නව ජනාධිපති කාර්ය සාධක බලකාය: ගම්බද සූරාකෑම නව ඉහලකින් සංවිධානය කර ගැනීමේ රෙජිමේන්තුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අප්‍රේල් 22 වැනි දා, “ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාව තුරන් කිරීමේ” ජනාධිපති කාර්ය සාධක බලකායක් ප්‍රකාශයට පත් කලේ ය. බලකායේ ප්‍රකාශිත අරමුන කුමක් වුවත් එහි සැබෑ අරමුන වනුයේ, ගම්බද කම්කරුවන් සහ දුගී ගොවීන්, කටුක විනයකට නතුකරමින් ධනපති සූරාකෑම නව ඉහලකින් සංවිධානය කර ගැනීමයි. 

මෙම කාර්ය සාධක බලකාය ගැසට් කෙරුනේ, කොරෝනා වසංගතයේ අවදානම සාර්ථක ව පාලනය කර ඇතැ යි යන ව්‍යාජ  ප්‍රචාරය යටතේ ධනපති නිෂ්පාදනය යලි පන ගන්වා ගැනීමට ආන්ඩුව ගෙන යමින් පවතින ප්‍රයත්නය මධ්‍යයේ ය. 

නව කාර්ය සාධක බලකායේ සංයුතිය පිරික්සීමෙන් වුව, එහි අරමුන සහ එය මහජනතාව තුල ක්‍රියාත්මක වියහැකි අධිකාරවත් ආකාරය පිලිබඳ චිත්‍රයක් නිර්මානය කරගත හැක. 

රටේ ආර්ථිකයේ ඉමහත් පදාසයක් ආවරනය කෙරෙන මෙම බලකායේ සභාපති ධුරය දරන්නේ බැසිල් රාජපක්ෂයි. ජනාධිපතිගේ බාල සොහොයුරා වන ඔහු මහජන ඡන්දයෙන් තේරී පත්වූවෙකු හෝ නොවේ. 

තිහකට අධික සෙසු සාමාජිකයන් කොටස් තුනකින් සමන්විත වෙයි.

ඉන් එක් කොටසක්, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරීස් සහ  විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා යන අයගෙන් සමන්විත වෙයි. 

තවත් කොටසක් සමන්විත වනුයේ මහා ව්‍යාපාරිකයන්ගෙනි. ඊ.බී.ක්‍රීසි සහ සමාගමේ විධායක අධ්‍යක්ෂ සංජීව ගුනවර්ධන, නේචර්ස් සීක්‍රට් අධිපති සමන්ත කුමාරසිංහ, මාස් හෝල්ඩිංස් සභාපති මහේෂ් අමලියන්, කින්ග්ඩම් ඔෆ් රයිගම් හි සභාපති රවී ලියනගේ සහ සන්මික් ව්‍යාපාර සමූහයේ කලමනාකාර අධ්‍යක්ෂ පද්මලාල් විතානගේ යන ධනපතියෝ ඒ අතර වෙති. 

අනෙක් කොටස සමන්විත වනුයේ, ලංකා තේ මන්ඩලය, ආයෝජන මන්ඩලය, අපනයන සංවර්ධන මන්ඩලය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂන ආයතනය, ශ්‍රී ලංකා රේගුව, ලංකා විදුලිබල මන්ඩලය සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඇතුලු රාජ්‍ය ආයතන ගනනාවක ප්‍රධානීන්ගෙනි. 

මෙම කාර්ය සාධ බලකාය පිහිටුවීම, ආඥාදායක පාලනයකට අවශ්‍ය පරිදි, තමා මැදිකරගත් සමීපතමයන් කීප දෙනෙකු අත සියලු දේශපාලන සහ ආර්ථික බලතල ගොනු කර ගැනීමට ජනාධිපති රාජපක්ෂ ගෙන යමින් ඇති වැඩපිලිවෙලේ නිශ්චිත පියවරකි. 

