ඉදිරිදර්ශන

ධවල මන්දිරයේ රස්පුටින්

මෙම ලිපිය අප්‍රේල් 25 ඉංග්‍රීසි බසින් පලවිය.

ඉක්මනින් “ආපසු වැඩට යාමක්” සඳහා ට්‍රම්ප් ඉදිරිපත් කරන මන්ද බුද්ධික හා විද්‍යා-විරෝධී සාධාරනීකරනය කිරීම් වෛද්‍ය විශේෂඥයන් විසින් ඛන්ඩනය කරද්දී, රෞද්‍ර ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ලොමු දැහැගන්වන අඥානකම ප්‍රදර්ශනය කරන්නා වූ හා ගොඩ වෙදකම් ප්‍රවර්ධනය කරන්නා වූ ධවල මන්දිරයේ දිනපතා පැවැත්වෙන මාධ්‍ය රැස්වීම්, කොරෝනා වෛරස් වසංගතයේ පුපුරා යාමේ තැන් පටන් ලෝකයට හුරුපුරුදු වී ඇත. 

ජනාධිපතිවරයාගේ උපදේශයට ඇහුම්කන් දීමට තරම් අවාසනාවන්ත වන තැනැත්තන් ව මරා දැමීමට හේතු වනු ඇති පියවරයන් වන, විෂබීජ නාශක එන්නත් කරගන්නා ලෙස හා පාරජම්බුල කිරන ශරීරයට ඇතුලු කරගන්නා ලෙස ජනාධිපතිවරයා ඇමරිකානුවන් ව පෙලඹවූ බ්‍රහස්පතින්දා, ට්‍රම්ප්ගේ රඟදැක්වීම සදහා ශ්‍රාවකත්වයක් සූදානම් කරගැනීමට මෙම දෛනික සංදර්ශනයන් සමත් වූයේ නැත.

ට්‍රම්ප් මෙසේ ඉදිරියට ගියේ ය: “පාරජම්බුල කිරන වේවා වඩා බලගතු ආලෝකයක් වේවා, විශාල කිරනයකින් ශරීරයට පහර දීම යෝජනා කරන අතර ම, පරීක්ෂනය හේතුවෙන් එය අවේක්ෂනය කර නැති බවයි මං හිතන්නේ. හම හරහා හෝ යම් වෙනත් ක්‍රමයකින් ආලෝකය ශරීරය තුලට ගෙනැවිත් එය පරීක්ෂා කිරීමට ඔබ සූදානම් වන බව මගේ සැලකිල්ලට ලක්වෙනවා.”

මෙම ප්‍රකාශයන් විශ්මයට පත් වෛද්‍ය වෘත්තිකයන් වෙතින් හෙලාදැකීම් ඝෝෂාවක් අවුලුවාලී ය. “කිසිදු හේතුවක් නිසා අපගේ විෂබීජ නාශක මනුෂ්‍ය ශරීරය තුලට ඇතුලු නො කල යුතු බව අපි නිසැක ව ම දැනගත යුතු” බව සඳහන් කරන ප්‍රකාශයක් නිකුත් කරමින්, ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා ව දෝෂාරෝපනයට ලක්කිරීමට ලයිසෝල් විෂබීජ නාශකය නිෂ්පාදනය කරන්නාට බල කෙරුනි.

තමන්ගේ “ධෛර්යය සම්පන්න” සහජ ඥානය වසංගතය අප්‍රේල් මාසයේ අවසන් වනු ඇති බව, එය උන රෝගයට වඩා නරක නැති බව සහ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් නමැති ඖෂධය භාවිතා කිරීම   මරන සංඛ්‍යාව ඉහල දැමීමට හේතු වනු ඇතැයි එෆ්ඩීඒහි අනතුරු ඇඟවීම් නො තකා, ජනාධිපතිවරයාගේ නිර්දේශයෙන් ලාබ ගැරීමේ අපේක්ෂාවෙන් පසු වූ මිත්‍රයෙක් විසින් නිපදවන එම ඖෂධයට වෛරසය සුවපත් කල හැකි බව, ට්‍රම්ප් මෑත සති කිහිපයේ දී  ප්‍රකාශ කොට තිබේ.

මෙම ප්‍රකාශයන් ට්‍රම්ප්ගේ ම විශ්මයජනක පසුගාමීත්වය හා මානව ජීවිත කෙරෙහි ඔහුගේ කඨෝර නො තැකීම පිලිබිඹු කරන බව පහසුවෙන් ම පෙන්විය හැකි ය.

