ඉදිරිදර්ශන

එක්සත් ජනපදයේ “නැවත වැඩට” යෑමේ උද්ඝෝෂනය කොරෝනා වෛරස් මරන වැඩිවීමට මග පාදනු ඇත

මෙම ලිපිය 2020 අප්‍රේල් 24 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.

ඇමරිකානු පාලක පන්තිය වේගයෙන් නිෂ්පාදනය නැවත ආරම්භ කර කම්කරුවන් නැවත සේවයට යැවීමට උත්සාහ කරමින් සිටී. කම්කරුවන් එය ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නේ නම්, මෙම ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක, පැහැදිලිය: තවත් දහස් ගනනක් පුද්ගලයන් බරපතල ලෙස රෝගාතුර වනු හෝ මැරෙනු ඇත.

මහජන සෞඛ්‍යය පිලිබඳ දෘෂ්ටි කෝනයෙන් නැවත සේවයට පැමිනීමට විද්‍යාත්මක පදනමක් නොමැත. එක්සත් ජනපදයේ වාර්තා කෙරෙන නව කොවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව නොකඩවා දිනකට 30,000ක් පමන වන අතර නව මරන සංඛ්‍යාව 2,000කට අධික වේ. බ්‍රහස්පතින්දා සවස් වන විට නිල වශයෙන් මියගිය සමස්ත සංඛ්‍යාව 50,000 කට ආසන්න ය. ගෝලීය වශයෙන්, ඊයේ නව රෝගීන් 60,000කට වඩා වාර්තා වී ඇති අතර, මරන සංඛ්‍යාව වේගයෙන් 200,000 කරා ලඟා වෙමින් තිබේ.

කෙසේ වෙතත්, නිල සංඛ්‍යා හිතාමතා ම රෝගීන් හා මරන සංඛ්‍යාව අඩු කර දක්වයි. පූර්ව කොරෝනා වෛරස සාමාන්‍යයට වඩා “අතිරික්ත මරන” මත පදනම් වූ අධ්‍යයනවලට අනුව, එක්සත් ජනපදය හා බටහිර යුරෝපයේ සත්‍ය මරන සංඛ්‍යාව වාර්තා වී ඇති සංඛ්‍යාවට වඩා අවම වශයෙන් දෙගුනයක් වේ. එක්සත් ජනපදයේ නව රෝගීන්ගේ  සංඛ්‍යාව තවදුරටත් වේගවත් නො වෙමින් තිබෙන නමුත් මෙයට බොහෝ දුරට හේතු වී ඇත්තේ පරීක්ෂන ක්‍රමානුකූලව අඩුකර තිබීම යි.

මෙම යථාර්ථය නො තකා, පසුගිය සතියේ නිකුත් කරන ලද ට්‍රම්ප් පරිපාලනයේ නව “මාර්ගෝපදේශ” මගින් දිරිමත් කරන ලද ප්‍රාන්ත ගනනාවක් සමාජ දුරස්ථ පියවර ලිහිල් කිරීම සඳහා ආක්‍රමනශීලී ව ඉදිරියට යමින් සිටී. ජෝර්ජියා ප්‍රාන්තය අද බොහෝ ව්‍යාපාර ආරම්භ කරමින් සිටී. දකුනු කැරොලිනා, ෆ්ලොරිඩා, ටෙනසි, මොන්ටානා හා තවත් ප්‍රාන්ත කිහිපයක් දැනටමත් ව්‍යාපාර ආරම්භ කිරීමට පටන් ගෙන හෝ එලඹෙන සතියේ දී එසේ කිරීමට සැලැසුම් සකස් කරමින් සිටිති. ට්‍රම්ප් පරිපාලනය ඉලක්කයක් ලෙස යෝජනා කල දිනය වන මැයි 1 වන විට අත්‍යාවශය නො වන නිෂ්පාදන සඳහා වන සීමාවන් ඉවත් කිරීමට වෙනත් ප්‍රාන්ත සූදානම් වෙමින් සිටී.

