කම්කරු අයිතීන් කප්පාදු කිරීමේ වැඩපිලිවෙල ගැන ජනාධිපති සමග සාකච්චා කිරීමට වෘත්තීය සමිති සැරසෙයි

ලංකාවේ වෘත්තීය සමිති කිහිපයක් අප්‍රේල් 20 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්  “කර්මාන්ත යලි ඇරඹීමේදී පැනනගින ගැටලු සාකච්ඡා කිරීමට සහ එහිලා වෘත්තීය සමිතිවල යෝජනා ඉදිරිපත් කිරීමට” ඔහු සමඟ සාකච්ඡාවක් ලබාදෙන මෙන් ඉල්ලා ඇත. එම ලිපිය යවා ඇත්තේ, නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේස), ලංකා වෙලඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (ලවෙකාපොසේස) සහ එක්සත් කම්කරු සම්මේලනය (එකස) ඇතුලු සමිති කිහිපයකි.   

සමිති නිලධරය ජනාධිපති සමග සාකච්ඡාවකට තදියම් වී ඇත්තේ, ඔහු කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ අගුලුදැමීම අවසන් කොට, අපනයන කර්මාන්ත ඇතුලු ප්‍රධාන ව්‍යාපාර වල වැඩ යලි අරඹන ලෙස ඉල්ලා සිටීමත් සමග ය. මාර්තු, අප්‍රේල් වැටුප් සහ විශාල රැකියා කප්පාදුවක් ක්‍රියාවට දමමින් සමාගම් යලි වැඩ පටන් ගැනීම නිසා කම්කරුවන් අතර වැඩෙන්නට පටන්ගෙන ඇති විරෝධය පිපිරී එනු ඇතැයි බියපත්වී සිටින සමිති නිලධරය  එය යටපත් කොට මැඩලීමේ මාර්ග  සොයති.  

ලංකාවේ සියලු වෘත්තීය සංගම් කොවිඩ්-19 වසංගතයෙන් ධනපති අර්බුදය උග්‍ර වීමට ප්‍රථමයෙන් මත් ක්‍රියා කලේ පැවති වික්‍රමසිංහ-සිරිසේන ආන්ඩුව අර්බුදයට යවමින් පැනනැගුනු කම්කරු අරගල නිරර්ථක බලපෑම් දැමීමේ වැඩපිලිවෙලක කොටුකර ධනපතියන් හා පාලකයන් ආරක්ෂා කිරීමට යි.  

ලංකාවේ මහා ව්‍යාපාරිකය විසින් ඉල්ලා සිටින රුදුරු කොන්දේසි කිහිපයක් සමිති නිලධරය විසින් ජනාධිපතිට යවා ඇති ලිපියෙන් හෙලිදරව්  වෙයි. වැටුප් හා රැකියා කප්පාදු කිරීම සහ කම්කරුවන් පහසුවෙන්ම දොට්ට දැමීමට හැකිවන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීම ඊට අයත් ය.  

ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල්  කනිෂ්ක වීරසිංහ කම්කරු සම්බන්ධතා ඇමති දිනේෂ් ගුනවර්ධන වෙත අප්‍රේල් 25 වෙනිදා යවන ලද ලිපියක් මගින් කර ඇති ඉල්ලීම් කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සමාජ සහන කප්පාදු කිරීමට සඳහා වන සියලු මහා ව්‍යාපාරිකයන් සුදානම් කරන ප්‍රහාරයන්හි විසකුරු ස්වභාවය එලිමහනට ගෙන එයි.

අතිකාල ගෙවීමක් හෝ වැටුප් වැඩිකිරීමක් නොකර, මාස 3 සිට 6 දක්වා කාලයක් සති අන්ත සහ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි කම්කරුවන් වැඩට යෙදවීම, 2020 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වන පරිදි දැනට පවතින පැය 45 ක වැඩ සතිය පැය 50 දක්වා වැඩිකිරීම සහ අර්ථසාධක හෝ සේවක භාරකාර අරමුදල් රහිත දීමනාවක් ගෙවා සේවකයන් තාවකාලිකව රැකියාවෙන් දොට්ට දැමීමට ඉඩ සැලසෙන පරිදි කම්කරු නීති ලිහිල් කිරීම වැනි යෝජනා ඒ අතර වෙයි. 

