ලෝසවෙඅ 2020 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය සඳහා ගෝලීය ප්‍රේක්ෂකත්වයක්

මෙම ලිපිය 2020 මැයි 4 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) විසින් 2020 මැයි දිනය සලකුනු කරමින් 2වන සෙනසුරාදා ජාත්‍යන්තර අන්තර්ජාල රැලියක් පවත්වන්නට යෙදුනි. රටවල් 11ක කථිකයෝ සජීවී වැඩසටහන ඇමතූහ. එයට ලොව පුරා ප්‍රේක්ෂකයින් සහභාගී විය.

2020 මැයි දින රැලිය පැවැත්වුනේ ගෝලීය කොරෝනා වෛරස් වසංගතයේ කොන්දේසි යටතේ ය. නිල වාර්තා අනුව, ලොව පුරා මිලියන කාලකට ආසන්න ජනතාවකගේ ජීවිත මේ වන විට  ඊට බිලිවී ඇත.

මැයි දින රැලියට එක්සත් ජනපදය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, ජර්මනිය, ප්‍රන්සය, එක්සත් රාජධානිය, තුර්කිය, බ්‍රසීලය, කොස්ටාරිකාව සහ කැනඩාව යන රටවල කථිකයින් සහභාගී විය.

3,000 කට අධික පිරිසක් රැලියේ සියල්ලම හෝ කොටසක් සජීවීව නැරඹූ අතර එතැන් සිට 4,200 කට වැඩි පිරිසක් එය යූ ටියුබ් තුලින් නරඹා ඇත. සම්පූර්න වීඩියෝව මෙතැනින් නැරඹිය හැකිය.

එක්සත් ජනපද නැගෙනහිර වේලාවෙන් පෙරවරු 11.00 ට ආරම්භ වූ මෙම රැලිය, 2020 මැතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂයේ එක්සත් ජනපද උප ජනාධිපති අපේක්ෂක නොරිස්සා සැන්ටා කෘස් විසින් හඳුන්වා දී හසුරුවන ලදී.  නොරිස්සා ලොව පුරා සිටින කම්කරුවන් සහ තරුනයින් සාදරයෙන් පිලිගත් අතර ඒ ඒ කථිකයින් හඳුන්වා දුන්නාය.

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති සහ ලෝසවෙඅහි ජාත්‍යන්තර කතෘ මන්ඬලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් රැලියේ ආරම්භක දේශනය පැවැත්වූ අතර වර්තමාන ගෝලීය අර්බුදය ඓතිහාසික සන්දර්භයක විමසා බැලීය.

“වසංගතය, ධනේශ්වර සමාජයේ ආර්ථික, දේශපාලන, සමාජීය හා සදාචාරාත්මක බංකොලොත්භාවය හෙලි කරන  ඓතිහාසික සිදුවීමක්” යැයි නෝර්ත් පැවසීය. "එය, ධනේශ්වර ආන්ඩුවල ප්‍රතිපත්ති සහ උත්සුකයන් තීරනය හා පාලනය කරන ව්‍යාපාරික-මූල්‍ය කතිපයාධිකාරීන් හා කම්කරු පන්තියේ අවශ්‍යතා අතර පවතින නොපෑහිය හැකි අගාධය නිරාවරනය කලේය."

කොවිඩ්-19 අර්බුදයෙන් ජාත්‍යන්තර කම්කරු පන්තිය උකහාගත යුතු නිගමන සාරාංශගත කරමින් නෝර්ත් පැවසුවේ, “වසංගතය ගෝලීය සංසිද්ධියක් වන අතර ලෝක විසඳුමක් ඉල්ලා සිටී. කොරෝනා වෛරසයට එරෙහි සටන තුල, වර්ගය, වාර්ගිකත්වය, ජාතිකත්වය හා ලිංඟිකත්වය පසෙකට අතුගෑවී ගියේය. වසංගතයට එරෙහි අරගලය ඉල්ලා සිටින්නේ, මානව වර්ගයාගේ පලදායී හා ප්‍රගතිශීලී සහසම්බන්ධකම් වලට බාධකයක් වන ජාතික සීමාවන් ඉක්මවා යන ලෙස“ ය. 

