කොවිඩ්-19 සඳහා චීනයට දොස් පවරමින් යුරෝපීය මාධ්‍ය බොරු ප්‍රචාර ගෙනයයි

මෙම ලිපිය 2020 මැයි 7 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

කොවිඩ්-19 වෛරසය චීන විද්‍යාගාරයකින් පිටවූ බවට චෝදනා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන යන දැවැන්ත බොරු ව්‍යාපාරයට ප්‍රතිචාර දක්වමින් යුරෝපීය මාධ්‍ය,  චීනයට එරෙහි තමන්ගේම ප්‍රතිගාමී ප්‍රකෝප කිරීම් දියත් කරමින් සිටී. 

වුහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් (ඩබ්ලිව්.අයි.වී) වෛරසය පිටවී ඇති බවට පුන පුනා චෝදනා කිරීමෙන් පසුව ට්‍රම්ප් කියා සිටියේ, චීන ජාතිකයන් “ඒයි, බලන්න, මෙය චීනයට විශාල බලපෑමක් කර ඇත, ලෝකයේ අනෙක් අයටත් අපි ඉන් කොටසක් දෙන්නෙමු.“ එනම්  ආසාදනය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැවසුවේ,“දැවැන්ත සාක්ෂි” මගින් ඩබ්ලිව්.අයි.වී සම්බන්ධය පෙන් වන බවත් “ ලෝකය ආසාදනය කිරීමේ ඉතිහාසයක් චීනයට ඇති” බවත් ය. වෛරසය මිනිසා විසින් සාදන ලද්දක් නොවන බවට විද්‍යාඥයින්ගේ සහ එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයන්ට පටහැනි මෙම ගිනි අවුලුවන චෝදනාවලට ඔහු කිසිදු සාක්ෂියක් ලබා දුන්නේ නැත.

ප්‍රමුඛ යුරෝපීය නිලධාරීන් ඇමරිකාවේ ෆැසිස්ට් වර්ගයේ ජනාධිපතිගෙන් පලවන ප්‍රචාරක මුසාවන් ප්‍රතිරාවය නංවමින් සිටින අතර,  වඩාත් ඔප දැමූ, ගොරහැඩි කමෙන් අඩු  සහ විශ්වාසවන්ත පැහැදිලි කිරීමක් ඊට ලබා දීමට ඔවුහු උත්සාහ  කරති.

2020 ජනවාරි 28 වෙනි අඟහරුවාදා කාම්බෝජයේ නොම් පෙන්හි උසස් පාසලක උදෑසන පන්තියට පෙර කොරෝනා වෛරසය වැලඳීම වලක්වා ගැනීම පිනිස සිසුන් තම දෑත් පිරිසිඳු කර ගැනීමට සනීපාරක්ෂාව සඳහා පෙල ගැසී සිටිති. (ඒපී ඡායාරූපය / හෙන්ග් සිනිත්)

මෙම ප්‍රකාශ, වසංගතය මධ්‍යයේ යුරෝපීය පාලක පන්තිය එක එල්ලේම සාපරාධීකරනයට යොමුවී සිටින බව ඇඟවුම් කරයි. චීනයට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරය පදනම් වී ඇත්තේ වෛද්‍ය විද්‍යාව හෝ විද්‍යාව මත නොව වෙලඳ යුද්ධය සහ ගෝලීය මිලිටරි ගැටුම් සඳහා වන සැලසුම් මත ය. දෙවනුව, යුරෝපීය හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ධනේශ්වරයන්, නැඟඑන වසංගතයක් මධ්‍යයේ නැවත වැඩට යාමට නියෝග කරන විට ඔවුන්, සෞඛ්‍යය හා ජීවිත ගැනම තම සතුරුකම ප්‍රදර්ශනය කරන අතර, චීනයට සහ යුරේසියාව පුරා විසිරී සිටින අනෙකුත් පැරනි යටත් විජිත වලට එරෙහි සිය යුද අරමුනු සඳහා තමන්ගේ රටවල මිලියන ගනන් මිනිසුන්ගේ ජීවිත පරිත්‍යාග කිරීමට සූදානම් බව ද පෙන්වා දෙයි.

ජර්මනියේ සුදයෙත්සෙ සේටුං පුවත් ජාලය විසින් නේටෝවේ හිටපු මහ ලේකම් හා නෙදර්ලන්ත අගමැති ඇන්ඩර්ස් ෆෝග් රස්මුසන්  ගේ ප්‍රකාශයක් ගෙනහැර දක්වමින්, චීන  මුහුනු ආවරන,  ආරක්ෂිත වෛද්‍ය උපකරන සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යුරෝපයට පැමිනෙන චීන වෛද්‍ය කාර්ය මන්ඬලයට තදින් පහර දුන්නේය. කම්කරුවන් විශාල පිරිසක් වෛරසය හමුවේ එවැනි උපකාර පිලිගන්නා අතර රස්මුසන් ඔවුන් යුරෝපයට අනතුරක් ලෙස හෙලා දුටුවේය.

