තම ජීවිත අවදානම පිලිබඳව ආන්ඩුවේ සාපරාධී නොතැකීම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලෝසවෙඅ ට කතා කරති

අප්‍රේල් 29 වැනි දා, කොලඹ කෙසෙල්වත්ත බන්ඩාරනායක මාවතේ කොවිඩ්-19 ආසාදිතයන් පොකුර ආශ්‍රිත ව සෞඛ්‍ය සේවාවන්හි නිරත ව සිටි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 12 දෙනෙක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙක්, සේවයෙන් ඉවත් වී ස්වයං නිරෝධායනයකට යොමු වීමට තීරනය කලහ. 

තමුන් කොරෝනා වසංගතයෙන් ආසාදිතදැයි පිරික්සීම සඳහා පීසීආර් පරීක්ෂනයන් සඳහා යොමුකරන ලෙස කල ඉල්ලීම  දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම මෙම තීරනයට හේතු විය.

වසංගතය මැඬලීම ආශ්‍රිත ව ක්‍රියා කරන සියලුම සෞඛ්‍ය කම්කරුවන් යලියලිත් පීසීආර් පරීක්ෂාවලට ලක්කල යුතු වුවද, ආන්ඩුව එය දිගින්දිගටම නොතකා හැර ඇත. 

මෙම සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොලඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරයාට තම ක්‍රියා මාර්ගය ගැන දැනුම් දෙමින් යොමු කල ලිපියේ සඳහන් කර ඇති ආකාරයට පීසීආර් පරීක්ෂනයක් සඳහා ඉල්ලුම් කල මුල් අවස්ථාවේ ඔවුන්ට දැනුම් දී ඇත්තේ රාජකාරී කටයුතු සඳහා මුව ආවරනයක් ප්‍රමානවත් බවත් රෝග ලක්ෂන පහල වූ පසු පමනක් පරීක්ෂනයක් සඳහා යොමු විය හැකි බවත් ය.

තම සේවාව ලබන “137,000කට ආසන්න රජයේ සේවකයන් ඇතුලු මහ ජනතාව තුල” වසංගත තත්ත්වයකට මෙම රෝගය පැතිර යෑමට ඉඩ ඇති බැවින්, මහජනතාවගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා කටයුතු කරන ඔවුන්, රෝගී වීමේ දැඩි අවදානමක් ඇති නිසා ඉහත ස්වයං-නිරෝධායන තීරනයට එලැඹි බව එම ලිපියේ සඳහන් කර ඇත.

කෙසේ නමුත්, ඉහත විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙස “අවශ්‍ය අයට” පීසීආර් පරීක්ෂන ලබා දීමට පොරොන්දු වූ බලධාරීන් සෙනසුරාදා ඔවුන් රුධිර පරීක්ෂනයට යොමුකර ඇත. ආන්ඩුව මෙම පියවර ගෙන ඇත්තේ, සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විරෝධතාව අනුගමනය කරමින්, තම ආරක්ෂාව නොතැකීම හේතුවෙන් කෝපයට පත්ව සිටින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් අංශයන්හි කම්කරුවන් ද අරගලයට පිවිසෙතැයි බියෙනි.

වසංගතය පිලිබඳව මහජනතාව දැනුවත් කරමින් බිම් මට්ටමේ    ප්‍රමුඛත ම වැඩ කොටසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉටු කරති. නිරෝධායනය කර ඇති අය අධීක්ෂනය, මහජන සෞඛ්‍ය පැමිනිලි විභාග කිරීම, සෞඛ්‍ය විද්‍යාත්මක කරුනුවලින් මහජනතාව දැනුවත් කිරීම ආදී මේ කටයුතු සඳහා වසංගතය පැතිර යාමත් සමඟ ම දිනකට පැය 16ක් තරම් වේලා රාජකාරිවල නිරතවීමට යෙදී ඇත්තේ දුෂ්කර සහ අවදානම් කොන්දේසි යටතේ බව ඔවුහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූහ.

ප්‍රාදේශීය සභාවකට අනුයුක්ත ව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්  ලෝසවෙඅ ට මෙසේ පැවසීය: 

“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ප්‍රමානවත් පුද්ගල ආරක්ෂක උපකරන නෑ. මාස්ක් එකක් නිකුත් කරන්නේ දිනකට එකක් පමනයි. පාවිචිචි කල හැකි කාලය සහ පිටතින් එන විෂබීජ වලකාලීමේදී වඩාත් සාර්ථක N95 මාස්ක් අපිට ලැබෙන්නෙ නෑ. අපිට ලැබෙන්නේ පැය අටක උපරිම කාලයක් පාවිචිචි කරන්න පුලුවන් සර්ජිකල් මාස්ක් විතරයි.”

සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවල විෂබීජ හරන ඒකක නොමැති අතර ඔවුනට ප්‍රවාහන පහසුකම් ද නැත. ඉන්ධන සඳහා ගෙවන දීමනාව මාස 6 කාලයකින් ඔවුන්ට ගෙවා නැත්තේ ආන්ඩුවට සල්ලි නැතැයි පවසමිනි. 

මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයකට 10,000 සිට 30,000ක් දක්වා ජනගහනයක් සාමාන්‍යයෙන් අඩංගු වෙයි. නමුත් මෙ වැනි ප්‍රදේශයක සේවය කිරීමට කාර්ය මන්ඩලයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිටින්නේ සාමාන්‍යයෙන් 5ක් 6ක් වැනි ස්වල්ප දෙනෙකි.

කොවිඩ්-19 ආසාදිතයන් හෝ නිරෝධායනය කර ඇති අය සමඟ කටයුතු කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විශේෂ නවාතැන් පහසුකම් සම්පාදනය කිරීමක් නැත. මේ හේතුවෙන් තම පවුලේ සාමාජිකයන් ආසාදනයෙන් ආරක්ෂා කර ගැනීමට පරීක්ෂකවරුන්ට අමතර පරිශ්‍රම දැරීමට සිදු ව ඇත.

“කොපමන දුෂ්කතරතා තිබුනත් අපි අධිෂ්ඨානශීලී ව මේ අභියෝගයන්ට මුහුන දෙනවා. මේ මොහොතේ දී සේවයෙන් ඉවත් වෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද ඒකෙන් අපේ ම පවුල්වල අය සමාජය විනාශ වෙන්න පුලුවන් නිසා” යයි ඔහු සඳහන් කලේ ය.

එහෙත් මේ සෞඛ්‍ය අර්බුදයේ දී ලෝකය පුරා ම පාලක පන්තීන්ගේ අංක එකේ ප්‍රමුඛතාව වී ඇත්තේ සමාජය කොවිඩ්-19න් ආරක්ෂා කර ගැනීම නොවේ. කම්කරු ජීවිත බිල්ලට දී ධනපති නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීමයි. 

“කොවිඩ්-19 ආසාදිතයෙකුගේ සමීප අශ්‍රිතයෙක් හොරන ආයෝජන කලාපයේ යුනිලීවර් ෆැක්ටරියේ ආපනා ශාලා කාර්ය මන්ඩලයෙන් හඳුනා ගත් විට අදාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ෆැක්ටරිය වසා දැමීමට නියෝග කලා. නමුත් එයට අවනත නොවී දිගට ම එය විවෘත ව පවත්වා ගත්තා. ඉන් පසු ව ඔහුගේ සහායකයාත් කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් එම ස්ථානයෙන් ම වාර්තා වුනා. එවිටත් වසා දැමීමට නියෝග කල විට සිදු වුනේ එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සෞඛ්‍ය බලධාරීන්ගේ දෝෂ දර්ශනයට ලක් වීම පමනක්” බව ඔහු සඳහන් කලේ ය.

මිලිටරිය විසින් සෞඛ්‍ය සේවා උපදෙස් හෝ නිරෝධායන නීති නොතැකීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරීවලට බාධාවක් ව ඇත. නාවික හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදාවල නිරෝධායනය කර තිබූ සාමාජිකයන් නැවත අප්‍රේල් 25 වැනි දා කඳවුරු වෙත කැඳවීම සිදු ව ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමකින් තොරව ය. අප්‍රේල් 29 වැනි දා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරක්ෂක ලේකම් වෙත යැවූ ලිපියක මෙසේ සඳහන් කරයි:

“අප විසින් නිරෝධායනයට ලක් කර සිටි හමුදා සාමාජිකයන් නැවත කඳවුරු තුලට කැඳවීම නිසා ඔවුන් නිවෙස්වලින් බැහැර ව යතුරු පැදි වැනි ප්‍රවාහන පහසුකම් සපයා ගනිමින් තවත් පාර්ශ්ව සමග ප්‍රවාහන පහසුකම් සැපයූ ස්ථානවලට පැමිනීම, පොලිස් ස්ථාන ඇතුලු පොදු ස්ථානවල රැඳී සිටීම, ඍජුව ම ආසාදිතයින් බවට සැක සහිත කන්ඩායම් සමඟ සාමාන්‍ය පුද්ගලයන් එක ම වාහන තුල ප්‍රවාහනය වැනි අවදානම් ක්‍රියාවල යෙදීම ඉතා ම කනගාටුදායක ය.” 