මෙම රැලියට සහභාගිවන්නෝ, අන්තර්ජාල සාකච්ඡාව පැවැත්වෙද්දී සිය අදහස් පල කලහ. සමහරුන් රැලියට සුබ පැතුම් එක් කල අතර තවත් අය වඩාත් පුලුල් අදහස් දැක්වූහ. එක් කම්කරුවෙක් මෙසේ පැවසීය: “ඔව් - මෙම මරන ධනවාදය යටතේ පවතින ජීවිතය පිලිබඳ යථාර්තයයි. මුසාවේ සාරය නම්, මෙය බලයේ සිටින දේශපාලන ක්‍රමයෙන් ස්වාධීන වීමයි. සමාජවාදය ජනතාවගේ අවශ්‍යතාවන්ට මුල් තැන දෙන අතර, අප දැන් අත්විඳින දැවැන්ත දුක් වේදනා අවසන් කරනු ඇති අතර මානව දුක් වේදනා අවසන් කිරීම සඳහා විද්‍යාව භාවිතා කරන අනාගතයක් සැලසුම් කරනු ඇත. ”

තවත් ප්‍රේක්ෂකයෙක් මෙසේ ලිවීය, “ට්‍රොට්ස්කිවාදී නායකයන් මගේ රූපවාහිනිය මත නැරඹීම යනු ‘නව සාමාන්‍යයයි‘. පිලිකුල් සහගත, යල්පැනගිය හා දිරාපත් වූ ධනවාදී ලාභ ක්‍රමය විප්ලවීය ලෙස පෙරලා දැමීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය සංවිධානය කිරීමට හැකියාව ඇති එකම දේශපාලන බලවේගය හජාජාක බවට කිසියම් සැකයක් නැත. සමාජවාදය කරා පෙරට, ඔබේ රට තුල සසපට බැඳෙන්න, එය ගොඩනඟන්න. ”

නිව් යෝර්ක්හි කම්කරුවෙක් මෙසේ ලිවීය: “කම්කරු පන්තියේ සාමාජිකයෙකු වශයෙන් මම භීතියට පත්ව සිටිමි. අප අතර බොහෝ දෙනෙක් බියට හා කෝපයට පත්ව සිටිති. විරැකියා සහන බලාපොරොත්තුවෙන් අපි සති 6 ක් ගත කලෙමු. [නිව්යෝර්ක් ආන්ඩුකාර ඇන්ඩෘ] කියෝමෝ පැවසුවේ, අත්‍යවශ්‍ය වැඩ ලබාගෙන අපව කැපකරන ලෙසයි. අප ජීවත් වනවා ද, මැරෙනවා ද කියා පාලක පන්තිය ගනන් ගන්නේ නැති බව බොහෝ දෙනෙක් තේරුම් ගැනීමට පටන් ගෙන තිබේ. අත්‍යවශ්‍ය සේවා කම්කරුවන් දැනටමත් ජීවිත පූජා කර ඇති අතර ඉතා ඉක්මනින් අපෙන් බොහෝ දෙනෙකුට සිදුවන්නේ එය අනුගමනය කිරීමටයි. අප (කම්කරු පන්තිය) යමක් කල යුතුය. ප්‍රශ්නය, අප බොහෝ දෙනෙකුට දැනෙන්නේ, ශාස්ත්‍රාලික භාෂාවෙන් අපව බිය ගන්වන බවයි, මක්නිසා ද යත් පාලක පන්තිය විශ්වාස කරන්නේ  අප නූගත් හා ගොලු අය බවයි. අපි එසේ නොවන්නෙමු! ”

මැයි 2 වන දින රැලිය, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසයෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කලේය. කම්කරු පන්තියේ ජාත්‍යන්තර නිවාඩු දිනය මුල්කර ගනිමින් පසුගිය වසර හය තුල හජාජාක විසින් අන්තර්ජාතික අන්තර්ජාල රැලි පවත්වා ඇති අතර, කථිකයන් සිටි සෑම රටක සිටම ඔවුන්ගේ කථා  සජීවී වීඩියෝවකින් විකාශනය කල පලමු අවස්ථාව මෙයයි.

ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියට පලමු වරට තුර්කිය, බ්‍රසීලය සහ කොස්ටාරිකාව යන රටවල කථිකයින් සහභාගී වීමෙන් පෙන්නුම් කරන්නේ, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හජාජාක සටන් වදින ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගයට වැඩි වැඩියෙන් සහයෝගය ගොනුවෙමින් තිබෙන බවයි.

ඉදිරි දින කිහිපය තුල අපි, මැයි දින රැලියේ කතාවල පිටපත් ලෝසවෙඅන් ප්‍රකාශයට පත් කරන්නෙමු. ඩේවිඩ් නෝර්ත්ගේ ආරම්භක වාර්තාව සහ නවසීලන්තයේ සමාජවාදී සමානතා කන්ඩායමේ ටොම් පීටර්ස්ගේ ප්‍රකාශ වලින් එය ආරම්භ වනු ඇත. 

Loading