ආන්ඩුව වැඩෙන මහජන විරෝධය අවමංගත කිරීමට මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රහාරයන් උත්සන්න කරයි

මිලිටරියේ සහයෝගය රැලිකර ගනිමින්, ආඥාදායක පාලනයකට පාර කපමින් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ⁣ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පාලක පන්තිය, නව වටයකින් මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයක් ආරම්භ කර තිබේ.

කොරෝනා වසංගතය ව්‍යාප්තවීමේ වගකීම මුස්ලිම් ජනතාවට පවරමින් ද, පාස්කු ඉරිදා  ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ පරීක්ෂන යලි ඉස්මත්තට ගනිමින් ද, ආන්ඩුව, එයට පක්ෂ වර්ගවාදී නඩ හා මාධ්‍ය මේ සඳහා වැඩට බැස ඇත.

මෙහි ආසන්නතම සිද්ධිය නම්, ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයැයි පවසමින් මුස්ලිම් ජාතික නීතීඥවරයෙකු වන හෙජාස් හිස්බුල්ලා මාර්තු 14 දා අත්අඩංගුවට ගැනීමයි. 

ක්‍රිස්තියානි දේවස්ථාන සහ හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් පසුගිය වසරේ අප්‍රේල් 21 දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 270 ක් පමන මිය ගොස් අවම වශයෙන් 500 ක් පමන තුවාල ලැබූහ. 

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති නීතීඥවරයාට එරෙහි නිශ්චිත චෝදනා මේ දක්වා ඉදිරිපත් කොට නැත.  මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත්කොට රැඳවුම් නියෝගයක් ලබා ගැනීමෙන් තොරව, සති තුනකට අධික කාලයක් ඔහු අනීතික ලෙස රඳවා ගෙන සිටින්නේ, පුද්ගලික නීති සහාය ලබාගැනීමේ අවස්ථාව ද අහිමි කරමිනි. 

පිලිගතහැකි සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොකරමින්ම, පොලිස්   ප්‍රකාශක ජාලිය සේනාරත්න මාධ්‍යයට ප්‍රකාශ කලේ, ත්‍රස්ත    ප්‍රහාරයෙන් පසු සැලසුම් කල දෙවන ප්‍රහාරයක් සම්බන්ධව කල පරීක්ෂන වලදී, බෝම්බකරුවන් සමඟ නීතීඥ-සේවාදායක සම්බන්ධයකට එහා ගිය සෘජු සම්බන්ධතා නීතීඥවරයාට තිබූ බවට කරුනු සොයාගෙන ඇති බවයි.

වසර මුල සිටම ආන්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂන නව වටයකින් තීව්‍ර කල අතර පසුගිය ආන්ඩුව යටතේ දියත් කෙරුනු පරීක්ෂනයට සම්බන්ද පොලිස් නිලධාරීන් ඉවත් කරමින් නව අත්අඩංගුවට ගැනීම් සිදු කලේය. 

හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට සමගාමීව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ම පසුගිය රජයේ අමාත්‍යවරයෙක්ව සිටි රිසාඩ් බදුර්දීන් ගේ සහෝදරයෙක් වන මුස්ලිම් ජාතික මොහොමඩ් රියාජ් ද අත්අඩංගුවට ගැනුනි. 

මුස්ලිම් ජාතිකවාදය මත පදනම්වූ ඕල් සිලෝන් මක්කල් කොන්ග්‍රස් පක්ෂයේ නායකයා වන බදුර්දීන්, ආන්ඩුව තමාව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතැයි දක්වමින් පසුගිය දා (මාර්තු 29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කලේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ දක්වා  පුද්ගලයන් 120 ක්  අත්අඩංගුවට ගෙන 40 ක් රැඳවුම් නියෝග මත රඳවා ඇති බවට වාර්තා තිබේ. මෙසේ රඳවා තබා ඇති අතිශය බහුතරයක් මුස්ලිම් ජාතිකයන් වේ. 

ත්‍රස්තවාදය මැඩීමේ නාමයෙන් රටපුරා මිලිටරිය දිගේලි කිරීමටත් මුස්ලිම් විරෝධී සිංහල වර්ගෝත්තමවාදය ඉස්මත්තට ගනිමින් කම්කරු පන්තිය බෙදීමටත් පාලක පන්තිය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය නැවත නැවතත් යොදාගනු ලැබේ.

තම ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙමින් පැවති පෙන්ති අරගල මැඩීම සඳහා රුදුරු ප්‍රහාරයකට මාන බලමින් සිටි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව පාස්කු ප්‍රහාරය වහා ඩැහැ ගනිමින් මිලිටරිය වීදියට කැඳවා ගත්තේ එයට නව බලතල ද ලබා දෙමිනි. එය, ලංකාවේ පාලක පෙන්තිය ආඥාදායක පාලනයක් දිශාවට ගමන් කිරීමේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.

පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම සම්බන්ධයෙන් ආන්ඩුව කෙරේ මහජනයා අතර නැගුන බරපතල අප්‍රසාදය  අවමන්ගත කිරීම සඳහා මුස්ලිම් ජනවර්ගයම ත්‍රස්තවාදීන් ලෙස නම් කරමින් ආන්ඩුව සිංහල වර්ගවාදී උද්ඝෝෂනයක් දැනුවත්වම උත්සන්න කලේය. 

සිංහල වර්ගවාදී ෆැසිස්ට් ප්‍රහාර මුස්ලිම් ගම්මාන ඉලක්ක කරගනිමින් දිගේලි කිරීම සඳහා මැයි 13 වන විට රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) ට  සම්බන්ධ මැර නඩ ඇතුලු කන්ඩායම් මුදා හරිනු ලැබුනු අතර, පොලීසියේ හා මිලිටරියේ ඍජු හෝ වක්‍ර පිටුබලය සහිත ව සිදුකෙරුනු ප්‍රහාරය තුලදී  අඩුතරමින් එක් මුස්ලිම් ජාතිකයෙකු මරා දමා, මුස්ලිම් පල්ලි, නිවාස, ව්‍යාපාරික ස්ථාන, නිවාස ඇතුලු දේපල සියගනනක් විනාශ කෙරිනි. 

සිංහල කාන්තාවන් දහස් ගනනක් වන්ද්‍යාභාවයට ලක්කලේය යන ⁣අභූත චෝදනාව යටතේ කුරුනෑගල රෝහලේ සේවය කල  වෛද්‍ය සියාබ්දීන් මොහමඩි සාෆි පොලිස් අත්අඩංගුවට ගැනීම මෙම මුස්ලිම්-විරෝධි උද්ඝෝෂනයේ අත්‍යන්ත කොටසකි. 

වෛද්‍ය සාෆි හා පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට පත් මුස්ලිම් තරුනයන් වෙනුවෙන් නීතීඥ හිස්බුල්ලා අධිකරනයේ පෙනීසිටි අතර ඔහුගේ අත්අඩංගුවට ගැනීම එකී මුස්ලිම් භීතිකාව නැවත කරලියට ගෙන ඒ⁣ම ද අරමුනු කරගත් එකකි.

වසංගත වාහකයන් ලෙස මුස්ලිම් ජනයා ක්‍රියාත්මක වන බවට එල්ල කෙරුනු අභූත චෝදනා මධ්‍යයේ, එයට එරෙහිව තම ෆෙස්බුක් ගිනුමේ අදහස් පලකල මුස්ලිම් ජාතික රම්සි රාසික්,  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනත යටතේ අත්අඩංගුවට  ගනු ලැබුනි. 

රාසික් පෙනී සිටින්නේ සිංහල වර්ගවාදී ප්‍රහාරයන්ට එරෙහිව ”මතවාදමය ජිහාඩයක්” අවශ්‍යයැයි ⁣කියන මධ්‍යම පන්තික  ප්‍රතිගාමී උද්ඝෝෂනයක් වෙනුවෙන් වුවද ඔහුට තමා දරන අදහස ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. රාජපක්ෂ ආන්ඩුව උදුරාගෙන ඇත්තේ එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යි.

මේ අතර, ඉස්ලාම් භක්තිකයන්ගේ සංස්කෘතික චාරිත්‍ර උල්ලංඝනය නොකරන ලෙස  මුස්ලිම් සිවිල් සංවිධාන හා දේශපාලනඥයන් ගනනාවක් කල ඉල්ලීම නොතකමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේද නිර්දේශ වලට ද පටහැනිව, කොවිඩ්-19 රෝගය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ ආදාහනය කිරීම සඳහා ආන්ඩුව අත්තනෝමතික ලෙස පියවර ගත්තේය. මෙය ද රාසික් තම ෆෙස්බුක් ගිනුමේ විවේචනය කර තිබිනි.

ආන්ඩුවේ මෙම ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික හා සුලු ජාතීන්ගේ අයිතීන් සම්බන්ධ විශේෂ රැපෝර්ටර්වරුන් සිවි දෙනෙකු විසින් ජනාධිපතිට යොමු කල ලිපියක සඳහන් කරන්නේ ”භූමදානය කිරීම තහනම් කිරීම අයිසීසීපීආර් උල්ලංඝනය කිරීමක්” බවයි.  ”විවිධ ජන කොටස්වලට අයත් පුද්ගලයන්ගේ මූලික මානව අයිතිවාසිකම්වලට ගරු කිරීමට පටහැනි හා ආතතිය වැඩි කිරීමට ඉඩ ඇති අනවශ්‍ය ක්‍රියාමාර්ග” නොගන්නා ලෙස ඔවුන් ආන්ඩුවෙන් ඉල්ලා සිටී.

