ඉදිරිදර්ශන

ට්‍රම්ප් එක්සත් ජනපදයට කෙරෙන සියලු සංක්‍රමන නතර කිරීමේ සැලසුම නිවේදනය කරයි

මෙම ලිපිය අප්‍රේල් 22 දා ඉංග්‍රීසි බසින් පලවිය.

20දා රාත්‍රියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පනිවුඩයක් මගින් නිවේදනය කලේ, කොරෝනා වෛරසය හේතුවෙන් ආන්ඩුව, එක්සත් ජනපදයට කෙරෙන සංක්‍රමන නතර කරන බවයි. මෙය ඇමරිකානු ඉතිහාසයේ පූර්වාදර්ශයක් නොමැති පියවරකි.

මෙම නින්දිත පොලිස්-රාජ්‍ය පියවර, කොරෝනා වෛරසයට පාලක පන්තිය දක්වන ප්‍රතිචාරයේ සපරාධීත්වයෙන් අවධානය ඉවතට හැරීමට ට්‍රම්ප් පරිපාලනය දරන මංමුලා සහගත උත්සාහයකි.

ඩොලර් ට්‍රිලියන ගනනක සංගත ඇපදීම් හා කම්කරුවන් “නැවත වැඩට” දැක්කීමේ උමතු උත්සාහයන්ට මුලින් පලවූ අනතුරු ඇඟවීම් නො සලකා හැරීමේ සිට, නිල ප්‍රතිචාරයේ සෑම අංගයක්ම, මිනිස් පිරිවැය කුමක් වුවත් වෝල් වීදිය ආරක්ෂා කිරීමට හා සංගත ලාභ සහතික කිරීම වෙත යොමුව ඇත. එහි ප්‍රතිඵලය, ආර්ථික කඩාවැටීම හා මහා පරිමාන මරන ය. අද දිනය වාර්තාගත මාරාන්තික දිනවලින් එකක් වන අතර එක්සත් ජනපදය මුලු මරන 50,000 කරා ලඟා වෙමින් තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 අප්‍රියෙල් 20 වන සඳුදා ධවල මන්දිර මාධ්‍ය හමුවේ කථා කරයි. (ඒපී ඡායාරූපය / ඇලෙක්ස් බ්‍රැන්ඩන්)

සංක්‍රමන වලට දින 60 ක “විරාමයක්” දිය යුතු බවට කෙරෙන ට්‍රම්ප්ගේ යෝජනාවට සංක්‍රමන වීසා හා ස්ථිර පදිංචිය සඳහා වන සියලුම නීතිමය අයදුම්පත් ඇතුලත් වේ. විශාල කෘෂි ව්‍යාපාරවල ඉල්ලීම පරිදි කෙසේ වෙතත් එය, සංක්‍රමනික ගොවි කම්කරුවන්ගේ වීසා බලපත්‍ර ඉන් ඉවත් කරනු ඇත.

එවැනි පියවරක් මගින් රටේ සමාජ භූ දර්ශනය විශාල ලෙස වෙනස් කරනු ඇති අතර, සමාජ වැඩසටහන්, විරැකියා සහන හෝ යහපත් වැටුප් සහිත රැකියා සඳහා ප්‍රවේශ වීමට අවස්ථාවක් නොමැති පුද්ගලයින්ගේ ස්ථීර පහලම පන්තියක් ඵලදායී ලෙස ස්ථාපිත කෙරෙනු ඇත.

මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් මහා විරැකියාව, ආහාර පෝලිම් හා දරද්‍රතාවයේ අවිනිශ්චිත අනාගතයකට මුහුන දීම හමුවේ ට්‍රම්ප්ගේ ප්‍රකාශය, පාලක පන්තියේ ද්වි ද්වි පක්ෂ ප්‍රතිචාරයේ විනාශකාරී සමාජ ප්‍රතිවිපාක වෙනුවෙන් කම්කරු පන්තියේ වඩාත්ම පීඩිත කොටස් බිල්ලට දීමේ භයානක මෙන් ම දැනුවත් උත්සාහයකි.

සුපුරුදු පරිදි, ට්‍රම්ප් මහ රෑ වාචාල ට්වීටර් පනිවිඩයකින් නව ප්‍රතිපත්තිය නිවේදනය කලේ ය. එහි සියලු වාක්‍යම  පාහේ ආසන්න වශයෙන් බොහෝ බොරුවලින් පිරී ඇත. 