මේ අයිතීන් ඝාතනය නිසා රැකියා විනාශයට ලක්වන හා රැකියාවල යෙදෙන දස ලක්ෂ සංඛ්‍යාත  කම්කරුවන් අන්ත දරිද්‍රතාවයක ගිලී යනු ඇත. කලක් තිස්සේ පැටවීමට මාන බලමින් සිටි අබාධිත සූරාකෑමේ කොන්දේසි පැටවීමට ධනපතියන් වසංගතය ආශිර්වාදයක් කරගැනීමට යයි. 

මෙම ප්‍රහාරවලට එරෙහිව අරගලයක් සංවිධානය කිරීමට සතුරු වෘත්තීය සමිති ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ මෙහෙයුමට එකඟවෙමින් තම ලිපියේ ලියා ඇත්තේ “රටේ ආර්ථිකය රඳවා ගැනීමට දරන උත්සාහයන් සඳහා කර්මාන්ත ශාලා විවෘත කල යුතු බව” තමන් ද පිලිගන්නා බවයි.  

කම්කරුවන්වන්ගේ අයිතීන්ට එල්ලවන මේසා බරපතල ප්‍රහාර ආන්ඩුව සමග කතා කර විසඳාගත හැකියයි සමිති නිලධරය කරන මවා පෑම ඔවුන් බරපතල කොන්දේසිවලට ගොදුරු කිරීමේ අන්තරාය මතුකර ඇත. 

වෘත්තිය සමිති සහ ඒවා සමග පෙල ගැසී සිටින ව්‍යාජ වාම සංවිධාන ධනපති ක්‍රමය තුල විසඳුම් සෙවීමේ ව්‍යාජ වැඩපිලිවෙලවල් ඔස්සේ කම්කරුවන් පීලි පැන්වීමට ක්‍රියා කරන අතර තමන්ට එල්ලවන ප්‍රහාර වලට එරෙහිව බරපතල පන්ති අරගල පැනනගින බව දන්නා පාලක පන්ති ඒවා තලා දැමීමේ ප්‍රතිවිප්ලවවාදී  ප්‍රහාර සඳහා සුදානම් වෙයි. රාජපක්ෂ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කම්කරුවන් හා දුගීන් ”විනයගත කිරීමට” යුද සමයේ මෙන් හමුදාව යෙදීමට අන දී ඇත. කොලඹට විශාල හමුදා භට පිරිස් කැඳවමින් ඔහු පෙන්නුම් කර ඇත්තේ ඒකාධිපති පාලනයකට මාරුවීමට සූදානමයි.  

රාජපක්ෂ මහා ධනපතියන් දිරිගන්වමින් ගෙනයන ”ආර්ථිකය විවෘත කිරීම,” දහස් ගනන් රැකියා සහ ජීවිත බිලි දෙමින් අධිරාජ්‍යවාදී සහ ධනපති ආන්ඩු  විසින් ලෝක පරිමානව ක්‍රියාවට දමන කම්කරුවන්  “ආපසු වැඩට” තල්ලු කිරීමේ දුෂ්ට වැඩපිලිවෙලේ කොටසකි. මේ වනවිට ඇමරිකාවේ සහ යුරෝපයේ මිලියන ගනනින් කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව ඇරඹී ඇත්තේ ද්‍රෝහී  වෘත්තීය සමිති නිලධරයේ පූර්න සහාය සහිතවයි

රාජපක්ෂ වෙත ලිපිය නිකුත්කල දිනට පසුදා කම්කරු අමාත්‍යංශය, හාම්පුතුන් සහ වෘත්තීය සමිතිවල සහභාගිත්වය සහිතව පිහිටුවා ඇති ජාතික කම්කරු උපදේශන මන්ඩලයේ හමුවකට සම්බන්ධ වූ සමිති  නායකයෝ මෙම ප්‍රතිගාමී භූමිකාවට පිලිපන්හ.