එහෙත් විස්තර කිරීමට ඉතිරි වන දෙය වන්නේ, මෙම හාස්‍යජනක උන්මත්තකයා ධවල මන්දිරය අරක් ගැනීමට පැමිනියේ කෙසේ ද යන්න හා ඇමරිකානු දේශපාලන පද්ධතියේ තත්ත්වය පිලිබඳ ව ඔහුගේ ජුගුප්සාජනක ජනාධිපති ධුරය හෙලිදරවු කරන්නේ කුමක් ද යන්න යි.

ඉතිහාසය තුල නිරන්තරයෙන් නිරීක්ෂනය කර ඇති ලෙස, විනාශයට නියමිත දේශපාලන පද්ධතියක ලක්ෂනයක් වන්නේ, තුච්ඡ හා දූෂිත පවා වන පෞරුෂයක්, බහුල වසයෙන් සිදුවන පරිදි පාලකයාගේ මූලික උපදේශකයෙකු ලෙස, රාජ්‍යයේ ඉහල තානාන්තරයක් කරා ආරෝහනය කිරීම යි. එවැනි පුද්ගලයන් නිරන්තරයෙන් මහජනයාගේ දැඩි කෝපයෙහි නාභිය බවට පත් වේ.

විසිවන ශතවර්ෂයේ එවන් පෞරුෂත්වයකට වඩාත් ම කුප්‍රකට උදාහරනයන්ගෙන් එක් අයෙක් වන්නේ, දෙවන නිකොලස් රුසියානු සාර් රජ හා ඔහුගේ බිරිඳ වූ ඇලෙක්සැන්ඩ්‍රා මත යෝධ ආනුභාවයක් දැරූ “පිස්සු පූජකයා” වන ග්‍රිගෝරි රස්පුටින් ය. අශ්ව හොරෙක් හා ස්ත්‍රී දූෂකයෙක් වූ රස්පුටින්, රාජකීය යුවලගේ විශ්වාසවන්ත හා නැතිව ම බැරි උපදේශකයා බවට පත්වූයේ, පාර්ශවීය වසයෙන්, රක්තවාතයෙන් පෙලුනු  ඔවුන්ගේ පුත්‍රයාට ආගමික මැතිරීම්, භූතයන් වශීකරනය හා ඔහුගේ ම ත්‍රාසජනක රවා බැලීම් යන ඒවායේ සංයෝජනයක් මගින් ප්‍රතිකාර කල හැකි ය යන කියාපෑම හේතුවෙනි. සාර් හා සාරිනා ඔවුන්ගේ දූෂිත හා සල්ලාල “මිත්‍රයාගේ” උපදෙස් රහිත ව කිසිදු මූලික තීන්දුවක් ගත්තේ නැත.

රස්පුටින් දරා සිටි ආනුභාවය පාලන තන්ත්‍රය විනාශය කරා මෙහෙයවමින් සිටී යයි බියට පත් වූ අතෘප්තිමත් වංශාධිපතීන් කන්ඩායමක්, 1916 දෙසැම්බරයේ දී “මිත්‍රයාගේ” බිහිසුනු ඝාතනය සිදුකලේ ය. මාස දෙකකට පසුව ඇරඹුනු විප්ලවය වැලැක්වීමට ඔවුන්ගේ ක්‍රියාව අසමත් විය. 

නින්දිත මට්ටමක රාජ්‍ය දූෂනය හා පරිහානිය අර්ථවත් කරන වචනයක් ලෙස, දේශපාලන වාග්කෝෂයට “රස්පුටින්වාදය” ඇතුලු විය. අර්බුද-ග්‍රස්ත රුසියානු ආඥාදායකත්වයේ අවසන් අවුරුදුවල සිදු වූ මෙම අභූතරූපී සිද්ධිය, “රටට ඉහලින් ලඹ දෙන පිලිකුල් සහගත දුස්ස්වප්නයක ස්වරූපය අත් කරගත්” බව සඳහන් කරමින්, රුසියානු විප්ලවයේ ඉතිහාසය තුල ලියොන් ට්‍රොට්ස්කි මෙය යලි මතකයට නැංවී ය.

ට්‍රොට්ස්කි තවදුරටත් මෙසේ සඳහන් කලේ ය: “පාදඩකම යන වචනයෙන් අප සමාජයේ පතුලේ සිටින සමාජ-විරෝධී පරපෝෂිත අවයව අවබෝධ කරගන්නේ නම්, රස්පුටින්වාදය යනු ඉහලින් ම ඔටුනු පලන්දන ලද පාදඩකමක් ලෙස අපට අර්ථ දැක්විය හැක.”