“අදෘශ්‍යමාන සතුරාගේ ප්‍රහාරය මෙන්ම අපගේ ශ්‍රේෂ්ට ඇමරිකානු පුරවැසියන්ගේ රැකියා ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, මම එක්සත් ජනපදයට සංක්‍රමනය වීම තාවකාලිකව අත්හිටුවීමේ විධායක නියෝගයකට අත්සන් තබමි.”

21දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අනුව, වෛද්‍ය සැපයුම් නොමැතිකම සම්බන්ධයෙන් සංක්‍රමනිකයන් වග කිව යුතු බව ට්‍රම්ප්  කියා සිටීම විකාරයකි. සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රමානවත් වෛද්‍ය සම්පත්, වාතාශ්‍ර හා ආරක්ෂක උපකරන ලබා දීමට ආන්ඩුවේ ඇති නොහැකියාව වෙනුවෙන් ඔවුන් බිල්ලට දෙයි. “ඇමරිකානු පුරවැසියන් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය සම්පත් සංරක්ෂනය සඳහා උපකාර කිරීමට” සංක්‍රමන තහනම් කිරීම අවශ්‍ය බව ට්‍රම්ප් කියා සිටියේ, පුරවැසියන් නො වන අය කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයකින් තොර ව මිය යා යුතු බව අඟවමිනි.

මෑත සතිවල දී මිලියන 22 ක ජනතාවක් විරැකියා සහන සඳහා ඉල්ලුම් කර තිබීම ගැන ට්‍රම්ප් සංක්‍රමනිකයින්ට දොස් පැවරුවේ, තම සංක්‍රමන තහනම “අප නැවත විවෘත කරන විට රැකියා විරහිත ඇමරිකානුවන්ට රැකියා සඳහා මුල් තැන දීමට උපකාර කිරීමට” යැයි පවසමිනි.

සේවාස්ථාන“නැවත විවෘත කිරීම” පිලිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශය, ඔහුගේ නිවේදනයේ එක් ක්ෂනික අරමුනක් හෙලිදරව් කරයි: ඒ, ට්‍රම්ප්ගේ යෝජිත ඉලක්කය වන මැයි 1වැනි දින ව්‍යාපාරික හා සේවා ස්ථාන විවෘත කිරීමේ පාලක පන්තියේ උත්සාහයන්ට එරෙහි සමාජ විරෝධය අවමංගත කිරීම හා මර්දනය කිරීමේ මෙවලමක් ලෙස, වාර්ගික හා ජාතික ස්වෝත්තමවාදය යොදා ගැනීමයි. 

ට්‍රම්ප්ගේ යෝජිත දිනයට පෙර ජෝර්ජියාව හා දකුනු කැරොලිනා ඇතුලු ප්‍රාන්ත කිහිපයක් අත්‍යවශ්‍ය නො වන ව්‍යාපාර ආරම්භ කිරීමට පටන් ගෙන ඇත්තේ, එවැනි පියවර තවත් දහස් ගනනකගේ මරනයට හේතු වනු ඇති බවට  වෛද්‍ය සාක්ෂි අතිවිශාල ප්‍රමානයක් තිබියදී ය.

එහෙත් වෝල් වීදිය ඉල්ලා සිටින්නේ, කිසිදු සීමාවක් නොමැතිව හා කොපමන සංඛ්‍යාවක් මිය යනු ඇත්ද යන්න පිලිබඳව කිසිදු අවධානයක් නොමැති ව, කම්කරු පන්තිය සූරාකෑමේ අයිතිය යි. දොට්ට දැමූ කම්කරුවන් මිලියන ගනනක් තවමත් ඔවුන්ගේ දිරිගැන්වීම් හා විරැකියා චෙක්පත් බලාපොරොත්තුවෙන් සිටින අතර, ද්විපාක්ෂික කෙයාස්  පනත යටතේ ඩොලර් ට්‍රිලියන ගනනක් එක රැයකින් බැංකු හා සංගත වෙත මාරු කරන ලදී.

සංගත ඇමරිකාව මිලියන ගනනක් "නැවත වැඩට" යැවීමට සූදානම් වනනේ, ඉදිරියේ දී වැඩි වැඩියෙන් සිදුවන මරන  සඳහා වන ඕනෑ ම වගකීමකින් නීතිමය ආරක්ෂාව සලසා ගනිමිනි.

