එස්ක්වෙල් ලංකා ඇඟලුම් කම්හල් ජාලය රැකියා කප්පාදුවකට සැරසෙයි

කොරෝනා වසංගතය මධ්‍යයේ, ලොවපුරා ව්‍යවසායකයෝ, මිලියන සංඛ්‍යාත කම්කරුවන් රැකියාවලින් දොට්ට දමමින් සහ වැටුප් කප්පාදු කරමින් සමස්ත නිශ්පාදන ක්‍රියාවලිය ප්‍රතිව්‍යූහකරනයකට ලක් කරමින් සිටිති. මෙහි මූලික අරමුන තම ලාභ උත්පාදනය හැකි තරම් ඉහල දමා ගැනීමයි.

ලංකාවේ ද විවිධ ක්ෂේත්‍රයන්හි මෙම කප්පාදුව රුදුරුම ආකාරයෙන් සිදුවෙමින් පවතින අතර ඇඟලු‍ම් නිශ්පාදන ක්ෂේත්‍රය ඒ අතරින් ප්‍රමුඛ වෙයි. එස්ක්වෙල් ලංකා යනු මෙම කප්පාදුව ගැඹුරින්ම ක්‍රියාත්මක කරන ඇඟලු‍ම් සමාගමකි. පසුගිය අප්‍රේල් 27 දා නිවේදනයක් නිකුත් කරමින් එහි පාලනාධිකාරය කියා සිටියේ, කර්මාන්තශාලා වැසීම, සේවකයින් සංඛ්‍යාව අඩුකිරීම, වියදම් පාලනය කිරීම ඇතුලු පිලිවෙත් වහාම ක්‍රියාත්මක කරන බවයි. කොරෝනා වසංගතය නිසා ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් මෙම පිලිවෙත් ක්‍රියාවට දැමීමට සිදුවන බව පාලකයින් එම නිවේදනයේ සඳහන් කර ඇත. 

ඒකල පිහිටි එස්ක්වෙල් ලංකා කම්හල මේවන විට විවෘත කර ඇතත්, එහි දෛනිකව වැඩට යොදවන්නේ සම්පූර්න කම්කරු සංඛ්‍යාවෙන් අඩක් පමනි. කම්කරුවන්ගෙන් එක් අර්ධයක් පලමු සතියට ද අනෙක් අර්ධය දෙවන සතියට ද ආදී වශයෙන් සේවයට කැඳවනු ලැබේ.

අප්‍රේල් මාසයට නියමිත මුලු වැටුප ලබා දෙන නමුත්, සමාගම “අර්බුදයක ගිලී ඇති බැවින්” මැයි මස සිට ඒකාබද්ධ වැටුප, ලබාදිය නොහැකි බව පාලකයන් දන්වා ඇත. මූලික වැටුපට අමතරව දෙනු ලබන පැමිනීමේ දිරි දීමනාව, නිශ්පාදන පලදායිතා දීමනාව හා අතිකාල දීමනාව මැයි මස සිට කපා හැරෙන බව එහි අර්ථය යි. කෙසේ නමුත්, මූලික වැටුප පවා සම්පූර්නයෙන් ගෙවන බවට කිසිදු සහතිකයක් නොමැත.

කම්කරු කප්පාදුවේ කොටසක් ලෙස, එස්ක්වෙල් පාලකයන් විසින් යක්කල, ඒකල සහ කොග්ගල සිය කම්හල් තුල කම්කරුවන් ට, “සහනදායී”වන්දි මුදලක් රැගෙන, සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීමට බලකරමින් සිටී. 

මෙසේ කම්කරුවන් කන්ඩායමක් සේවයෙන් ඉවත් කරමින් පාලකයින් සූදානම් වන්නේ ඉතිරිවන කම්කරුවන්ගේ වැඩ වේගවත් කර වැඩි වැඩියෙන් සූරාකෑමටය. ඒකල කම්හලේ දැනට පවතින එකලස් කිරීමේ පේලි 14 අඩු කිරීමට වැඩ කරමින් සිටින බවත් යක්කල කම්හලේ තිබූ කැපුම් යන්ත්‍ර, එහි ගෙනැවිත් සවි කිරීම ආරම්භ කර ඇති බවත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) වාර්තා වී ඇත. 

හොංකොං කේන්ද්‍ර කොටගත් එස්ක්වෙල් සමාගම් සමූහය, චීනය, මැලේසියාව, වියට්නාමය, මොරිෂස්, ජපානය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව සහ ශ්‍රී ලංකාව යන රටවල තම කම්හල් පවත්වාගෙන යයි. මෙම කම්හල්වල 50,000 ක කම්කරු බලකායක් සේවයේ යෙදී සිටින අතර ඒවායේ නිෂ්පාදන මූලික වශයෙන් ඇමරිකාවට සහ යුරෝපයට අපනයනය කෙරෙයි. 