මූලික ස්වරූපයෙන් ශතවර්ෂයකට පසු, එක්සත් ජනපදය තුල රස්පුටින්වාදයේ රූපාකාරයක් ඉස්මතු වී ඇත. එහෙත් ඇමරිකානු රස්පුටින් යනු ජනාධිපතිවරයාගේ උපදේශකයා නො වේ. ඔහු වනාහි, තාර්කික විතර්කනයක් පසෙක තිබියේවා, ඥානාන්විත වාක්‍යයක් සූත්‍රගත කිරීමට අසමත්, ජුගුප්සාජනක වංචාකාරයෙක් හා සමාජීය ව පිරිහුනු, ඇමරිකානු රාජ්‍යයේ මුදුනේ පිහිටා සිටින ජනාධිපතිවරයා ය.

ට්‍රම්ප් මූර්තිමත් කරන්නේ, අපරාධකාරීත්වයෙන් වෙන්කර හඳුනාගැනීම අසීරු මට්ටමක පරපෝෂිත භාවයක් මත පදනම් වන ධනයට හිමිකම් කියන කතිපයාධිකාරයකි. ඔහුගේ මැරකම, සංස්කෘතික පසුගාමීත්වය හා සාමාන්‍ය ජනයා කෙරෙහි දක්වන අවඥාව මූර්තිමත් කරන්නේ, දේශපාලන පක්ෂ දෙක ම හා ආන්ඩුවේ ශාඛා තුන ම ධාවනය කරන බැංකුකරුවන්ගේ, බිලියනපති ආයෝජකයන්ගේ, කෑදර ධනපතීන්ගේ, ව්‍යාජ අරමුදල් කලමනාකරුවන්ගේ, වත්කම් පැහැර ගන්නන්ගේ, දේපොල වෙලඳාම් වංචාකරුවන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ සමූහයන්හි ආකල්ප හා භාවිතාවන් ය.

රුධිර නාලිකා තුලට විරංජන කුඩු එන්නත් කර ගන්නා ලෙස මහජනයාට කියන පුද්ගලයෙකුගේ අත්වල ආන්ඩුව තිබෙද්දී, එක්සත් ජනපදය වර්තමානයේ සමාන්තර පරිමානයන් රහිත අර්බුදයක් මධ්‍යයේ තමන් සිටින බව සොයාගනී.

ඓතිහාසික නැගීමේ කාලපරිච්ඡේදයේ දී, ප්‍රජාතාන්ත්‍රික ආචාර ධර්ම මූර්තිමත් කල හා සිවිල් යුද්ධය තුල රට මෙහෙයවූ ඒබ්‍රහම් ලින්කන් නිෂ්පාදනය කිරීමට ඇමරිකානු ධනේශ්වරයට හැකි විය. ඊලඟ මහා අර්බුදයේ දී, එනම් මහා අවපාතය සමයේ, “[රුස්වෙල්ට්]එෆ්ඩීආර්” ඔහුගේ “නිවසේ පිලිසඳරවල දී” කල පරිදි, සමාජ ප්‍රශ්නවලට ගැඹුරින් ආමන්ත්‍රනය කිරීමට හා පලල් මහජනයාගේ ප්‍රජාතාන්ත්‍රික මනෝගතීන්ට ආයාචනා කිරීමට තවමත් සමත් වූ පාලක පන්තිය හෝ අඩු වසයෙන් ඉන් කොටසක් ෆ්‍රැන්ක්ලින් ඩිලානෝ රූස්වෙල්ට් බිහිකලේ ය.

අද දින, එනම් එක්සත් ජනපදයේ ආර්ථික ඛාදනයේ දශක ගනනක් ගත වූ තැන, රටෙහි ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට පාලක පන්තිය ඇතුලත පවතින සියලු පදනම් ඉවත් කර දමා ඇත. ට්‍රම්ප්ගේ පුද්ගලාරෝපනය තුල ඇමරිකානු ධනවාදය එහි පරමාදර්ශය සොයාගනී. මෙහි අර්ථය වන්නේ, සියලු ඇමරිකානු ධනපතියන් ඔවුන් පෙනෙන පරිදි වනවා යන්න නො වේ. එහෙත් කැඩපත දෙස බැලීම සැමවිට ම දැකුම්කලු අත්දැකීමක් නො වේ. අවසාන විග්‍රහයේ දී, ට්‍රම්ප් “ඔවුන්ගේ මිනිසා” ය. ඔහු සිටින පරිද්දෙන් ඔවුන් ඔහු ව ගත යුතු ය.

