ශ්‍රී ලංකාව: ජනාධිපතිවරයා ආඥාදායක පාලනය ස්ථාපනය කිරීමට පවුරු බඳී

මෙම ලිපිය 2020 අප්‍රේල් 30 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

කොලඹ පාසල් 16ක සහ උතුරු හා මධ්‍යම පලාත් ඇතුලු‍ අනෙක් ප්‍රදේශවල පාසල් ගනනාවක ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සොල්දාදුවන් දහස් ගනනක් ස්ථානගත කර ඇති බව මාධ්‍ය වාර්තාවලින් තහවුරු වී තිබේ. සඳුදා කොලඹට සොල්දාදුවන් එවන ලද්දේ දිවයින පුරා ඇඳිරී නීතිය පැනවීමක් මධ්‍යයේ ය.

“ඈත ප්‍රදේශවලින් ගෙන්වා ඇති සන්නද්ධ හමුදා භටයන් ලැගුම් ගන්නා ස්ථාන ලෙස පාසල් යොදා ගනු ඇත” යි අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙක් වන එම්. එම්. රත්නායක සඳුදා අනාවරනය කලේ ය. පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට නියමිත බව ප්‍රකාශ කල, එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දුන් පැවති ආන්ඩුවේ අධ්‍යාපන ඇමති වූ, අකිල විරාජ් කාරියවසම්ගේ මුහුනුපොත් සටහනකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පලකරන ලදී.

වර්තමාන ආරක්ෂක ලේකම් වන විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්න ද බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින්, නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනෙමින් තිබේ ය යන්න ප්‍රතික්ෂේප කලේ ය. නිවාඩු ගොස් සිට කැඳවනු ලැබූ සොල්දාදුවන් විශාල පරිමානයෙන් පැමිනීම නිසා ඔවුන්ට ලැගුම් ගැනීමට අතිරේක කඳවුරු අවශ්‍ය වූ බව ඔහු කීවේ ය. බොහෝ සොල්දාදුවන් කොලඹට කැඳවූයේ මන්දැයි ගුනරත්න පැහැදිලි කලේ නැත.

දැනට පවතින ආරක්ෂක හමුදා මෙහෙයුම් තර කිරීම සඳහා යුද හමුදාව පසුගිය සතියේ  එහි ක්ෂනික විහිදුම් බලකාය කොලඹට ඇතුලු වන ප්‍රධාන ස්ථානවල සේවයේ යෙදවුයේය. හේතුව ලෙස දැක්වූයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් අගනුවරට ඇතුලු වීම වැලැක්වීමයි. 

මේතරම් විශාල සොල්දාදුවන් සංඛ්‍යාවක් කොලඹට ගෙන ආවේ මන්දැයි යන්න ගැන, එජාපය ඇතුලු‍ පාර්ලිමේන්තුවේ කිසිදු විරුද්ධ පක්ෂයක්, ජනාධිපති රාජපක්ෂගෙන් හෝ මිලිටරි ලොක්කන් ගෙන් ප්‍රශ්න කර නැත. රාජපක්ෂ පාලනය මෙන් ම මිලිටරියේ සහයෝගය මත රඳා සිටින මෙම පක්ෂ, එහි කටයුතු විවේචනය කිරීමට බියපත්වේ.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සාමාන්‍යයෙන් පවත්වාගෙන යන්නේ පොලීසිය විසින් යයි එහි ලේකම්වරයා මත් අවධාරනය කර තිබුන ද පොලීසිය විස්ථාපනය කරමින් පාර්ලිමේන්තුවේ “බාහිර ආරක්ෂාවට” ආන්ඩුව මිලිටරිය යොදවා ඇත්තේ මන්දැයි යන්න ද ඔවුන් විසින් ප්‍රශ්න කොට නැත.

මෙම පියවරයන් ගෙන් ඉස්මතු වන්නේ මිලිටරි ප්‍රධානීන්  සමග සමීපතම සබඳතා තිබෙන රාජපක්ෂ, කුමන්ත්‍රනයක් සිදුකිරීම සඳහා යොදාගැනීමට භටයන් රඳවා තැබීමේ අන්තරාය යි. මහ මැතිවරනය පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු දැනට මත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටී. මේ සියල්ල සිදුකරන්නේ වසංගතයට එරෙහි ව සටන් කිරීමේ කඩතුරාව යටතේ ය.

