ඉදිරිදර්ශන

ආපසු වැඩට දැක්කීමේ ව්‍යාපාරය කෙරෙහි විරුද්ධත්වය නැඟී එද්දී ට්‍රම්ප්, මස් ඇසුරුම් කම්කරුවන්ට ආපසු වැඩට ඒමට නියෝග කරයි

මෙම ලිපිය 2020 අප්‍රේල් 29 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

මස් ඇසුරුම් කම්හල්වල කම්කරුවන්ට නැවත වැඩට යාමට බල කිරීම සඳහා, ආරක්ෂක නිෂ්පාදන පනතට මුවාවී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් පැනවීම, ආන්ඩුව හා කම්කරු පන්තිය අතර ගැටුමේ නව අවධියක් සනිටුහන් කරයි.

හදිසි ආරක්ෂක උපකරන හා පරීක්ෂන සැපයුම් නිෂ්පාදනය යන දෙකෙහි ම පුලුල් හිඟයක් තිබිය දී ට්‍රම්ප්, ඒවා නිෂ්පාදනය වැඩි කරන ලෙස සමාගම්වලට බල කිරීම  ප්‍රතික්ෂේප කලේය. නමුත් අනාරක්ෂිත හා සෞඛ්‍යාරක්ෂිත නො වන තත්වයන් යටතේ කම්කරුවන්ට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට බල කිරීම සඳහා ට්‍රම්ප් තමා සතු සියලු ම බලතල මෙහෙයවමින් සිටී.

සමාගම් මොනයම්ම හෝ නෛතික වගකීමකින්  නිදහස් කරන අතර ධවල මන්දිරය, වැඩට ආපසු යෑමට බල කිරීම සඳහා පූර්වාදර්ශයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටියි. මෙම නියෝගය යටතේ ටයිසන් ෆුඩ්ස් හා අනෙකුත් මස් ඇසුරුම් සමාගම්,  අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩ කිරීමට බල කෙරී ඇති බව පවසමින් සේවකයින් පවරා ඇති  වන්දි නඩුවලින් ගලවා හරිනු ඇත.

සියොක්ස් ෆෝල්ස් එස්.ඩී. ස්මිත්ෆීල්ඩ් ෆුඩ්ස් සැකසුම් කම්හලකින් පිටත සේවකයින් සහ පවුලේ සාමාජිකයන් විරෝධතා දක්වයි, ක්‍රිස්ටි නොයෙම්ට අනුව මෙම බලාගාරයට කොරෝනා වෛරස් රෝග පැතිර ගොස් තිබේ. (AP ඡායාරූපය / ස්ටීවන් ග්‍රෝව්ස් ගොනුව, 2020 අප්‍රේල් 9)

අවම වශයෙන් මස් හා ආහාර සැකසුම් කම්කරුවන් 20දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්  මියගොස් ඇති අතර 5,000ක් දෙනා නිරෝධායනය කර ඇත. නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ක්‍රීට් හි ස්මිත්ෆීල්ඩ් ෆුඩ්ස් නම් ඌරු මස් කම්හලේ දුසිම් ගනනක් සේවකයින් 26දා රැකියාවෙන් ඉවත් වූයේ, කම්කරුවන් 48දෙනෙකුට රෝගය වැලඳී ඇති බව පරීක්ෂනවලින් සනාථ කර තිබිය දී,  සමාගම පාටිපාටිය  වෙනස් කර පිරිසිදු කිරීම සඳහා එය වසා නො දමන බව නිවේදනය කිරීමෙන් පසුව යි. 

