“නැවත වැඩ පටන් ගන්න කිව්වට නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් නැහැ”: දුම්රිය කම්කරුවෙක්

කොරෝනා වසංගතය පාලනය කිරීමේ සැලසුම්වල කොටසක් ලෙස රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට දැමු අගුලු දැමීම අවසන් කොට, මාර්තු මාසයේ වසා දැමුනු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයතන කර්මාන්ත ශාලා සහ සේවා ස්ථානවල  වැඩ ආරම්භ කරමින්  රටේ “ආර්ථිකය යලි විවෘත කිරීම” පටන්  ගෙන ඇත. 

ආන්ඩුව මෙම වැඩ පිලිවෙල ක්‍රියාවට දමා ඇත්තේ කොරෝනා  වසංගතය “සාර්ථක ලෙස” පාලනය කිරීමට සමත් වී ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු එහි බලධාරීන්  සහ ධනපති මාධ්‍ය විසින් ගෙන යන සාවද්‍ය ප්‍රචාරයක් මධ්‍යයේ ය. 

යතා තත්වය වන්නේ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහලයාම සහ වසංගතය පැතිරයාමේ අවදානම තීව්‍ර වීමකි. අඟහරුවාදා (5) දහවල් වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 755 ක් වූ අතර මරන සංඛ්‍යාව 8 කි. 

නිසි සෞඛ්‍ය ආරක්ෂන ක්‍රමවේදයන් නොමැතිව යලි වැඩ ඇරැඹීමෙන් වසංගතය පාලනය කල නොහැකි තත්වයක් උදාවී බරපතල සමාජ ව්‍යසනයක්  නිර්මානය වීමේ අන්තරාය පවතින බවට වසංගත රෝග පිලිබඳ විශේෂඥයන් අනතුරු අඟවා ඇත. ආන්ඩුවේ “ආර්ථිකය යලි විවෘත කිරීමේ” පිලිවෙතට සහය දක්වන අතරතුර වුව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද එම උත්සුකය පල කරයි.  

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහු ගේ ආන්ඩුව උනන්දු වන්නේ වැඩකරන ජනතාවගේ ජීවිත පරදුවට තබා  ගැඹුරුවන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සහ ධනපති සමාගම් වල ලාබ පිපාසිත උත්සුකතාවයන් සංතර්පනය  කිරීම කෙරෙහිය.

රාජපක්ෂ ආන්ඩුවේ මෙම  “ආර්ථිකය යලි පන ගැන්වීම” අධිරාජ්‍යවාදී සහ ධනපති ආන්ඩු විසින් ලෝකයේ සියලු රටවල වැඩකරන ජනතාවගේ  ජීවිත ගැන  නොතකා  මහා සංගත සහ ධන කුවේරයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාවට දමන “ආපසු වැඩට” යන දුෂ්ට පිලිවෙතේ කොටසකි.   

එහෙත් යලි වැඩ ආරම්භ කරන රාජ්‍ය මෙන් ම පුද්ගලික ආයතන වල නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් නැති බවටත්, සේවක සංඛ්‍යාව සහ පහසුකම් කප්පාදුවක් සිදුවන බවටත් කම්කරුවෝ චෝදනා කරති. 

මෙම අනාරක්ෂිත වැඩ කොන්දේසි පිලිබඳව කම්කරුවන්  අතර පලල් විරෝධයක් දැනටමත්  මතුවෙමින් ඇත. අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නැතිකම සහ වැටුප් කප්පාදුවට එරෙහිව පසුගිය දිනවල වතු කම්කරුවන් ගේ උද්ඝෝෂන  ගනනාවක් පැන  නැගුන අතර  රාජ්‍ය  අංශයේ  තැපැල් සහ වෛද්‍ය, හෙද සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය  කාර්ය මංඩල අතර ද ආරක්ෂක පහසුකම් නොසැපයීම පිලිබඳව විරෝධය වර්ධනය වෙමින් තිබේ.