ලෝකයේ සෙසු ධනපති පාලක පන්තීන් මෙන් ම ලංකාවේ පාලක පන්තිය ද කොරෝනා වසංගතය දකින්නේ, කම්කරු-පීඩිත මහජනතාව ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් එකින් එක උදුරා ගනිමින් ඔවුන් ඉදිරියට ගෙනයන සමාජ ප්‍රතිවිප්ලවය සපුරා ගැනීමට ලද මහඟු‍ අවස්ථාවක් වශයෙනි. “කොරෝනා වසංගතය උද්ගත කල ඉඩප්‍රස්ථා කෙරෙහි විශේෂ අවධානය” යොමු කරන්නැයි ජනාධිපති මෙම බලකායට උපදෙස් දී ඇත්තේ ඒ අනුව යි.

රැකියා, වැටුප් සහ දීමනා කප්පාදුව, ස්ථිර රැකියා සහ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම, සමාජ වියදම් කැපීම සහ ප්‍රාග්ධන සංචලනයට බාධක වශයෙන් ශේෂ ව ඇති සියල්ල ඉවත් කර දැමීම සඳහා ධනපති ආන්ඩුවත් මහා ව්‍යාපාරිකයනුත් කොරෝනා වසංගතය ඩැහැගෙන ඇත. 

තම ජනාධිපතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශය වන “සෞභාග්‍යයේ දැක්මට” අනුව “නව ප්‍රවේශයක් ඔස්සේ මෙරටට අනන්‍ය වූ ආර්ථික රාමුවක් සැකසීම මඟින් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මානය කිරීම” මෙම කාර්ය සාධක බලකායට පවරා ඇති කටයුත්තකි. 

ජනාධිපති රාජපක්ෂ අප්‍රේල් 15 වැනි දා අමාත්‍යංශ ලේකම්වරුන් සමඟ පැවැත් වූ සාකච්ඡාවේ දී කියා සිටියේ, “නව ආර්ථික ප්‍රවනතාවක් නිර්මානය කිරීමේ වගකීම” අමාත්‍යංශ සතුව පවතින බව යි. එම “නව ආර්ථික ප්‍රවනතාව” යටතේ “පලපුරුදු ව්‍යවසායකයන්ට නැවුම් අවස්ථා හිමි විය යුතු බව” පවසමින් ඔහු මෙම කාර්ය සාධක බලකා ව්‍යාපෘතියේ සැබෑ අරමුන අනාවරනය කලේය. 

මහජනයා මුලා කිරීම සඳහා “දරිද්‍රතාව තුරන් කිරීම” යන්න මෙම බලකායේ කර්තව්‍යයක් ලෙස ප්‍රකාශ කර ඇති නමුත් යතාර්ථයේදී මෙම බලකාය සහ “දරිද්‍රතාව තුරන් කිරීම” අතර කවර හෝ සම්බන්ධයක් නොමැත. එහි යතා කාර්ය භාරය වනුයේ, මහා ව්‍යවසායකයන්ගේ ප්‍රාග්ධනය ගම්බදට ගෙනයාමට ඇති බාධා සියල්ල ඉවත්කොට, ගම්බද කම්කරුවන් සහ පීඩිත ගොවීන් දැඩි සූරාකෑමකට යටත් කිරීමයි. ඒ සඳහා ගම්බද ජනයා කටුක විනයකට යටත්කර දීම හමුදාපති ඇතුලු මිලිටරි නිලධාරීන්ගේ කාර්යභාරය යි.

කාර්ය සාධක බලකායට අයත් ධනපතියන් ඇතුලු මහා ව්‍යාපාරික කොටස් මේ අරමුන සාක්ෂාත්කර ගැනීම සඳහා කල්යල් බලමින් සිටි අතර ඔවුහු  බංගලාදේශය, වියට්නාමය ආදී ලාභ ශ්‍රම තටාකයන් හි කර්මාන්තශාලා පවත්වා ගෙන යන්නෝ ද වෙති. 

කොරෝනා වසංගතයෙන් ජාත්‍යන්තර වෙලඳපොල දැවැන්තව හැකිලී ඇති තතු යටතේ රටවල් අතර වෙලඳ තරගය වඩාත් උග්‍ර වී පවතී. එවන් පසුබිමක ශ්‍රම සූරාකෑම වඩාත් ගැඹුරු කිරීම හැර අන් විකල්පයක් ධනපතියන්ට නොමැත. මහධනපතියන් ගම්බදට කඩා වදින්නේ ඒ සඳහා නව ශ්‍රම තටාකයන් විවර කර ගැනීමේ අරමුනෙනි.

