”ආන්ඩුවෙන් කිසිම සහනයක් අපට ලැබුනේ නැහැ” යි එලවලු ගොවීන් කියයි

ආන්තික දරිද්‍රතාවයෙන්, නය බරින් හා විරැකියාවෙන් පෙලෙන ගම්බද දුගී ගොවීහු කොරෝනා වසංගතය හේතුකොට ගෙන තවත් අසරන තත්වයට ඇදවැටී සිටිති. ඇඳිරි නීතිය සහ ආර්ථික  මධ්‍යස්ථාන වසා දැමීම නිසා තම නිෂ්පාදන අලෙවිකර ගැනීමේ බරපතල ප්‍රශ්නයට ඔවුන් මුහුන දෙයි. විකිනීමට අවස්ථාවක් ලැබුනත් අතරමැදියන් විසින් ගසාකෑම නිසා වගාවට වැය වූ වියදමවත් පිරිමසා ගැනීමට ඔවුන්ට නොහැකිව ඇත.

අතරමැදි ගසාකෑම වලකා ගොවීන්ට සාධාරන මිලකට එලවලු අලෙවිකර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් එලවලු මිල දී ගැනීමේ ක්‍රමවේදයක්  ක්‍රියාවට දමන බව අප්‍රේල් මාසයේ මුල ආන්ඩුව නිවේදනය කල නමුත් තමන්ට  එවන් කිසිදු සහනයක් ලැබී නැති බව ගොවීහු කියති.

බන්ඩාරවෙල ප්‍රදේශයේ  ගොවියකු වන ගුනරත්න එහි  එලවලු ගොවීන්  මුහුන  දෙන දුෂ්කර කොන්දේසි ලෝක සමාජවාවාදී වෙබ් අඩවියේ (ලොසවෙඅ) වාර්තාකරුවන්ට  විස්තර කලේ ය. ”බන්ඩාරවෙල,  කැප්පෙටිපොල, ඇටම්පිටිය ඇතුලු විශාල භූමි  ප්‍රදේශයක පවුල් දස දහස් ගනනක් ගොවිතැනින් ජීවත් වෙනව.  මේ කාලකන්නි රෝගයක් නිසා  අපි අන්ත අසරන තත්ත්වයට පත්වෙලා ඉන්නේ, අපි ගැන හොයන්න බලන්න කවුරුවත් නැහැ. ආන්ඩුව කිව්වට සහන සලසනවා කියල මේ වෙනකම්  අපිට පිහිට වෙන්න කව්රුත් ආවේ නැහැ. අපි  දහදුක් විඳලා නයවෙලා  වගා කර ගත්තු එලවලු  ටික වී ටික විකුන  ගන්න බැහැ”.

බන්ඩාරවෙල සහ ඇටම්පිටිය  ආර්ථික මධ්‍යස්ථාන වලට ගොවීන් එලවලු රැගෙන ගියත් ඇඳිරි නීතිය වැනි දුෂ්කරතා හේතුවෙන් ඒවා නිසි ලෙස අලෙවි කර ගැනීමට නොහැකි බව සහ බොහෝ   අක්‍රමිකතා සිදුවන  බව ගුනරත්න පැවසීය. දූදරුවන් ඇතුලු පවුල නඩත්තු කර ගැනීම ඉතාමත් අසීරු වී ඇති බව සඳහන් කල ඔහු  එලවලු සහ අනෙකුත් බෝග අලෙවි කිරීමට නිසි ක්‍රමවේදයක්   ක්‍රියාවට දැමීමට අසමත්වීම ගැන ඔහු ආන්ඩුවට චෝදනා කලේ ය. 

ගුනරත්න වී වගාව ද කරයි. එලවලු මෙන් ම වී අස්වැන්න අලෙවි  කර ගැනීමේ දී  නොයෙකුත් ප්‍රශ්න වලට ගොවීන් මුහුන දෙන බව ඔහු සඳහන් කලේ ය. එක්දහස් නවසිය හැත්තෑ ගනන් වල රජය මගින් වී මිල දී ගැනීමේ යම් යාන්ත්‍රනයක් තිබුන නමුත් පසුව එය අහෝසි කල බව ද ඔහු කීවේය. 