අප්‍රේල් 20 දා එස්ක්වෙල් සමූහය නිකුත්කල නිවේදනයක මෙසේ සඳහන් වෙයි: 

“එස්ක්වෙල් හි දිගුකාලීන තිරසාරභාවය සහතික කිරීම සඳහා, අපගේ මෙහෙයුම් වහාම අඩු කිරීම, සේවක සංඛ්‍යාව අඩු කිරීම සහ වියදම් කපා හැරීම සඳහා අපි අතිශයින්ම දුෂ්කර තීරනයක් ගන්නෙමු.”

ඒ අනුව, චීනයේ ෆෙන්ගුආ හි කම්හලක්, මැලේසියාවේ කොටාභාරු සහ පෙනෑන්ග් හි පිහිටි කම්හල් දෙකක් සහ මොරිෂස් හි කම්හලක් වසා දමන බව සඳහන් කරන එම නිවේදනය අවසන් වන්නේ මෙසේය: “ඉදිරි මාස කිහිපය තුල දී, අපගේ බලපෑමට ලක්වූ සියලු‍ම සේවකයින් සඳහා සුමට හා සාධාරන සංක්‍රාන්තියක් සහතික කරනු ඇත.”

මෙහි අර්ථය වනුයේ පාලකයන් විසින් “සාධාරන” යැයි තීන්දු කරන සොච්චම් වන්දියකට යටත්ව කම්කරුවන් දහස් ගනනක් රැකියා වලින් දොට්ට දැමීම සහ දැවැන්ත වැටුප් කප්පාදුවක් ක්‍රියාවට දැමෙන බවයි. 

කෙසේ නමුත්, මේ පිලිවෙත් “සුමටව” පිලි ගැනීමට කවර හෝ රටක කම්කරුවන් සූදානම් නැත. දැනටමත් එයට එරෙහිව එස්ක්වෙල් ලංකා හි සේවය කරන කම්කරුවන් තුල දැවැන්ත විරෝධයක් අවුලවා තිබේ. ලෝසවෙඅ ට කතා කල කම්කරුවෙක් මෙසේ පැවසිය: 

“මම මේ කම්හලේ සේවයට ආවේ 2018 දී. මගේ මූලික වැටුප 25,000යි. අතිකාල වැඩකරලා 30,000 ක් හොයාගත්තත් කෑම වලටයි ට්‍රාන්ස්පෝට් වලටයි රුපියල් 1000 කට කිට්ටුවෙන්න කපාගන්නවා. ලැබෙන වැටුප මදි මගේ පවුල නඩත්තු කරන්න. මේ වසංගතේ මැද මේ කරපු එක (වැටුප් කප්පාදුව) අන්තිම අසාධාරනයි. පෙලක් කම්කරුවො ඉන්නෙ බෝඩිම් වෙලා. තවත් අය කුලී ගෙවල් වල. සමහර කම්කරුවො බැංකු වලින් ලක්ෂ 3-4 නය අරගෙන තියෙනවා ගෙවල් හදන්න. කම්හලේ ප්‍රගතිය වෙනුවෙන් කැමැත්තෙන් ඉල්ලා අස්වෙන්න කිව්වට ඒ මිනිස්සුන්ට මොකද වෙන්නෙ. ඒ මිනිස්සුන්ගේ පවුල් වලට මොකද වෙන්නෙ.”

ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යෙදෙන ලංකාවේ ඇඟලු‍ම් කර්මාන්තයෙන් හරි අඩක පමන රැකියා කප්පාදු කිරීමට මේ වන විට කම්හල් හිමියන් සැලසුම් කර ඇත. හය මාසයකට අඩු සේවා කාලයක් සහිත කම්කරුවන් සහ අවුරුදු 50 වඩා වයසැති කම්කරුවන් දොට්ට දැමීමට, අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් මාස හයකට නොගෙවීමට සහ අතිකාල දීමනා අත්හිටුවීමට සිදුවන බව ඇඟලු‍ම් කම්හල් හිමියන් මේවන විටත් නිවේදනය කර ඇත.

කම්කරුවන් 47,000ක් සේවයේ යොදවන ඇඟලු‍ම් සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමාගම, සියයට 5 සිට 30 දක්වා වැටුප් කප්පාදු කොට, සුභසාධන අරමුදල් ද කපා තාවකාලික කම්කරුවන් නෙරපා ඇත.