ජෝර්ජියා ප්‍රාන්තයේ කැත්ලීන් සිට දකුනු ඩැකෝටා ප්‍රාන්තයේ සියොස් ෆෝල් දක්වා මස් සැකසුම් කම්කරුවෝ නිසි රැකවරනය හා සනීපාරක්ෂාව ඉල්ලා විරෝධය පල කර රැකියාවෙන් ඉවත් වී සිටිති. අධික ලෙස සූරා කැවෙන මෙම කම්කරුවන් අසමානුපාතික ලෙස සමන්විත වන්නේ, ලතින් ඇමරිකානු හා නැගෙනහිර අප්‍රිකානු සංක්‍රමනිකයන්ගෙනි

මිලියන තුනකට අධික ජනතාවක් ආසාදනයට ලක් කරමින් හා ගෝලීය වශයෙන් අවම වශයෙන් 216,000 කගේ ජීවිත බිලි ගනිමින් කොරෝනා වෛරස් වසංගතය වේගයෙන් පැතිරී යද්දී, පාලක ප්‍රභූව අනුගමනය කරන ආපසු වැඩට දැක්කීමේ උත්සාහයට  කම්කරු පන්තියෙන් එල්ලවන විරෝධය, මාධ්‍ය විසින් බොහෝ දුරට නො සලකා හැර තිබිය දී, ලෝකය පුරා විධාරනය වෙමින් තිබේ. 

රෝගීන් මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් හා මරන 60,000කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී තිබීම හමුවේ එක්සත් ජනපදය, වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙස පවතියි. ගෝලීය ජනගහනයෙන් සියයට පහකටත් අඩු සංඛ්‍යාවක් සිටින ලෝකයේ ධනවත් ම රට, දැන් සියලු රෝගීන්ගෙන් තුනෙන් එකක් දරා සිටියි.

කුඩා දක්ෂිනාංශිකයින් පිරිසක් “නැවත වැඩට යාම” පිලිබඳ උද්ඝෝෂනවලට ගොනුවීම මාධ්‍ය විසින් ප්‍රවර්ධනය කර තිබිය දී ත්, නිවසේ රැඳී සිටීමේ නියෝග හා වෙනත් සමාජ දුරස්ථ පියවරයන්ට ඇමරිකානුවන් විශාල වශයෙන් සහාය දක්වන බව මෑත මත විමසීම් මාලාවකින් පෙනී යයි. පසුගිය සතියේ, පොලිටිකෝ/මෝනිං කන්සල්ට් නම් තාක්ෂන හා මාධ්‍ය සමාගම් පැවැත්වූ මත විමසුමක් නිගමනය කලේ, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 76ක්, ආර්ථිකයට හානියක් වුව ද, වසංගතය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය තාක් දුරට අඛන්ඩ සීමා කිරීම්වලට සහාය දෙන බව යි. 

තම කම්හලේ කම්කරුවන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීමෙන් පසු කම්හල වසා දැමීමට බලකරමින්, ඇලබාමා ප්‍රාන්තයේ සෙල්මා හි ඇඟලුම් කම්කරුවෝ 23දා රැකියාවෙන් ඉවත්ව ගියහ. එක් කම්කරුවෙක් පොදු මනෝගතිය මෙසේ සාරාංශ කලේ ය: “ඔවුන් අපි ගැන බලන්නේ නෑ. ඔවුන්ට ඕනෑ අපි  වැඩ කරන එක විතරයි. ”

සැතපුම් 8,500ක් එපිට බංග්ලාදේශයේ ඩකා නගරයේ ඇඟලුම් කම්කරුවෝ කිසිදු ආදායමක් නොමැති ව සාගින්නෙන් පෙලෙන බැවින් පසු ගිය මාස දෙකක වැටුප් ඉල්ලා 26දා, පාරට බැස්සෝ ය. කම්කරුවන් අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගෝලීය ඇඟලුම් නිෂ්පාදන මධ්‍යස්ථානය මාර්තු මාසයේ සිට වසා දමා ඇත.

