස් වන්නේ සමාජ දුරස්ථ කිරීමේ ක්‍රියාමාර්ග අවසන් වූ පසු රෝගීන්ගේ දෙවැනි රැල්ල හා මරන සිදුවනු ඇති බව යි. සැබෑ මරන අනුපාතය, තව දුරටත්, නිල සංඛ්‍යාලේඛන ඉක්මවා යයි. ඊයේ, නිව් යෝක් ප්‍රාන්තයේ ක්වීන්ස් හි එක් සාත්තු නිවාසයක අවම වශයෙන් 29 ක් (සමහර විට 60ක පමන විශාල විය හැකි) මරන සංඛ්‍යාවක් වාර්තා විය.

සේවා ස්ථාන වසංගතයේ ප්‍රධාන සම්ප්‍රේෂන මධ්‍යස්ථානයක් වී ඇත්තේ, රෝගීන් දුසිම් ගනන් හා බොහෝ මරන තනි තනි සේවා ස්ථාන ගනනාවක් සමඟ සම්බන්ධවී ඇති තතු යටතේය. දකුනු ඩැකෝටා ප්‍රාන්තයේ එක් මස් ඇසුරුම් කම්හලක කොරෝනා වෛරස් රෝගීන් 540 කට වඩා වාර්තා වී තිබේ.

ට්‍රම්ප්ගේ සැලැස්ම වසංගතය පිලිබඳ සැබෑ විද්‍යාත්මක විශ්ලේෂනයක් මත පදනම් නො වේ. එය පරිකල්පනය කෙරෙන්නේ මහජන සෞඛ්‍යය පිලිබඳ දෘෂ්ටි කෝනයෙන් නො ව,  හැකි ඉක්මනින් කම්කරුවන්ගෙන් ලාභ මිරිකමින් තම ව්‍යාපාර කටයුතු ආපසු ඇරඹීමට ප්‍රධාන සමාගම්වලට ඉඩ ලබා දීම සහතික කිරීම මගිනි.

දැනට වෝල් වීදිය හා ප්‍රධාන සංගත කොවිඩ්-19 අර්බුදය ගසා කා ඇත්තේ, 2008 මූල්‍ය අර්බුදයට පසු ගසා කෑවාටත් වඩා දැවන්ත ඇපයක් භාන්ඩාගරයෙන් හා ෆෙඩරල් මහබැංකුවෙන් ඩැහැ ගැනීමට ය. මරන සංඛ්‍යාව ගනන් නො ගෙන, කම්කරුවන් ඇමරිකානු කම්හල්වලට ආපසු කැඳවීමට පාලක පන්තිය අධිෂ්ඨාන සහගත ව සිටී.

ට්‍රම්ප්ගේ “ආපසු වැඩට යාමේ”  ව්‍යාපාරය අරමුනු කරන්නේ මහා පරිමානයක මරන සංඛ්‍යාවක් සාමාන්‍යකරනීය කිරීමට යි, එහි දී කොරෝනා-19 පිපිරීම දකිනු ලබන්නේ ව්‍යාපාර කර ගෙන යාමේ පිරිවැය ලෙස ය. ආන්ඩුවේ සීමා කිරීම් අවසන් වීමත් සමග, අනාරක්ෂිත තතු යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කරන කම්කරුවන් දොට්ට දැමීමේ හා විරැකියා රක්ෂන ලබා ගැනීමට සුදුසුකම් නො ලැබීමේ අනතුරට මුහන දෙනු ඇත. පාලක පන්තියේ උත්සුකය සම්බන්ධයෙන් ගත් කල, කම්කරුවන් මිය යන්නේ නම්, ඔවුන් වෙනුවට නිකම්ම වෙනත් අය බඳවා ගත හැක. 

දින දහහතරක කාලයක් තුල රෝගීන්ගේ “අඩුවීමේ ප්‍රවනතාවක්” පෙන්නුම් කල හැකි නම් ව්‍යාපාර නැවත විවෘත කරන ලෙස සැලැස්ම ප්‍රාන්තවලින්  ඉල්ලා සිටී. මෙම යෝජනාවට වසංගත රෝග විද්‍යාඥයින්ගේ හා සෞඛ්‍ය විශේෂඥයින්ගේ ප්‍රකාශ හා තක්සේරු කිරීම් අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට පටහැනි වේ.

ඉතා ඉක්මනින් ව්‍යාපාර නැවත විවෘත කිරීම විශාල නව පිපිරීම් වලට හේතු විය හැකි බවට මහජන සෞඛ්‍ය විශේෂඥයින් නැවත නැවතත් අනතුරු අඟවා තිබේ. ඕනෑවට වඩා ඉක්මනින් “ශාරීරික දුරස්ථ පියවර” ඉවත් කලහොත්, “වෛරසය සමඟ කටයුතු කිරීමට (ප්‍රමානවත්) මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති නම්, ප්‍රතිඵලය විය හැක්කේ රෝගය නැවත ඇතිවිය හැකි වීම යි” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ  මාරියා ඩී. වැන් කර්කොව් අනතුරු ඇඟවූවා ය.

