ඉදිරිදර්ශන

එක්සත් ජනපද ආන්ඩුවේ නොහැකියාව වෙනුවෙන් චීනයට වරද පැටවීම

ට්‍රම්ප් හා පොම්පියෝගේ “ගජබින්නය”

මෙම ලිපිය මැයි 4 වනදා ඉංග්‍රීසි බසින් පලවිය

“ගජබින්නේ” නූතන අනුවාදයක, ට්‍රම්ප් පරිපාලනය කියා සිටින්නේ කොවිඩ්-19 වසංගතය චීන ආන්ඩුවේ  දැනුවත් ක්‍රියාවක ප්‍රතිඵලයක් බව යි.

ඉරිදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ෆොක්ස් නිවුස් සමඟ පැවත්වූ සාකච්ඡාවකදී, යුරෝපීයයන් හා ඇමරිකානුවන් මිලියන ගනනක් අසාදනය කිරීමට විශේෂිත ව හිතාමතා පියවර ගැනීම සම්බන්ධයෙන් චීනයට චෝදනා කලේ ය. 

නව කොරෝනා වෛරසය ආරම්භ වූයේ වුහාන් හි පර්යේෂනාගාරයක බව හා චීනය එය වසන් කිරීමට උත්සාහ කල බව පැවසූ බොරුව පුනරුච්චාරනය කිරීමෙන් පසු,   “මිනිසුන් ඇමරිකා එක්සත් ජනපදයට වගේම ලෝකෙ වටේ යෑම ඔවුන් වලකාලූයේ නැහැ. ඔවුන් කීවේ, බලාගනිල්ලා, මේක චීනෙට වගේම ලෝකෙටම බෝවෙන්න ඉඩ අරින්න ඕනෑ” කියා යැයි ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය.

රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2019 දී කොරියාවේ ඔසාන් ගුවන් කඳවුරේදී. (ඡායාරූපය: නිල ධවල මන්දිර ඡායාරූපය ෂීලා ක්‍රේග්හෙඩ්)

“ඔවුන් මෙයට අපේ රටට ඒමට ඉඩ දුන්නා, ඔවුන් ඒකට වෙනත් රටවලට යාමට ඉඩ දුන්නා,” ට්‍රම්ප් පැවසී ය.

මෑත දිනවල ඉහල පරිපාලන නිලධාරීන් විසින් එවැනි ප්‍රකාශ පුන පුනා තහවුරු කර ඇත. මෙම වෛරසය වුහාන් රසායනාගාරයකින් ආරම්භ වූ බවට “දැවැන්ත සාක්ෂි” ඇති බව ඉරිදා උදෑසන රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කලේ, “මතක තබා ගන්න, චීනයට ලෝකය ආසාදනය කිරීමේ ඉතිහාසයක් ඇත”යි යන්නද එකතු කරමිනි.

ඉරිදා වෙනත් සම්මුඛ සාකච්ඡාවක දී ධවල මන්දිර උපදේශක පීටර් නවරෝ ප්‍රකාශ කලේ, චීනය “වසංගතය බවට පත් වූ දෙය ලෝකයේ විසුරාව හල” බව යි. ඔහු මෙසේ ද පැවසී ය, “මම 2006 දී ‛එලඹෙන චීන යුද්ධය’ නමින් පොතක් ලිව්වා.” එහි 150 වන පිටුවේ, චීන කොමියුනිස්ට් පක්ෂය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මරා දැමිය හැකි වෛරස් වසංගතයක් නිර්මානය කරනු ඇතැ යි මම පුරෝකථනය කලා, දැන් මගේ ප්‍රාථමික දුස්ස්වප්නයෙන් ඔබ්බේ චීනය ලෝකයා හමුවේ එලදරව් කර ඇත්තේ එය යි. ”

මේවා නිර්ලජ්ජිත මෙන් ම සනාථ නො කල බොරු ය. ට්‍රම්ප්, පොම්පියෝ, නවාරෝ හෝ වෙනත් කිසිවෙකු ඔවුන්ගේ ප්‍රකාශ සනාථ කිරීම සඳහා ලේශමාත්‍රයක හෝ සාක්ෂි සපයා නැත.

මෙම ක්‍රමවේදය මීට වසර 75 කට පෙර බිඳ වැටුනු නාසි ජර්මනිය සිහිපත් කරයි. තුන්වන රයිකයේ සුන්බුන් මධ්‍යයේ, 1945 අප්‍රේල් 30 වන දින සියදිවි නසාගත් හිට්ලර් පෝලන්තය හා චෙකොස්ලොවැකියාව ආක්‍රමනය කිරීම හා වෙනත් අපරාධ සාධාරනීකරනය කිරීම සඳහා එය භාවිතා කලේ ය.

