කොවිඩ්-19 යොදාගෙන ට්‍රම්ප් චීනයට එරෙහි ප්‍රහාර උත්සන්න කරයි

මෙම ලිපිය 2020 මැයි 2 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්  30 දා පැවති සිය ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී චීනයට එරෙහි ප්‍රචාරක යුද්ධය වේගවත් කලේය. ලෝකය  පුරා  230,000 කටඅධික පිරිසකගේ ජීවිත බිලිගත් මාරාන්තික කොවිඩ්-19 වසංගතය එයට නිමිත්ත කරගෙන ඇත.

කොරෝනා වසංගතය සතුන්ගෙන් මිනිසාට බෝවීමේ ප්‍රතිපලයක් නොවන බවත්, ඒ වෙනුවට වුහාන් වෛරස් විද්‍යාගාරයක නිපදවා ඇති බවත්, එයින් ඉවතට ගිය හෝ හිතාමතාම මුදාහරින ලද බවත්, ට්‍රම්ප් විසින් අන්ත දක්ෂිනාංශික කවයන් තුල ප්‍රචාරය කරන ලද සනාථ නොකල චෝදනාව පුනරුච්චාරනය කලේය.

එක්සත් ජනපද ජනාධිපතිවරයා, වුහාන් රසායනාගාරයෙන් වෛරසය පැතිර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇති බව ප්‍රකාශ කල නමුත් ඔහු “මට එය ඔබට පැවසීමට අවසර නැත” යනුවෙන් පවසමින් විස්තර දක්වන ලෙසට කල ඉල්ලීම්  යලි යලිත් බැහැර කලේය.

2020 මැයි 1 වන දින ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාවකදී ගිලියඩ් සයන්ස් ඉන්කෝපරේෂන් හි ප්‍රධාන විධායක ඩැනියෙල් ඕ ඩේ (වමේ) සහ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන කොමසාරිස් ස්ටීවන් හාන් (දකුනේ). වොෂිංටන් හිදී.

කොවිඩ්-19  රසායනාගාරයකින් මතු නොවූ බවට වෛරස් විද්‍යාඥයින් අතර පවතින දැඩි මතය හමුවේ ට්‍රම්ප් පරිපාලනය, කුමන්ත්‍රන න්‍යායට සහාය දැක්වීම සඳහා සාක්ෂි සම්පාදනය කරන ලෙස එක්සත් ජනපද බුද්ධි අංශවලට බලපෑම් කරමින් සිටී.

ට්‍රම්ප්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවට පෙර ජාතික බුද්ධි අංශයේ වැඩබලන අධ්‍යක්ෂ රිචඩ් ග්‍රෙනෙල් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, බුද්ධි ප්‍රජාව “වෛරසය මිනිසා විසින් සාදන ලද හෝ ජානමය වශයෙන් වෙනස් කරන ලද්දක් නොවන බවට පුළුල් විද්‍යාත්මක එකඟතාවයකට එලඹ තිබෙන” බවයි. එම ප්‍රකාශය ගැන විමසූ විට ට්‍රම්ප් එය නොදන්නා බවක් පෙනෙන්නට තිබුනි.

ට්‍රම්ප්ගේ චෝදනාව ගැන ඊයේ විමසූ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා ප්‍රධානී මයිකල් රයන් අවධාරනය කලේ, වෛරසයේ අනුපිලිවෙල පරීක්ෂා කිරීමේදී  එක්සත් ජාතීන්ගේ ඒජන්සිය,  බොහෝ විද්‍යාඥයින්ට නැවත නැවතත් සවන් දී ඇති බවයි. “මෙම වෛරසයට ස්වාභාවික සම්භවයක් ඇති බව අපට සහතික යයි” ඔහු පැවසීය.

වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා වැඩි යමක් නොකිරීම පිලිබඳව ට්‍රම්ප් චීනයට දොස් පැවරූ අතර, වසංගතය පැතිරයාමට ඉඩ දීම “තෝරාගත්” බව පවා පැවසීය. ඔහු විකාර සහගත ලෙස ප්‍රකාශ කලේ, කොවිඩ්-19   “සාපේක්ෂව පහසුවෙන් පාලනය කල හැකිව තිබූ” බවත් චීනයට එය කල හැකිව තිබුන බවත්ය. “එක්කෝ ඔවුන්ට නොහැකි විය, නැතහොත් ඔවුන් එසේ නොකල අතර ලෝකය බොහෝ දුක් විඳ ඇත,” ඔහු පැවසීය.

