මහ මැතිවරනය කඩිනමින් පැවැත්වීමට ජනාධිපති රාජපක්ෂ තදියම් වන්නේ ඇයි?

ශ්‍රී ලංකාව තුල ද ගෝලීයව ද කොරෝනා වෛරස් වසංගතය මාරාන්තික ලෙස නැගීම නො තකමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටෙහි මහ මැතිවරනය පැවැත්වීමේ කැත තදියමක් පෙන්නුම් කර තිබේ. රාජපක්ෂගේ හා ඔහුගේ භාරකාර කැබිනට්ටුවේ පීඩනය මධ්‍යයේ, මැතිවරන කොමසාරිස්වරයා (මැකො) මැතිවරන දිනය ජුනි 20 ලෙස නිවේදනය කර ඇත.

කලින් මැතිවරනයක් පැවැත්වීම සඳහා රාජපක්ෂ බල කරමින් සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි ඔහුගේ ලැදියාවක් නිසා යයි, අතීතයේ හා වර්තමානයේ ඔහුගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් දන්නා කිසිවෙකුටත් අංශු මාත්‍ර හෝ සැකයක් පවතින්නට ඉඩක් නැත. 

තම විධායක බලතල යොදාගෙන පාර්ලිමේන්තු ධුර කාලය අවසන් වීමට මාස හයකට පෙර මාර්තු 2දා පාර්ලිමේන්තුව විසිරවූ රාජපක්ෂ, අප්‍රේල් 25දා මහ මැතිවරනය පවත්වන බව නිවේදනය කලේ ය. ඒ අනුව, නාම යෝජනා දිනය මාර්තු 19  ලෙස නියම කෙරුනි. එහෙත්, මැකො මැතිවරනය දින නියමයකින් තොර ව කල් දමනු ලැබුව ද පීඩනය යටතේ එය අලුතින් දිනයක් නිවේදනය කර ඇත.

නාම යෝජනා භාරගන්නා තෙක් ම වෛරසය පැතිරීම වැලැක්වීමේ පියවරක් ලෙස රට අගුලු දැමීම රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කලේ ය. එහෙත්, ඔහු ඊලඟ දිනයේ ම රට පුරා අගුලු දැමීමක් ප්‍රකාශයට පත්කලේ ය. විටින්විට සමහර ප්‍රදේශවල පමනක් එය ලිහිල් කෙරුනි.

වේලාසනින් මැතිවරනය පැවැත්වීමේ දී රාජපක්ෂට ඇත්තේ නග්න ප්‍රතිගාමී ඉලක්කයකි.

පසුගිය නොවැම්බරයේ ඔහු තේරී පත්වූ තැන් පටන්, 19වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුලු ඔහුගේ විධායක බලතල සීමා කරන ව්‍යවස්ථාමය බාධක අහෝසි කිරීමට, තුනෙන් දෙකක බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව රාජපක්ෂ යලි යලිත් ප්‍රකාශ කරන්නේ ආඥාදායක බලතල අත්පත් කර ගැනීමටය.

ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ උත්සුකය වූයේ, පන්ති අරගලයේ ජාත්‍යන්තර පුනර්ජීවනයෙහි කොටසක් ලෙස, දරුනු කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව ලංකාව තුල කම්කරුවන්ගේ අරගල නැගී ඒමයි. මහජනතාවගේ සමාජ විරෝධයට මුහුන පෑ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ නින්දිත ලෙස බලයෙන් ඇද වැටුනි.

මෙම විරෝධය ගසාකෑම පිනිස සමාජ අර්බුදය අවසන් කරන බවට ව්‍යාජ පොරොන්දු දුන් රාජපක්ෂ, අනෙක් අතින්, කෑදර මහ ව්‍යාපාරිකයන්ට “ශක්තිමත් හා ස්ථාවර පාලනයක්” ඇතිකරීම ව ප්‍රතිඥා දී බලයට පැමිනියේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසින් පිටුබලය දෙනු ලැබූ ඔහුගේ මැතිවරන උද්ඝෝෂනය, මිලිටරියට හා පට්ට සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම්වලට ආයාචනා කිරීම මත පදනම් වුනි.

බලය ලබාගත් තැන් සිට, ඔහු පෙර නුවූ විරූ ලෙස රාජ්‍ය පරිපාලනයෙහි මූලික තනතුරු විශ්‍රාමික මිලිටරි නිලධාරීන්ගෙන් පිරවී ය. එ්වා අතරට, ආරක්ෂක අමාත්‍යාංශයේ, වරාය අධිකාරියේ සහ රේගුවේ ඉහලම නිලයන් ද බස්නාහිර පලාත් ආන්ඩුකාර ධුරය ද ඇතුලත් වේ.