රාජපක්ෂට අභියෝග කරනු වෙනුවට, පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ඉල්ලමින් හා ඔවුන්ගේ සහයෝගය පුදකරමින්, ප්‍රධාන විරුද්ධ පක්ෂ කරුනු 10ක ආයාචනයක් ජනාධිපතිවරයාට සඳුදා ඉදිරිපත් කලේ ය. එජාපය, ඉන් බිඳී ගිය කන්ඩායමේ සමගි ජන බලවේගය, දෙමල ජාතික සන්ධානය, ජාතික හෙල උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා වතු වෘත්තීය සමිති පක්ෂ විසින් අත්සන් කරන ලද මෙම ආයාචනය, භටයන් කොලඹට එවන ලද දිනයේ ම නිකුත් කරනු ලැබී ය.

“කිසිදු කොන්දේසියකින් තොර ව” ඉදිරිපත් කර ඇති “වගකීමෙන් සහයෝගය දීමේ මෙම ඉල්ලීමට ධනාත්මක ව ප්‍රතිචාර දක්වන” ලෙස ලිපිය රාජපක්ෂට බැගෑපත් විය. එම ආයාචනයේ මෙසේද සඳහන් වේ: ව්‍යවස්ථාවට අනුකූල ව “රට පාලනය කිරීම යථාවත්ව හා නීතිගරුක ලෙස කරගෙන යාමට හැකි වන පරිදි...පාර්ලිමේන්තුවේ දී ආන්ඩුවට සහයෝගය දීමට අපි සූදානම් වෙමු.” සිය සේවය ලබාදීම සඳහා කිසිදු වැටුපක් නො ගෙන සිටීමට පවා විරුද්ධ පක්ෂ පොරොන්දු විය.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙම ආයාචනයට අත්සන් නො තැබුව ද පැවති සර්ව-පාක්ෂික රැස්වීම්වල දී ආන්ඩුවේ ක්‍රියාවන්ට පිටුබලය දී ඇති අතර පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ද ඉල්ලා සිටියි.

සඳුදා ඉදිරිපත් කල මෙම ආයාචනය රාජපක්ෂ විසින් නො තකා හැර ඇත්තේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යන බවට ඉඟිකරමිනි. ගිය සතියේ ඔහු මාධ්‍ය වෙත මෙසේ කීවේ ය: “හේතුව කවරක් විය හැකි වුවත්, පැරනි පාර්ලිමේන්තුව යලි කැඳවීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ..” “ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මානය කිරීමට” උත්සාහ දරන්නේ යයි ඔහු විරුද්ධ පක්ෂවලට චෝදනා කලේ ය.

විරුද්ධ පක්ෂවල, කොන්දේසි රහිත නීච යටත්වීම යොදාගනිමින්, රාජපක්ෂ, බලය ඩැහැගැනීම ක්‍රමානුකූල ව සූදානම් කරමින් හා මිලිටරි නායකත්වයේ සහයෝගය රැලි කරගනිමින් සිටී. ආඥාදායක පාලනයක් දෙසට වන පියවරයන්ට විරුද්ධ වනු වෙනුවට, විරුද්ධ පක්ෂ කරමින් සිටින්නේ රාජපක්ෂට ඔවුන්ගේ සහයෝගය පුදකිරීම යි.

ඔවුන් අතර පවතින උපායික මතභේද නො තකා, රාජපක්ෂ හා පාර්ලිමේන්තු විපක්ෂය යන දෙගොල්ලන්ගේ ම ප්‍රමුඛ උත්සුකය වන්නේ, රැකියා, වැටුප් හා ජීවන කොන්දේසි මත පාලක ප්‍රභූව එල්ල කරන ගැඹුරු ප්‍රහාර අරබයා කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන සමාජ කෝපය යි.

