මිලියන තුනකට අධික තනි පාඨක පිරිසක් 2020 ආරම්භයේ සිට ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිස ඇත

ඩේවිඩ් නෝර්ත් සහ ඇන්ඩ්රේ ඩේමන්
28 අප්‍රේල් 2020

මෙම ලිපිය 2020 අප්‍රේල් 27 දින ඉංග්‍රීසි බසින් පලවින.

ලෝසවෙඅ වෙත, 2020 ජනවාරි 1 සිට අප්‍රේල් 26 දක්වා කාලය තුල, මිලියන 3.2 ක සැබෑ පාඨකයින්, එනම් තනි පාඨකයින් සංඛ්‍යාවක් ප්‍රවේශ වී ඇත. වෙබ් අඩවියට පිවිසි මුලු සංඛ්‍යාව මිලියන 5.6 කි.  පාඨකයින් විසින් ලෝසවෙඅ පරිශීලනය කරන ලද මුලු පිටු සංඛ්‍යාව මිලියන 8.7 කි.

මාර්තු මාසයේදී සැබෑ පාඨකයින් මිලියන 1.6 ක් ලෝසවෙඅ  වෙත පිවිසුනි. ලෝසවෙඅ පාඨකයන්ගේ මුලු පිවිසුම් සංඛ්‍යාව මිලියන 2.1 ක් විය. පරිශීලනය කල මුලු පිටු සංඛ්‍යාව මිලියන 3.1 කි.

මෙම සංඛ්‍යා පදනම් ව ඇත්තේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්මාන්ත සම්මත අභ්‍යන්තර විශ්ලේෂන පද්ධතිය මත වන අතර එය ස්වයංක්‍රීය සංචලන බැහැර කරමින් පුද්ගලයන්ගේ පිවිසුම් පමනක් ගනන් ගනී.

ලෝසවෙඅ හි පාඨකයන්ගේ වැදගත්ම අගැයීම වන්නේ, එහි ජාත්‍යන්තර විෂය පථයයි. භාෂා 15 කින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක සමාජවාදී වෙබ් අඩවියට රටවල් දුසිම් ගනනක සැලකිය යුතු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඇත.

2019 ජනවාරි සිට WSWS වෙත මාසික පිටු දසුන්

ජනවාරි 1 සිට අප්‍රේල් 26 දක්වා කාලය තුල වෙබ් අඩවියට, එක්සත් රාජධානියෙන්  545,869 ක්, ප්‍රංශයෙන් 221,717 ක්, බ්‍රසීලයෙන් 51,411 ක්, තුර්කියෙන් 29,189 ක් සහ ඉන්දියාවෙන් 73,911 ක් පිවිස තිබේ. මෙම කාලය  තුලම රටවල් 20 න් වෙබ් අඩවියට පිවිසුනු සංඛ්‍යාව පහත පරිදි වේ:

මෙම වසරේ රටවල් අනුව පිවිසුම්

එක්සත් ජනපද පාඨකයන්ගේ ජනවාරි මුළු පිවිසුම්  514,277 කි. මාර්තු මාසයේ එය 853,469 ක් විය.

ජර්මන් පාඨකයන්ගේ පිවිසීම ජනවාරි මාසයේ 117,465 ක් සහ මාර්තු මාසයේ 369,855 ක් විය.

පාඨකයන්ගේ වැඩිවීම, මුලු පිවිසුම් හා ප්‍රවේශ වු  පිටු ගනන කම්කරු පන්ති දේශපාලන රැඩිකලීකරනයේ පිලිබිඹුවකි.

ලෝසවෙඅ වාරනය කිරීම හා අවහිර කිරීම සඳහා ගූගල්, ෆේස්බුක් සහ රෙඩිට් වැනි සමාජ මාධ්‍ය ජාල වල නිරන්තර උත්සාහය හමුවේ, පාඨක සංඛ්‍යාවේ වැඩිවීම වඩාත් වැදගත් ය.