ඉහත ලිපියට පිලිතුරු නොදුන් ආන්ඩුව, මලසිරුරු ආදාහනය කිරීමේ මුස්ලිම් පීඩක හා වර්ගවාදී නිර්දේශය අප්‍රේල් 12 දා නිකුත් කල ගැසට් නිවේදනයකින් නීතිගත කරන ලදී.

තම පාලනය තුල මුස්ලිම් හා දෙමල ජනකොටස්වලට විරුද්ධව වර්ගවාදී අකටයුතුකම් සිදුකිරීම රාජපක්ෂ විසින් බෞතීස්ම කලේ ජනාධිපති ලෙස දිවුරුම් දෙමිනි. සුලුජාතීන්ගේ ඡන්ද නොමැතිව තමන්ට සිංහල ඡන්දවලින් පමනක් මැතිවරන   ජයග්‍රහනය කිරීමට හැකි බවට රාජපක්ෂ එහිදී පුරාජේරු ⁣දෙඩවීය. 

ජනාධිපතිවරනයේදී මෙන්ම, වසංගතයද නොසලකා ඔහු විසින් කඩිනම් කරන මහමැතිවරනයේදී, රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රීලංපොපෙ, ජාතික ආරක්ෂාව හා සිංහල ස්වෝත්තමවාදය ඉදිරියට ගැනීමට සූදානමින් සිටින බව හාත්පසින්ම පැහැදිලි වෙයි.

වසංගතය මර්දනය කිරීමේ ලා අත්‍යවශ්‍ය මහා පරිමාන පරීක්ෂන සිදු නොකිරීම, අවශ්‍ය තරම් රෝහල් ධාරිතාවන් පෘථුල නොකිරීම, සහන සේවාවන් සැපයීමේ කිසිදු ක්‍රමවත්    ක්‍රමවේදයක් තොරව නගර අගුලු දැමීම, වසංගතයට හා මරනයේ අන්තරයායට කම්කරු මහජනතාව නිරාවරනය කරමින් නැවත වැඩට කැඳවීම ආදිය සම්බන්ධයෙන් වර්ධනය වෙමින් පවතින්නේ පුලුල් මහජන වික්ෂෝපයකි. 

මහජනයා සම්බන්ධයෙන් වන මෙම සාපරාධී නොතැකීමට විපරීතව, විශාල සමාගම් හා ව්‍යාපාර ගලවා ගැනීම සඳහා රාජපක්ෂ ආන්ඩුව මහජන මුදල් බිලියන ගනනින් පොම්ප කරමින් සිටී.

වර්ධනය වන මහජන අප්‍රසාදය දෝරගැලීමට පෙර කඩිනමින් මහ මැතිවරනය පවත්වා අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් කරමින් තම ආඥාදායක බලය ශක්තිමක් කරගැනීමට රාජපක්ෂ මාන බලමින් සිටී. මිලිටරියේ නිවාඩු අවලංගු කරමින් දසදහස් සංඛ්‍යාත සෙබලුන් පසුගිය සතියේ කොලඔට කැඳවා ගැනීම තුල ජනාධිපති ආඥාදායකත්වයක් ඇටවීමේ සියලු ඇඟවුම් පවතී. 

ආන්ඩුවේ මෙම මිලිටරීකරන ක්‍රියාදාමය සහ වර්ගවාදී උද්ඝෝෂනය සම්බන්ධව, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන හා දෙමල ජාතික සන්ධානය ඇතුලු ධනපති පක්ෂ නිහඬව සහයෝගය දක්වා ඇත. වැඩෙන මහජන අප්‍රසාදය සමස්ත පාලක පන්තියට සහ ධනපති ක්‍රමයටම එරෙහිව පුපුරා යතැයි බියපත්ව සිටින ඔවුහු  රාජපක්ෂගේ මිලිටරිවාදී වැඩපිලිවෙලට එකාවන්ව එකඟය. 

ලංකාව තුල මෙසේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ජාත්‍යන්තර ප්‍රපංචයකි.  රාජපක්ෂ මෙන්ම එක්සත් ජනපදය, ‍බ්‍රිතාන්‍යය,    ප්‍රන්සය, ජර්මනිය සිට ඉන්දියාව  දක්වා ලොවපුරා පාලක පන්තීන් වසංගතය ඩැහැගනිමින් ආඥාදායකත්වයන් දෙසට යන ගමන වේගවත් කොට ඇත.

Loading