පාර්ලිමේන්තුව යලි කැඳවීම ඉල්ලා සිටීම මගින් “තවත් අර්බුදයක්” නිර්මානය නො කරන ලෙස, පැවති පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය, පසුගිය සතියේ පක්ෂ නායකයන්ට යලිත් අනතුරු ඇඟවී ය. ව්‍යවස්ථාමය කරුනු සම්බන්යෙන් තීන්දු දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරනයට පමනක් බවත්, තමන් ප්‍රතිචාර දක්වන්නේ එවන් තීන්දුවකට පමනක් බවත් ඔහු කීවේ ය.

ගැඹුරු වන දේශපාලන අර්බුදය මධ්‍යයේ, ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරස් ආසාධිත සංඛ්‍යාව සතියකට පෙර වාර්තා වූ සංඛ්‍යාව මෙන් දෙගුනයකට  ලඟාවෙමින් 700 ට ආසන්නව තිබේ. සංඛ්‍යාවන් මෙලෙස ඉහල යන්නේ පරීක්ෂනයට බඳුන් කරනු ලබන්නේ ඉතා අඩු ප්‍රමානයක් ව තිබියදී ය.  ලොව පුරා අනෙකුත් ආන්ඩු මෙන් කොලඹ ආන්ඩුව ද වසංගතය එතරම් බරපතල නැතැයි හෝ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව පහල යමින් තිබෙන බව කියාපෑමට උත්සාහ දරයි.

කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින එකම ප්‍රමුඛ රෝහල වන ජාතික බෝවන රෝග ආයතනය (අයිඩීඑච්) ඊයේ ප්‍රකාශ කලේ  140ක් වන එහි ඇඳන්  පිරී ගොස් ඇති බවයි. එම රෝහලේ ශෝචනීය පහත් ධාරිතාව ඉස්මතු කර පෙන්වන්නේ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂනය නො තකා හැර, පිරිහෙලා ඇති ආකාරයයි. කොරෝනා වෛරස් ආසාදන වාර්තා වීම ආරම්භ වීමෙන් පසුව පවා, පවත්නා රෝහල් ප්‍රතිව්‍යුහගත කිරීමට හා ප්‍රසාරනය කිරීමට හෝ නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීමට ප්‍රමානවත් අරමුදල් වෙන්කිරීම කොලඹ ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කලේ ය.

එක්සත් ජනපදයේ හා යුරෝපයේ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී හාම්පුතුන් අනුයන ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ආන්ඩු, ආර්ථිකය යලි විවෘත කිරීම හා කම්කරුවන්ට ආපසු වැඩට යාමට අනවති.

ශ්‍රී ලංකාවේ ධනවාදය ගැඹුරු අර්බුදයක ගිලී තිබේ. “පලල් වන අයවැය හිඟය, වැඩෙන නය බර හා දුර්වල නය දරාගැනීමේ හැකියාව විසින් ඉස්මතු කර දක්වන බිඳෙනසුලු‍ මූල්‍ය තත්ත්වය” මත බලපාන “දේශීය හා විදේශීය කම්පනයන්ට” ශ්‍රී ලංකාව “එකවර” මුහුන දෙන බව මූඩිස් ජාත්‍යන්තර තක්සේරු ඒජන්සිය ඊයේ සඳහන් කලේ ය. ශ්‍රී ලංකවේ නය ප්‍රමානය දල දේශීය නිෂ්පාදිතයේ (දදේනි) අනුපාතයක් ලෙස ඉක්මනින් ම සියයට 100 කරා ලඟාවනු ඇතැයි එය පුරෝකථනය කලේ ය.

අරමුදල් රැස් කරගැනීම සඳහා, ඊයේ මහ බැංකුව සිදුකල එක්සත් ජනපද ඩොලර් මිලියන 68ක නාමික බැඳුම්කර විකිනීම, අසාර්ථක ව අවසන් විය. මිල දී ගන්නා ලද්දේ ඩොලර් මිලියන 28ක බැඳුම්කර පමනි. ආර්ථිකයට “මුක්කුව දීම” සඳහා මහ බැංකුව රුපියල් බිලියන 8 ක් මුද්‍රනය කරනු ඇතැයි, පසුගිය සතියේ ආර්ථික විද්‍යාඥයෙක් ගනනය කලේ ය. 