“වැරදි තොරතුරු ප්‍රචාරක ව්‍යාපාර ද විශේෂඥයින්ගේ මැදිහත්වීම සහ ආධාර සැපයුම් ද වැනි ධනාත්මක ක්‍රියාමාර්ග හමුවේ, වෛරසයේ මූලාරම්භය පිලිබඳව මතුව ඇති සැක සංකා වසං කිරීම චීනයේ අරමුන යයි” යැයි රස්මුසන් පුවත්පතට පැවසීය.

2008 මූල්‍ය අර්බුදයෙන් පසු චීනයේ, “තීරුව හා මාවත” යන යටිතල පහසුකම් සැලසුම්වල කොටසක් ලෙස, ග්‍රීසියේ පිරාවුස් මූලෝපායික වරායේ ඉදිකිරීම් වලට මැදිහත්වීම පිලිබඳව අදහස් දක්වමින් ඔහු තවදුරටත් මෙසේ පැවසීය. “කෙටිකාලීන කලමනාකරන අර්බුදය හා කැලඹිලිකාර කොටස් වෙලඳපොලවල් නිසා අප ඓතිහාසික වැරැද්දක් කර ඇත්තෙමු. එනම්, අපගේ මූලෝපායික මර්මස්ථාන චීනයට විකිනීමයි. පසුගිය මූල්‍ය අර්බුදය දෙස බැලීමෙන් පෙනී යන්නේ එයයි. බටහිර, කොමියුනිස්ට් ඥාදායකත්වයක ආර්ථික උගුලට  හසුවීම වැලැක්වීම සඳහා යුරෝපය වහාම සිය ගමන් මාර්ගය වෙනස් කල යුතුය. ”

චීනයේ “මැද පෙරදිග හා නැගෙනහිර යුරෝපය තුල 17 + 1 මුලපිරීමට ” සහ යුක්‍රේනයේ ද බෝල්කන් කලාපයේ ද යටිතල පහසුකම් ආයෝජනවලට පහර දෙමින් රස්මුසන් අනතුරු ඇඟවූයේ, “කොරෝනා වෛරසය නිසා දුර්වල වූ රටවලට මූල්‍යමය පහසුකම් සපයන එකම ක්‍රීඩකයා චීනය වන්නේ නම්”  එරටට සිය අනුහස වර්ධනය කල හැකි බවයි.

වසංගතය පිලිබඳව චීනයට විරුද්ධව ඇති තරම් ආක්‍රමනශීලී නොවීම නිසා බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් ආන්ඩුවට දක්ෂිනාංශික ස්පෙක්ටේටර් පුවත්පත දොස් නැඟීය. කොවිඩ්-19  වසංගතයට චීනය පිලිතුරු සැපයිය යුතුදැයි ඇසූ විට ආරක්ෂක ලේකම් බෙන් වොලස් පවසා ඇත්තේ, “මම හිතන්නේ ඔව්. චීනය  ඉගෙන ගත් දේ ගැන විවෘත හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කල යුතුය. ”

වසංගතයෙන් යුරෝපීය කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ගත් නිවසේ සිටින්න යන පියවර කෙරේ පවතින විරුද්ධත්වය සමඟ චීන විරෝධී වෛරය මුසු කරමින්, ස්පෙක්ටේටර් ලියා ඇත්තේ, මෙම ප්‍රකාශය “තවමත්  බියර් සුලු ප්‍රමානයක් පමනි“ යනුවෙනි. වෛරසය පැතිරීම සම්බන්ධයෙන් ආන්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාරය දුර්වල ය. ඩව්නිං වීදියේ ඉහලම දඬුවම් සම්බාධක ද යොදවන්නේ බ්‍රිතාන්‍ය ජනතාවට විරුද්ධවය: අගුලු දැමීම, ව්‍යාපාර වසා දැමීම, අනවශ්‍ය ගමන් සඳහා දඩ මුදල් ” යනාදි වශයෙනි.