මැයි 4 වෙනිදා නැවත වැඩ ආරම්භ කෙරුන රත්මලාන දුම්රිය  වැඩපොලේ පවතින අනාරක්ෂිත තත්වය සහ වැඩ කොන්දේසි පිලිබඳව එහි කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලේ ය. 

“අපි දන්න තරමින් වැඩට එන්න කියල තියෙන්නේ රත්මලාන දුම්රිය නිවාස වල පදිංචිව ඉන්න කම්කරුවන් හා තවත් කම්කරුවන් ටික දෙනෙකුට විතරයි. මම  වැඩ කරන කොටසේ කම්කරුවො 150 ක් ඉන්නව. ඒත් ඇවිත් ඉන්නේ හත් දෙනයි. කම්කරුවන් ස්වල්ප දෙනෙකුගෙන් මෙතන වැඩ ගෙනියන්න බැහැ.”

ප්‍රවාහන පහසුකම් සපයන්නේ නොමැතිව කම්කරුවන්ට වැඩට පැමිනෙන ලෙස තර්ජනය කිරීමෙන් පලක් නොමැතිබව ඔහු පැවසීය. මීටරයේ පරතරය පවත්වාගත යුතුයැයි පැවසුව ද ආන්ඩුව සතු බස්රථ පන්දහස් ගනනින් එවන් පහසුකමක් සපයන්නේ කෙසේදැයි දුම්රිය කම්කරුවා ප්‍රශ්න කලේය. 

“දුම්රියෙන් එන කම්කරුවොත් එන්නේ විවිධ ප්‍රදේශවල ඉඳල. ඒ අයත් බස්වල එනවා. හරිනම් .ආන්ඩුවේ බස් සහ පුද්ගලික බස් එකතු කරල ක්‍රමවේදයක් හදන්න ඕන. අවදානම් දිස්ත්‍රික්ක ඇතුලුව සියලු දිස්ත්‍රික්කවල අයට මැයි 11 ඉඳල වැඩ එන්න කියල ආන්ඩුව දැනුම්දීල තියෙනවා. අවශ්‍ය තරම්  ප්‍රවාහන පහසුකම් සැපයුවේ නැත්නම් කොහොම ද එන්නේ” ඔහු විමසීය. 

ආයතන තුල සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් සලසන බවට ආන්ඩුව කියන  නමුත්  රත්මලාන දුම්රිය වැඩපොල තුල විෂබීජහරනයවත් කර නැති බව එම කම්කරුවා පැවසීය. “අත සෝදා ගන්න වතුර බේසමක් තියෙනවා, සබන් නැහැ. මුහුනු ආවරන දුන්න. අපි ඒව දාගෙන ඉන්නව හැර වෙන පහසුකමක් නැහැ.” 

වසංගත මර්දන මෙහෙයුම මිලිටරියේ ප්‍රධානත්වයෙන් ගෙනයාම සම්බන්ධයෙන් විරෝධය පාමින් ඔහු මෙසේ පැවසීය: “හමුදාවයි  පොලිසියයි  කියන විදිහට නෙවෙයි වැඩ කරන්න ඕන. සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව. නමුත් එහෙම වෙන බවක් නම් පෙනෙන්න නැහැ.”

එහි සෑම වැඩක්ම පාහේ සාමූහිකව කලයුතු බැවින් දුරස්ථකරනය කිසිසේත්ම පවත්වාගත නොහැකිබව ඔහු පැවසීය.  “මීටරයේ පරතරය තියල කොහොමත් වැඩ කරන්න බැහැ  මුහුනට මුහුන කිට්ටු නොවී වැඩ කරන්නත් බැහැ”.

“වැඩට එන කම්කරුවන්ගේ ශරීර උෂ්නත්වය මැනලා බලල ඇතුලට අරගෙන තමයි වැඩ කරන්න වෙන්නේ. විෂබීජ තිබුනත් පිට නොදාන අය ඉන්න නිසා මෙතන වැඩ කරනව නම් අනිවාර්යෙන් පීසීආර් පරීක්ෂන කරන්න ඕන. නමුත් එහෙම වැඩපිලිවෙලක් නැහැ” යි ඔහු පැවසීය.