දිනපතා තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව ඉහල යාම බංග්ලාදේශය තුල අඛන්ඩව දක්නට ලැබෙන අතර වසංගතය අඩුවෙමින් පවතින බවට කිසිදු සාක්ෂියක් නොමැත. කෙසේවෙතත්, කර්මාන්තශාලා හිමිකරුවන් මෙම සති අන්තයේ සිය කම්හල් නැවත විවෘත කිරීම ඇරඹුවේ, අත් පිරිසුදුකරනයක් සැපයීම හෝ කම්කරුවන් ඔවුන්ගේ සේවා ස්ථානවල වෙන් කර තැබීම වැනි කිසිදු ආරක්ෂක පියවරක් ක්‍රියාත්මක කිරීමට බොහෝ කම්හල් ප්‍රතික්ෂේප කර තිබියදීය.

මිචිගන්, ඔහියෝ හා ඔන්ටාරියෝ ප්‍රාන්තවල මෝටර් රථ කම්කරුවන්ගේ හදිසි වැඩ වර්ජන වලින් මාර්තු මාසයේ දී මෝටර් රථ කර්මාන්තය වසා දැමුනි. කම්කරුවන් නැවත වැඩට පැමිනීමට එරෙහි වීම නිසා, මැයි මස මුල වන විට කම්හල් නැවත විවෘත කිරීමේ  වෘත්තීය සමිති-සමාගම් ඒකාබද්ධ සැලැසුම් සති දෙකක් පසුපසට තල්ලු කෙරී ඇත.

එක්සත් ජනපද දේශ සීමාව ආසන්නයේ, මෙක්සිකෝවේ සියුඩාඩ් මෝටර් රථ කොටස් හා පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපාංග තැනූ, මැකිලඩෝරා කම්කරුවෝ දහස් ගනනක් වැඩ වර්ජනය කරමින්, පූර්න වැටුප් සහිතව තම කම්හල් වසා දමන ලෙස ඉල්ලා විරෝධය පල කරති. පසුගිය සතිය වන විට, මැකිලඩෝරා කම්කරුවන් දහතුන් දෙනෙකු  මිය ගියේය. තහවුරු කෙරුනු සියලුම කොරොනා වෛරස් මරන වලින් අඩකට ආසන්න ප්‍රමානයකට එය දායක විය.

කොරෝනා වෛරසය දැන් ලතින් ඇමරිකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. අනාරක්ෂිත තත්වයන් මත මාර්තු අග දී, ඇමතුම් මධ්‍යස්ථාන සේවකයින් දහස් ගනනක් බ්‍රසීලය පුරා හදිසි වැඩවර්ජනයක් දියත් කලහ. “අපි අපේ කුටිවල මැරෙන්නේ නෑ” යයි ඔවුහු ප්‍රකාශ කලහ. බ්‍රසීලයේ ක්‍රියාත්මක වන එකම ප්‍රධාන අන්තර්ජාතික සමාගමකට එරෙහි ව මහා වැඩවර්ජනයක් සඳහා ඉතාලි කම්කරුවන් කල ඉල්ලීම්වලින් පසුව ඇති වූ වැඩ වර්ජන , ඇමතුම් මධ්‍යස්ථාන ශ්‍රම බලකාය නියෝජනය කරනවා යැයි කියන වෘත්තීය සමිතිය විසින් හෙලා දකින ලද

ආහාර බෙදා හැරීමේ යෙදුම් (ඇප්) සමාගම්වල සේවයේ නියුතු කම්කරුවෝ අප්‍රේල් 17 වනදා බ්‍රසීලයේ මෙන්ම ඉක්වදෝරය, ආර්ජන්ටිනාව හා චිලියේ නගර කිහිපයක ම වැඩ වර්ජනයක නිරත වූහ. මෙම ක්‍රියාමාර්ගය ගැනුනේ ස්පාඤ්ඤයේ ද එවැනිම වැඩ වර්ජනවලින් පසුව ය.