සඳුදා ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ට්‍රම්ප් කියා සිටියේ, අසනීප වූ හෝ රැකියාවේ යෙදී සිටියදී මියයන කම්කරුවන් වෙනුවෙන් ගොනු කරන ලද නඩු වලින් සංගතවලට ආවරන ආරක්ෂාවක් ලබා දීමට තම පරිපාලනය සූදානම් බව යි: “අපි මේ සමාගම්වලින් වගකීම් ඉවත් කිරීමට  උත්සාහ කරමින් ඉන්නවා,” ට්‍රම්ප් පැවසී ය. "අපට හුදෙක් ඒක අවශ්‍ය  සමාගම් විවෘත කිරීම ඒ වගේ ම  බලගතු ලෙස විවෘත කිරීම අපිට අවශ්‍ය නිසාම නොවේ."

එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව අත්‍යවශ්‍ය නො වන වැඩවලට එරෙහිව කම්කරුවන් දැනටමත් වැඩවර්ජන හා විරෝධතා වල යෙදී සිටින තතු යටතේ, “නැවත වැඩට යාමේ” නියෝගය සමාජ පිපිරීම  ප්‍රේරනය කිරීමේ තර්ජනය මතු කරයි.

වොෂිංටන් පෝස්ට් අප්‍රේල් 19 වන දින පල කල ලිපියක සිය කනස්සල්ල පලකලේ මෙලෙස ය: “ලෝකයේ අඩකට වඩා වැඩි පිරිසක් යම් ආකාරයක බලහත්කාර සිරගත කිරීමක් යටතේ කල් ගතකිරීමත් සමග, දේශපාලන හා සමාජ නොසන්සුන්තාවයේ කැලඹීම්වලට  යොමුවී සිටිති. කොරෝනා වෛරස් වසංගතය මැඩලීමේ ගෝලීය වෑයමේ නව, විභව ලෙස කැලඹිලි සහිත අවධියකටයි. මේ වන විටත්, ආර්ථික ක්‍රියාකාරකම් බිඳවැටීම නිසා ඇති වූ විරෝධතා ලොව පුරා තැනින් තැන පුපුරා ගොස් ඇත. ”

ඒ අතරම, සංක්‍රමන පිලිබඳ ට්‍රම්ප්ගේ භීතියට පත් නිවේදනය අවධාරනය කරන්නේ, කොරෝනා වෛරස් අර්බුදය මධ්‍යයේ සමාජ විරුද්ධත්වය මැඩපවත්වා ගැනීම හා සංගත ලාභ පවත්වා ගැනීමේ  හොඳම ක්‍රමය පිලිබඳව පාලක පන්තිය තුල ඇති ගැඹුරු බෙදීම් ය.

නිවසේ රැඳී සිටීමේ රෙගුලාසි නතර කරන ලෙස ඉල්ලා සිටින කුඩා දක්ෂිනාංශික විරෝධතා ප්‍රවර්ධනය කරමින්, ට්‍රම්ප් “දේශීය කැරැල්ලක් උසිගන්වන” බව පැවසූ, වොෂිංටන් ප්‍රාන්ත ආන්ඩුකාර ජේ ඉන්ස්ලේ ඇතුලු ඩිමොක්‍රටික් ප්‍රාන්ත ආන්ඩුකාරවරුන් පෙලක් සමඟ ට්‍රම්ප්, සටනක නියලී සිටී.

පසුගිය මාසයේ දී නිව් යෝක් ආන්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ,  මුලු ප්‍රාන්තය සඳහා ම බලහත්කාරයෙන් නිරෝධායනයක් ක්‍රියාත්මක කිරීමේ ට්‍රම්ප්ගේ තර්ජනය ප්‍රාන්තවලට එරෙහි “ෆෙඩරල් යුද්ධ ප්‍රකාශයක්” යැයි පැවසුවේ, එය “සිවිල් යුද්ධය ආකාරයේ සාකච්ඡාවක්” ලෙස හඳුන්වමිනි. කැලිෆෝනියාවේ ආන්ඩුකාර ගේවින් නිව්සෝම් මෑත සතිවල දී කැලිෆෝනියාව “ජාතික රාජ්‍යයක්” ලෙස නැවත නැවතත් ප්‍රකාශ කල අතර, ඔරිගන් හා වොෂිංටන් ප්‍රාන්ත සමඟ “බටහිර ප්‍රාන්ත ගිවිසුම” ඇති කර ගත්තේ ය. එහි පැහැදිලි අරමුන, “තම ආර්ථිකයන් නැවත විවෘත කිරීම සඳහා හවුල් දැක්මක්” ප්‍රවර්ධනය කිරීම යි.