ගූගල් විසින් ලෝසවෙඅ  වාරනය කිරීම විශේෂයෙන් තීව්‍ර කෙරී ඇති අතර  “සමාජවාදය,” “මාක්ස්වාදය” සහ “ට්‍රොට්ස්කිවාදය” වැනි යෙදුම් භාවිතා කරන සෙවීම් වලට දක්වන ප්‍රතිචාර වලදී එය වඩාත් උත්සන්න කෙරෙන බව තවදුරටත් පැහැදිලි ය. ගූගල් සාමාන්‍යයෙන් එවැනි සෙවුම් ඉල්ලීම් යොමු කරන්නේ, එක්කෝ සමාජවාදයට සතුරු වෙබ් අඩවි වලට හෝ ලෝසවෙඅ හි පාඨක පිරිසෙන් කොටසක් වන ව්‍යාජ වාම වෙබ් අඩවි වෙත ය.

මෙම වාරනය තිබියදීත් ලෝසවෙඅ හි පාඨකයන්ගේ වර්ධනය පෙන්නුම් කරන්නේ, හතරවන ජාත්‍යන්තරයේ  ජාත්‍යන්තර කමිටුවේ ට්‍රොට්ස්කිවාදී දේශපාලන මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය නියෝජනය කරන විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරය ද ධනේශ්වර  හා මධ්‍යම පන්තික වාම-ලිබරල් දේශපාලන ප්‍රවනතා අතර ද දේශපාලන බලවේගයන්ගේ සම්බන්ධතාවයෙහි වෙනසකි.

වෙබ් ගමනාගමන ශ්‍රේනිගත කිරීමේ සේවාව වන ඇලෙක්සා, සියලුම වෙබ් අඩවි ගෝලීය හා ජාතික මට්ටමෙන් වර්ගීකරනය කරයි.

Globalඇලෙක්සා ගෝලීය ශ්‍රේනිගත කිරීම අප්‍රේල් 25 දින (අඩු අංකන මගින් ශ්‍රේනියේ ඉහල වර්ගීකරනය පෙන්වයි) Alexa traffic rankings on April 25 (a lower number means a higher ranking)

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ගෝලීය ශ්‍රේනිය 14,948 වන බව අප්රේල් 25 දා ඇලෙක්සා විසින් වාර්තා කරන ලදී. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් සමඟ අනුබද්ධිත ප්‍රධාන දේශපාලන සංවිධානය වන ජාකොබින් සඟරාවේ (jacobinmag.com) ගෝලීය ශ්‍රේනිය 24,287 ය. එනම් ලෝසවෙඅ ට වඩා ස්ථාන 9,000 ට වඩා පහලින් ඇති බවයි. එක්සත් ජනපදය තුල පාඨක සංඛ්‍යාව පමනක් මැනීම පදනම් කරගත් කල,  ලෝසවෙඅ හි ශ්‍රේනිය 4,490 ය. එක්සත් ජනපදය තුල ජාකොබින් ශ්‍රේනිය 6,943 ය. එය ලෝක සමාජවාදී වෙබ් අඩවියට වඩා දල වශයෙන් ස්ථාන 2500 ක් පසුපසින් සිටී.

නිව් යෝර්ක් ටයිම්ස් සහ ඩිමොක්‍රටික් පක්ෂය හා සම්බන්ධ වෙනත් ප්‍රවෘත්ති ආයතන විසින් නිරතුරුව ජැකොබින්  ප්‍රවර්ධනය කර තිබියදීත්, ලෝසවෙඅ එය අභිබවා ගොස් ඇත. 1619 ව්‍යාපෘතිය හා සම්බන්ධ මෑත කාලයේ මතභේදයට තුඩුදුන් වාර්තා සම්බන්ධ අවස්ථා වලදී හැරුනු විට, ධනවාදී පුවත්පත් තුල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පැවැත්ම පිලිගනු ලබන්නේ කලාතුරකිනි.

ලෝසවෙඅ හි පාඨක සංඛ්‍යාව, එහි දෛනික දේශපාලන විශ්ලේෂනයන්ගේ සිට එහි කලා ආවරන, නිව් යෝර්ක් ටයිම්ස් හි 1619 ව්‍යාපෘතියට දී ඇති පිලිතුරු ද ඇතුලු ඓතිහාසික වාද විවාද දක්වා පුලුල් පරාසයක පැතිරී ඇත.

