ඉදිරිදර්ශන

2020 වෝල් වීදියේ මහා මංකොල්ලය

මෙම ලිපිය අප්‍රේල් 28වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික ඛාදනය, එක්සත් ජනපද ජනගහනයේ අතිමහත් බහුතරයකට විනාශකාරී විපාක ගෙන දෙයි. සිකුරාදා ඇරඹෙන නව මාසයෙහි අර්ථය වන්නේ, බදු කුලී හා උකස් අත්තිකාරම් ගෙවීමට ආදායමක් නොමැති කම්කරුවන් මිලියන ගනනකට, ඒවා ගෙවීමට නියමිත ව පවතින බව යි.

පසුගිය සති පහ තුල, මිලියන 20කට අධික ජනකායක් විරැකියා ප්‍රතිලාභ ඉල්ලා ඇත. මාර්තු මාසයේ දී ප්‍රතිලාභ ලැබුනේ ඉල්ලූ අයගෙන් සියයට 30ට අඩු ගනනකට ය. තවත් මිලියන ගනනක් කිසිදු සහනාධාරයකට සුදුසුකම් නො ලබයි.

මධ්‍යම ආන්ඩුවේ ඩොලර් 1,200ක මූල්‍ය උත්තේජකය ඇතුලු කිසිවක් තවමත් මිලියන ගනනකට ලැබී නැති අතර, දුගී බවට ඇදවැටීමෙන් අත්මිදීමට ඔවුහු මංමුලා සහගත ලෙස උත්සාහ දරති. ආහාර බැංකු ඉල්ලුම විසින් අභිබවා ගොස් ඇත්තේ, ඒවා සතු අත්‍යවශ්‍ය භාන්ඩ ක්ෂය වී යද්දී ය. ආර්ථික ප්‍රතිපත්ති ආයතනයට අනුව, රැකියා අහිමි වූ මිලියන නවයක් ජනයාට අප්‍රේල් 11 වන විට සෞඛ්‍ය රක්ෂනය ද අහිමි ව ගොස් තිබුනු අතර, ඉන්පසුව ගත වූ සති කිහිපය තුල තවත් මිලියන කිහිප ගනනකට එයට මුහුන දීමට සිදු විනි.

එහෙත්, යථාර්ථයන් දෙකක්, එනම් ඇමරිකාවන් දෙකක් පවතී. පලල් ව පැතිරුනු විරෝධය මධ්‍යයේ, කම්කරුවන්ගේ ආර්ථික දුගී භාවය ඔවුන් ව යලි වැඩට දැක්කීමේ උත්සාහයකට යොදාගනිමින් තිබෙන අතර, සංගත හා මූල්‍ය කතිපයාධිකාරය තමන්ගේ ධනය ඉහල යාම දැකගෙන ඇත.

යෝධ මූල්‍යමය ධන නිධානයන් සහිත බොහෝ යෝධ සංගත, සේවකයන් දොට්ට දමමින් සිටින්නේ, විධායකයන්ට දිගට ම ගෙවමිනි. විනෝදාස්වාද කර්මාන්තයේ යෝධයෙක් වන ඩිස්නි සංගතය, විධායක වන්දි වැඩසටහන පවත්වාගෙන යන අතර ම, කම්කරුවන් 100,000කට අධික පිරිසක් විශ්‍රාම ගන්වා තිබීම හේතුවෙන් මෑතක දී මහජන අවධානයට බඳුන් විය. එහෙත් මෙය සාමාන්‍ය නියාමය යි.

මාර්තු මැද පටන්, එක්සත් ජනපද බිලියනපතියෝ, ඔවුන්ගේ ධනය ඩොලර් බිලියන 282කින් ඉහල දමාගෙන ඇත. සඳුදා (අප්‍රේල් 27) යලි වතාවක් තියුනු ලෙස ඉහල ගිය වෝල් වීදියේ කොටස් වටිනාකම්වල අනවරත නැගීම විසින්, 614ක් වන මෙම පුද්ගලයන්ගේ සාමූහික ධනය වන ඩොලර් ට්‍රිලියන 3.2ට මුක්කුව දෙනු ලැබ තිබේ.

ඊයේ පලවූ ඩර් ස්පීගල් නමැති ජර්මානු සතිපතා පුවත්පතේ උද්ධෘතයක් ආර්ථික තත්ත්වය ග්‍රහනය කරගත්තේ ය: “එක්සත් ජනපදය තුල මරන ගනන මෙන් ම වෙලඳපොලවල් ද නගිමින් තිබේ.” ව්‍යාපාර වසා දමනු ලැබ තිබිය දී, විරැකියා භාවය ඇමරිකානු ඉතිහාසය තුල දුටු කිසිදු මට්ටමක් අභිබවන බව සඳහන් කරමින් ඩර් ස්පීගල් මෙසේ ලියයි: “මූලික ආර්ථික දත්ත, යථාර්ථයේ දී මිල දී ගැනීමට  ලබා දෙන්නේ එතරම් කුඩා දිරිගැන්වීමක් නම්, මෙම වර්ධනය පිටුපසින් තිබෙන්නේ කුමක් ද? ප්‍රහේලිකාවේ විසඳුමට ඇත්තේ අකුරු දෙකකි: එනම් “[ඇමරිකන් මහබැංකුව]ෆෙඩ්” ය.

