වසංගතයේ අන්තරාය තිබියදී යලි වැඩ ඇරඹීමට තැපැල් කම්කරුවෝ විරෝධය පල කරති

කොරෝනා වසංගතය ව්‍යාප්තිය වර්ධනය වෙමින් පවතින තත්වයක,  දී ලබන 11 දා සිට “ආර්ථිකය විවෘත කිරීම”ටත්, ඒ යටතේ තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ ආරම්භ කිරීමටත්, තැපැල් සේවකයෝ සිය විරෝධය පල කරති.   

ලියුම් තේරීමේ කාර්යයේ දී හා තැපැල් බෙදීමේ දී පුද්ගලයන් අතර සමීප ගනුදෙනුවකට යෑමට සිදු වන බැවින් රෝගය බෝ වීමේ අවදානමක් පවතින බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ තැපැල් සේවකයෝ පෙන්වා දුන්හ.  

පලමුව සමස්ත සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් යොදවා වැඩ ආරම්භ කරන බව බලධාරීන් පැවසුව ද තැපැල් දෙපාර්තමේන්තුව හරහා සිදු කෙරෙන බොහොමයක් රාජකාරි කටයුතු සීමිත සේවක සංඛ්‍යාවකින් ගෙන යා හැකි ද යන ප්‍රශ්නය ද තැපැල් කම්කරුන් මතු කරයි. වසංගතයට පෙර සිටම නව බඳවා ගැනීම් නවතා දැමීම හේතුවෙන් දරුනු වැඩ කොන්දේසිවලට තැපැල් කම්කරුවෝ මුහුන දී සිටිති. 

තැපැල් විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (තැවිනිස), ජාතික තැපැල් විදුලි සංදේශ සේවා සංගමය (ජාතැවිසසේස) යන සමිතිවල නායකයෝ, තැපැල් සේවකයන්ගෙන් පැමිනිය හැකි විරුද්ධත්වයක් පෙර ලොප් කිරීම සඳහා ආන්ඩුව සමග පසුගිය 03 දා සාකච්ඡාවකට රිංගා ගත්හ. ආර්ථිකය යලි ඇරඹීමට පක්ෂ සමිති නායකයන්, තැපැල් සේවාව යලි වැඩ ආරම්භ කිරීමට නම් අවශ්‍ය මුඛ ආවරන, විෂබීජ නාෂක වැනි ද්‍රව්‍ය ලබාදිය යුතු බව එම සමිති කලින් ප්‍රකාශ කර තිබුනි. 

එම ද්‍රව්‍ය ලබාදීමේ ප්‍රමාදය හේතුවෙන් 11 දා තැපැල් කාර්යාල විවෘත නො කරන බව පවසමින් සිටි සමිති නායකයෝ, ඇමති බන්දුල ගුනවර්ධන සමග 03 දා පැවති සාකච්ඡාවේ ලැබුනු ඊනියා පොරොන්දු මත තැපැල් කම්කරුවන් වැඩට දැක්කීමට ආන්ඩුවට සහාය ලබාදෙන බව පොරොන්දු වී ඇත. 

සීමිත ආරක්ෂක ද්‍රව්‍ය ප්‍රමානයක් තැපැල් කාර්යාල වෙත මේ වනවිට බෙදා හැර ඇති නමුත් ඒවා අවසන් වූ පසු තැපැල් කාර්යාලවල සුලු වියදම් සඳහා වෙන් කෙරෙන මුදල් ඒ සඳහා භාවිතා කරන්නැයි තැපැල් අධිකාරීන් විසින් දැනුම් දී තිබේ. 

ලියුම් බෙදා හැරීමේ මෙන්ම කාර්යාලයේ කටයුතුවල සේවයේ නිරත පුත්තලම් දිස්ත්‍රික්කයේ තැපැල් කම්කරුවෙක් මෙසේ පැවසීය: 

“සෞඛ්‍ය විශේෂඥයන් කියන විදිහට තමා වසංගතයෙදි වැඩ කරන්න ඕනා. නමුත් ආන්ඩුව ඒ අය කියන විදිහට නෙමේ වැඩ කරන්නේ. හමුදාවේ ප්‍රධානීන් වසංගත මර්දන මෙහෙයුමේ ප්‍රධාන තැන්වලට පත් කරලා. සෞඛ්‍ය අංශ කරන අනතුරු ඇඟවීම් ආන්ඩුව පැත්තකට දාලා තියෙන්නේ. තැපෑලටත් වඩා අනතුරුදායක විදිහටයි ඇඟලුම් කර්මාන්ත ශාලා වගේ කම්හල්වල දැන් වැඩ පටන් අරන් ගන්නේ“. 