නිරන්තරයෙන් ජනප්‍රිය  වී ඇත්තේ, පන්ති අරගලයට හා සමාජ තත්වයන්ට අදාල ලිපි වන අතර, එවැනි ලිපි බොහෝ විට දස දහස් ගනන් සහ ලක්ෂ ගනන් පාඨකයින් ආකර්ෂනය කර ගනී. ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිසීමේ ප්‍රධාන වර්ධනය පෙන්නුම් කරන්නේ, කම්කරු පන්ති පාඨකයින් ජංගම දුරකථන මඟින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය කරා පිවිසීමෙනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ලෝකයේ වඩාත්ම පුලුල් ලෙස කියවන, අන්තර්ජාලය මත පදනම් වූ සමාජවාදී ප්‍රකාශනයයි. පැබ්ලොවාදීන් ද ඔවුන් හා සම්බන්ධ ව්‍යාජ වාම හා අවස්ථාවාදී සංවිධානවල ද ප්‍රකාශන වලට ආකර්ෂනය වන පාඨක සංඛ්‍යාව ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිසෙන සංඛ්‍යාව සමඟ සලකන කල ඉතා සුලු පිරිසකි.

සෝෂලිස්ට්ඕල්ටර්නේටිව්.ඕර්ග් (socialistalternative.org) නම් වෙබ් ප්‍රකාශනයේ ගෝලීය ශ්‍රේනිය 549,977 ය. එක්සත් ජනපදය තුල එහි ශ්‍රේනිය 197,920 ය. Solidarity-us.org විසින් අන්තර්ජාලය ඔස්සේ පල කරනු ලබන එගේන්ස්ට් ද කරන්ට් නම් වෙබ් සඟරාවේ ගෝලීය ශ්‍රේනිය 658,222 ය.  එක්සත් ජනපද ශ්‍රේනිය  196,278 ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය 1998 පෙබරවාරි මාසයේදී දියත් කරන ලදී. පසුගිය වසර 22 තුල එය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගය මත පදනම්ව, කම්කරු පන්තියේ ලෝක විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහා සම්මුති විරහිත අරගලයක් දියත් කර තිබේ. 

මාක්ස්වාදී මූලධර්ම සඳහා වන මෙම අරගලය, මධ්‍යම පන්තික ව්‍යාජ වාම නියෝජිතයින් විසින් “කට්ටිවාදය” ලෙස හෙලා දැක සමච්චලයට ලක් කර ඇත. එය, පාලක පන්තියේ සහ එහි දේශපාලන ඒජන්සි වල සියලු දේශපාලන පක්ෂ හා ප්‍රවනතාවන්ගෙන්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අරගලය අපකීර්තියට පත් කිරීම සඳහා භාවිතා කරන වාග් පාඨයයි. 

එහෙත් ව්‍යාජ වම්මු “කට්ටිවාදය” ලෙස හෙලා දකින දෙය, කම්කරු පන්තියේ සහ තරුන ශිෂ්‍යයන්ගේ වැඩෙන දේශපාලන රැඩිකලීකරනය සමඟ අන්තර්ඡේදනය වෙමින් ඇත. 

මෙම ක්‍රියාවලිය එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ සහ සසජාතශියේ වර්ධනය වන සාමාජිකත්වය තුලින් පිලිබිඹු වන අතර, ලෝසවෙඅට ලෝක සිදුවීම් පිලිබඳ ආවරනය පුලුල් කිරීමට සහ වෙබ් අඩවියේ පල කරන ලද ලිපි ගනන වැඩි කිරීමට හැකි වී තිබේ.

පසුගිය වසර 22 හි වර්ධනය ඓතිහාසික ජයග්‍රහනයකි. එහෙත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර පාඨක සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනයත් සමඟ නව සංවිධානාත්මක හා තාක්‍ෂනික මෙන්ම දේශපාලන අභියෝග ද ගෙන එයි. ලෝසවෙඅ දෛනිකව පල කිරීම, එහි පාඨකයන්ගේ සහයෝගය මත රඳා පවතියි.

වර්තමාන අර්බුදය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය, කම්කරු පන්තියේ ආරක්ෂාව  සහ සමාජවාදය සඳහා වන ගෝලීය අරගලයේ අත්‍යවශ්‍ය ආයුධයකි. එබැවින් ලෝසවෙඅ ට ආධාර කිරීම සඳහා කල හැකි විශාලතම පරිත්‍යාගය කරන ලෙස අපි අපගේ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.