1977 බලයට පත් වූ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) හා ලෝක බැංකුවේ නියෝග යටතේ ආරම්භ කර, අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් ඉදිරියට ගෙනගිය, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලික අංශයට  පැවරීමේ  කොටසක් ලෙස වී අලෙවි මන්ඩලය සහ ගොවින් සඳහා වූ සීමිත සමාජ සහන ක්‍රමානුකුලව කප්පාදු කිරීම ක්‍රියාවට දැමුනි. කෙසේ නමුත් එකල වුවද රජය මිල දී ගත්තේ වී නිෂ්පාදනයෙන් සියයට දහයක පමන සුලු ප්‍රමානයකි.  වී මිල දී ගැනීම සහ හාල් නිෂ්පාදනය පුද්ගලික ව්‍යාපාරිකයන්  අතලොස්සකගේ ඒකාධිකාරයක් බවට දැන් පරිවර්තනය වී ඇත.

පාරීභෝගිකයා විසින් රුපියල් 200-300 වැනි මිල ගනන් වලට මිල දී ගනු ලබන එලවලු කිලෝවකින් ගොවියාට ලැබෙන්නේ  රුපියල් 20-30 පමන සොච්චමක් බව ගොවීහු කීහ. බොහෝ අවස්ථාවලදී එලවලු වගාව සඳහා දරන වියදමට වඩා ලැබෙන ආදායම අඩුය.  උදාහරන වශයෙන්  බෝංචි බීජ කිලෝවක් වගා කිරීම සඳහා රුපියල් 10,000 ට වැඩියෙන් වැයවන බවත් නමුත් ආදායම රුපියල් 7,500 ක් පමන බව ඔවුහු පැවසුහ.   

“අඹුදරුවන්ගේ කනකර උගස් තියලා, බැංකු නය අරගෙන  නැතිනම් ගිනි පොලියට පෞද්ගලික ආයතන වලින් නය අරගෙන  ගොවියො  වගා කරන්නේ. මේ කාලකන්නිකමෙන්  අපි කොහොමද ගැලවෙන්නේ. පවුල් කී දාහක් මේ වගේ තත්ත්වයට පත්වෙලා ඉන්නවද . ආන්ඩුව  කියනවා ගොවියන්ට සෙත සැලසෙනවා රජකරවනවා කියලා. ඔය කතා අපි හැමදාම අහනවා. රජකරවීම කෙසේ වෙතත් කොරෝනා  හැදිලා අපි මැරෙන්න කලින් කන්න බොන්න නැතිව මියයාවී. ලමයින් බඩගින්නෙ අඬනකොට පාන් කෑල්ලක් අරන් දෙන්නවත් මේ දවස්වලට අපට පුලුවන් කමක් නැහැ” යැයි ඇටමිපිටියේ ගොවියෙක් පැවසීය.

ගොවිතැනින් ලාබයක් නොලැබෙන නිසා එම ප්‍රදේශයේ තරුන ජනයා  රැකියා සොයා නගරවලට සහ නිදහස් වෙලඳ කලාපවලට සංක්‍රමනය වී ඇති බව තවත් ගොවියෙකු ප්‍රකාශ කලේ ය. හෝටල්, කඩසාප්පු, ගොඩනැගිලි කර්මාන්තය සහ නිදහස් වෙලඳ කලාපවල වැඩ කල ඔවුන්ගේ රැකියා වසංගතය නිසා අහිමිවීමෙන් නිවෙස් වලට පැමින සිටින ඔවුන්ට දැන් කිසිදු ආදායමක් නැති බවත් ඔහු සඳහන් කලේ ය.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සංචාරක ව්‍යාපාරය ඇන හිටීමෙන් තමා එදිනෙදා නිරතව සිටි බෙල්පේපර් වගාව හා බෙදාහැරීම ඇනහිට ඇති බවත්  තම ජීවිතය අතිශය දුක්ඛිත තත්ත්වයට පත්ව ඇති බවත් වැලිමඩ බෙල්පෙපර් මිරිස් ගොවියකු පැවසීය. 