“එසේ ම අප විසින් නිරෝධායනය කර ඇති නිවැසියන් සහ    ආශ්‍රිතයන් සෞඛ්‍ය ආයතන සමඟ කිසිදු සම්බන්ධතාවයක් නොමැති ව නිවෙස් තුලින් රැගෙන යාම සහ නොයෙකුත් ස්ථානවල රැඳවීම නිසා මහජන සෞඛ්‍ය නිවාරන සේවා කාර්ය මන්ඩලය සහ සාමාන්‍ය ප්‍රජාව අතර බරපතල නොසන්සුන්තාවක් ගොඩ නැගී ඇත.”

කොවිඩ්-19 මර්දන කටයුතුවල ප්‍රධානත්වයට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කෙරුනේමත්, වසංගතය හමුවෙි කමිකරු-පීඩිත මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ආන්ඩුවේ සාපරාධී නොතැකීමට එරෙහිව වැඩෙන විරෝධය සහ දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටින ආන්ඩුව එල්ල කිරීමට නියමිත රුදුරු ප්‍රහාර හමුවේ පැන නගින දැවැන්ත පෙන්ති අරගල මැඩීම සඳහා ධනපති හමුදාව සිවිල් ජන ජීවිතය තුල ස්ථානගත කරවීමෙි අරමුනෙනි.

අප්‍රේල් 04 වැනි දා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තම ආරක්ෂාව හා සේවා පහසුකම් සම්බන්ධයෙන් ආන්ඩුව නිසි ක්‍රියා මාර්ග නොගැනීමට විරෝධය පල කරමින් සේවයෙන් ඉවත් වීමට තීරනය කර සිටියහ. 

එහෙත්, අවශ්‍ය පහසුකම් දිනා ගනු වෙනුවට, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අගමැති සමග පැවැත් වූ සාකච්ඡාවකින් පසු ව වෘත්තීය ක්‍රියා මාර්ගය සති දෙකකට කල් දැමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන බවට පොරොන්දු වී තිබූ දීමනා ද ප්‍රතික්ෂේප කර එක් දිනක වැටුප කොවිඩ්-19 මර්දන අරමුදලට ලබා දීමේ එකඟත්වය ද පල කරමිනි.

එම සංගමයේ ලේකම්, බී.එම්.එම්. බාලසූරිය අප්‍රේල් 05 වැනි දා පල වූ රාවය පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී මෙසේ සඳහන් කලේ ය. “මේවාට අපි දේශපාලන අධිකාරියට වරද පටවන්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ  එක්තරා කන්ඩායමක් මේක වසන් කරමින් ඉන්නවා. අමාත්‍යවරියත් මේ සත්‍ය සිදුවීම දන්නේ නෑ.”

ධනපති ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධය ඒ හෝ මේ නිලධාරියා වෙතට යොමු කිරීම වෘත්තීය සමිති නිලධාරීන් ගේ    ප්‍රධාන කර්තව්‍යයකි. 

කොලඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අත්දැකීම හෝ සමස්තයක් වශයෙන් සෞඛ්‍ය සේවයේ කම්කරුවන් මුහුන දෙන ගැටලු හෝ සෞඛ්‍ය බලධාරීන්ගේ අවිධිමත් බවක් නිසා ඇති වූ දෑ නොවේ. මුල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධන කපා දැමීමේ ධනපති පිලිවෙත් වලින් එම ගැටලු ගලා එයි.

කොරෝනා මර්දන ක්‍රියාවලියේ දී ලෝකයටම ආදර්ශයක් සපයා ඇතැයි පම්පෝරි ගසන ආන්ඩුවට, එම ක්‍රියාවලියේදී ඉමහත් කාර්යභාරයක් උසුලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය කරන අවම පහසුකම් හෝ සම්පාදනය කල නොහැක. 

කොලඹ නගරසභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් “අවශ්‍ය අය” පමනක් පීසීආර් පරීක්ෂනයට යොමුකොට ඇත්තේ, තම ආරක්ෂාව නොතැකීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු අංශයන්හි කම්කරුවන් අතර වැඩෙන විරෝධය සහ පොදු මහජන විරෝධය, එම සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විරෝධය සමග ඒකාග්‍රවීම වැලකීමේ අරමුනෙන් මිස ආන්ඩුවේ පිලිවෙත්වල ඇතිවූ වෙනසක් නිසා නොවේ. 

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි:

ආරක්ෂාව තහවුරු නොකිරීමෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු සේවාවන් අත්හිටුවීමට සූදානම් වෙයි

ආරක්ෂක ආම්පන්න නොමැතිකමින් සෞඛ්‍ය සේවකයින් දැඩි අවදානමකට මුහුනදෙන බව වෛද්‍යවරු ලෝසවෙඅ ට පවසති.

Loading