සංගත ලාභ ඉහල නැංවීම සඳහා මේ සැලැස්මේ ඇති වැදගත්කම වටහාගත් වෝල් වීදියේ මහා සමාගම්, ප්‍රවෘත්තියට දැක්වූ ප්‍රතිචාරය පිලිබිඹු වූයේ , බ්‍රහස්පතින්දා ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය ඒකක 820කින් ඉහල යාම මගිනි.

මෙම සැලැස්ම ට්‍රම්ප් පරිපාලනය හා මාධ්‍ය විසින් රෝගයේ බරපතලකම අවතක්සේරු කිරීමේ ව්‍යාපාරයක ප්‍රතිඵලයකි. මේ අරමුන වෙනුවෙන්, එක්සත් ජනපදය බදාදා වාර්තාගත ලෙස මරන 2,600 ක් වාර්තා කර ඇති බවත්, මෙම මාසය ආරම්භයේදී මරන සංඛ්‍යාව 4,000 සිට 34,000 දක්වා ඉහල ගොස් ඇති බවත් මාධ්‍ය විසින් නිකම්ම නො සලකා හැර තිබේ.

පසුගිය දින දෙක තුල, ආපසු වැඩට ඒමට බල කරමින්, අන්ත දක්ෂිනාංශික බලවේග විසින් සංවිධානය කරන ලද විරෝධතා අතලොස්සක් මාධ්‍ය විසින් ඉස්මතු කර තිබේ. මහජනයා සමාජ දුරස්ථ පියවර නතර කරන ලෙස ඉල්ලා සිටින බවට පාලක පන්තිය ආඛ්‍යානයක් නිර්මානය කිරීමට උත්සාහ කරමින් සිටින්නේ, නැවත සේවයට පැමිනීම සාධාරනීකරනය කිරීම සඳහා ය. 

“නැවත විවෘත කිරීමේ සැලස්මක් නෑ, නිකම්ම නැවත විවෘත කිරීමක් පමනයි” මහජන සෞඛ්‍ය පිලිබඳ යේල් විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ, ග්‍රෙග් ගොන්සාල්වෙස් පැවසුවේ ය. “පරීක්ෂන ධාරිතාව, සම්බන්ධතා සොයා ගැනීම, හුදකලා කිරීම, පුද්ගල ආරක්ෂන උපකරන, සාමාන්‍ය ඇමරිකානුවන් සඳහා ආර්ථික සහයෝගය ආදිය ජාතික පරිමානව ඉහල නැංවීමක් සැලසුමක් නැහැ. එය මහජන සෞඛ්‍ය හා ආර්ථික උපදෙස් සම්පූර්නයෙන්ම බැහැර කරයි. එය විනාශකාරීයි, මාරාන්තිකයි. ”

“මාර්ගෝපදේශ වල කිසිදු ආකාරයක ප්‍රමිතියක් නෑ,” විද්‍යා මාධ්‍යවේදිනී ලෝරි ගැරට් පැවසුවා ය.  “සැලැස්මට පරීක්ෂා කිරීම හා හඳුනා ගැනීම සඳහා‘ නිර්දේශ ’ඇත, නමුත් ඒ සඳහා මැනිය හැකි මිනුම් දන්ඩක් නෑ, එය තනි තනි ආන්ඩුකාරවරුන්ගේ අභිමතයට / දැකීමට ඉඩ දෙනවා.”

එක්සත් ජනපදයේ දැන් ලෝකයේ වෙනත් රටවලට වඩා තුන් ගුනයකින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් ඇත. අර්බුදයේ කේන්ද්‍රස්ථානයක් වන නිව් යෝක් හි ජනගහනයෙන් සියයට 3 කට ආසන්න සංඛ්‍යාවක් වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු කෙරී ඇත. ජාතික වශයෙන්, කොවිඩ්-19 පරීක්ෂන ධනාත්මක අනුපාතය සියයට 20 ක් වන අතර, එයින් පෙන්නුම් කෙරෙන්නේ පරීක්ෂාවට ලක්වීමට වඩා වැඩි පිරිසකට පරීක්ෂන අවශ්‍ය බව යි.

ඊට වෙනස්ව, දකුනු කොරියාව තුල ධනාත්මක බව වාර්තා කරන්නේ පරීක්ෂන වලින් සියයට 2 ක් පමනි, එය එක්සත් ජනපදයට වඩා අතිශයින් අඩුය. කැනඩාව, ජර්මනිය සහ ඩෙන්මාර්කයේ ඇත්තේ සියයට 6 ත් 8 ත් අතර අනුපාතයන් ය.