“ගජබින්නේ” පරමාර්ථය වන්නේ අමු විලිලැජ්ජා නැතිකම මගින් බිය ගැන්වීම යි. විකිපීඩියාවට අනුව, එය “ප්‍රචාරක ක්‍රමවේදයක් මෙන් ම තාර්කික වැරැද්දකි. මෙම කියමන ඇඩොල්ෆ් හිට්ලර් විසින් ප්‍රබන්ධ කරන ලද්දේ,  1925දී ඔහු මේන් කාම්ප් (මගේ අරගලය) නම්  තම පොත ලියා ගැනීමට කිය වූ අවස්ථාවේ දී ය, එතරම් ‘දැවැන්ත’ බොරුවක් භාවිතා කිරීම අරබයා, ‘සත්‍යය මෙතරම් කුප්‍රකට ලෙස විකෘති කිරීමට ලජ්ජා නැතිකමක් තිබෙන්නට ඇතැයි’ කිසිවෙකුත් විශ්වාස නො කරන්න ඇත.

ට්‍රම්ප් මෙම ක්‍රමවේදය උපයෝගී කර ගැනීම සිදුවන්නේ ජනගහනයෙන් විශාල පිරිසකට ආසාදනය වීමට ඉඩ සලසමින්, වසංගතය පැතිරීම මන්දගාමී කිරීම සඳහා වන කුමන හෝ ක්‍රමානුකූල උත්සාහයක් ඇමරිකානු ආන්ඩුව විසින් අතහැර දමමින් සිටින අවස්ථාවේ දී ම ය. 

ට්‍රම්ප් පරිපාලනය උත්සාහ කරමින් සිටින්නේ තමන්ට ම පැන යාමේ දොරක් සපයා ගැනීමට ය. කුමක් සිදු වුවත්, එය චීනයේ වරදකි. තම වැඩපිලිවෙල මරනවල වේගවත් හා සැලකිය යුතු වැඩිවීමකට තුඩු දෙන බව දැනුවත් ව, ධවල මන්දිරය අපේක්ෂා කරමින් සිටින්නේ, එහි විනාශකාරී ප්‍රතිපත්තියේ  මරන ලැයිස්තුව නියමිත පරිදි එන විට, සමාජ ආතතීන් චීනයට එරෙහිව යොමු කිරීමට තමන්ට හැකි වනු ඇති බවට යි.

මෙම චෝදනාවලට නිශ්චිත තර්කනයක් ඇත. එක්සත් ජනපදය හා යුරෝපය ආසාදනය කිරීමට චීන රජය හිතාමතාම කොරෝනා  වෛරසයට ඉඩ දී ධෛර්යමත් කලේ නම්, මෙය සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් ඔබ්බට ගිය ජීව විද්‍යාත්මක යුද්ධයක් වනු ඇත. එහි අර්ථය වනු ඇත්තේ එක්සත් ජනපදයට එරෙහිව චීනය යුද පියවරක් ක්‍රියාත්මක කර තිබූ බව යි.

මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත කෙරෙහි තමන්ගේ ම සාපරාධී උදාසීනත්වය යුක්තිසහගත කිරීම සඳහා, ට්‍රම්ප් පරිපාලනය චීනය සමඟ මිලිටරි ගැටුමක්  නො වැලැක්විය හැකි තත්වයක් සකස් කරමින් සිටී.

ට්‍රම්ප්ගේ ම බුද්ධි අංශවල නිගමනවලින් පවා මෙම ප්‍රකාශ යටින් හාරා දමනු ලැබේ. නිව් යෝක් ටයිම්ස් පුවත්පත අප්‍රේල් 30 වන දින ප්‍රකාශයට පත් කල ලිපියක මෙසේ සඳහන් විය. “විද්‍යාගාරයකට සම්බන්ධයක් ඇති බවට නිශ්චිත සාක්ෂි සොයාගත නො හැකි වීම ගැන බොහෝ බුද්ධි අංශ සැක සහිතව සිටින අතර, කොරෝනා වෛරසයේ ජාන විද්‍යාව අධ්‍යයනය කල විද්‍යාඥයින් පවසන්නේ අති විශාල සම්භාවිතාව වන්නේ, එච්. අයි.වී, ඉබෝලා‍ හා සාර්ස් සිද්ධිවල දී මෙන් රසායනාගර නො වන පසුබිමක දී එය සත්වයාගේ සිට මිනිසාට  මාරු වූ බවයි.”

කෙසේ වෙතත්, පරිපාලනයේ මුසාවන්ට සමස්තයක් වශයෙන් ජනමාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය විසින් පහසුකම් සපයනු ලබන අතර, ඒවා ගොතන ලද ඒවා ලෙස හෙලි නො කර, යුක්තිසහගත ආස්ථාන ලෙස ඉදිරිපත් කරති. ඔවුන්ට තිබිය හැකි වෙනස්කම් කුමක් වුවත්, චීන විරෝධී ව්‍යාපාරය නියත භූ-මූලෝපායික අවශ්‍යතාවන්ට මෙන් ම සමස්ත පාලක පන්තියේ ම සහාය ලබන දේශීය දේශපාලන අවශ්‍යතා සඳහා සේවය කරයි.