නගරයේ කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රධාන පහසුකම්වලින් එකක් වන මොස්කව් හි කොම්මුනාර්කා රෝහලේ ආරක්ෂිත පුද්ගල උපකරන හිඟයට හා  අඩු වැටුප්වලට විරෝධය පල කරමින් හෙදියෝ සඳුදා සමූහ වශයෙන් සේවය අතහැර ගියහ. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර මාර්තු අග දක්වා වසා දැමීම සමග, රුසියාවේ තහවුරු කෙරුන රෝගීන් දිනපතා දහස් ගනනින් වැඩි වෙමින් පවතින අතර, ආන්ඩුවේ අමාත්‍යවරු  දැනටමත් කම්කරුවන් නැවත සේවයට යැවීමේ සැලැසුම් සකස් කරමින් සිටිති.

මේ දක්වා, වසංගතයට එරෙහි ව සටන් කිරීමේ මුවාවෙන් ලෝක ආන්ඩු විසින් සෑම පියවරක් ම ගනු ලබන්නේ,  පාලක ප්‍රභූවේ උත්සුකතා අනුව ය. කොටස් වෙලඳපොලවල දැවැන්ත නැගීමට රුකුල් දෙමින්, ඩොලර් ට්‍රිලියන ගනනක් කම්කරු පන්තියේ සිට බැංකු හා සංගත වෙත මාරු කර ඇත. පාලක පන්තිය ඉල්ලා සිටින්නේ, ධනවතුන් සඳහා මෙම සහනාධාර ලබා දීමට අවශ්‍ය අතිරික්ත වටිනාකම හා ලාභය නිර්මානය කිරීම සඳහා කම්කරුවන් නැවත රැකියාවට පැමිනිය යුතු බව යි.

ආරක්ෂිත සේවා කොන්දේසි හා අත්‍යවශ්‍ය නො වන කර්මාන්ත වසා දැමීම ඉල්ලා සිටින කම්කරුවන්ට වෘත්තීය සමිති මත විශ්වාසය තැබිය නො හැකි ය. අර්බුදය පුරාම සමාගම් සඳහා සමිති වැඩ කර ඇත්තේ බොහෝ කම්කරුවන් රැකියාවලට දැක්කීමටත්, විරෝධතා පැනඟින විටම ඒවා යටපත් කිරීමට උත්සාහ ගනිමිනි.

ලොව පුරා සෑම කර්මාන්තයක ම සිටින තම සහෝදර සහෝදරියන් සමඟ, වසංගතයට විද්‍යාත්මක ව හා වෛද්‍යමය වශයෙන් ප්‍රතිචාර දැක්වීමක් ඉල්ලා සිටීම සංවිධානය කිරීම හා සම්බන්ධීකරනය කිරීමට, කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, සෑම සේවා ස්ථානයකම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය. 

අත්‍යවශ්‍ය නො වන කර්මාන්තවල  සේවයට නැවත නො පැමිනිය යුතු ය යන ඉල්ලීම මෙම කමිටු විසින් මතු කල යුතු ය. සමාජයේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය කාර්යයන්හි නියැලී සිටින කම්කරුවන්ට සෑම ආරක්ෂාවක් ම සහතික කල යුතු ය. වසංගත කාලසීමාව සඳහා සේවයෙන් පහ කරන ලද හෝ දීර්ඝ කාලීන ව නිවාඩු යවන ලද සියලුම කම්කරුවන් සඳහා සම්පූර්න ආදායම සහතික කල යුතු ය. ආරක්ෂිත තත්වයන් සහතික කිරීම සඳහා වෛද්‍ය වෘත්තිකයන් සමඟ සාකච්ඡා කර කම්කරුවන් තම සේවා ස්ථානවල සෞඛ්‍යය හා ආරක්ෂාව පිලිබඳ පාලනය ස්ථාපිත කල යුතුය.

සියල්ලටත් වඩා, කාර්මික, භාෂාමය හා ජාතික රේඛා හරහා සියලු ම කම්කරුවන් ජාත්‍යන්තර ව එක්සත් කරමින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන බාර ගැනීම, එය ඉල්ලා සිටි යි. එය ධනේශ්වර පාලක ප්‍රභූවට සම්පූර්න විරුද්ධ දේශපාලන ඉදිරිදර්ශනයකි.

 

Loading