ලොව පුරාම ධනපති ආන්ඩු විසින් මහජනයාගේ ජීවිත අනතුර නොතකා ආර්ථිකය යලි විවෘත කරමින් කම්කරුවන් වැඩට දැක්කීමේ රුදුරු පිලිවෙතක් අනුගමනය කරමින් සිටී. ජාත්‍යන්තර තත්වය පැහැදිලි කිරීමේ දී එම කම්කරුවා මෙසේ ප්‍රකාශ කලේ ය: “ මිලියනයකටත් වැඩි පිරිසකට වෛරසය බෝ වෙලා තියෙද්දේ ඇමරිකාවේ ට්‍රම්ප් කියනවා ආර්ථිකය දුවන්න ඕනා කියලා. එයින්ම වැටහෙනවා කම්කරුවන්ගේ ජීවිත අනතුරේ හෙලලා රකින ආර්ථිකය කාගේ එකක් ද කියලා. මහ ධනපතියන්ගේ ආර්ථිකයයි ඒක. ලංකාවෙත් එහෙම තමයි“. 

පෞද්ගලික අංශයේ කම්හල්වල රැකියාවලින් “තාවකාලිකව“ නතර කරන කම්කරුවන්ට රුපියල් 14,000 ක වැටුපක් ලබා දෙන බව ඇමති දිනේෂ් ගුනවර්ධන, ව්‍යාපාරිකයන් සහ වෘත්තීය සමිති නායකයන් සමග පැවති සාකච්ඡාවකින් පසුව කල ප්‍රකාශය එම කම්කරුවා හෙලා දුටුවේ ය. “දාහතරදාහක් සතියක් කාල බීලා ඉන්න නම් ඇති. අනික ඒකත් දෙයිද කියලා විශ්වාසයක් නෑ. ජනාධිපති ලේකම් කියනවා රජයේ සේවකයන්ට වැටුප පරිත්‍යාග කරන්න කියලා. කම්කරුවෝ එහෙම කරන්නේ කොහොමද. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා මගේ මාසික මුලු වැටුප රුපියල් 35,000 යි“.  

ආර්ථිකය විවෘත කරන්න තත්වයක් තවම රටේ තියෙනවා යයි තමන් සිතන්නේ නැතැයි පැවසු තවත් ලියුම් බෙදාහැරීමේ නිරත සේවකයෙක් මෙසේ අදහස් දැක්වී ය: “රෙජිස්ටර් ලියුම් මිනිස්සුන්ට දීලා අත්සන් ගන්නත් තියෙනවා. ඒවගේ කටයුතුවල දී මහජනයාට සමීප වීම වැඩියි. ලියුම් බෙදන අයට විශේෂ ඇඳුමක් දෙනවා කිව්වාට ඒක ස්ථීර වශයෙන්ම ලැබෙනවා කියලා අපිව කවුරුත් දැනුවත් කරලා නෑ. උදේ 08 සිට හවස 04 දක්වා අපේ වැඩ මුරය පැය 4 ක් 5 ක් විතර අපි පාපැදියකින් ලියුම් බෙදන්නේ. ගොඩක් අව්ව වැටෙන වේලාවේ තවත් කෝට් එකක් ඇඳගෙන වැඩ කරන්නත් බෑ. හොඳම වැඩේ වෛරසය මැඩපවත්වනකන් කාර්යාල හා වැඩපොලවල් විවෘත නොකරන එක“ යයි ඔහු ප්‍රකාශ කලේ ය. 

රස්සාව අතරතුරේ දී රෝගය වැලඳුනහොත් තම දරුපවුල්වලටත් රෝගය බෝ වීමේ අවදානම තියෙන බව පැවසූ එම කම්කරුවා තමන් මුහුන දෙන ආර්ථික ප්‍රශ්න පිලිබඳව සඳහන් කලේ ය. “මහා ධනපතියන්ට නම් ප්‍රශ්නයක් නෑ. මගේ නයවලට කැපිලා වැටුපෙන් ලැබෙන්නේ රුපියල් 25,000 ක් විතර මුදලක්. මට පාසල් යන වයසේ දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. වසංගතයෙන් අපිව තවත් පහලට ඇද දායි වගේ“ යයි ඔහු පැවසීය. 

