ආර්ජන්ටිනාවේ නය පැහැර හැරීමට සමාන අර්බුදයක ලංකාව ගිලී සිටින බව ජනාධිපති ලේකම් පිලිගනී

ලංකාවේ නය අර්බුදය උග්‍රවී ඇති සැටි ජාත්‍යන්තර ශ්‍රේනිගත කිරීමේ ඒජන්සි විසින් පෙන්වා දෙන තත්වය තුල ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර ශ්‍රී ලංකාවේ ආන්ඩුවට නය හා පොලී ගෙවීම් පැහැර හරිමින් ආර්ජන්ටිනාවක් බවට පත් වීමට වුවමනා වන්නේ නැතැයි ”අප්‍රේල් 28 දා ඩේලිඑෆ්ටී අන්තර්ජාල පුවත්පතට ප්‍රකාශ කලේය.

නය වාරික හා පොලී ගෙවීමේ නොහැකියාවට මුහුන දී ඇති ආර්ජන්ටිනාව විශ්රාම වැටුප් කපා හැරීම, දසදහස් ගනනකගේ රැකියා අහිමි කිරීම, සහනාධාර, අධ්‍යාපන හා සෞඛ්‍යවියදම් කැපීම මගින් මිලියන ගනන් දරිද්‍රතාවට ඇදහෙලමින් පොලිස් රාජ්‍ය පියවර ගත්තේ නව වසංගතයෙන් අර්බුදය ගැඹුරු වීමටත් පෙර ය.

”කිසිම තත්වයක් යටතේ නය වගකීම් පැහැර හැරීමට යොමු නොවන බව” ජයසුන්දර කියා සිටියද ගෝලීය ආර්ථික ශ්‍රේනිගත කිරීමේ ආයතන වන ෆිච් හා මූඩිස් වැනි ආයතන ලංකාවේ ආර්ථිකය පිලිබදව පසුගිය දින කිහිපය තුල එලි කර ඇති තක්සේරු වලින් ප්‍රකට වන්නේ දරුනු කොන්දේසි වලට මෙරට මුහුන දී සිටින බවයි.

කොරෝනා වෛරස වසංගතය නිසා ගෝලීය ආර්ථික අර්බුදය තියුනු වීම මධ්‍යයේ ලංකාවේ ආර්ථිකය විදේශ වත්කම් සේදී යාම, නය ඉහලයාම, ආර්ථිකයේ ප්‍රධාන අංශ බිඳවැටීම ඇතුලුව දැවැන්ත ගැටලුවල ගිලී ඇත.

කොරෝනා වෛරස වසංගතයට මුවා වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මිලිටරියේ විශාල භටකායක් අගනුවරට හා කඳවුරු වලට කැදවා ඇත්තේ මෙම අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට ආඥාදායක පාලනයක් සඳහා කුමන්ත්රනයක් සුදානම් කරමිනි.

මේ වනවිට ලංකාවේ කොවිඩ්-19 වසංගතයට ගොදුරු වී ඇති ආසාදිතයන් ගනන වේගයෙන් 700 කරා ලගා වෙමින් පවතී. එය නොතකා, කම්කරුවන් දස දහස් ගනනින් දොට්ට දමමින් හා වැටුප් කප්පාදු කරමින් අපනයන ක්ෂේත්‍රයේ කම්හල් විවෘතකිරීමට මහා ව්‍යාපාරයන්ට ආන්ඩුව ඉඩ ලබා දීමේ ප්‍රධාන එල්ලයක් වී ඇත්තේ රටට නය පොලී ගෙවීමට අත්‍යවශ්‍ය වී ඇති විදේශ මුදල් උපයා ගැනීමයි. එලඹෙන විශාල බාහිර නය ගෙවීම් වලට මුහුන දී සිටියදී සිදුවන ප්‍රාග්ධන පිටතට ගලායාම, රුපියල අවප්‍රමානය සහ අඩු සංචිත ගැන මූඩි ඒජන්සිය විසින් සඳහන් කර ඇති අතර “නය දරා ගැනීමේ හැකියාව ඉතා දුර්වල” බව පෙන්වා දෙයි. ඒමගින් ඇස්තමේන්තු කර ඇත්තේ රජයේ නය බර දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට සියයක් දක්වා ඉහල යනු ඇති බවයි. අප්‍රේල් 29 දින පිට කල මහ බැංකු වාර්තාවට අනුව රටෙහි විදේශ නය ප්‍රමානය ඇමරිකානු ඩොලර් බිලියන 55 ඉක්මවයි