2020 අප්‍රියෙල් 6 වන සඳුදා ඩෙට්‍රොයිට් හි ටීසීඑෆ් මධ්‍යස්ථානයේ තාවකාලික කාමරයක රෝහල් ඇඳක් දක්නට ලැබේ. (AP ඡායාරූපය / කාලෝස් ඔසෝරියෝ)

කලින් සේවයට නැවත පැමිනීම සාධාරනීකරනය කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් මීට පෙර උපුටා දක්වා ඇති වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය පවා සඳහන් කලේ, විශේෂයෙන් ජෝර්ජියා ප්‍රාන්තයට ජුනි මස මැද භාගය වන තෙක් සමාජ දුරස්ථ පියවර ආරක්ෂාකාරී ව අඩු කල නො හැකි බව යි. ප්‍රාන්තය ඊයේ නව රෝගීන් 881 ක් වාර්තා කල අතර, එය ඊට පෙර දිනට වඩා සැලකිය යුතු වැඩිවීමකි. 

තනි සමාගම් ඊටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක වෙමින් සිටී. ගුවන් ප්‍රවාහන නිෂ්පාදකයෙකු හා ආරක්ෂක කොන්ත්‍රාත්කරුවෙකු වන බෝයිං සමාගම දැනටමත් ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේ කම්කරුවන් දහස් ගනනක් සමඟ, වොෂිංටන් ප්‍රාන්තයේ කම්කරුවන් 27,000 ක් නැවත සේවයට යවා ඇත. වොෂිංටන් හා පෙනිසිල්වේනියා යන ප්‍රාන්ත දෙකේ ම තවමත් ඇතම් ස්ථාන අගුලු දමා ඇත, නමුත් බෝයිං විසින් මෙම සීමාවන් මග හරිමින් සිටින්නේ තම  මෙහෙයුම් “අත්‍යවශ්‍ය” ලෙස වර්ගීකරනය කරන ලදුව ය.

ජර්මානු මෝටර් රථ නිෂ්පාදක ‍ෆොක්ස්වැගන් සඳුදා සිට එක්සත් ජනපදයේ සිය කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ. වෙනත් මෝටර් රථ සමාගම් ද එම මාවතේ  කම්කරුවන් ආපසු යැවීමට උත්සාහ කරමින් සිටී. සංගත  කලමනාකරනයේ අල්ලස් මෙවලමක් වන, යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තීය සමිතිය එහි ප්‍රාදේශීය නායකයින්ට පැවසුවේ “නුදුරු අනාගතයේ දී නිෂ්පාදන කාලසටහන් නැවත ආරම්භ කිරීමට” සූදානම් වන ලෙස යි.

ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිසැකවම නොහැකිව කම්කරුවන් නැවත සේවයට යැවීමට නියමිත ය. සේවා ස්ථානවල ආරක්ෂාව නාමිකව භාර ව සිටින කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සුරක්‍ෂිතතා හා සෞඛ්‍ය පරිපාලනය  (ඕඑස්එච්ඒ) විවෘත කෙරෙන ව්‍යාපාර  වලින් කිසිවක් ඉල්ලා නැත. ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ වූ පසු සෞඛ්‍ය සේවා හා හදිසි ප්‍රතිචාරවලට පිටින් කිසිදු සේවා ස්ථාන පරීක්ෂනයක් සිදු නො කරන බව ද කම්කරු දෙපාර්තමේන්තුව පසුගිය සතියේ නිවේදනය කලේ ය.

එපමනක් නොව, රැකියාවේ දී කම්කරුවන් කොරෝනා ‍වෛයිරස් අසාධනයට ලක් වන්නේ නම්,  තමන් ඒ සඳහා වගකීමෙන් සමාගම් ආරක්ෂා කරන බව ට්‍රම්ප් පරිපාලනය පැහැදිලි කර තිබේ. ට්‍රම්ප් මේ සතිය මුලදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේ, “අපට [නීතිමය වගකීමක් ලබාදීම] අවශ්‍ය නො වන්නේ සමාගම් විවෘත කිරීමට, ‘බලගතු ලෙස විවෘත කිරීමට,’ අපට අවශ්‍ය නිසා” බව යි.

එවැනි ප්‍රතිපත්තිවල ව්‍යසනකාරී ප්‍රතිවිපාක රාජ්‍ය යාන්ත්‍රනය තුල තියුනු ආතතීන් අවුළුවමින් තිබේ. ජාතික ආසාත්මිකතා හා බෝවෙන රෝග පිලිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ඇන්තනි ෆෝසි මේ සතිය මුල දී ටයිම් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේ නැවත විවෘත කිරීම සඳහා පරීක්ෂන පරිමානය ප්‍රමානවත් නො වන බව සඳහන් කරමිනි.

