ආන්ඩුවේ පිටුබලය ඇතිව රාජ්‍ය හා පුද්ගලික අංශයේ දැවැන්ත රැකියා කප්පාදුවක්

“ඇඳිරි නීතිය පවතින අතර ජන ජීවිතය යතා තත්ත්වයට පත් කිරීමට විධිවිධාන” යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය අප්‍රේල්  25 වෙනිදා නිවේදනයක් නිකුත් කලේය. එමගින්, මැයි 4 වෙනිදා සිට සේවා සහ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස රාජ්‍ය  ආයතන ප්‍රධානීන් ට සහ පුද්ගලික ආයතන හිමිකරුවන්ට දැනුම් දී ඇත.

ඒ  අනුව ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන දිස්ත්‍රික්ක වල මෙන් ම, අවදානම්  කලාප ලෙස සැලකෙන කොලඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම යන  දිස්ත්‍රික්ක  වල ද,  ඇඳිරි නීතිය පවතිද් දී ම “දෙපාර්තමේන්තු, සංස්ථා, මන්ඩල ඇතුලු රාජ්‍ය ආයතන” සහ  පුද්ගලික අංශයේ “කර්මාන්ත ශාලා, ගොඩනැගිලි ඉදිකිරීම්, ව්‍යාපාර  හා සේවා ස්ථාන”  විවෘත කොට පවත්වාගෙන යා යුතු ය.  

දෙපාර්තමේන්තු, සංස්ථා සහ මන්ඩල ඇතුලු රාජ්‍ය ආයතන වල සේවයට කැඳවිය යුත්තේ මුලු සේවක සංඛ්‍යාවෙන්  තුනෙන් එකක් පමනි. “යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යවශ්‍ය  එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමනක්  කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු” බව නිවේදනයේ  සඳහන් වේ. “අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමනක්” යනුවෙන් කෙරෙන අවධාරනය තුල අවශ්‍ය නොවන “අතිරික්ත” සේවකයන් රාජ්‍ය ආයතන තුල සිටින බවක් වක්‍රව ඇඟවුම් කෙරෙයි.  

සේවයට වාර්තා නොකරන රාජ්‍ය  ආයතනවල නිලධාරීන්ට නිවසේ සිට වැඩකරන ලෙස නියෝග කර ඇති අතර  සේවයට වාර්තා කල යුත්තේ කුමන සේවකයන් ද, නිවසේ සිට වැඩකල යුත්තේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේ  “අභිමතය” අනුව තීරනය  කිරීමට ඉඩ සලසා ඇත.  එක් දිනයක  සේවයට කැඳවන  තුනෙන් එකේ සේවක  පිරිස වෙනුවට ඊලඟ දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ද  ආයතන ප්‍රධානින් ට නිදහස තිබේ. 

මෙම සැලසුම් පිටුපසින් රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ මෙන් ම  පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ ද රැකියා, වැටුප්  සහ සමාජ අයිතීන්ට  දැවැන්ත ප්‍රහාරයක් එල්ල කෙරෙනු ඇත. 

රාජපක්ෂ ආන්ඩුව බලයට පත්වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග යටතේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දැමුනු ආර්ථික ප්‍රතිව්‍යූහකරන  පිලිවෙත් වලට එරෙහිව වැඩකරන ජනතාව තුලින් මතු වූ බරපතල විරුද්ධත්වයක් මධ්‍යයේ ය. “ආර්ථිකය යලි විවෘත කිරීමේ” සැලසුම් තුලින් රාජපක්ෂ ආන්ඩුව එම ප්‍රහාර තීව්‍ර  කරනු ඇත. 

ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල්  කනිෂ්ක වීරසිංහ විසින් නිපුනතා සංවර්ධන, රැකියා හා කම්කරු සම්බන්ධතා ඇමති දිනේෂ් ගුනවර්ධන වෙත අප්‍රේල් 25 වෙනිදා යවන ලද ලිපියකින්  කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සමාජ සහන කප්පාදු කිරීමට ඉඩ සලසන යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.

අහිමිවූ වැඩ පැය ගනන ආවරනය කිරීම පිනිස අතිකාල ගෙවීමක් හෝ වැටුප් වැඩිකිරීමක් නොකර, මාස 3 සිට 6 දක්වා කාලයක් සති අන්ත සහ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි කම්කරුවන් වැඩට යෙදවීම එම යෝජනා වලින් කීපයකි. 

දැනට පවතින පැය 45 වෙනුවට පැය 50 ක වැඩ සතියක් 2020 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක කිරීම, මුල් සේව්‍යයාගේ  සම්බන්ධයකින් තොරව වෙනත් හාම්පුතෙකුට සේවකයන් නයට දීම (loaning of employees) , අවශ්‍යතාවය මත දැනට පවතින සාමූහික ගිවිසුම්  අත්හිටුවීම හෝ යලි ගිවිස ගැනීම ද එම යෝජනාවන්ට ඇතුලත් වේ. 