වෝල් වීදියට සහයෝගය දීම සඳහා තමන්ට හැකි සියල්ල ම කරන බව ෆෙඩ් -එනම්, ඇමරිකන් මහබැංකුව- පැහැදිලි කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙලඳපොලවල් ඉහල නගිමින් තිබේ. “මිල ගනන් පහල යාම ගැන ඔට්ටු ඇල්ලීමට ඔබට අවශ්‍ය වී නම්, අරමුදල් ප්‍රායෝගික ව අනන්ත පරිමාන වන ආයතනයකට එරෙහි ව ඔට්ටු ඇල්ලීමට ඔබට සිදු වනු ඇත” යි ඩර් ස්පීගල් ප්‍රකාශ කරයි.

මාර්තුව ආරම්භයේ සිට, ට්‍රම්ප් පරිපාලනය හා මාධ්‍ය, කොරෝනා වෛරස් වසංගතය විසින් ඉදිරියට දමන අන්තරාය ලඝුකරමින් සිටිය දී, පලමුව පොලී අනුපාත ශූන්‍යයට අඩුකරමින් ද ඉන්පසුව, බැංකු හා සංගතවලට කොටස් මිල දී ගැනීම සඳහා මුදල් සම්පාදනය කරමින්, ඔවුන්ගේ වත්කම් මිලට ගැනීමට ක්‍රියාමාර්ගයන් පහුරක් අරඹමින් ද ෆෙඩරල් රිසර්ව් බැංකුව වෙලඳපොලවලට මුදල් පොම්ප කිරීම ඇරඹී ය.

මාර්තු මාසය අග දී, ෆෙඩරල් රිසර්ව් බැංකුවේ ක්‍රියාකාරීත්වය එක්සත් ජනපද කොංග්‍රසය විසින් ඒකමතික ව අනුමත කලේ, ඩොලර් ට්‍රිලියන 4ක වත්කම් මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 454ක් වෙන් කල, “කෙයාස් පනත” සම්මත කරමිනි. වර්මන්ට් ප්‍රාන්තයේ හිටපු “ප්‍රජාතාන්ත්‍රික සමාජවාදියා” වන බර්නි සෑන්ඩර්ස් ඇතුලු සෑම සෙනෙට් සභිකයෙක් ම කෙයාස් පනතට පක්ෂ ව ඡන්දය දුන් හ.

ෆෙඩ් බැංකුව දිනපතා ඩොලර් බිලියන 80ට ආසන්න මුදලක් වියදම් කරයි. 2008ට පෙර ඩොලර් ට්‍රිලියන 1ට අඩු වූ හා ගිය වසරේ ඩොලර් ට්‍රිලියන 4ට අඩු වූ මහ බැංකුවේ ශේෂ පත්‍රය, ඩොලර් ට්‍රිලියන 11ක් තරම් ඉහලට නැගෙනු ඇතැයි අපේක්ෂිත ය.මෙය, ෆෙඩ් විසින් රඳවාගෙන සිටින වත්කම්වල සමස්ත වටිනාකම, එක්සත් ජනපදයේ සමස්ත වාර්ෂික ආර්ථික ප්‍රතිදානයෙන් අඩකට ආසන්න මට්ටමකට ගෙන එනු ඇත.

දේවල් ඒවායේ නියම නම්වලින් හැඳින්විය යුතු ය. “වත්කම් මිලට ගැනීම්” හා “ප්‍රමානාත්මක ලිහිල් කිරීම්” වැනි භාෂිතයන් සිදුවන දෙය සැඟවීමට නැඹුරු වේ. මෙය වනාහි, පෙර නුවූ විරූ මට්ටමේ, මංකොල්ල කෑම, හොරකම හා මහා හොරකම යි. කොටස්වල අයිතිය බහුතර වසයෙන් ධනවතුන් අත සංකේන්ද්‍රිත ව පවතින නිසා, ප්‍රතිලාභ ලබන්නේ ධනවතුන් ය.

2020 වෝල් වීදියේ මහා මංකොල්ලයට, එහි සෑම අදියරක දී ම, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ විසින් ආධාරය හා අනුග්‍රහය දෙනු ලැබ තිබේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුලු රාජ්‍යයේ විවිධ ආයතන, ශිෂ්ට භාෂාවෙන් කියන්නේ නම්, වෝල් වීදියෙන් ගෙවීම් ලබන කුලීකාරයන්ට වැඩි කිසිවක් නො වන ඔවුන් ම හෙලිදරවු කර ඇත.