ආන්ඩුවේ පූර්න අනුග්‍රහය යටතේ නිදහස් වෙලඳ කලාප තුල මේ වන විට ඇඟලු‍ම් කම්හල් 217 ක් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත්තේ වසංගතයේ අන්තරායකාරී තත්වය වැඩි දියුනු වෙමින් පැවතියදී දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ ජීවිත මුලුමනින්ම නොතකා ය. ඇමති ප්‍රසන්න රනතුංග අප්‍රේල් 22 දා මාධ්‍යයට ප්‍රකාශකර තිබූ පරිදි සේවයට කැඳවා ඇත්තේ ඒවායෙහි ශ්‍රම බලකායෙන් සියයට 20 ක් පමන වූ පිරිසකි. 

ලාභ සුරක්ෂිත කර ගැනීම සඳහා කම්කරුවන්ට එල්ල කිරීමට යන ප්‍රහාර පිලිබඳ තම සැලසුම්, ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල්  කනිෂ්ක වීරසිංහ විසින් නිපුනතා සංවර්ධන, රැකියා හා කම්කරු සම්බන්ධතා ඇමති දිනේෂ් ගුනවර්ධන වෙත අප්‍රේල් 25 වෙනිදා යවන ලද ලිපියකින් ඉදිරිපත් කර ඇත.

අහිමිවූ වැඩ පැය ගනන ආවරනය කිරීම පිනිස අතිකාල ගෙවීමක් හෝ වැටුප් වැඩිකිරීමක් නොකර, මාස 3 සිට 6 දක්වා කාලයක් සති අන්ත සහ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි කම්කරුවන් වැඩට යෙදවීම එම යෝජනා වලින් එකකි. 

දැනට පවතින පැය 45 වෙනුවට පැය 50 ක වැඩ සතියක් 2020 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක කිරීම, මුල් සේව්‍යයාගේ  සම්බන්ධයකින් තොරව වෙනත් හාම්පුතෙකුට සේවකයන් නයට, අවශ්‍යතාවය මත දැනට පවතින සාමූහික ගිවිසුම්  අත්හිටුවීම හෝ යලි ගිවිස ගැනීම ද එම යෝජනාවන්ට ඇතුලත් වේ. 

මීට අමතරව, සේවයේ යෙදෙන සෑම කම්කරුවෙකුටම මාස භාගයක් පමනක් වැඩ ලබා දී, සමාගමේ නියමිත මාසික වැටුපෙන් අඩක් සහ වැටුප් පාලක සභාව විසින් අනුමත කල මාසික වැටුපෙන් අඩක් ගෙවීම, වැටුපෙන් යම් ප්‍රතිශතයක් හෝ අර්ථසාධක/සේවක භාරකාර අරමුදල් රහිත දීමනාවක් ගෙවා සේවකයන් තාවකාලිකව රැකියාවෙන් දොට්ට දැමීමට ඉඩ සැලසීම යන යෝජනා ද ඒ අතර  වෙයි.

කොරෝනා වසංගතය පැමිනීමට පෙර සිටම, එනම් 2008 න් ආරම්භ වී වඩවඩාත් ගැඹුරුවන ගෝලීය ධනේශ්වර ආර්ථික අර්බුදයට ප්‍රතිචාරී ලෙස පසුගිය දශකය පුරා,  රටක් රටක් පාසා ආන්ඩු විසින් රුදුරු කප්පාදු පිලිවෙත් දියත් කොට තිබුනි. එම පිලිවෙත් වලට එරෙහිව චිලිය, ප්‍රන්සය, ඇමරිකාව සහ ඉන්දියාව ඇතුලු රටවල පැන නැගුනු ලෝක පරිමාන කම්කරු අරගල රැල්ලකින් පාලක පන්තීන් භීතියට පත් කෙරුනි. 

මහින්ද රාජපක්ෂ සමයේ සිට සිරිසේන-වික්‍රමසිංහ යුගය හරහා ගෝඨාභය රාජපක්ෂ  පාලන කාලය දක්වා ලංකාව තුල ද අඛන්ඩව වර්ධනය වූයේ, ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් මත ක්‍රියාත්මක වූ එම කප්පාදු වලට එරෙහිව පැන නැගි එම ජාත්‍යන්තර පන්ති අරගල රැල්ලයි. 

ලොවපුරා ධනපති ආන්ඩු සහ සමාගම් එම කප්පාදු පිලිවෙත් වේගවත් කිරීම සඳහා වසංගතය පිනුම් පිත්තක් කරගෙන ඇත. 

