ඉදිරිදර්ශන

ඇමරිකානු කතිපයාධිකාරය මරනය සඳහා තීන්දු ගනියි

මෙම ලිපිය 2020 මැයි 5 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

වසංගතය සම්බන්ධයෙන් එලඹෙන සති හා මාස කිහිපය තුල පුද්ගලයන් දසදහස් ගනනකගේ මරනවලට හේතු වනු ඇති හා එසේ වන බව තමන්ද දන්නා ප්‍රවිෂ්ටයක් ට්‍රම්ප් පරිපාලනය විසින් වැලඳගෙන ඇති බව වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ.

ඉරිදා (මැයි 3) රාත්‍රීයේ, කලින් පැවති තක්සේරුව වූ ආසන්න වසයෙන් 60,000 ඉහල දමමින්, කොවිඩ්-19 හේතුවෙන් එක්සත් ජනපදය තුල 100,000ක් මිය යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ට්‍රම්ප් උදාසීන ලෙස සඳහන් කලේ ය.

“මම පුරුදු ව හිටියේ 65දාහක් කියා කියන්නට, ඒත් දැන් මම කියන්නේ 80 හෝ 90දාහක් කියා. එය ඉහල යමින් තිබෙන අතර, වේගයෙන් ඉහල යනවා. එහෙත් තවමත්, ඔබ ඒ ගැන කවර ආකාරයෙන් බැලුවත්, අවසානයේ දී ඉතා පහල සංඛ්‍යාවක් වනු ඇති” යි ඔහු මරන සංඛ්‍යාව ගැන සඳහන් කරමින් කීවේ, දේපොල වෙලඳාම් ගනුදෙනුවක් සාකච්ඡා කරන්නාක් මෙනි. “බලන්න, 75, 80 සිට 100දාහක් දක්වා පුද්ගලයන් අපට අහිමි වීමට යනවා” යි ඔහු වෙනම සඳහන් කලේ ය. 

එනම්, ට්‍රම්ප්ගේ ම ගනනයට අනුව, ලමුන්, සහකාරියන්, පවුල් හා ආදරනීයයන් ඇතුලු 40,000ක් හෙවත් අතිරේක ජනයා 40,000ක් මිය යනු ඇත්තේ, වෛරසය පාලනය කිරීම සඳහා යෝග්‍ය පියවරයන් ගත්තේ නම්, ඔවුන් මිය යනු නො හැකි ව තිබෙද්දී ය.

ඇත්ත වසයෙන් ම මෙය යෝධ අවතක්සේරුවකි. ජනාධිපතිවරයා මෙලෙස අදහස් දැක්වීමෙන් පසුව, මේ මාසයේ අවසානය වන විට දිනකට  නව ආසාදන 200,000ක් හා ජුනි 1දා වන විට දිනකට මරන 3,000ක් අපේක්ෂිත යයි, රෝග පාලනය හා වැලැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) හා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව (එච්එච්එස්) විසින් පලකල අභ්‍යන්තර වාර්තාවක් නිව් යෝක් ටයිම්ස් පත්‍රය විසින් සඳුදා පලකරන ලදී.

ප්‍රස්ථාරය 1:ප්‍රක්ෂේපිත දෛනික ආසාදනයන්

සැබෑ දෛනික මරන සංඛ්‍යාව ආන්ඩුවේ ප්‍රක්ෂේපනයන් අනවරත ව අභිබවා ගොස් ඇති බව වාර්තාව පෙන්නුම් කරන තතු තුල, මෙමගින් මරන සංඛ්‍යාව ලක්ෂ ගනනක් බවට ඉහල දමනු ඇත. එම අනුපාතය අනුව, ගිම්හානයේ අවසානය වන විට පුද්ගලයන් මිලියන කාලක් මිය ගොස්, වසරක් ඇතුලත මිලියනයකට වැඩි දෙනා මියගොස් තිබෙනු ඇත.

සීඩීසී සංඛ්‍යා ලේඛන පැහැදිලි කරන්නේ, අප්‍රේල් මැද නිකුත් කරන ලද ට්‍රම්ප් පරිපාලනයේ උපදෙස්, වසංගතය පාලනය කිරීම සඳහා කිසිදු නිල ප්‍රයත්නයක් දැරීම අත්හැරීම සලකුනු කල බව යි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය අප්‍රේල් 17දා අනතුරු ඇඟවූ පරිදි, ධවල මන්දිරය හා පාලක පන්තිය උත්සාහ දරන්නේ, “කොවිඩ්-19 පැතිර යාම් ව්‍යාපාර කිරීමේ පිරිවැයක් ලෙස දැකගනිමින්, යෝධ පරිමානයක මරන සාමාන්‍යකරනය කිරීමට යි.”