බලගතු ගෝලීය ආයෝජන බැංකුවක් වන මෝගන් ස්ටැන්ලි, පාකිස්තානයේ සහ ඝානාවේ ස්වෛරී බැඳුම්කර ශ්‍රී ලංකාවේ බැඳුම්කර වලට වඩා ඉහලින් ශ්‍රේනිගත කර ඇති අතර එමඟින් ලංකාවේ ආන්ඩුවට නය ගැනීම් වඩාත් අභියෝගාත්මක කර තිබේ. නැගී එන වෙලඳපල නය උපායමාර්ගය පිලිබඳ සිය වාර්තාවේ මෝගන් ස්ටැන්ලි අවධාරනය කර ඇත්තේ ශ්රී ලංකාවේ ස්වෛරී බැදුම්කර දැඩි අවදානමක පවතින බවයි

අප්රේල් 24දා ෆිච් ශ්‍රේනිගත කිරීම් ආයතනය ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේනිගත කිරීම බී සිට බී ඝෘන දක්වා පහත හෙලූ අතර, මෙම දර්ශකය ඇත්තේ ආර්ජන්ටිනාවට ලබාදී ඇති සී ශ්‍රේනියට ආසන්නවය. තවදුරටත් මහ බැංකුවේ මුදල් අච්චු ගැසීම මගින් මෙම දර්ශකය වේගයෙන් පහත වැටිය හැකි බවට විශ්ලේෂකයෝ අනතුරු ඇඟවූහ.

ෆිච් ඒජන්සිය තවදුරටත් කියා සිටියේ විකල්ප මූලාශ්‍රයන්ගෙන් අරමුදල් රැස් කිරීම මිස නය ආපසු ගෙවීම සඳහා මුදල් රැස් කිරීම සඳහා ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය වෙලඳපොලවලට යාමට අපහසු බවය. පසුගිය සතියේ ඩොලර් මිලියන 60ක බැඳුම්කර විකිනීමට භාන්ඩාගාරය තැත්කලත් විකිනීමට හැකිව ඇත්තේ ඩොලර් මිලියන 28ක බැඳුම්කර පමනකි.

රටෙහි නය දරා සිටීමේ හැකියාව තවදුරටත් ඛාදනය කරනු ඇතැයි ෆිච් පුරෝකථනය කලේය. මේ වසරේ ඉතිරි මාසවල නය වාරික හා පොලී සඳහා ශ්‍රී ලංකා ආන්ඩුවට ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක් ගෙවීමට සිදුවේ. ඉන්පසුව 2021 සිට 2023 දක්වා නය පියවීම සඳහා ආන්ඩුවට ඩොලර් බිලියන 13.8 ක් ගෙවීමට සිදුවනු ඇත.

පෙබරවාරි මැද සිට අප්‍රේල් මුල දක්වා විදේශ මුදල් පිටතට ගලායාම ඩොලර් මිලියන 363 ක් වූ අතර මාර්තු මුල සිට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 6 කින් අවප්‍රමානය විය. ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය 2020 දී සියයට ඒකකින් හැකිලෙනු ඇති බව ද දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.8ක් වූ 2019 ඇස්තමේන්තුගත අයවැය හිඟය 2020 දී දදේනි යෙන් සියයයට 9.3 දක්වා පුලුල් වනු ඇතැයි ෆිච් ගනන් බලා ඇත. එය ජාමූඅ විසින් ඉහත නය ලබා දීම යටතේ නියම කර තිබුනු සියයට 3.5 අයවැය හිඟයේ එල්ලය මෙන් තුන් ගුනයකට ආසන්නය.