2008 අර්බුදයෙන් පසුව, බුෂ් හා ඔබාමා පරිපාලනයන්, විශේෂයෙන් ම සමපේක්ෂන කාමසුකල්ලිකානු යෝගයක වාහකයන් ලෙස යොදාගෙන තිබූ, උකස්-පිටුබලය ලත් සුරැකුම්පත් ඇතුලු සියලු සදොස් වත්කම් මිලට ගනිමින්, වෝල් වීදියට ඇප තැබීම ක්‍රියාවට දැමී ය. එහි ප්‍රතිඵලයක් ලෙස, සමාජ අසමානතාව වාර්තාගත මට්ටම්වලට ඉහල නැගුනි. සංගත ධන නිධානයන් ඩොලර් ට්‍රිලියන 2 කරා ඉහල ගියේ ය. කොටස් ආපසු මිලට ගැනීම පිනිස ඩොලර් ට්‍රිලියන 4ක් පමන පොම්ප කරන ලදී.

වසංගතයේ ආර්ථික විපාකයන්ට ගෙවීමට බලකෙරෙනවා වෙනුවට, යලි වතාවක් බැංකු හා සංගතවලට ඇප තබනු ලැබ තිබෙන අතර, මේ වතාවේ එය වඩා විශාල පරිමානයක් ගනී. යලි වතාවක්, ධනවතුන්ගේ අවශ්‍යතාවන්ට අනුකූල ව පන්ති සබඳතා ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාවක් ලෙස අර්බුදය ප්‍රයෝජනයට ගැනෙමින් තිබේ.

වෝල් වීදිය වෙතට හරවනු ලබන සෑම දෙයකට ම ගෙවනු ඇත්තේ, කප්පාදුවට, සමාජ වැඩපිලිවෙලවල් තවදුර විනාශ කිරීමට හා තීව්‍ර කරන ලද සූරාකෑමට මුහුන දෙන කම්කරු පන්තිය විසිනි. වසංගතයේ නව රැල්ලක් හා පුද්ගලයන් දහස් ගනනකගේ මරනවල අන්තරාය තිබිය දී, ආපසු වැඩට යන ලෙස වෙහෙස නො තකා කරන උද්ඝෝෂනය පැමිනෙන්නේ එබැවිනි.

“ආර්ථිකය රැකගැනීමට” එවන් පියවරයන් අවශ්‍ය බව අපට කියනු ලැබේ. එහෙත් “ඇමරිකානු ජනතාව” මෙන් ම “ආර්ථිකය” යන්න ද වියුක්තයකි. “රැකගනු ලැබ ඇති ආර්ථිකය” ධනවතුන්ගේ හා ධනවාදයේ ආර්ථිකය යි. ගෙන ඇති සෑම පියවරක් ම පදනම් කරනු ලැබ ඇත්තේ, සමාජයේ වියදමින් කතිපයාධිකාරයේ අවශ්‍යතා ආරක්ෂා කරගැනීම මත යි. සෑම පිලිවෙතක් ම මෙහෙයවනු ලැබ තිබෙන්නේ පන්ති අවශ්‍යතා විසිනි.

කම්කරු පන්තියේ අවශ්‍යතා මත පදනම් වන සමාජවාදී ප්‍රතිචාරයක්, මුලුමනින් ම වෙනස් ආකාරයේ එකකි. ට්‍රිලියන ගනන් වෙන්කරනු ලැබිය යුත්තේ, වෝල් වීදියට ඇප තැබීමට නො ව, සෞඛ්‍යාරක්ෂන යටිතල පහසුකම් ගොඩනැගීමේ හා සියලු අත්‍යවශ්‍ය කම්කරුවන්ට පුද්ගල ආරක්ෂක උපකරන සම්පාදනය කිරීමේ හදිසි වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමීමට යි.

කම්කරුවන්ගේ ආදායම් බැංකුවලට ගෙවීම් කිරීම සඳහා විශේෂයෙන් සංලක්ෂිත කරන නය හා අනෙකුත් යාන්ත්‍රනයන් වහා ම අත්හැර දමනු ලැබිය යුතු ය.ශිෂ්‍ය නය (ඩොලර් ට්‍රිලියන 1.5කි), මෝටර් රථ නය (ඩොලර් ට්‍රිලියන 1.3කි) හා නයවර කාඩ් නය (ඩොලර් ට්‍රිලියන 1.08කි) යන සියල්ල, වෝල් වීදියට හරවා ඇති මුදල්වලින් අතුගා දැමිය හැක්කේ තවත් ට්‍රිලියන ගනනක් ඉතිරි වෙද්දී ය.