මීට අමතරව, සේවයේ යෙදෙන සෑම කම්කරුවෙකුටම මාස භාගයක් පමනක් වැඩ ලබා දී, වැඩ කරන මාස භාගයකට නියමිත මාසික වැටුපෙන් අඩක් සහ වැඩ නොකරන ඉතිරි මාස  භාගය සඳහා වැටුප් පාලක සභාව විසින් අනුමත කල මාසික වැටුපෙන් අඩක් ගෙවීම, වැටුපෙන් යම් ප්‍රතිශතයක් හෝ අර්ථසාධක/සේවක භාරකාර අරමුදල් රහිත දීමනාවක් ගෙවා සේවකයන් තාවකාලිකව රැකියාවෙන් දොට්ට දැමීමට ඉඩ සැලසීම යන යෝජනා ද ඒ අතර  වෙයි. 

කම්කරු අමාත්‍යංශය, හාම්පුතුන් සහ වෘත්තීය සමිතිවල සහභාගිත්වය සහිතව පිහිටුවා  ඇති ත්‍රෛපාර්ශවීය කාර්යසාධක බලකායට සම්බන්ධ වී සිටින නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේස), ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය (ලවෙකාපොසේස) හා එක්සත් කම්කරු සම්මේලනය ඇතුලු  වෘත්තීය සමිති  ආන්ඩුවේ  සහ හාම්පුතුන්ගේ සැලසුම් කම්කරුවන් මත පැටවීමේ ඒජන්ත සංවිධාන ලෙස යලි වැඩට බැස  ගෙන ඇත. 

අප්‍රේල් 21 වෙනිදා ඇමති ගුනවර්ධනගේ මූලිකත්වයෙන්  පැවති ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක බලකායේ සාකච්ඡාවට ඔවුහු සහභාගි වූහ. මෙම සාකච්ඡාවේ දී “පවතින තත්වය තුල සේවකයන් දොට්ට දැමීමට හෝ සේවය අත්හිටුවීමට සිදුවන” බව හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් අවධාරනය කර ඇත. “වැටුප් ගෙවීමට හැකියාවක් නැති” බව ද හාම්පුතුන් කියා තිබේ.

සමිති නිලධරය කර ඇත්තේ හාම්පුතුන්ගේ සම්මේලනය ඉදිරියේ නිවට ලෙස යටත් වීමකි. “කම්කරුවන්  රැකියාවලින් ඉවත් කිරීමට කිසිදු හේතුවක් නැති  බවත් සමාගම් විසින් යම් ප්‍රතිපාදනයන් අනුව සේවකයන්  ට සාධාරනය ඉෂ්ට කරන” ලෙස නිවෙකපොසේසේස නායක ඇන්ටන් මාකස්  හාම්පුතුන්ගෙන් ඉල්ලා ඇත. 

කම්කරුවන්ට ඉෂ්ට කරන “සාධාරනය” කුමක් දැයි ඔහු විස්තර කර නැතත් ඉන් ඇඟවුම් කෙරෙන්නේ සේවය අත්හිටුවන හෝ දොට්ට දමන කම්කරුවන්ට සොච්චම් වන්දියක් ගෙවීමය.  

අප්‍රේල් 20 වෙනිදා ජනාධිපති රාජපක්ෂ වෙත ලිපියක් යවමින් හාම්පුතුන්ගේ ඉහත යෝජනා ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස මෙම සමිති නායකයන් ඉල්ලා ඇත. ඔවුන් උත්සුක වන්නේ කම්කරුවන්ගේ රැකියා සහ සමාජ අයිතීන් ගැන නොව යෝජිත කප්පාදු සැලසුම් ක්‍රියාවට දැමීම මගින් කම්කරුවන් අතරින් මතු විය හැකි බරපතල විරුද්ධත්වයක් කල්තියා සමනය කොට එකී සැලසුම් වලට කම්කරුවන් යටත්  කිරීම කෙරෙහිය.

තීව්‍ර වන වෙලඳපොල තරඟයට සහ ලාබ පහත වැටීමට මුහුන දී සිටින ධනපති සමාගම් ආන්ඩුවේ පිටුබලය ඇතිව කම්කරුවන්ගේ රැකියා සහ සමාජ  අයිතීන් කපාදු කිරීමේ සැලසුම් ක්‍රියාවට දැමීම දැනටමත් ආරම්භ කොට ඇත.  