මූලිකත්වය ගැනීමේ ආරම්භක ප්‍රමාදයන් කුමක් වුවත්, එහි මාරාන්තික ස්වභාවය හා වේගවත්කම ගැන කලින් නොදැන සිටි වෛරසයකට, ඉක්මනින් හා පලදායී ලෙස චීනය ප්‍රතිචාර දැක්වූ බවට පැහැදිලි වාර්තාවක් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඒ ගැන ලොවට වහාම දැනුම් දුන්නේය. ඊට වෙනස්ව, ට්‍රම්ප් පරිපාලනය, අන්තරාය කලින් නොදැන සිටියාය යන්න   බැහැර කල අතර, සති ගනනාවක් තිස්සේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමේ  ප්‍රතිපලය වශයෙන් එක්සත් ජනපදයේ මරන සංඛ්‍යාව වේගයෙන් ඉහල ගිය බව පවසයි. එය දැන් 63,000 ඉක්මවා ඇත. 

අමු විකෘති කිරීම් සහ මුසාවාද පිලිබඳ මෙම උද්ඝෝෂනය, අනාරක්ෂිත කොන්දේසි යටතේ නැවත වැඩට දැක්කීම සඳහා එය යොදන පීඩනය හමුවේ කම්කරු පන්තියේ දැඩි විරෝධයට මුහුන දී සිටින ට්‍රම්ප් පරිපාලනයේ සාපරාධී නොසැලකිල්ලෙන් අවධානය වෙනතකට හැරවීමේ කුරිරු උත්සාහයක් පමනක් නොවේ. 

එය, එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස වොෂිංටනය සලකනු ලබන, ජනාධිපති ඔබාමා යටතේ ආරම්භ වූ සහ ට්‍රම්ප් යටතේ තීව්‍ර වූ, චීනයට එරෙහි ආර්ථික යුද්ධයේ සහ මිලිටරි තරකිරීමේ කොටසක් ද වේ.

ට්‍රම්ප්ගේ ව්‍යාජ ප්‍රකාශ සහ චීන විරෝධී ප්‍රචාර පුලුල් කිරීම සඳහා, එක්සත් ජනපදයේ සංස්ථාපිත මාධ්‍ය ද එක්ව සිටී. වොෂිංටන් පෝස්ට් විසින් පසුගිය මාසයේ වුහාන් පරියේෂනාගාරය පිලිබඳ අන්ත දක්ෂිනාංශයේ කුමන්ත්‍රන න්‍යායට විශ්වාසයක් ලබා දෙමින් මතයක් ප්‍රකාශ කරන ලදී. ට්‍රම්ප්ගේ බොරුවලට එරෙහි චීනයේ ප්‍රතිප්‍රහාරය “වගවීම වලක්වා ගැනීම සඳහා චීන දඩබ්බරකම් ” බවට හැරවීම පිනිස 30 එහි කතුවැකිය උත්සාහ කලේය.

ඩිමොක්‍රටිකයෝ, චීන විරෝධී උද්ඝෝෂනය ගැන කිසිදු විවේචනයක් නොකර, බීජිනයට වැඩිපුර ඉඩ සැලසීම ගැන ට්‍රම්ප්ට දකුනෙන් පහර දෙති. එක්සත් ජනපද සෞඛ්‍ය නිලධාරීන්ට ඉඩ දෙන ලෙස චීනයට බලපෑම් නොකිරීම සහ චීනයෙන් පැමිනෙන සංචාරකයින් ඉක්මනින් තහනම් නොකිරීම පිලිබඳව ට්‍රම්ප් හෙලා දකිමින් ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝසෆ් බිඩෙන්, එවැනි ප්‍රහාරාත්මක දැන්වීම් මාලාවක් පලකර තිබේ.

එක් දැන්වීමක බිඩෙන් ප්‍රකාශ කරන්නේ, ට්‍රම්ප් “ඇමරිකාව වසංගතයට ගොදුරු කර ඇති බවයි. ඔහු සෞඛ්‍ය විශේෂඥයින්ගේ සහ බුද්ධි අංශවල අනතුරු ඇඟවීම් නොසලකා හැර ඒ වෙනුවට චීනයේ නායකයන් කෙරෙහි විශ්වාසය තැබීය. ”

කෙසේවෙතත්, ට්‍රම්ප් චීනයට එරෙහි වාචික ප්‍රහාර  වලින් ඔබ්බට ගොස් දඬුවම් පැමිනවීම කරාම යාමට සූදානම් වෙමින් සිටී.  චීනයට එරෙහි සම්බාධක සඳහා වන යෝජනා පරීක්ෂා කිරීමට නිලධාරීන් කන්ඬායමක් ට්‍රම්ප් විසින් යොදවා ඇති බවත්, වසංගතය ගැන කටයුතු කල ආකාරය නිසා මූල්‍ය වන්දි ගෙවන ලෙස ඉල්ලා සිටින බවත් වොෂිංටන් පෝස්ට් වාර්තා කරයි.