සියලු කම්කරුවන්ට වසංගතය කාලපරිච්ඡේදය සඳහා ඔවුන්ගේ සම්පූර්න ආදායම අනවරත ව ලැබිය යුතු ය. සියලු දෙනා සඳහා, මුලුමනින් ම සමාන පදනමක් මත නොමිලේ ලබා දෙන, ඉහල ම ගුනාත්මක භාවයෙන් යුතු සෞඛ්‍යාරක්ෂනයට හිමිකම් තිබිය යුතු ය.

තව ද කුඩා ව්‍යාපාර සඳහා යථා සහයෝගය තිබිය යුතු ය. කුඩා ව්‍යාපාරවලට ආධාර කිරීමට යයි ප්‍රදර්ශනය කරමින්, කොංග්‍රසය විසින් සම්මත කල ඊනියා පඩිපත් ආරක්ෂන වැඩසටහන, මහා අවන්හල් දාම, හෝටල් බහ්වාධිකාර හා ව්‍යාජ අරමුදල් ඇතුලු විශාල සංගත සඳහා වන තවත් යෝධ වංචාවක් බව තහවුරු වී ඇත.

එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තර ව ද කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කරගැනීම සඳහා ගන්නා එවැනි ක්‍රියාමාර්ග හා අනෙකුත් හදිසි පියවරයන්, පවතින රාජ්‍ය ආයතන රාමුව තුල ඉටු කරගත නො හැකි වූ අතර ඉදිරියේ දී හැකි වන්නේ ද නැත.

ආරම්භයේ දී තර්ජනය ලඝු කිරීමේ සිට කිසිදු අර්ථභාරී ප්‍රතිචාරයක් සංවිධානය කිරීමට අසමත් වීම, වෝල් වීදියට ප්‍රදානය කල යෝධ දීමනාව හා වසංගතය පැතිර යාම මධ්‍යයේ කම්කරුවන්ට ආපසු වැඩට යාමට බලකරන වත්මන් උද්ඝෝෂනය දක්වා වන වසංගතයට දක්වා ඇති සමස්ත ප්‍රතිචාරය, රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදී න්‍යායයේ සනාථ වීමකි. රාජ්‍යය යනු ස්වාධීන ආයතනයක් නො වේ. පාලනය කරන්නේ මූල්‍ය කතිපයාධිකාරය විසිනි. එය ඔවුන්ගේ රාජ්‍යය යි. දේශපාලනඥයෝ ඔවුන්ගේ  දේශපාලනඥයන් ය. මාධ්‍ය යනු ඔවුන්ගේ මාධ්‍ය ය.

ධනේශ්වර පද්ධතියට ප්‍රධාන ප්‍රහාරයක් එල්ල නො කොට කම්කරු පන්තියේ අවශ්‍යතා සුරක්ෂිත කරගත නො හැකි බව සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරයි. මූල්‍ය කතිපයාධිකාරීන්ගේ ධනය අල්ලාගනු ලැබිය යුතු ය. යෝධ බැංකු හා සංගත මහජනයාට අයත් උපයෝගීතාවන් බවට පරිවර්තනය කිරීම හරහා සමාජ හා ආර්ථික පද්ධතිය මත කතිපයාධිකාරීන්ගේ බලාධිකාරය බිඳ දමනු ලැබිය යුතු ය.

ප්‍රවර්ධන පහසුකම්, ආහාර නිෂ්පාදනය, සෞඛ්‍යාරක්ෂනය, බලශක්තිය, නිෂ්පාදනය හා අනෙකුත් මූලික කර්මාන්ත, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ සමාජ අවශ්‍යතාවන් ඉටු කිරීම පිනිස ප්‍රතිව්‍යුහගත කරනු ලැබිය යුතු ය. සමාජයේ සම්පත් කම්කරු පන්තියේ මූල්‍යමය යහපත හා සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට යලි දිශාගත කරමින් වෝල් වීදියට කල මහා ඇප තැබීම් ආපසු හරවනු ලැබිය යුතු ය.

පවත්නා දේශපාලන පද්ධතිය ඇතුලත එවන් පිලිවෙත් යථාවත් කරගත නො හැක. මනුෂ්‍ය වර්ගයා විනාශයෙන් ආරක්ෂා කරගැනීමට සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ ආන්ඩුවක් -එනම් කම්කරුවන් විසින් පාලනය කරන, කම්කරුවන් සඳහා වන කම්කරුවන්ගේ ම ආන්ඩුවක්- ස්ථාපිත කිරීම හරහා දේශපාලන බලය කම්කරු පන්තිය අතට ගැනීම පිනිස කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස බලමුලුගැන්වීමේ අවශ්‍යතාව ඒවා මගින් ඉස්මතු කරයි.

Loading