ප්‍රස්ථාරය 2:ප්‍රක්ෂේපිත දෛනික මරන

මරන සංඛ්‍යාව ඉහල යද්දී, ට්‍රම්ප් පරිපාලනයෙහි අභ්‍යන්තර ගනනය කිරීම් නිකුත් කරනු ලැබෙමින් තිබෙන්නේ ඩිංගිත්තයෙන් ඩිංගිත්ත ය. මාර්තුව අවසානයේ දී, එක්සත් ජනපදයේ මරන ගනන හරියට ම 4,000 ඉක්මවා ගිය විට ට්‍රම්ප් ප්‍රකාශ කලේ, සමස්ත මරන ගනන 100,000ක් වීම ඔහුගේ පරිපාලනය විසින් “නියම වැඩක්” ලෙස සලකනු ඇති බව යි. අද වන විට, නිල මරන සංඛ්‍යාව 70,000 ඉක්මවා ගොස් ඇති අතර, දිනකට මරන 1,750ට වැඩි සාමාන්‍ය වේගයකින් තවමත් ඉහල යයි.

එහෙත්, මෙය මත්, කොවිඩ්-19 ආසාදනයන් හේතුවෙන් ප්‍රතිඵල වී ඇති මරන ගනන හා වසංගතය විසින් සෞඛ්‍ය පද්ධති මත පටවා ඇති ආතතිය, සැලකිය යුතු ලෙස පහල දැමීමකි. සාමාන්‍යයෙන් සතියකට සිදුවන මරන ගනනට අතිරේක ව සිදුවන මරන ගනන, බොහෝ ප්‍රාන්තවල දී වාර්තා වන මරන ගනන පසුකර යයි. දැනට මත් යලි විවෘත කිරීම සඳහා පියවර ගෙන ඇති ප්‍රාන්ත අතර ඉහලින්ම සිටින ෆ්ලොරිඩා හා ටෙනසී යන ප්‍රාන්ත දෙක ඒවායේ නිල මරන ගනන දැනුවත් ව යටගසමින් සිටී.

යලි වතාවත් මෙය ප්‍රකාශ කල යුතු ය: ධවල මන්දිරය හිතා මතා ම හා සවිඥානික ව ක්‍රියාවට දමමින් සිටින්නේ, තවත් මරන දසදහස් ගනනකට හේතු විය හැකි යයි එය දන්නා පියවරයන් ය. මෙම පිලිවෙත්වලට මනෝව්‍යාධිමය ස්වභාවයක් තිබුන ද ඒවා අනුගමනය කරන්නේ අනුකම්පා විරහිත පන්ති තර්කනයකි. ධවල මන්දිරයේ සිටින මැරයා පිලිබිඹු කරන්නේ, සමස්ත දේශපාලන පද්ධතිය පාලනය කරන මූල්‍ය කතිපයාධිකාරයේ ඇනවීම් ය.

වෙනත් ආකාරයකින් ගත් විට ආන්තික අවධානයට බඳුන් ව තිබෙනු හැකි හා මහජන විරෝධයට හේතුවිය හැකි පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා, වසංගතය පාලක ප්‍රභූවට කඩතුරාවක් සපයා දුන්නේ ය. කොවිඩ්-19 විසින් නිර්මිත අර්බුදයෙන් තොර ව, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන සමස්ත දේශපාලන සංස්ථාපිතයේ ඒකමතික සහයෝගය සහිත ව ධනවතුන් වෙත ඩොලර් ට්‍රිලියන 10ක් ප්‍රදානය කිරීම සාධාරනීකරනය කිරීම දුෂ්කර වනු ඇත.

ඇප තැබීම තහවුරු කරගෙන තිබෙද්දී, පාලක පන්තිය පැත්තෙන් ගත් කල, දැන් වාරය එලඹ ඇත්තේ, කවර සංඛ්‍යාවක් මිය යනු ඇද්ද යන්න නො තකා, කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම සූරාගනු පිනිස ව්‍යාපාර වෙත ආපසු යාමට යි.

මෙම පිලිවෙත ක්‍රියාවට දැමීමේ දී පාලක පන්තියට ඇත්තේ උත්සුකතාවන් දෙකක් පමනි.

පලමුව, අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් යලි වැඩට දැක්කිය කෙසේ ද යන ගැටලුව පවතී. මේ සඳහා ප්‍රතිචාරය වන්නේ, ආර්ථික තර්ජනය හා දුගී බවට ඇද දැමීම යි. එක් රැයකින් රැකියාවලින් ඉවතට විසිකරනු ලැබ ඇති කම්කරුවන් මිලියන ගනනක්, විරැකියා වන්දි යලි කිසිදා ලැබෙනු නැත. බොහෝ ප්‍රාන්තයන් දැන් ව්‍යාපාරික මෙහෙයුම් මත ඇති සියලු සීමාකිරීම් ඉවත් කරමින් තිබෙද්දී, කම්කරුවන්ට ආපසු වැඩට යාමට බලකෙරෙනු ඇත්තේ, ඔවුන් එසේ නො කල හොත් සියලු ආධාර කපනු ලැබීමේ තර්ජනය යටතේ ය.