ඊට එරෙහිව පැන නගින විරෝධතා මැඩීමට සෑම රටකම පාලක පන්තීහු ආඥාදායක පාලන රූපයන් වෙතට හැරෙති. ලංකාව තුල එය ඉතා විශදව ප්‍රකාශයට පත් කෙරෙයි. බලයට පත්වූදා සිටම මිලිටරීකරනය වේගවත් කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වසංගතය වහා ඩැහැ ගනිමින් රට මිලිටරි පාලනයක අද්දරටම ගෙනැවිත් ඇත. ඔහුගේ නීති-විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර-විරෝධී වැඩකටයුතු මගින් ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ අන්තරාය බලගතු ලෙස ඉස්මත්තට පැමින තිබේ.

අනෙක් අතින්, අරගලයට ඇදෙන කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීමට  වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පක්ෂ පෙල ගැසී ඇත. එස්ක්වෙල් ලංකා කම්හල් තුල ලංකා වෙලඳ කාර්මික සහ පොදු කම්කරු සමිතියේ (සීඑම්යූ) ශාඛාවන් පැවතිය ද, මේ සා රුදුරු ප්‍රහාරයක් තම සාමාජිකත්වයට එල්ල වී තිබියදී පවා සමිතිය දක්වන පූර්න නිහඬතාවය පිලිබඳ ව කම්කරුවන්ට ඇත්තේ බලගතු වෛරයකි. 

එස්ක්වෙල් ලංකා ආයතනයේ සාමාන්‍යාධිකාරී වන්ග් පන්ග් සිය නිවේදනයෙන් ඉල්ලා ඇත්තේ, රැකියා සහ වැටුප් කප්පාදු පිලිබඳ ගැටලු, “වෘත්තීය සමිති සමග එකතුව සහයෝගයෙන් සහ අවබෝධයෙන් විසඳාගන්නා ලෙස” යි. සීඑම්යූ ව මෙන්ම, අනෙකුත් වෘත්තීය සමිති ලොවපුරා නිරතව සිටින්නේ හාම්පුතුන්ගේ රුදුරු ප්‍රහාර හමුවේ ප්‍රතිරෝධයකින් තොර “සුමට සංක්‍රාන්තියක්” සිදුවන පරිදි කම්කරුවන් මෙල්ල කර දීමේ ප්‍රතිගාමී කාර්යයෙහි ය.

වෘත්තීය සමිති, ධනපතියන්ගේ සෘජු උපකරන බවට පත්ව බොහෝ කල් ය. ඒවා නියෝජනය කරන්නේ ධනපතියන්ගේ උවමනාවන් මිස කම්කරුවන්ගේ අවශ්‍යතා නොවේ. කම්කරුවන්ට  රැකියා, වැටුප්,  විශ්‍රාම වැටුප් හා අනෙකුත් අයිතීන් රැක ගැනීමට සටන් කල හැක්කේ  තමන්ගේ අවශ්‍යතා නියෝජනය කරන, ඒ අනුව තීන්දු ගන්නා හා අරගල සංවිධානය කලහැකි නව සංවිධාන රූපයන් ගොඩනගා ගැනීමෙන් පමනකි.

එබඳු සංවිධාන ලෙස, වෘත්තිය සමිතිවලින්  හා නිලධරයෙන් සම්පූර්නයෙන් ම ස්වාධීනවූ, වැඩපොලවල් හා කම්කරු නිවහන් පෙදෙස් කේන්ද්‍ර කරගත් ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටී. 

වසංගත තත්වය පාලනය කර ඇති බව විද්‍යාත්මක ඇගයීමකින් සහතික කරන තෙක් අත්‍යවශ්‍ය නොවන නිශ්පාදනයන් සහ සේවාවන් සඳහා රැකියාවට නොයාමටත්, නිසි ආරක්ෂක පූර්වෝපායයන්ගෙන් තොර ව කම්හල් හෝ වැඩපොලවල් කරා කිසිදු ආකාරයකින් ආපසු නොයාමටත් එම කමිටු තීන්දු කල යුතුය. 

එමෙන්ම, රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුව එපා! කම්කරුවන්ට සම්පූර්න වැටුප්, දීමනා සහ රැකියා අහිමිවීම් සඳහා පූර්න වන්දි ලබාදෙනු! යන ඉල්ලීම් මත එම කමිටු සටන් වැදිය යුතුය. 

මෙම ඉල්ලීම් සාක්ෂාත් කරගත හැක්කේ, කම්කරු පන්තිය,  ධනපති පන්තියෙන් නිෂ්පාදන බලවේග උදුරාගෙන, සමාජයේ බහුතරයේ අවශ්‍යතා සඳහා ඒවා තාර්කික ව සංවිධානය කිරීමෙන් පමනි.

Loading