වෝල් වීදිය, සිලිකන් නිම්නය හා ඇමසොන් සංගතයට වාසස්ථානය වන මෙම ප්‍රාන්තවල ආන්ඩුකාරවරුන්ගේ ට්‍රම්ප්ට එරෙහි විරෝධය ට්‍රම්ප්ට ප්‍රගතිශීලී විකල්පයක් ඉදිරිපත් නො කරයි. වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස්වලට පටහැනි ව කම්කරුවන් නැවත වැඩ ට දැක්කීමට බල කිරීමේ දී, ඩෙමොක්‍රටික් පක්ෂ ආන්ඩුකාරවරුන්ගේ අධිෂ්ඨානය ට්‍රම්ප්ට වඩා අඩු නැත. රෝගය පැතිරීම සම්බන්ධයෙන් චීනය සහ චීන ජනතාව බිල්ලට දීමේ දී ට්‍රම්ප් මෙන් ම ඩෙමොක්‍රටික් පක්ෂය ද ආක්‍රමනශීලී ව සිටී.

ට්‍රම්ප්ගේ සංක්‍රමන තහනම ජාත්‍යන්තර ක්‍රියාවලියක කොටසකි. ලොව පුරා, සෑම ජාතික ධනේශ්වරයක් ම අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ, වෙලඳ බාධක  හා සංක්‍රමන සීමා කිරීම මගින් , ලියොන් ට්‍රොට්ස්කි ලියූ පරිදි, “රේගු පවුරක් සහ බයිනෙත්තු වැටක් පිටුපස,”  “තෙමේ ම ආරක්ෂා වෙමිනි”, 

නමුත් කොරෝනා වෛරස් අර්බුදයේ ස්වභාවය ඉල්ලා සිටින්නේ, වසංගතය විසින් ප්‍රතිචාර නො දක්වනු ලබන, ජාතික රාජ්‍ය පද්ධතිය විසින් සීමා නො කරනු ලබන ජාත්‍යන්තර ප්‍රතිචාරයකි. 

දැන් වසා දමා ඇති එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාව ආසන්නයේ, ටිජුවානා, මැටමොරොස් හා සියුඩාඩ් ජුවරෙස් වැනි නගරවල වහල් කඳවුරු බඳු කම්හල් හා ගබඩාවල සිටින මෙක්සිකානු කම්කරුවෝ දහස් ගනනක්, අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන නතර කරන ලෙස හා වැඩ කරන සම්පූර්න කාලය සඳහා පූර්න වැටුප් ඉල්ලා විරෝධය පල කරමින් සිටිති. මෙම ඉල්ලීම් එක්සත් ජනපදය, යුරෝපය හා වෙනත් තැන්වල ඔවුන්ගේ සගයන්ගේ ඉල්ලීම්වලට සමාන වේ. ඔවුන් වෛෂයිකව ප්‍රකාශ කරන්නේ, සංගතවල ශුද්ධ ලාභවලට උදව් කිරීම සඳහා මිය යාමට සූදානම් නැති, ජාතික අනන්‍යතාවය හෝ පුරවැසිභාවය නො සලකන, බිලියන සංඛ්‍යාත ජනතාවගේ අභිලාෂයන් ය.

මිය නොයා යුතු එහෙත් මිනිසුන්ගෙන් පිරී ඉතිරී යන සමූහ මිනී වලවල්, තව දුරටත් තෙමේ ම පොහොසත් වීමට රෝගය ගසා කා ඇති, ධනේශ්වර පද්ධතිය හා ගෝලීය පාලක පන්තියේ  ස්මාරකයකි.  ට්‍රම්ප්ගේ විදේශික භීතිකාව යනු කම්කරු පන්තිය බෙදීම හා  වැඩෙන මරන සංඛ්‍යා, ආහාර බැංකු හා විරැකියා පෝලිම් වලින් අවධානය ඉවතට හැරවීම හා ආපසු වැඩට යාමේ  මාරාන්තික අපේක්ෂාවේ උත්සාහයකි. මංමුලා සහගත ආන්ඩු මංමුලා සහගත පියවර ගනී.

වැඩ වර්ජිත කම්කරුවන්ගේ ඉල්ලීම් බිලියන ගනනක් කම්කරුවන්ට සාධාරන ලෙස පෙනුන ද මූල්‍ය වංශාධිපතිත්වයට පිලිගත නොහැකි ය යන්නෙන් අදහස් කෙරෙන්නේ, ධනවාදය යටතේ ඉල්ලීම් ඉටු කර ගත නො හැකි බව යි. පොහොසතුන්ගේ ග්‍රහනයෙන් නිෂ්පාදන බලවේග මුදා ගැනීම හා මානව අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජය ප්‍රතිසංවිධානය කිරීම ජීවිතය හා මරනය පිලිබඳ කාරනයකි.

Loading