“කෘෂිකාර්මික නිෂ්පාදන හා අනෙකුත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට සෘජුව ලබා දීම සඳහා සියලු ආර්ථික මධ්‍යස්ථාන, ලංකා සතොස, සමුපකාර වෙලඳ ජාලය, කාගිල්ස්, කීල්ස්, ආර්පිකෝ, ලාෆ් හා ප්‍රාදේශීය වෙලඳ ජාලයන් සංවිධානය කිරීම හා මෙහෙයවීම” මෙම බලකායට පැවරී ඇති තවත් කර්තව්‍යයකි. 

මෙම වෙලඳ ජාලයන් අතරට රජය සතු ලංකා සතොස සහ සමුපකාර ජාලයන් නාමිකව අන්තර්ගතකොට ඇතත්, මෙම “සංවිධානය කිරීම හා මෙහෙයවීම” යටතේ සිදුවනු ඇත්තේ කාගිල්ස්, කීල්ස් සහ ලාෆ්ස් වැනි මහා පරිමාන වෙලඳ සංගතයන් ගම්බද කෘෂි නිශ්පාදනයේ ඒකාධිකාරය වඩවඩාත් තහවුරුකර ගනිමින් දුගී නිශ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙකොටසම වඩාත් අසරන තත්වයකට ඇද දැමීමයි.

රාජපක්ෂගේ ගැසට් නිවේදනය “කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යංශයක්, රාජ්‍ය දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක් හෝ වෙනත් එබඳු ආයතනයක් කාර්ය සාධක බලකාය විසින් පවරනු ලබන රාජකාරී හා වගකීම් ඉටු කිරීමට ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ සියලු‍ අවස්ථා ජනාධිපතිතුමා වෙත වාර්තා කරන ලෙස බලකායට විධාන කර ඇතැ” යි සඳහන් කරයි. 

එමගින්, මෙම බලකායට හිමි කර දී ඇති දැවැන්ත අධිකාරී බලය, එහි යාන්ත්‍රනයට එරෙහිව පැන නගින පන්ති අරගල සහ දේශපාලන විරුද්ධත්වයන් රුදුරුම ආකාරයෙන් මැඩීම සඳහා යොදාගනු ඇත. 

සෙසු සියලු‍ දේශපාලන පක්ෂ මෙම කාර්ය සාධක බලකායේ පන්තිමය කාර්යභාරයන් සමඟ මුලු‍මනින් ම එකඟ ය. ඔවුන්ගේ විරෝධය එල්ල වී ඇත්තේ බැසිල් රාජපක්ෂ එහි නායකත්වය දැරීම සම්බන්ධයෙන් පමනකි.

අප්‍රේල් 20 වැනි දා, හමුදාපති සහ වැඩ බලන පොලිස්පති සම්බන්ධ කරගනිමින්, ජනාධිපති රාජපක්ෂ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ පැවැත් වූ සාකච්ඡාවක දී වගා කර නොමැති ඉඩම් වගා කිරීම සහ කුඹුරු අසල ඉඩම්වල වෙනත් බෝග ද වගා කිරීම සඳහා ගොවීන් හමුදාව සහ බන්ධනාගාර රැඳවියන් සමඟ සමීප ව වැඩ කිරීමේ වැදගත්කම සාකච්ඡා කලේ ය. දහසක් කෘෂිකාර්මික ගැටලු‍වලින් පරිපීඩිත ගොවීන්ට හමුදා විනයට යටත් ව වැඩ කිරීමට ද සිදුවන බවට එයමත් සාක්ෂියකි.

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි:

ශ්‍රී ලංකාව: කර්මාන්තකරුවෝ ලාභ රැක ගැනීමට රැකියා බිලිගැනීම ගැන සාකච්ඡා කරති 

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොලඹ ජනයා “විනයගත කිරීමට” මිලිටරිය යොදනබව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කරයි  

Loading