“සංචාරක හෝටල් සඳහා  බෙල්පෙපර් ඇතුලු එලවලු වගාකරන නුවරඑලිය, ඌව පරනගම, සහ හපුතලේ යන ප්‍රදේශවල ගොවියන් සහ බෙදාහරින්නන් 500ක් පමන  දෙනා අසරන  වෙලා.  නිෂ්පාදනයෙන් සියයට අසූවක් පමන  ලංකාවේ හෝටල්වලට සපයන්නේ. ඉතිරි සියයට 20 අපනයනය කරනවා. එහෙත්  වසංගතයත් සමග සංචාරක කර්මාන්තය බරපතල ලෙස බිඳ වැටිලා. නුවරඑලිය, ඇල්ල වැනි සංචාරකයන් පැමිනෙන  හෝටල් මේ වනවිට මුලුමනින්ම වසා දමල. එවායෙහි  සේවයේ යෙදුන සේවයකයින්ටත් රැකියාව  අහිමිවෙලා” යැයි ඔහු සඳහන් කලේ ය.  

ඩබ්ලිව්. එම්. ගුනරත්න දඹුල්ල ප්‍රදේශයේ ගොවියෙකි. බන්ඩාරවෙල   ප්‍රදේශයේ මෙන් ම එහිද එලවලු  ගොවීන් මුහුන දෙන්නේ සමාන කොන්දේසි වලට ය.  “ගොවිතැන ගැන ජීවිතය ගැන අපෙන්  අහල  වැඩක් නැහැ. එල්ලිලා මැරෙන්ඩ වෙලා තියෙන්නේ. අක්කරයක විතර එලවලු වගා කරලා තියෙනවා බැංකුවෙන් රුපියල් අසූ දාහක් නයට ගත්ත.  වාරික කිහිපයක් ගෙවන්න බැරි වුනා. දැන් කොහොමටත් නය ගෙවන්න බැරි වෙනවා. ” 

ඔහුගේ නිවසේ බිරිඳ, දරු තිදෙනා, මව සහ සොහොයුරිය ඇතුලු  හත් දෙනෙක් වාසය කරන බැවින්,  දවසේ වියදමට රුපියල් 1,500 ක් අවශ්‍ය බව ඔහු පැවසීය. “අපි හදපු එලවලු වලට වෙලා තියෙන දේ මාධ්‍ය වලින්  දකින්න ඇති. වැටකොලු රුපියල් 40යි. මාලුමිරිස් 30 යි, තක්කාලි 15යි, පිපිඤ්ඤා 12 යි,  අපි කොහොමද ඉතින් ජීවත් වෙන්නේ?”

ආන්ඩුවෙන් ගොවීන්ට සහන සලසන බව මාධ්‍ය වලින් පැවසුවත් මේ වනතුරු කිසිවක් නොලැබුනු බව ගුනරත්න පැවසීය. තෙල් සහ පොහොර මිල ඉහල ගොස් ඇති බැවින් සහ වැඩ කුලිය වැඩිවී ඇති බැවින් ඉහත මිල ගනන් වලට එලවලු විකුනා ආදායමක් ලබා ගන්නේ කෙසේදැයි ඔහු විමසීය.

ඔහු කෝපයෙන් හා කනස්සල්ලෙන් මෙසේ පැවසීය: “නයගැතිකමයි අගහිඟකමයි, කෑම බීම නැතිකමයි ඔක්කොම ප්‍රශ්න එක පිටට. ලමයි කෑම ඉල්ලලා  අඬනකොට අපි ලඟ මොනවද දෙන්න තියෙන්නේ?, ජීවත්වීම අපිට ලොකු ප්‍රශ්නයක්. කොරෝනා  මුලු පවුලටම හැදිලා මිය යනවා නම් හොඳයි”  

කියවන්න: රජයෙන් පොරොන්දු වූ සහන කිසිවක් මෙතෙක් ලැබී නැතැයි ගිරාඳුරුකෝට්ටේ ගොවීන් කියයි

Loading