කම්කරු ඇමති දිනේෂ් ගුනවර්ධනගේ මූලිකත්වයෙන්  පැවති මෙම හමුවේදී “පවතින තත්වය තුල සේවකයන් දොට්ට දැමීමට හෝ සේවය අත්හිටුවීමට සිදුවන බවත් වැටුප් ගෙවීමට හැකියාවක් නැති” බවත් හාම්පුතුන් පවසා තිබේ. මෙම ප්‍රකාශ ඉදිරියේ  නිලධරය නිවට ලෙස යටත් වී ඇත. නිවෙකපොසේසේස නායක ඇන්ටන් මාකස් හාම්පුතුන්ගෙන් ඉල්ලා ඇත්තේ “යම් ප්‍රතිපාදනයන් අනුව සේවකයන්  ට සාධාරනය ඉෂ්ට කරන” ලෙසයි. මෙම “සාධාරනය” වූකලී සොච්චම් වන්දියක් ගෙවා කම්කරුවන් දොට්ට දැමීමට වඩා වැඩි දෙයක් නොවේ. 

2008 ලෝක ආර්ථික අර්බුදයත් සමග ලංකාවේ ඇඟලුම් හා නිදහස් වෙලඳකලාප කම්හල් වල අතුලු පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු කිරීමේ දී හා කම්හල් වසා රැකියා අහිමි කිරීමේදී මාකස්ගේ නිවෙකපොසේසේසය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති ආන්ඩුව සහ හාම්පුතුන්ද ඇතුලත් ජාතික කම්කරු උපදේශක සභාවට මෙපරිද්දෙන්ම සම්බන්ධ වී එම කප්පාදුවලට සහය දුන්හ.

කොරෝනා වසංගතය විසින් ලංකාවේ ධනපති පාලක පන්තිය මුහුන දෙන අර්බුදය දැවැන්ත ලෙස තීව්‍ර කර ඇත.  ආර්ථිකය බරපතල ලෙස හැකිලීමත්, ගෙවා දැමිය යුතු විදේශ නය ප්‍රමානයත් සැලකිල්ලට ගැනීමේදී දැඩි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමට සිදුවන බව මහ බංකුව ඇතුලු ආර්ථීක විශේෂඥයන් අනතුරු අඟවා ඇත. 

ජනාධිපති ලේකම් පී, බී. ජයසුන්දර ඩේලි එෆ්ටී වෙත සම්මුඛ සාකච්චාවක් දෙමින් පැවසුවේ ”ලංකාවට ආර්ජන්ටිනාවක් වීමට” උවමනාවක් නැති බවයි. නය පහර හැරීමකට වැටුනු  ආර්ජන්ටිනාවේ පාලකයින් කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා සුබසාධන දරුනු ලෙස කපා හැරියේය. වත්මන් වසංගතය මධ්‍යයේ එරට ආන්ඩුව තවත් සියයට 25කින් වැටුප් කැපීමක් ඇතුලු ප්‍රහාරමාලාවක් ක්‍රියාවට දමා ඇත. ජයසුන්දරගේ ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ ලංකාවේ මහජනයා මතට කඩාපාත් කිරීමට යන විනාශයේ තරමයි. 