ට්‍රම්ප් 30දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේ, චීනය සමඟ වෙලඳ ගනුදෙනුව මේ වසර මුලදී අත්සන් කලේ පූර්න වෙලඳ යුද්ධයක් වලක්වා ගැනීම සඳහා බවයි. වෛරස් තත්වය මත දැන් එය දෙවැනි තැන ගන්නා ප්‍රශ්නයක්ව ඇත. වෛරස් ප්‍රශ්නය නම් පිලිගත නොහැකිය. ”

වොෂිංටන් පෝස්ට් පුවත්පතට අනුව, ධවල මන්දිරයේ සාකච්ඡාවට භාජනය වී ඇති පලිගැනීමේ යෝජනා අතර, චීනයට ගෙවීමට ඇති එක්සත් ජනපදයේ දැවැන්ත නය සමහරක් අවලංගු කිරීම ද වේ. එවැනි පියවරක් චීනයට පමනක් නොව, ලෝකයේ විශාලතම ආර්ථිකය විසින් නය ප්‍රතික්ෂේප කිරීම, දැනටමත් දැඩි අවදානමට ලක්ව ඇති ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය කෙරෙහි වන විශ්වාසය දැඩි ලෙස පහත හෙලනු ඇත.

ට්‍රම්ප්ගේ ඉහලම ආර්ථික උපදේශක ලැරී කුඩ්ලෝ, මෙම යෝජනාව නිසා වෙලඳපොලවල් තවදුරටත් භීතියට පත් නොවන බවට වගබලා ගැනීමට වෑයම් කලේය. “එක්සත් ජනපද නය  පිලිබඳ පූර්න විශ්වාසයක් හා  පාරිශුද්ධ ගෞරවයක් ඇත. එය එසේමය”ඔහු රොයිටර් පුවත් සේවයට පැවසීය.

කෙසේ වෙතත් කුඩ්ලෝ, වෙනත් ආකාරයේ පලිගැනීම් ප්‍රතික්ෂේප කලේ නැත. චීනය ගැන සඳහන් කරමින් ඔහු සීඑන්බීසී වෙත මෙසේ පැවසීය: “ඔවුන්ට පිලිතුරු දීමට බොහෝ ක්‍රම ඇත, ඔවුන් වගකිව යුතුය. කෙසේද, කුමක් ද, කවදා ද සහ ඇයි ද”යන්න පිලිබඳ තීරනය ජනාධිපතිවරයා සතු ය.

චීනයට එරෙහිව නැඟී එන එක්සත් ජනපද ප‍්‍රහාරවලින් පෙන්නුම් කරන්නේ, භූ-දේශපාලන ආතතීන් ලිහිල් කිරීමට සහ ජාත්‍යන්තර සහයෝගීතාව දිරිගැන්වීමට වඩා වසංගතය, ආර්ථික යුද්ධයට සහ ප‍්‍රධාන බලවතුන් අතර මිලිටරි ගැටුමට තුඩු දෙන විෂඝෝර ජාත්‍යන්තර සබඳතා තවදුරටත් තීව්‍ර කර ඇති බවයි.

මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ ප්‍රධාන මූලෝපායික ප්‍රදේශවල ආක්‍රමනකාරී, නව යටත් විජිත යුද්ධ හරහා එක්සත් ජනපදය සිය ඓතිහාසික පරිහානිය ජය ගැනීමට උත්සාහ කර ඇත. ඔබාමා පාලනාධිකාරය චීනය ඉලක්ක කර ගත් “ආසියාවට හැරීම ” යටතේ රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික හා මිලිටරිමය වැටලීම් දියත් කලේය. එය ට්‍රම්ප් යටතේ උත්සන්න වී ඇතුවා පමනි.

 කොවිඩ්-19 වසංගතය හමුවේ පැනනැඟී ඇති අර්බුදයෙන් චීනය  වඩාත් ශක්තිමත් තැනකට පත්වනු ඇතැයි යන වොෂිංටනයේ භීතිය වැඩි කර ඇති අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිරිහීම හා පාරාජිකාව තව තවත් එලිමහනට පමුනුවා ඇත.  එක්සත් ජනපද සෞඛ්‍ය පද්ධතිය වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය අරමුදල් හිඟයෙන් පෙලුන ද කොන්ග්‍රසයේ උත්සුකය, විශේෂයෙන් චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීම සඳහා  බිලියන ගනන් අමතර අරමුදල් සැපයීමයි.

ඒ අතර එක්සත් ජනපද නාවික හමුදාව, දකුනු චීන මුහුදේ චීනයට එරෙහි සිය ප්‍රකෝප කිරීම් වේගවත් කර ඇති අතර, “නාවික ගමනාගමනයේ නිදහස” ආරක්ෂා කිරීමේ මුවාවෙන් මැලේසියාව, වියට්නාමය සහ චීනය විසින් හිමිකම් කියන ප්‍රදේශවලට යුද නැව් යවා තිබේ. මෙම අතිශය නොසන්සුන්කාරී තත්වය තුල අහම්බෙන් හෝ හිතාමතාම ගන්නා එවැනි නොසැලකිලිමත් පියවර, පාලනය කල නොහැකි මිලිටරි ගැටුමක් කරා වේගයෙන් කැරකී යනු ඇත.

Loading