ජනාධිපතිවරයා, මිලිටරිකරනය පලල් කිරීම පිනිස මාරාන්තික වෛරසය යොදාගනිමින් සිටී. කොරෝනා වෛරසය වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස ඔහු පත්කලේ, වෛද්‍ය විශේෂඥයෙකු හෝ විද්‍යාඥයෙකු නො ව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ය. වෛරසය ආසාදනය වූවන් සෙවීමට, හොඳින් පුහුනුව ලත් වෛද්‍ය කාර්ය මන්ඩලය යොදවනු වෙනුවට මිලිටරි බුද්ධි අංශය හා පොලිස් කොමාන්ඩෝ භටයන් යොදා ඇත.

ඉහල පිරිවැය ගැන සඳහන් කරමින් මහා පරිමාන පරීක්ෂන පැවැත්වීම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. වසංගතයට හා අනෙකුත් හදිසි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට හැකි වන පරිදි, මනාව උපකරන  වලින් සපිරි රෝහල් සංවර්ධනය කිරීම සඳහා ඔහු කිසිදු සැලකිය යුතු අරමුදලක් වෙන් කලේ නැත.

ඉහල යන කොරෝනා වෛරස් තර්ජන මධ්‍යයේ මහ මැතිවරනය පැවැත්වීමට ස්වාධීන වෛද්‍ය විශේෂඥයන් විරෝධය දක්වා තිබේ. ආන්ඩුවේ පීඩනය හා දඩයමට ලක්වෙතැයි බිය හේතුවෙන් බොහෝ දෙනා විවෘත ව කතානොකරති.

ගෝලීය ඒඩ්ස් වැඩසටහනේ හිටපු දකුනු ආසියානු කලමනාකාර වෛද්‍ය ප්‍රසන්න කුරේ, ද හින්දු පුවත්පතට මෙසේ කීවේ ය: “මේ වෙලාවේ මැතිවරනයක් ගැන සිතීම පවා විකාර සහගත ය. ආසාදනයන් පැතිරීම නවතින්නේ කවදාදැයි අපට පුරෝකථනය කල හැක්කේ කෙසේ ද?”

වෛරස් වසංගතය පිලිබඳ ආන්ඩුවේ සෑම ක්‍රියාවක් ම තීන්දු කරනු ලැබ ඇත්තේ, වේල පිරිමසා ගැනීම මත මිස විද්‍යාත්මක පදනමක් මත නො වේ. ඡන්ද ගරා ගැනීමට මහජනයාට බලපෑම් කිරීමට හා පාර්ලිමේන්තු බහුතරය දිනාගැනීම පිනිස ඡන්දය පැවැත්වීමට, රාජපක්ෂ ඔහුගේත් භාරකාර කැබිනට්ටුවේත් රාජ්‍ය බලය යොදාගැනීමට නියමිත ය.

ගෝලීය වසංගතය, 1930 ගනන්වල මහා අවපාතයෙන් මෙපිට ධනේශ්වර ආර්ථිකයේ විශාලතම අවපාතය කරා මග පාදමින් තිබේ. ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික ගැටලුවලට මුහුන දෙනු ඇත. ලෝක බැංකුවට අනුව, මේ වසර තුල දකුනු ආසියාව සමස්තයක් ලෙස සියයට 1.8 සිට 2.8 දක්වා පහල ආර්ථික වර්ධනයක් අත්දකිනු ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3 කින් හැකිලෙද්දී ය.

කම්කරුවන්ට “ආපසු වැඩට යාමට” විධානය කරමින් “ආර්ථිකය යලි විවෘත කිරීමට” ආන්ඩුව තීරනය කර ඇත. ඉන්දියාවේ හා ලංකාවේ අධිරාජ්‍ය ගැත්තන් අනුගමනය කරමින් සිටින්නේ, එක්සත් ජනපදයේ හා යුරෝපයේ ධනේශ්වර කේන්ද්‍රස්ථානවල සිය හාම්පුතුන් ය. එහෙත්, කම්කරුවන් මුහුන දෙමින් සිටින්නේ රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් හා අනෙකුත් සොච්චම් ප්‍රතිලාභ බරපතල ලෙස කප්පාදු කිරීමකට ය. 