එක්සත් ජනපදයේ රෝහල් ධාරිතාවයෙන් පිරී ඇති අතර අවමංගල්‍ය නිවාස (මල් ශාලා) හා මෘත ශරීරාගාරවලට මල සිරුරු තැබීමට ඉඩක් නොමැත. බ්‍රහස්පතින්දා සිය ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ට්‍රම්ප්, රෝගය පිලිබඳව තම ආන්ඩුව දක්වන ප්‍රතිචාරය පැසසුමට ලක් කලේ, රෝගය පුපුරා යෑම මෙන් යන්තම් මාස කිහිපයක දී,  වසර ගනනාවක් පුරා වසංගත රෝග විද්‍යාඥයින් විසින් පුරෝකථනය කරන ලද සිදුවීම්වලට වඩා අඩු මරන සංඛ්‍යාවක් එක්සත් ජනපදය තුල සිදුව ඇති බැවිනි.

“පැතිරීම මන්දගාමී කිරීමේ අපගේ උපාය මාර්ගය ජීවිත සිය දහස් ගනනක් බේරාගෙන ඇත. පරිඝනක මොඩල මගින් එක්සත් ජනපද මරන මිලියන 1.5 ත් 2.2 ත් අතර සංඛ්‍යාවක් පුරෝකථනය කර ඇත. එමෙන් ම 100,000ත් 240,000ත් අතර මරන අඩු කිරීමක්. පෙනෙන්නට තියෙන්නේ අපි මේ අඩුම සංඛ්‍යාවලටත් වඩා බොහෝ පහලට ඒමට ඉඩ ඇති බවයි. ”

රට පුරා සිදුකරන ආක්‍රමනශීලී සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග නව රෝගීන්ගේ අනුපාතය ස්ථාවර වීමට හේතු වී ඇති හෙයින්, ට්‍රම්ප් ව්‍යාජ ලෙස තර්ක කරන්නේ ව්‍යාපාර නැවත විවෘත කිරීම දැන් සුදුසු බව යි. ඇත්ත වශයෙන්ම, ව්‍යාපාර හා පාසැල් වසා දැමීම් වැනි සමාජ දුරස්ථ පියවර ඵලදායී වන්නේ ඒවා ප්‍රමානවත් පරීක්ෂන, නිරෝධායන හා ආශ්‍රය  සොයා ගැනීම සඳහා කොන්දේසි නිර්මානය කරන තාක් දුරට පමනි.

කම්කරුවන්ට නැවත සේවයට පැමිනෙන ලෙස බලපෑම් කිරීම සඳහා වසංගතය හේතුවෙන් පැතිරී ඇති සමාජ අවතැන්වීම ට්‍රම්ප් නරුම ලෙස ගසාකයි. මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට විරැකියා ගෙවීම් හෝ හදිසි උත්තේජක ක්‍රියාමාර්ග නො ලැබෙන තතු  යටතේ, අනාරක්ෂිත කොන්දේසි යටතේ නැවත සේවයට පැමිනීම හෝ ඔවුන්ගේ පවුල් පෝෂනය කිරීමට නො හැකි වී සිටීම අතර එකක් තෝරා ගැනීමට කම්කරුවන්  ඇද දමා ඇත.

එහෙත් කම්කරුවන්ට මියයාමට ඉඩ දීම හා ආර්ථික අසරනභාවයට යටත් කිරීම යන දෙකෙන් එකක් මනුෂ්‍යවර්ගයා විසින් තෝරා ගත යුතුය යන ප්‍රකාශය අසත්‍යයකි. මෙම දෙකට බෙදීම උපකල්පනය කරන්නේ, ආන්ඩුව විසින් සංගතවලට ට්‍රිලියන ගනනක් ලබා දෙන නමුත්, කම්කරුවන්ට ජීවත්විය හැකි ආදායමක් සහතික නො කරන ධනවාදී ක්‍රමයේ තෝරා ගැනීම්ය. 

මෙම වසංගතයේ පලමු ප්‍රමුඛතාවය විය යුත්තේ මිනිස් ජීවිත බේරා ගැනීම යි. මෙය කල හැකි වන්නේ විශාල වශයෙන් පරික්ෂා කිරීම, නිරෝධායනය හා ආශ්‍රය සොයා ගැනීම සඳහා අරමුදල් සම්පාදනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය වියදම් විශාල වශයෙන් පුලුල් කිරීමෙනි. මෙම ධාරිතාවය නිර්මානය වන තුරු සමාජ දුරස්ථ පියවර ක්‍රියාත්මක විය යුතු ය.

අකාලයේ රැකියාවකට නැවත පැමිනීම සඳහා සංගත හා ධවල මන්දිරය විසින් කරන ලද ඉල්ලීම කම්කරු පන්තිය තුල පුලුල් විරෝධයක් ඇති කරනු ඇත. කම්කරුවන් ආරක්ෂිත සේවා කොන්දේසි ලබාදීම හා අත්‍යවශ්‍ය නො වන ව්‍යාපාර අඛන්ඩව වසා දැමීම ඉල්ලා සිටිය යුතු ය.

වසංගතයට අවසාන වශයෙන් වගකිව යුතු ධනේශ්වර පද්ධතිය අවසන් කිරීම හා එය වෙනුවට සමාජවාදය ආදේශ කිරීම සඳහා වන අරගලයෙන් කම්කරුවන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව හා ආර්ථික සුරක්ෂිතභාවය සඳහා වන අරගලය වෙන් කල නො හැකි ය.

Loading