වසංගතයේ දෙවන රැල්ලක් පිලිබඳ ව රෝග මර්දන හා වැලැක්වීමේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් සතිය මුල දී මෙලෙස අනතුරු ඇඟවී ය. “ඊලඟ ශීත ඍතුවේ දී වෛරසය අපේ ජාතියට පහර දීමේ හැකියාවක් තිබෙනවා, ඇත්ත වශයෙන් ම එය අප දැන් පසු කල  තත්වයටත් වඩා දුෂ්කර වනු ඇත.” 

මධ්‍යම රජය හා ප්‍රාන්ත අතර තියුනු ගැටුම් ද පවතී. ජාතික ආන්ඩුකාරවරුන්ගේ සංගමය ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “අකාලයේ විවෘත කිරීම” මගින් “ප්‍රාන්ත  නැවත අර්බුදකාරී තත්ත්වයකට යවා, සෞඛ්‍ය පද්ධති ධාරිතාවයෙන් ඔබ්බට තල්ලු කර,  සමාජ දුරස්ථ පියවරයන් සඳහා ප්‍රාන්තවලට බල කල හැකි ය. මෙම සිදුවීම් පෙල වසංගත ප්‍රතිචාරයේ  ඍනාත්මක ආර්ථික ප්‍රතිවිපාක පුනරාවර්තනය කරන අතර මහජන විශ්වාසය අඩු කරනු ඇත්තේ, අවපාතය තවදුරටත් ගැඹුරු කරමින් හා  ආර්ථික ප්‍රකෘති කර්නාය තවත් පමා කරමිනි.”

“මහජන විශ්වාසය අඩු කරන” එවැනි තත්වයක් ගැන සඳහන් කිරීම පෙන්වා දෙන්නේ සමාජ නැගිටීම් පිලිබඳ  පාලක පන්තිය තුල ඇති භීතිය යි. අනාරක්ෂිත තත්වයන් යටතේ නැවත සේවයට පැමිනීමට ඇති මහජන විරෝධය අතිමහත් ය. ඊයේ ප්‍රකාශයට පත් කරන ලද සීබීඑස් මත විමසුමක් නිගමනය කලේ, “කෙටිකාලීනව ආර්ථිකයට හානියක් සිදු වුවද, මිනිසුන් නිවාසවල හා සමාජ දුරස්ත ව තබා ගැනීමෙන් කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට උත්සාහ කිරීම”රටේ ප්‍රමුඛතාවය විය යුතු බව ජනගහනයෙන් සියයට 70ක් විශ්වාස කරන බව යි

කෙසේ වෙතත්, පාලක පන්තිය තුල ඇති විවාදය වන්නේ නැවත සේවයට පැමිනීමක් සැලසුම් කල යුත්තේ නම් නො ව, කවදා ද කෙසේ ද යන්න යි.

මුල සිටම, මූල්‍ය-සංගත කතිපයාධිකාරිය කොරෝනා වෛරසය සැලකුවේ ජීවිතාරක්ෂාව සඳහා හදිසි හා දැවැන්ත සම්පත් බලමුලු ගැන්වීම අවශ්‍ය කෙරෙන සෞඛ්‍ය ආරක්ෂන හදිසි අවස්ථාවක් ලෙස නොව, ආර්ථික හා විශේෂයෙන් ම වෙලඳපොල සිදුවීමක් ලෙස ය. පලමුවෙන් ම අර්බුදය අවතක්සේරු කිරීමෙන් පසු, පාලක පන්තිය වෝල් වීදියේ ඩොලර් මිලියන ගනනක ඇපදීමක් ක්‍රියාත්මක කලේය.

ද්වි පාර්ශවීය පදනමක් මත “කෙයාස් පනත” සම්මත කර ගැනීමෙන් තම ධනය සුරක්ෂිත කර ගත් පාලක පන්තිය, ට්‍රම්ප් පරිපාලනය, ඩෙමොක්‍රටිකයින් හා මාධ්‍යවල සහාය ඇතිව, නැවත සේවයට පැමිනීම ප්‍රවර්ධනය කිරීම සඳහා ආඛ්‍යානය වෙනස් කිරීමට කටයුතු කර ඇත.