දැනට මත් අනියම් කම්කරුවන් නෙරපා ඇති ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශය, ස්ථිර කාර්ය මන්ඩලය අවම වසයෙන් සියයට 30 කින් වත් කප්පාදු කිරීම නිවේදනය කර තිබේ. නිදහස් වෙලඳ කලාප පහලොවක් හා අනෙකුත් කර්මාන්තශාලා පසුගිය සතියේ ආපසු වැඩට කැඳවා ඇත්තේ ඒවායේ ශ්‍රම බලකායෙන් සියයට 20 ක් පමනි.

මෙම විෂඝෝර “නව සාමාන්‍යය” පැටවීමට රාජපක්ෂ උත්සාහ කරන්නේ කෙසේ ද? අප්‍රේල් 20දා (සඳුදා) පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කලේ ඇඳිරි නීතිය හා අගුලු දැමීම ඉවත් කොට “යුද්ධය සමයේ” වැනි තත්ත්වයක ඇති කරන බවයි.  

ඔහු මෙසේ ප්‍රකාශ කලේය: “පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ කොටසක් යොදවනවා විශේෂයෙන්ම කොලඹ දිස්ත්‍රික්කයේ මේ කාර්යය පාලනය කරගන්නට. පසුගිය කාලයේ ඒ අය සෑම තැනකම විසිරිලා හිටියා. නමුත් මම ආරක්ෂක ලේකම්තුමාට දැනුම් දුන්නා මේ ප්‍රදේශය යුද කාලයේ තිබුනා වගේ පාලනයක් ඇතිකරලා විනයක් ඇතුව හික්මීමක් ඇතුව අනවශ්‍ය ගමන් යන්නේ නැතුව මේ කාලය තුල මේ ප්‍රදේශය පාලනය කරන්නට.”

ඒ අනුව, ආන්ඩුව සූදානම් වන්නේ, කම්කරුවන් මත කඩාපැනීමට මිලිටරිය විශාල ලෙස බලමුලුගැන්වීමට යි. ගිනියම් වන ආර්ථික  අර්බුදය පැටවීමට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර සමාජ අතෘප්තිය පුපුරා ඒමට පෙර  මැතිවරනය පැවැත්වීම රාජපක්ෂට අවශ්‍ය ය.

ආන්ඩුව කම්කරු පන්තියට එරෙහි සෑම ආයුධයක් ම තියුනු කරමින් සිටී. දෙමල-විරෝධී උද්ඝෝෂනය සමගින් මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් ද එය විසින් අවුලුවමින් සිටින්නේ එබැවිනි. 1948 පටන් කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට දශක ගනනක් තිස්සේ යොදාගත් ආයුධය මෙය යි. 1983 දී රට විනාශ මුඛයට ඇද හෙලමින් එය රුදුරු යුද්ධයක් ලෙස කූටප්‍රාප්ත විය.

පලමුව, සියලු ම මාධ්‍ය ප්‍රචාරන යන්ත්‍රනයන්වල පාහේ පිටුබලය සහිත ව, ආන්ඩුව දකුනු කොරියාවේ හා ඉතාලියේ සිට ආපසු පැමිනි කම්කරුවන්ට වසංගතය පිලිබඳ ව චෝදනා කලේ ය. ඉන්පසු එය, වෛරසය පැතිර යාමට මුස්ලිම්වරු වගකිව යුතු ය යන වනචර උද්ඝෝෂනය ඇරඹී ය.

මෙම වර්ධනයන් මධ්‍යයේ, ඊනියා විරුද්ධ පක්ෂවල භූමිකාව කුමක් ද? සර්ව-පාක්ෂික සමුලුවක් සඳහා ආන්ඩුවට ආයාචනා කල පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශව නියෝජනය කරන පක්ෂ, අගමැතිවරයා විසින් කැඳවූ රැස්වීමකට රොක් වූ හ.

එක්සත් ජාතික පක්ෂය (එජාප), ඉන් බිඳී ගිය සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන, දෙමල ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුලු මුස්ලිම් පක්ෂ සහ දේශපාලන පක්ෂ ලෙස ද ක්‍රියාකරන  වන වතු වෘත්තීය සමිති ඒවා අතරට අයත් විය.