සත්‍යය පැවසිය යුතු නම්, ධවල මන්දිරය තුල විද්‍යාවේ හා ඉහල සංස්කෘතියේ මිනිසෙක් සිටීම වෝල් වීදියට අවශ්‍ය වීමේ ප්‍රයෝජනය කුමක් ද?  බැංකු හා සංගතවල අවශ්‍යතාවන්ට, වසංගතයට විද්‍යාත්මක ව නීර්නය කෙරුනු ප්‍රවිෂ්ටයක් ගැනීම සේවය නො කරයි. කම්හල් යලි විවෘත කරනු ලැබිය යුතු ය. කම්කරු පන්තියෙන් ලාබ මිරිකාගත යුතු ය. මාසික උකස්, බදු කුලී හා පොලී ගෙවීම් කල යුතු අතර, ඒවාට මුදල් සොයාගත යුතු ය. වසංගතයේ වර්තමාන හා දෙවන රැල්ල මගින් ඉදිරියට දමන අන්තරාය පිලිබඳ ව,  වෛද්‍ය ඇන්තනී ෆවුසි හා ඔහු සමග වැඩකරන වසංගත විද්‍යාඥයන් හා ඔවුන්ගේ නිමක් නැති විලාපයන්ට, සංගත ඇමරිකාවේ විලි ලජ්ජා නැතිකම මුනගැසේ.

විෂබීජ නාශක එන්නත් කරගැනීම හා “ශරීරය ඇතුලට” පාරජම්බුල කිරන භාවිතා කරන ලෙස ට්‍රම්ප් කල ප්‍රකාශයෙන් පැය 24ක් ඇතුලත, වෛරසය හේතුවෙන් එක්සත් ජනපදයේ පුද්ගලයන් පනස් දහසක් මියගිය හ. ප්‍රාන්ත කිහිපයක් හැල්මේ පෙරලා වැඩ පටන් ගනිද්දී, ජාතික පරිමාන ව නව ආසාදනයන්ගේ වාර්තාගත දිනය ලෙස අප්‍රේල් 23 මුලුමනින් ම පාහේ පත් විය. අප්‍රිකාවේ, ආසියාවේ හා ලතින් ඇමරිකාවේ ජීවිත මිලියන සිය ගනනක් බිලිගැනීමට තර්ජනය කරන සාගතයන් සඳහා එක්සත් ජාතීන් සූදානම් වෙමින් සිටී.

ට්‍රම්ප් ඔහුගේ යුරෝපීය හා ලොව පුරා සහචරයන්ට වඩා ඍජු ව එය කියා සිටියත්, එක්සත් ජනපද ජනාධිපතිවරයා පිලිබිඹු කරන්නේ සමස්ත ගෝලීය පාලක ප්‍රභූවේ දෘෂ්ටි ආස්ථානය යි.

ජර්මනියේ ඇන්ජලා මර්කෙල් කම්කරු පන්තිය ආපසු ඔවුන්ගේ රැකියා කරා යැවීම මගින් රට යලි විවෘත කරන්නේ, එය මරනවල නව රැල්ලකට හේතුවේ ය යන සාක්ෂි නො තකා ය. ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය, ප්‍රන්සය හා අන් සෑම තැනක් සම්බන්ධයෙන් ම එය සත්‍ය වේ. තම තමන්ගේ ජනයා ව දෙවියන් විසින් වෛරසයෙන් ආරක්ෂා කරගනු ඇතැයි කියා තිබෙන බ්‍රසීලයේ දක්ෂිනාංශික බොල්සොනාරෝගේ හා මෙක්සිකෝවේ ප්‍රදර්ශනශීලී වාමාංශික අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රදෝර්ගේ ප්‍රතිචාරය තුල, ලතින් ඇමරිකානු පාලක පන්තියේ ආස්ථානය සම්පින්ඩනය කරනු ලැබේ.

සමාජවාදී පිලිවෙත්වල පදනම මත සමාජය තාර්කික ව හා ප්‍රජාතාන්ත්‍රික ව මෙහෙයවන ලද්දේ නම්, ගෝලීය ව සැලසුම්ගත හා විද්‍යාත්මක ව මෙහෙයවෙන මහා පරිමාන මැදිහත්වීමක් කර, වසංගතය හසුකරගෙන ජීවිත මිලියන ගනනක් බේරාගත හැකි වනු ඇත. වසංගතය ජීවවිද්‍යාත්මක යතාර්ථයක් වන නමුත්, එම ප්‍රපංචයට දක්වන ප්‍රතිචාරය නීර්නය කරනු ලබන්නේ, සමාජය  මත ආධිපත්‍යය දරන පන්ති අවශ්‍යතා විසිනි. වෛරසයේ ආර්එන්ඒ අනුවට වඩා එහි මාරාන්තික භාවය නීර්නය කරනු ලබන්නේ, ධනපති පන්තියේ ආර්ථික හා සමාජීය ප්‍රමුඛතාවන් විසිනි.

අවසාන විග්‍රහයේ දී, වසංගතයට එරෙහි සටන, කම්කරු පන්තිය වෙතට දේශපාලන බලය මාරුකිරීම හා සමාජවාදය ස්ථාපනය කිරීම සඳහා වන සටන සමග නො වෙන් කල හැකි ලෙස බැඳී තිබේ

Loading