ඉරිදා කතුවැකියක දී ඩෙමොක්‍රටික් පක්ෂයේ සහචර වොෂිංටන් පෝස්ට් පත්‍රය “ගෝලීය ප්‍රචාරක ව්‍යාපාරයක් හරහා නව කොරෝනා වෛරස් වසංගතය සඳහා වගවීම වලක්වා ගැනීමට චීනය දරන උත්සාහය” හෙලා දුටුවේ ය. එය ප්‍රකාශ කලේ, “එවැනි යුදකාමිත්වයකට දක්වන ප්‍රතිචාරය සංසිඳවීමක් විය නො හැකි” බව යි. පසුගිය මාසයේදී ඩෙමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන්, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීන රජයට “අවනත වීම” පිලිබඳ ව ට්‍රම්ප්ට පහර දෙන ප්‍රචාරක  දැන්වීමක් නිකුත් කලේ ය.

චීන විරෝධී ආඛ්‍යානයේ සියලුම ප්‍රභේදයන් - චීනය හිතාමතා ම වෛරසය ජෛව අවියක් ලෙස නිර්මානය කලේ ය යන න්‍යාය, වෛරසය රසායනාගාරයකින් පැන ගිය බවට වූ ප්‍රකාශය හා චීනය රෝගය පිලිබඳ දැනුම ලෝකයෙන් සඟවා තැබූ බවට වන චෝදනා - ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු මගින් නිෂ්ප්‍රභ කෙරී ඇත. 

වුහාන් නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව 2019 දෙසැම්බර් 31 වන දින නියුමෝනියා රෝගීන් පොකුරක් ප්‍රසිද්ධියේ වාර්තා කලේ ය. චීනය කොවිඩ්-19ට හේතු වන වෛරසය ජනවාරි 7 වනදා හඳුනාගත් අතර මෙම රෝගය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂනය විය හැකි බව චීන විද්‍යාඥයෝ අනතුරු ඇඟවූවෝ ය.

එහෙත් චීන සෞඛ්‍ය නිලධාරීන්ගේ පලමු ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් සති අටකට ආසන්න කාලයක් ගතවන තෙක් ම, කොවිඩ්19 සම්බන්ධයෙන් කිසියම් හෝ ක්‍රමානුකූල පරීක්ෂනයක් එක්සත් ජනපදයේ ආරම්භ නො කෙරුනි. චීන නිලධාරීන්ගේ පලමු අනතුරු ඇඟවීම් වලින් මාස දෙකකට පසුව, මාර්තු 4 වන විට එක්සත් ජනපදය කොවිඩ්19 පරීක්ෂන 1,000 ක් පමනක් පවත්වා තිබේ. චීනය, දකුනු කොරියාව හා අනෙකුත් ආසියානු රටවල් පෙබරවාරි මස මුල වන විට මිලියන ගනනක් පරීක්ෂන පවත්වා තිබේ.

එක්සත් ජනපදය හරහා වෛරසය පැතිරී යද්දී ට්‍රම්ප්, මාධ්‍ය හා කොන්ග්‍රසය ක්‍රමානුකූල ව රෝගයේ වැදගත්කම අවතක්සේරු කලහ. පෙබරවාරි 28 තරම් පසු කලක් වන තුරු ට්‍රම්ප් කියා සිටියේ කොරෝනා වෛරසය “ප්‍රාතිහාර්යයක්” මෙන් “අතුරුදහන් වනු ඇති” බවයි. ඔහු කොවිඩ්19 රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව පවසමින් සිටි අය හෙලා දුටුවේ, “මෙය ඔවුන්ගේ නව ප්‍රෝඩාව” යයි කියමිනි.

මූල්‍ය කතිපයාධිකාරයේ නියෝජිතයා ලෙස කටයුතු කරමින්, ට්‍රම්ප් පරිපාලනය වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීමට කිසිවක් නො කලේ ය. වෝල් වීදියට දැවැන්ත ඇප මුදලක් සැකසීම සඳහා අර්බුදය උපයෝගී කර ගැනීමෙන් පසු, පාලක පන්තිය විසින් දස දහස් ගනනක් හෝ සිය දහස් ගනනකගේ ජීවිත අහිමිවන දැවැන්ත ආපසු වැඩට යාමේ උද්ඝෝෂනයක් දියත් කර තිබේ.

චීනයට එරෙහි “ගජබින්න”ඔවුන්ගේම සාපරාධී නොසැලකිල්ලට නිදහසට කරුනක් මෙන් ම ඔවුන් දැන් ක්‍රියාත්මක කරමින් සිටින සාපරාධී ප්‍රතිපත්ති ආවරනය කිරීමට දරන උත්සාහයකි.

Loading