මේ අනුව ආන්ඩුව සිය මූලෝපායික සබඳතා හරහා නය ගැනීමේ උත්සාහයක නිරතවී සිටී. 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවට චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක්, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් සහ ප්‍රන්සයෙන්ද පොරොන්දු ලැබී තිබේ.

ආන්ඩුව ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් ඉන්දියාවෙන් ද චීනයෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් ද හුවමාරුවක් ලෙස ලබා ගැනීමට යන බව වාර්තාවී තිබේ.

මෙම උග්‍ර අර්බුදයත් සමඟ ආන්ඩුව ජාමූඅ වෙතින් ඩොලර් මිලියන 800 ක් පමන වන ”වේගවත් නය පහසුකම්” වැඩපිලිවෙල යටතේ නයක් ඉල්ලා තිබේ.

මාර්තු මස මුල සිට බැඳුම්කර වෙලඳපලින් රුපියල් බිලියන 30ක් ඉවත් කරගෙන ඇත. මාර්තු මස 6 සිට 20 දක්වා කොලඹ කොටස් වෙලඳ පල කඩා වැටීම දෙගුන වී ඉන් රුපියල් බිලියන 355ක ප්‍රාග්ධනය සේදී ගොස් ඇති අතර ඉන් අනතුරුව කොටස් වෙලඳ පල වසා දමා තිබේ. එය යලි විවෘත කිරීමත් සමග ඇතිවිය හැකි තත්වය අවිනිශ්චිත බවට අදහස් පලවී තිබේ.

1930 ගනන් වල පැවති මහා අවපාතයෙන් පසුව, කොවිඩ්-19 වසංගතයෙන් ඇලලී තිබෙන ලෝකය මුහුනදී ඇති දරුනුතම ආර්ථික කඩා වැටීම මධ්‍යයේ බටහිර රටවල් අගුලු ලෑම නිසා දකුනු ආසියාවේ අපනයන කම්හල් වල නිෂ්පාදනයන් තියුනු කප්පාදුවකට ලක්වී තිබේ. දැනටම මහා පරිමාන රැකියා අහෝසියට හා වැටුප් කැපීමට මෙන්ම වැ්‍යාඩ දිනය දීර්ඝ කිරීම, නිවාඩු කැපීම හා විශ්රාම දීමනා කැපීම ඇතුලු සියලු සේවක අයිතීන් දං ගෙඩිය මත තබා ඇත.

ලාභ පිපාසිත මහා ව්‍යාපාරිකයින් නගා සිටුවීමේ මංමුලාගත වෑයමක යෙදෙමින් රාජපක්ෂ ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මුදලක් පොම්ප කරයි. මහා බැංකුව මේ වන විට රුපියල් බිලියන 240ක් වානිජ බැංකු වලට පොම්ප කර ඇත. ඉන් දැවැන්ත පදාසයක් යොදා ගෙන ඇත්තේ මහා ව්‍යාපාර වල ලාබ රැක ගැනීම වෙනුවෙනි. ලංකාවේ ප්‍රධාන මහා ව්‍යාපාරික වෙලඳ මන්ඩලය මෑතදී ආන්ඩුවට කියා සිටියේ ව්‍යාපාර නගා සිටුවීමට රුපියල් බිලියන 350 -400ක් ලබා දෙන ලෙසයි.

ලංකාවේ අර්බුදය දිග්ගැසී පවතින්නකි. 2016 දී ශ්‍රී ලංකා ආන්ඩුව ඩොලර් බිලියන 1.5 ක නය ජාමූඅ වෙතින් ලබා ගත් අතර එහි අවසාන වාරිකය රාපක්ෂ ආන්ඩුව බලයට පත්වීම සමග ජාමූඅ විසින් අවහිර කරනු ලැබීය. ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කිරීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ පෙර පැවති ආන්ඩුව වැඩකරන ජනතාවගේ කෝපයට ලක් විය.

රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන් හා දුගීන් මත පැටවීමට යන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනය හා ලංකාවේ මහා ධනපතියන් අනවන තවත් රුදුරු ප්‍රහාර මාලාවකි. මිලිටරිය රට පුරා යොදවමින් ආන්ඩුව සූදානම් වන්නේ ඒ සඳහාය.

Loading