චීනය “ජාත්‍යන්තර විනිවිද භාවයට පහරදී” ඇති බවට චෝදනා කරමින් “ඇස් පහක්” (එක්සත් ජනපද-එක්සත් රාජධානිය-කැනඩාව-ඕස්ට්‍රේලියාව-නවසීලන්තය) පිලිබඳ බුද්ධි වාර්තාවක් තමන් දුටු බව ස්පෙක්ටේටර් පත්‍රය කියා සිටියේය. එහි ප්‍රති “ලයක් ලෙස“ වෙනත් රටවලට අනතුරක් ”සිදුවිය. “එක්සත් රාජධානියේ පමනක් එම අනතුරින් 190,000 ක් ආසාදනය වී මරන 28,000 ට වඩා සිදුව තිබේ.”

 වසංගතයෙන් යුරෝපයේ මිලියන 1.5 කට අධික සංඛ්‍යාවක් රෝගාතුර වී 150,000 ට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙතරම් විශාල පිරිසකට ආසාදනය කිරීමට හා මරා දැමීමට චීන නිලධාරීන් තීරනය කල බවට නිකුත් කෙරෙන සාවද්‍ය හා සනාථ නොකල ප්‍රකාශ, චීනයට එරෙහි යුද්ධය පිලිබඳව  යන්තම් සැඟවුන  ප්‍රචාරයන්ට සමාන ය.

මේවා හිසේ  සිට දෙපතුලටම බොරු ය. පලමුව, චීනය වසංගතය සඟවා නැත. නාඳුනන නියුමෝනියාව වුහාන් හි පැතිරී ඇති බව චීන නිලධාරීන් දෙසැම්බර් මාසයේදී වටහා ගත් පසු ඔවුහු එය වාර්තා කලහ. ඔවුන්  ජනවාරි 3 වනදා සිට නිරතුරුවම ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන් අතර ජනවාරි 11 වන දින කොවිඩ්-19  වෛරසයේ සම්පූර්න ජානමය අනුක්‍රමනය ප්‍රකාශයට පත් කරන ලදී.   ප්‍රථම වරට යුරෝපයේ ආසාදන හදුනා ගැනීමට පෙර සහ අගුලු දැමීමේ පියවර ගන්නා ලෙස යුරෝපීය ආන්ඩු වලට බලකරමින්, ඉතාලියේ හා යුරෝපය පුරා සිදු වූ වැඩ වර්ජන හා මහජන විරෝධතාවන්ට  මාස දෙකකට පෙර, වුහාන් ජනවාරි 23 වන දින අගුලු දැමීය.

දෙවනුව,  83,000 ක් රෝගාතුර වී 4,633 ක් මරුමුවට පත්වූ චීනය හා සසඳන විට  යුරෝපයේ වසංගතයට ගොදුරුවූ විශාල සංඛ්‍යාව පිලිබඳ වගකීම පැටවෙන්නේ, චීනය මත නොව යුරෝපීය ආන්ඩු මත ය. දශක ගනනාවක් තිස්සේ ඔවුන් අනුගමනය කල කම්කරු විරෝධී කප්පාදු ප්‍රතිපත්ති නිසා වෛද්‍ය පද්ධති, සේවක හිගයටත් සැපයුම් මඳ කමටත් මුහුන පෑවේය. වසංගතය ආරම්භ වී සති ගනනක් යනතෙක් අගුලු දැමීම ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කල ඔවුහු, ඒ වෙනුවට “රංචු ප්‍රතිශක්ති” ප්‍රතිපත්තියට අනුබල දුන්හ. එයින් අදහස් කලේ, වෛරසය පුළුල් ලෙස මහජනයාට ආසාදනය වී ඉන් සුවය ලබන්නන් වැඩිවීම හමුවේ පැතිරීම නතර වන බවයි.  

 කොවිඩ්-19 න් දිනකට 3,000 ක් මියයෑමේ අදහසට ඇමරිකානු කම්කරුවන් පුරුදු විය යුතු බව එක්සත් ජනපද නිලධාරීන් නිර්දය ලෙස ප්‍රකාශ කරන පරිදිම යුරෝපීය නිලධාරීන් ද අධිෂ්ඨාන කරගෙන සිටින්නේ, රට තුල කම්කරුවන්ගේ වියදමෙන් සිය ජාත්‍යන්තර මූලෝපායික උත්සුකයන් ඉටුකර ගැනීමට සටන් කිරීමටයි. “වසංගතය අවසන් වන විට චීනය ලෝකයේ ප්‍රමුඛතම බලවේගය බවට පත්විය හැකිය” යන මාතෘකාව යටතේ ලේ මොන්ඩ් විසින් ලියන ලද තීරුවක මෙය පැහැදිලිව දක්වා ඇත.