ඔවුන් එහි දී කලේ කුමක් ද? ආන්ඩුවේ පිලිවෙත් හා මිලිටරිය උත්කර්ෂයට නැංවූ ඔවුන්, අවශ්‍ය ඕනෑම සහයෝගයක් දීමට පොරොන්දු විය. ආන්ඩුවේ “අඩුපාඩුකම්” සාකච්ඡා කිරීමට ද ඔවුන් අමතක කලේ නැත. මේ මගින් ඔවුන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියා දිරිමත් කිරීම පමනි. මැතිවරනය සඳහා දින නියම කිරීමෙන් පසුව, “පාර්ලිමේන්තුව යලි කැඳවනු” යයි මෙම විරුද්ධ පක්ෂ උද්ඝෝෂනයක් දියත් කර තිබේ: 

කම්කරුවන් ගේ හා දුගීන් ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් ඔවුන් කනස්සලු වන්නේ නැත. නැවත කැඳවන පාර්ලිමේන්තුවක දී “වසංගතයට එරෙහි ව සටන් වැදීමේ” නාමයෙන් විවිධ නීති සම්මත කරගැනිමට මෙම අපකීර්තිමත් පක්ෂ ආන්ඩුවට උදවු දෙනු ඇත.

පාර්ලිමේන්තුවේ හිටපු කතානායක හා පලපුරුදු එජාප නායකයෙක් වන කරූ ජයසූරිය, අර්බුදය වැලැක්විම සඳහා එකමුතු වන ලෙස දේශපාලන පක්ෂ උනන්දු කලේ ය. “ආන්ඩුව, විපක්ෂය හා අනෙකුත් පාර්ශව ඔවුන්ගේ දේශපාලන වෙනස්කම් පසෙක තබා, අනවශ්‍ය තුන්වන අර්බුදයකට අපේ රට මුහුන දීමෙන් වැලැක්වීමට හදිසි හා අර්ථවත් පියවරයන් ගත යුතු” යි ඔහු ආයාචනා කලේ ය.

ඔහු “තුන්වන අර්බුදය” විස්තාරනය නො කලත්, පාලක ප්‍රභූවේ අර්බුදය තීව්‍ර කල හැකි කම්කරු පන්තියේ රැඩිකලීකරනය පිලිබඳ ව පාලක ප්‍රභූව උත්සුක ය. ආන්ඩුව සමග සුලුසුලු උපායික වෙනස්කම් පමනක් තිබෙන මේ සියලු පක්ෂ, ඔවුන්ගේ පොදු හතුරා වන කම්කරු පන්තියට එරෙහි ව එකමුතු වීමට සූදානම් ය.

කොවිඩ්-19ට එරෙහි ව සටන් කිරීම සඳහා පසුගිය මාසයේ අග ලිපියක් ලියමින් ආන්ඩුවට “සහයෝගය” පුදකල ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්, පාලක පන්තියේ පක්ෂවල හා ඔවුනගේ ආවතේවකරුවන්ගේ දක්ෂිනාංශික හැරීම ප්‍රදර්ශනය කලේ ය.

අනෙක් ධනේශ්වර හා ව්‍යාජ-වාම පක්ෂවලට අත්‍යන්තයෙන් විරුද්ධ ව, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත මේ මැතිවරනයට තරඟ වදින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. අපගේ ක්‍රියාමාර්ගය ලෙස “යුද්ධයට, සමාජ ව්‍යසනයට හා ආඥාදායකත්වයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වදිනු”  නමැති සංගෘහිත ප්‍රකාශයක් අපි මාර්තු 21දා නිකුත් කලෙමු.

ගෝලීය කොවිඩ්-19 ව්‍යසනය මෙම අරගලය තීව්‍ර කිරීමේ අවශ්‍යතාව සනාථ කර ඇත.

අප්‍රේල් 18 දා නිකුත් කල ප්‍රකාශයක් තුල “අනාරක්ෂිත වසංගත කොන්දේසි යටතේ ආපසු වැඩට යාමට විරුද්ධ වනු! රැකියා විනාශය එපා!” යනුවෙන් අපේ පක්ෂය කැඳවුම් කලේය.

වසංගත ව්‍යසනය ගෝලීය ධනේශ්වර පද්ධතියේ අසමර්ථතාව පෙන්නුම් කර ඇත. එම පද්ධතිය පෙරලා දමා, මානව වර්ගයාට ප්‍රගතිශීලී අනාගතයක් සම්පාදනය කරන තාර්කික පද්ධතියකින් -ලෝක සමාජවාදී පද්ධතියෙන්- එය විස්ථාපනය කල යුතු ය.

අපේ පක්ෂයේ අරගලයට සහයෝගය දෙන ලෙසත්, හජාජාක හා සසප ඉතිහාසය හා ක්‍රියාමාර්ගය අධ්‍යයනය කරන ලෙසත්, අපි ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන්ට කැඳවුම් කරමු. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (wsws.org) පාඨකයෙකු වන්න. විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම සඳහා සසපට බැඳෙන්න.

Loading