දෙවැන්න, සමාගම්වල වැඩකරන කම්කරුවන්ගේ මරන සම්බන්ධයෙන් ඔවුන්ට පවතින නෛතික වගකීම පිලිබඳ ගැටලුව යි. දැනට මත් කම්කරුවන් දහස් ගනනක් ආසාදනය වී ඇති හා දුසිම් ගනනක් මියගොස් ඇති ඝාතකාගාර දිගට ම විවෘත ව තැබිමටත්, කිසිදු කම්කරු මරනයන් සම්බන්ධයෙන් සංගතවලට විරුද්ධ ව නඩු පැවරීමෙන් ඒවා නිදහස් කිරීමටත් නියෝග කිරීම හරහා, ට්‍රම්ප් පසුගිය මාසයේ න්‍යාය පත්‍රය සකසන ලද්දේ, ආරක්ෂක නිෂ්පාදන පනත යොදාගනිමිනි.

අනාගතයේ එන සියලු ඇප තැබීමේ පැකේජ හාම්පුතුන්ට මුක්තිය ප්‍රදානය කල යුතු බව, සෙනෙට් බහුතර නායක මිච් මැක්කොනල් සඳුදා ෆොක්ස් නිවුස් ගුවන් විදුලියට කීවේ ය. “වෛරසය සමග සටන් වදින නිර්භීත සෞඛ්‍යාරක්ෂන කම්කරුවන් අපට ඉන්නවා, ව්‍යවසායකයන් ඔවුන්ගේ ආර්ථිකය යලි විවෘත කරනු ඇති, මගේ අදහස වන්නේ...යලි විවෘත කිරීමට ඔවුන් ගත් තීරනය වෙනත් කෙනෙකුගේ සෞඛ්‍යය කෙරෙහි හානිකර ලෙස බලපා ඇතැයි යනුවෙන් තර්ක කෙරෙන අවස්ථාවාදී නීතිමය ක්‍රියාමාර්ගවලින් ඔවුන් සියලු දෙනා ආරක්ෂාව ලැබීමට සුදුසු බව යි.”

සමාගම් ඒවායේ සේවකයන්ගේ ජීවිත කෙරෙහි දරන බැඳීමකින් නිදහස් කරනු ලැබීම සමගින්, දැන් පාලක පන්තියේ මූලෝපාය වන්නේ, රට පුරා ප්‍රජාවන් හරහා කොරෝනා වෛරසය හැල්මේ පැතිරෙමින් තිබෙද්දී පවා, තත්ත්වය ආපසු වැඩට යාමට හා සාමාන්‍ය ජීවිතය ගතකිරීමට යෝග්‍ය ය යන සංකල්පනය දීමට, ආසාදන ගනන හා මරන ගනන පිලිබඳ තොරතුරු හැකිතාක් අත්හිටුවීම යි.

සාගින්නේ සිටිනු නැතහොත් හෝ කොවිඩ්-19 හේතුවෙන් මරනය කරා යාමට සැරසෙනු යනුවෙන් පාලක ප්‍රභූව විසින් ඉදිරියට දමන ව්‍යාජ තෝරාගැනීම, කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇති අතර ඔවුන් එසේ කල යුතු ය. මෙම “තෝරාගැනීම” පදනම් කරනු ලබන්නේ, ධනේශ්වර පද්ධතිය අනුල්ලංඝනීය හා වසංගතයට දක්වන ප්‍රතිචාරය තීන්දු කරන්නේ සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතා විසින් යන්න මත යි.

කම්කරු පන්තිය තුල වර්ධනය වන විරෝධයට, ආරක්ෂිත වැඩ කොන්දේසි තහවුරු කිරීම හා සියලු අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන වසා දැමීම සඳහා සටන් කිරීම සදහා සෑම වැඩපොලක ම හා කම්හලක ම ක්‍රියාකාරී ආරක්ෂක කමිටු ගොඩනැගීම අවශ්‍ය කරයි. වැඩපොලවල් සංවිධානය කිරීම හා මෙහෙයවීම සිය එකම අවශ්‍යතාව ලාබ නිෂ්පාදනය කිරීම වූ ධනපතියන්ගේ අතේ තබාගැනීමට ඉඩ දිය නො හැක.

ලාබ වෙනුවට ජීවිතය සඳහාත්, කොරෝනා වෛරසය පරාජය කිරීම පිනිස සියලු සමාජීය සම්පත් බලමුලුගන්වමින් වසංගතයට විද්‍යාත්මක හා තාර්කික ප්‍රතිචාරයක් දැක්වීම සඳහාත් කම්කරු පන්තිය දරන ප්‍රයත්නය, කම්කරුවන් ව හුදෙක් ට්‍රම්ප් ආන්ඩුව සමග පමනක් නො ව, පිලිවෙත් අනවන සංගත හා මූල්‍ය කතිපයාධිකාරය සමගත්, එහි ධනය හා බලය රැඳී තිබෙන ධනපති පද්ධතිය සමගත්, ඍජු හා විවෘත ගැටුමකට ගෙන එනු ඇත. 

Loading