කම්කරුවන්ට නැවත රැකියාවට ඒමට බල කිරීම සඳහා පාලක පන්තිය ආර්ථික අසරනභාවයේ තර්ජනය උපයෝගී කර ගැනීමට අදහස් කරයි. විරැකියා සහන සඳහා ගොනු කර ඇති කම්කරුවන්ගේ සංඛ්‍යාව පසුගිය සතිය තුල මිලියන 4.4 කින් ඉහල ගොස් ඇති අතර, එය අර්බුදයේ ආරම්භයේ සිට මිලියන 26 දක්වා ඉහල ගොස් තිබේ. මිලියන සංඛ්‍යාත කම්කරුවන් පිරිසක් ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොලබන නිසා හෝ අධික තදබද වෙබ් අඩවි හා ඇමතුම් මධ්‍යස්ථාන හරහා ඉල්ලුම් කිරීමට අසමත් වීම නිසා, ආර්ථික අවතැන් වීම වල සබෑ සන්ක්‍යාව මේ නිල සංඛ්‍යාද ඉක්මවා යනු ඇත.

නිෂ්පාදනය නැවත ආරම්භ වූ පසු, තම ජීවිතයට බියෙන් නැවත රැකියාවට යාම ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙකු විරැකියා සහනවලින් ඉවත් කෙරෙනු ඇත.

කම්කරුවන් දුප්පත්කම හා මරනය අතර ව්‍යාජ තේරීම ප්‍රතික්ෂේප කල යුතුය. “ආර්ථිකය සුරැකීම” ගැන බොහෝ කතා ඇති නමුත් කාගේ ආර්ථිකය හා කාගේ අවශ්‍යතා ද? මිනිස් ජීවිතවල වියදමින් අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන නැවත ආරම්භ කල යුතු ය යන අවධාරනය පදනම් වී ඇත්තේ ධනේශ්වර ක්‍රමයෙ අනුල්ලන්ඝනීය යයි සිතන හා, මහා සංගත-මූල්‍ය කතිපයාධිකාරයේ උවමනාවන් පමනක් වසංගතයට දක්වන ප්‍රතිචාරය තීරනය කල යුතුය යන උපකල්පනය මත ය.

සංගත ලාභය හා පෞද්ගලික ධනය පිලිබඳ සියලු සලකා බැලීම්වලට වඩා වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා නිරපේක්ෂ හා කොන්දේසි විරහිත ප්‍රමුඛතාවක් ලෙස ගත යුතු බව සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරයි.

වසංගතය පාලනය වන තුරු සියලු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා තිබිය යුතු ය. ඔවුන්ගේ ජීවනෝපායන් සහතික කිරීම සඳහා කම්කරුවන්ට පූර්න ආදායමක් හා ඉහලම තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සඳහා නොමිලේ ප්‍රවේශය ලැබිය යුතුය. කුඩා ව්‍යාපාර සඳහා නය ලබා දිය යුතු ය. අර්බුදයේ කාලසීමාව සඳහා සියලුම උකස්, උපයෝගිතා, නය පත් (ක්‍රෙඩිට් කාර්ඩ්) හා ශිෂ්‍ය නය ගෙවීම් අවලංගු කල යුතු ය.

දැවැන්ත ජීවිත හානියක් වැලැක්වීම සඳහා අත්‍යවශ්‍ය වන එවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමත, සංගත  හා මූල්‍ය කතිපයාධිකාරය විසින් සමාජය මත අඛන්ඩව ආධිපත්‍යය දැරීමත් එකිනෙකට නො පෑහේ. පාලක ප්‍රභූව විසින් කොල්ල කන ලද දැවන්ත ධනය අත්පත් කර ගත යුතු ය. වෝල් වීදිය හා සංගතවලට ඩොලර් ට්‍රිලියන ගනනක ඇපදීම් ආපසු හැරවිය යුතු අතර, ඒ වෙනුවට මෙම සම්පත් හදිසි සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා යොමු කල  යුතු ය.

ප්‍රධාන නිෂ්පාදකයින්, ඇමසොන් හා අනෙකුත් කාර්ය සංවිධාන කර්මාන්ත හා සෞඛ්‍ය සේවා සමාගම් සමූහ ඇතුළු ව දැවැන්ත සංගත, ධනවතුන්ගේ ලාභය සඳහා නො ව සමාජ අවශ්‍යතා මත ක්‍රියාත්මක වන මහජන උපයෝගිතා බවට පර්වර්තනය කල යුතු ය. සමස්ත මූල්‍ය හා බැංකු පද්ධතිය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබිය යුතු ය.

කම්කරුවන් ස්වාධීන ව හා ධනේශ්වර පද්ධතියට විරුද්ධ ව සංවිධානය වන තාක් දුරට පමනක් කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා මෙම අර්බුදයෙන් මිදීමට මාර්ගයක් සොයාගත හැකි ය.

Loading