මාර්තු, අප්‍රේල්  මාසවල  වැටුප් කම්කරුවන්ගේ  ගිනුම් වලට   බැර  කර ඇතත් ඉදිරි මාසවල වැටුප් නිසි ලෙස  ගෙවනු ඇත්දැයි ඔහුට සැක සහිතය. “දැන් රුපියල් 5000 දෙනව කිව්වට ඒක හරියට දීලත් නැහැනේ. ඉතින් කොහොමද අපේ වැටුප් ගැන විශ්වාසය තියන්නේ?” යනුවෙන් ඔහු ප්‍රශ්න කලේ ය.  

වෘත්තීය සමිති ගැන කිසිම විශ්වාසයක් නැති බවත් මේ වන තෙක් කොරෝනා වසංගතය තුල දුම්රිය කම්කරුවන් මුහුන දෙන ප්‍රශ්න ගැන වෘත්තීය සමිති කිසිම මැදිහත් වීමක් කර නැති බව ද ඔහු සඳහන් කලේ ය. “ඒ ගොල්ලො කරන්නේ පාලකයෝ කියන දේවල්. මම සමිති වලින් ඇත් වෙලා ඉන්නේ.”

රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි දැඩි ලෙස අප්‍රසාදය පලකල ඔහු ආන්ඩුව උනන්දු වෙන්නේ ඡන්දය ගැන මිස වැඩකරන ජනයාගේ ප්‍රශ්න ගැන නොවන  බව පැවසීය. “පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිව අරලියගහ මන්දිරයට මන්ත්‍රීලා කැඳවල මොනව කරන්න ද?”  මිලිටරිය යොදාගෙන ඒකාධිපති පාලනයකට මාරුවීමට රාජපක්ෂ ආන්ඩුවේ සූදානම පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලකල පැහැදිලි කිරීම පිලිබඳව ඔහු එකඟතාවය පල කලේ ය. 

“ආන්ඩුව මහ ධනපතියන්ට මුදල් පොම්ප කරන අතර කම්කරුවන්ට සහන දෙන්න වැඩ නොකරන බවට ඔබ කියන දේ නිවැරැදියි.” 

රාජපක්ෂ ආන්ඩුව මුහුන දී ඇති උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු විධානයන් ක්‍රියාත්මක කිරීමට වේගයෙන් හැරීමට නියමිත බව ලෝසවෙඅ වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. මෙම කප්පාදු අතරින් දුම්රිය වැනි “පාඩු ලබන” ආයතනනයන්හි ප්‍රතිව්‍යූහකරනය ප්‍රමුඛ වෙයි.  මේ යටතේ දුම්රිය පුද්ගලීකරනය සඳහා සැලසුම් දශකයකටත් පෙරාතුව ඉදිරිපත්කර තිබුනි. මෙම සැලසුම් යටතේ දහස් සංඛ්‍යාත දුම්රිය කම්කරුවන්ගේ රැකියා මෙන්ම විශ්‍රාම වැටුප් ඇතුලු අයිතීන් ද උදුරා ගැනීමට පිඹුරුපත් සැකසී ඇත. 

රැකියා ඇතුලු අනෙකුත් අයිතීන් සුරක්ෂිත කර ගැනීම සඳහා සටන් වැදීමට නම්, කම්කරුවන්, ආන්ඩුවේ සහ දුම්රිය බලධාරින්ගේ ඒජන්තයන් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලින් බිඳී, තමාගේම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගාගත යුතුය. 

කම්කරු ක්‍රියාකාරී කමිටු යනු වෘත්තීය සමිති වෙනුවට තවත් ආදේශක සංවිධානයක් නොවන බවත් ඒවා වෘත්තීය සමිතිවල පාවාදීමට එරෙහිව කම්කරු පන්තියේ අයිතීන් සඳහා අරගලය සංවිධානය කරන කම්කරුවන්ගේ ඡන්දයෙන් කම්කරුවන් විසින් පිහිටුවා ගනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී හා විකල්ප සංවිධාන බවත් වාර්තාකරුවෝ ඔහුට පැහැදිලි කලහ.

Loading