ආන්ඩුව තමන්ට යෝධ මූල්‍ය සහයෝගය සම්පාදනය කල යුතු යයි මහ ව්‍යාපාරිකයන් අනවරත ව අනවයි. ලංකා වානිජ මන්ඩලය රුපියල් බිලියන 350 ක හෝ දදේනියෙන් සියයට 3.5ක සමස්ත මූල්‍යමය සහයෝගයක් ඉල්ලා ඇත. සමාගම් කිහිපයක් වෘත්තීය සමිතිවලට පවසා ඇත්තේ, මාස තුනක් යනතුරු කම්කරුවන්ට වැටුප් නො ගෙවන බව ය. කම්කරුවන්ගේ මහා අරගල පුපුරා යාම පිලිබඳ ව භීතියෙන් සිටින වෘත්තීය සමිති, සහයෝගය පතා රාජපක්ෂට පිලිකුල් සහගත ලෙස ආයාචනා කර ඇත.

පසුගිය සතියේ රාජපක්ෂ පුද්ගලික අංශයේ කලමනාකාරීත්වයට කීවේ, ඔවුන් කැඳවිය යුත්තේ ශ්‍රම බලකායෙන් තුනෙන් පංගුවක් පමනක් බව යි. ඉතිරි කම්කරුවන්ගේ වැටුප් හා රැකියාවලට සිදුවනු ඇත්තේ කුමක්දැයි කිසිවක් ඔහු කිසිවක් කියා නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ සභාග ආන්ඩුව බිඳ දමන ලද මහජන කම්කරු-පන්තික විරෝධය සමග ගනුදෙනු බේරාගත හැකි “ශක්තිමත් හා ස්ථාවර” ආන්ඩුවක්, තමන් ස්ථාපනය කරන බව පසුගිය නොවැම්බරයේ රාජපක්ෂ පාලක ප්‍රභූවට පොරොන්දු විය. එහෙත් රාජපක්ෂ ජනාධිපති වීමෙන් සති ගනනකට පසු, වතු කම්කරුවෝ, පතල් කම්කරුවෝ හා ගුරුවරු විරෝධතා වර්ජන දියත් කල හ. එම අරගල සමගම, ඔහුගේ ආන්ඩුව විසින් දොට්ට දමන කම්කරුවෝ 15,000ක් විරෝධතාවන් මාලාවක් ඔහුගේ කාර්යාලයෙන් පිටත පැවැත්වුහ. 

කම්කරු පන්තිය සමග ගනුදෙනු බේරාගැනීමේ රාජපක්ෂගේ සූදානම, මාර්තු මුල දී ඔහුගේ ආරක්ෂක ලේකම් විසින් ප්‍රකාශයට පත් කලේ ය. “ආපදා තත්ත්වයන්, කම්කරුවන්ගේ වැඩ වර්ජන හා සිවිල් කැලඹීම්වල බලපෑම ලොප් කිරීම සඳහා  මිලිටරියට සිවිල් පාලනයේ ක්‍රියාකාරිකයන් සමග එකට ක්‍රියාකල හැකිවන ‘ඒකාග්‍රිත හදිසි සැලැස්මක්’ හරහා මිලිටරිය හා සිවිල් ශක්‍යතාවන්” ඒකාබද්ධ කිරීමට ආන්ඩුව කටයුතු යොදා ඇතිබව ආරක්ෂක ලේකම්වරයා කීවේ ය.

ව්‍යවස්ථාමය සම්මතයන් හා නීතියේ පාලනය ඉරා දමා ජනාධිපති ආඥාදායකත්වයක් සූදානම් කිරීමට රාජපක්ෂ වසංගත ව්‍යසනය යොදාගනිමින් සිටී. පියවරෙන් පියවර, ඊනියා විරුද්ධ පක්ෂ රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී න්‍යාය පත්‍රයට දිරිදෙමින් සිටිති. 

කතුවරයා මෙම ලිපි ද කියවන ලෙස ඉල්ලා සිටී:

ජනාධිපති රාජපක්ෂ වසංගත-විරෝධී පියවරයන්ට මුවා වී කුමන්ත්‍රනයක් සූදානම් කරමින් සිටින්නේ ද? 

29 අප්‍රේල් 2020

Loading