නිදහස් වෙලඳ කලාප තුල මේ වන විට ඇඟලුම් කම්හල් 217 ක් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රනතුංග අප්‍රේල් 22 මාධ්‍යයට  ප්‍රකාශකර තිබූ පරිදි  සේවයට කැඳවා ඇත්තේ ඒවායෙහි ශ්‍රම බලකායෙන් සියයට 20 ක පමන වූ පිරිසකි. එනම් 30,269 කි.  හය මාසයකට අඩු සේවා කාලයක් සහිත සහ අවුරුදු 50 වඩා වයසැති කම්කරුවන් දොට්ට දැමීම, අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් මාස හයකට නොගෙවීම සහ අතිකාල දීමනා අත්හිටුවීම ද කම්හල් හිමියන් නිවේදනය කර ඇත.

සොෆ්ට්ලොජික් හා ජෝන්කීල්ස් සංගත ද ඒ හා සමාන කප්පාදු සැලසුම් ක්‍රියාවට දැමීම ආරම්භ කර තිබේ.  

මෙම ව්‍යසනකාරී පිලිවෙත් සහිත සැලසුම් ක්‍රියාවට දැමීම අධීක්ෂනය කිරීමට සහ එයට තල්ලුව දීමට බැසිල් රාජපක්ෂ ගේ සභාපතිත්වය ඇතිව හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා, රජයේ හා මහ බැංකුවේ ඉහල නිලධාරීන් සහ මහ ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් “ආර්ථික පුනර්ජීවනයේ හා    දරිද්‍රතාව තුරන් කිරීමේ” කාර්ය සාධක බලකායක්  ජනාධිපති රාජපක්ෂ විසින් ස්ථාපිත කර තිබේ.

රාජපක්ෂගේ “ආර්ථිකය යලි විවෘත කිරීම” වනාහි,  කොරෝනා වසංගතයේ පැතිරීම නොතකා ව්‍යාපාරික සහ කාර්මික සංගත වල ලාබ අවශ්‍යතාවයන් වෙනුවෙන් කම්කරු පන්තියේ රැකියා සහ ජීවිත බිලි දෙමින් අධිරාජ්‍යවාදී සහ ධනපති ආන්ඩු  විසින් ලෝක පරිමානව ක්‍රියාවට දමන කම්කරුවන්  “ආපසු වැඩට” තල්ලු කිරීමේ දුෂ්ට පිලිවෙතේ අත්‍යන්ත කොටසකි.

කොරෝනා වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය   නයගැතිකම පෙරනොවුවිරූ මට්ටමකට ඉහල නැග ඇති අතර අපනයන ආදායම සහ විදේශ සංචිත තියුනු  ලෙස පහත වැටී ඇත. එම තතු තුල ආර්ථිකය යලි විවෘත කිරීම “තවදුර ප්‍රමාද කලහොත් ආර්ථිකය දැවැන්ත ගැටලුවකට මුහුනපාන බව ආර්ථික විශේෂඥයන්ගේ අදහස” බව අප්‍රේල් 20 පැවති මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක දී රාජපක්ෂ සඳහන් කලේ ය.  

“ආර්ථිකය යලි විවෘත කිරීම” යටතේ රැකියා හා සමාජ අයිතීන් කප්පාදුවට එරෙහිව කම්කරු පන්තියෙන් මතු විය හැකි බරපතල විරුද්ධත්වයක් සහ පන්ති අරගලවල පුපුරායාමක් පුර්වාපේක්ෂා කරන රාජපක්ෂ ආන්ඩුව මිලිටරි යකඩ සප්පත්තුවෙන් ඒවා මැඩලීමේ සූදානම දැනටමත් පෙන්නුම් කර ඇත. යුද සමයේ මෙන් පාලනයක් ඇති කරලා විනයක් ඇතිව  කොලඹ දිස්ත්‍රික්කය තුල පාලනය ගෙනයාමට ආරක්ෂක ලේකම් කමල් ගුනරත්නට තමන් දැනුම් දුන් බව  රාජපක්ෂ ඉහත  සාකච්ඡාවේ දී පැවසීය.

නිවාඩු අවලංගු කොට හමුදාව සීරුවෙන් තැබීමත්, පොලිස් විශේෂ කාර්යසාධක බලකායේ ක්ෂනික විහිදුම් බලකායාන් මුදා හැර තිබීමත් එවන් මර්දනයකට ලක ලැස්ති වීමේ ඇඟවීම් ය.

වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් විසින් තම රැකියා, වැටුප් සහ සමාජ අයිතීන්ට එල්ල කිරීමට සූදානම් වන මෙම දුෂ්ට ප්‍රහාරයට කම්කරුවන්  විරුද්ධ විය යුතුය. 

එම ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමේ පූර්ව කොන්දේසියක් ලෙස කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳී තමාගේම  ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එම කමිටු වටා රාජ්‍ය හා පුද්ගලික අංශයේ කම්කරුවන් ද, පීඩිත ගොවීන් සහ තරුනයන්ද බලමුලු ගන්වා ගනිමින් දියත් කෙරෙන ඒකාබද්ධ අරගලයක් හරහා, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒමේ සටනකින් පමනක් ඉහත ප්‍රහාරයන් පරාජය කල හැක.

Loading