ජනාධිපති වෙත ඉදිරිපත් කල ලිපිය අවසානයේ සමිති නිලධරය විසින් යෝජනා කරන්නේ,  “ගැනුම්කරුවන්,සැපයුම්කරුවන්, පාරිභෝගික නියෝජිතයින් සහ ගෝලීය කම්කරු සංවිධාන ඇතුලූ සියලූ ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ බහු සහභාගී වටමේසයක්” කැඳවිය යුතු බවත්  කම්කරුවන්ගේ වැටුප් සහ රැකියා කප්පාදු කිරීමට සිදුවන්නේ ඇයිද යන ප්‍රශ්න වලට හාම්පුතුන් විසින් එහිදී පිලිතුරු දිය යුතු බවත් ය. 

මෙවන් වටමේසයක්, දැනටමත් සිය රටවල කම්කරු අයිතීන් නැසීමේ යෙදී සිටින ජාත්‍යන්තර සංගත හා ලංකාවේ ධනපතියන්ගේ මන්ඩල ආන්ඩුවේ නියෝජිතයන් හා සමිති නිලධරය  එම සැලසුම් හොඳින්ම ක්‍රියාවට දැමීම සාකච්චා කරන මන්ඩපයක් වනු ඇත. 

ජවිපෙ විසින් පාලනය කෙරෙන අන්තර් සමාගම් සේවක සංගමයේ නායක වසන්ත සමරසිංහ මෑතදි ආන්ඩුවට යෝජනා කර ඇත්තේ රුපියල් බිලියන 300ක  මුදලක් හෝ ව්‍යාපාරිකයන්ට ලබාදී ඔවුන් නගා සිටවිය යුතු බවයි. 

වෘත්තීය සමිති නියෝජනය කරන්නේ ධනපතියන්ගේ උවමනාවන් මිස කම්කරුවන්ගේ අවශ්‍යතා නොවේ. කම්කරුවන්ට  රැකියා, වැටුප්,  විශ්‍රාම වැටුප් හා අනෙකුත් අයිතීන් රැක ගැනීමට සටන් කල හැක්කේ  තමන්ගේ අවශ්‍යතා නියෝජනය කරන, ඒ අනුව තීන්දු ගන්නා හා අරගල සංවිධානය කලහැකි සංවිධාන සාදා ගැනීමෙන් පමනකි.

එබඳු සංවිධාන ලෙස වෘත්තිය සමිතිවලින්  හා නිලධරයෙන් සම්පුර්නයෙන් ම ස්වාධීනව, වැඩපොලවල හා කම්කරු නිවහන් පෙදෙස්වල ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටී. 

විද්‍යාත්මක ඇගයීමකින් සහතික කරන ලද සෞඛ්‍යාරක්ෂක විධිවිධානවලින්  තොර ව කම්හල් හෝ වැඩපොලවල් කරා කිසිදු ආකාරයකින් ආපසු යාමට විරුද්ධ වන ලෙස සසප කම්කරුවන්ට කියා සිටියි. ධනපතියන්ට හෝ ඔවුන් පසුපස දුවන සමිති නිලධරයට කම්කරුවන්ගේ ජීවිත ගැන කිසිදු තැකීමක් නැත. 

කම්කරුවන් සිය රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුවට එකහෙලා විරුද්ධ විය යුතුය. සම්පූර්න වැටුප්, දීමනා සහ රැකියා අහිමිවීම් සඳහා පූර්න වන්දි ඉල්ලා සිටිය යුතුය. 

මෙම ඉල්ලීම් සාක්ෂාත් කරගත හැක්කේ, ධනපති පන්තියෙන් නිෂ්පාදන බලවේග උදුරාගෙන, සමාජයේ බහුතරයේ අවශ්‍යතා සඳහා ඒවා තාර්කික ව ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. එනම්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක්  මගින් සමාජවාදී වැඩපිලිවෙලකට සටන් කිරීමෙන් පමනකි. කම්කරුවන් සිය ක්‍රියාකාරී කමිටු මගින්, ගම්බද දුගීන් හා තරුනයන්  මෙම අරගලයට රැලි කර ගත යුතුය. සමාජවාදය සඳහා මෙම අරගලය ගෙන යා හැකිවන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනගා ගැනීමෙන් පමනකි. 

Loading