පැතිර යන වසංගතයක් මධ්‍යයේ මිනිස් ජීවිතය කෙරෙහි දක්වන නොසැලකිමත් කම පෙන්වමින් පුවත්පත මෙසේ ලිවීය: “වසංගතයට පෙර දියත් කරන ලද වෙලඳ යුද්ධයට සම්බන්ධ විවිධ පාර්ශවයන්, එය අවසන් වූ වහාම කුමන තත්වයන් යටතේ පවතිනු ඇත්ද යන්න ගැටළුවයි.” එනම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ චීනය සමඟ ලොව පුරා වෙලඳපල සහ ලාභ පාලනය කිරීම සඳහා වන ජීවිතයත් හා මරනයත් පිලිබඳ අරගලය, යුරෝපීය පාලක පන්තිය ගන්නේ කෙසේ ද යන්න යි. වසංගතයෙන් රෝගීන් බේරා ගැනීම, මේ ප්‍රශ්නය සමඟ බලන කල  විශාල දෙයක් නොවේ. 

“චීනයේ සැබෑ දුර්වලතා බොහෝ විට අවතක්සේරු කර ඇති අතර, එහි ශක්තීන් ඕනෑවට වඩා තක්සේරු කල ද, වසංගතය අවසන් වන විට මැද රාජධානිය (යුරෝපය) ප්‍රමුඛ ආර්ථික බලවතෙකු බවට පත්වීමේ හැකියාව ගැන යමෙකු සලකා බැලිය යුතුය.” චීනය “ලෝකයේ එකලස් කරන ප්‍රදේශය පමනක් නොව ලෝකයේ එකතු කල වටිනාකම් සහිත කම්හලක් බවට පත්විය හැකි බවට එය අනතුරු ඇඟවීය. … චීන ආර්ථිකය  නැවත ක්‍රියාත්මක වෙමින් තිබේ. මාර්තු අග දී, කර්මාන්තශාලා සහ සේවා කර්මාන්ත ධාරිතාවෙන් සියයට 50 සිට 80 දක්වා ක්‍රියාත්මක වූ බව වාර්තා වේ.

චීනයේ ගෙල සිරකර ලෝක ආර්ථිකයෙන් ඉවත් කිරීම සඳහා ගෝලීයකරනය ඉවත් කිරීමට විකල්පයන් වන්නේ, “ගෝලීයකරනය ඉවත් කිරීම සහ චීනය කේන්ද්‍ර කරගත් නව ගෝලීයකරනයක්” ලෙස දැක්වේ. යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් අධ්‍යයනය කරමින් සිටින කම්හල් සියරටවලට ගෙනඒම, සැපයුම් දාම විවිධාංගීකරනය සහ තාක්ෂනයේ ප්‍රධාන අංශ පාලනය කිරීම සඳහා නව උපාය මාර්ග දැන් පරම අවශ්‍යතාවකි. ”

වර්තමානයේ චීන තන්ත්‍රය විසින්, අධිරාජ්‍යවාදය ආධිපත්‍යය දරන ධනවාදී ලෝක පර්යාය අවුල් කිරීමේ අවදානම වලක්වාලීම සඳහා ඕනෑම දෙයක් කිරීමට, වොෂිංටනය සහ එහි යුරෝපීය සහචරයින් සූදානම් බව ලෙ මොන්ඩේ අවධාරනය කලේය.

“එහි ජනගහනයෙන් කොටසක් විවෘත පිටියකදී චීන බලයට අතහැර නොදැමීම පිනිස  ට්‍රම්ප් පරිපාලනය, ‘පලමුව ව්‍යාපාර‘ යන විකල්පය නිර්දය ලෙස තෝරාගෙන ඇත්තේ මේ නිසාය .

නොවිසඳිය හැකි ආර්ථික හා භූදේශපාලනික ගැටුම්වලින් ඉරී ගිය ධනවාදයේ දේශපාලන බංකොලොත්කම එවැනි ප්‍රකාශවලින් එලිමහනට ගෙන එයි. වොෂිංටනයේ හෝ යුරෝපීය අගනගරවල බැංකුකරුවන්ගේ සහ ජෙනරාල්වරුන්ගේ වගකීම් විරහිත කල්ලිවල ලෝක ආධිපත්‍යය සඳහා කම්කරුවන් කැපකිරීම් නොකල යුතුය. යුරෝපයේ කම්කරුවන් චීනයේ සිටින ඔවුන්ගේ පංති සහෝදර සහෝදරියන්ගෙන් බෙදීමේ ව්‍යාපාරය ප්‍රතික්ෂේප කල යුතු අතර, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ තවදුරටත් යුද්ධ ඇතිවීම වැලැක්වීම සඳහා මූල්‍ය වංශාධිපතිවරුන්ගේ ධනය අත්කරගත යුතුය.

Loading