තැපැල් සහායක නිලධාරියෙක්: “මගේ තැපැල් ස්ථානයේ 4 දෙනෙක් වැඩ කරනවා. ඉන් සේවිකාවක් ගොඩක් දුර ඉඳලා එන්නේ. එකොලොස් වෙනිදායින් පස්සේ වුවත් ඇයට සේවයට වාර්තා කිරීමේ හැකියාවක් නෑ ප්‍රවාහන පහසුකම් නැති නිසා. තව සේවකයෙකුගේ පුරප්පාඩුව අපි ආවරනය කලේ අතිකාල කරලයි. ඒ අනුව හතර දෙනෙකුගේ වැඩ දෙදෙනෙකුට පැටවෙලා. නමුත් මේ දෙදෙනාගේ පුරප්පාඩු පියවා ගන්නේ කෙසේ දැයි බලධාරීන් තවම දැනුම් දී නෑ.“

අත්‍යවශ්‍යම දේ පමනක් සිදු කරන්නැයි ආන්ඩුව පැවසුවත් එය තීන්දු වන්නේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මත බව ඔහු පැවසීය. පසුගිය දිනවල විශ්‍රාම වැටුප් ගෙවීම ඇතුලු රාජකාරී සඳහා කාර්යාල විවෘත කල අවස්ථාවල දී පැමිනි සියලුම පාරිභෝගිකයන් සෞඛ්‍යය පුරුදු අනුගමනය නොකල බව පැවසූ ඔහු “සමාජය තුල රෝගය පැතිර තිබෙන තත්වයක දී රැකියාවේ නිරත වීම අපිටත් සමාජයටත් අනතුරුදායකයි“ යයි කීවේ ය.  

වසර 07 ක් සේවයේ නිරතව සිටිය ද ඔහුගේ මුලු වැටුප රුපියල් 33,000 ක් පමනි. නිවස සෑදීමට ගත් නයට මාසිකව රුපියල් 17,500 ක මුදලක් වැටුපෙන් කැපී යයි. “දැන් ඒ අතිකාලත් නෑ. මගේ බිරිඳ ගර්භනී තත්වයේ පසු වෙනවා. වෛද්‍ය කටයුතුවලට සෑහෙන මුදලක් යනවා. ආන්ඩුව කියන විදියට අපේ වැටුපෙන් කපන්න දෙන්න බෑ. ආන්ඩුව ජනාධිපතිවරනයේ දුන්න පොරොන්දු ඔක්කොම බොරු. දැන් කම්කරුවන්ගේ වැටුප කපලා ප්‍රශ්න විසඳන්න හදන්නේ. වෘත්තීය සමිති ආන්ඩුවේ ප්‍රහාරයට කම්කරුවො යටත් කිරීමටයි වැඩ කරන්නේ“ යයි ඔහු ප්‍රකාශ කලේ ය. 

සාමාන්‍ය තැපැල් කම්කරුවන්ගේ අදහස එසේ වුවත් තැපැල් වෘත්තීය සමිති නායකයන් ආර්ථිකය යලි විවෘත කිරීමට මුලුමනින්ම පක්ෂව කටයුතු කරයි. තැවිනිස ලේකම් එච්.කේ. කාරියවසම් ලෝසවෙඅ ට මෙසේ ප්‍රකාශ කලේ ය: “ආර්ථිකය විවෘත කිරීමේ අවදානමක් තියෙනවා තමා, නමුත් නොකරත් බෑ. රටේ ආර්ථිකයට දරා ගන්න බෑ. අපි ආරක්ෂාව සලසාගෙන වැඩ කරන එක තමයි කරන්න තියෙන්නේ“. 

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නායකයෝ සියල්ලන්ම කම්කරුවන්ව වැඩට දැක්කීමටත්, වසංගතය මගින් මහ ධනපතියන්ට සිදුව ඇති “හානිය” කම්කරු පන්තිය මත පැටවීම සඳහා රැකියා කප්පාදු කිරීමටත්, කම්කරු පන්තිය මත රුදුරු සූරාකෑමේ කොන්දේසි පැටවීමටත් ආන්ඩුව හා මහ ව්‍යාපාරික හාම්පුතුන් සමග වැඩට බැස සිටී. ධනේශ්වර ක්‍රමයට තදින්ම බැඳි සිටින වෘත්තීය සමිති ජාත්‍යන්තර පරිමානව ඉෂ්ඨ කරමින් සිටින්නේ ද මෙවැනි දුෂ්ඨ ක්‍රියාකලාපයකි. 

කාරියවසම් ඇතුලු තැපැල් වෘත්තීය සමිති නායකයෝ ඊටම ඇතුලත් වෙති. පසුගිය වසර කිහිපය පුරා තැපැල් කම්කරුවන් වැඩිවැටුප්, සේවය ස්ථීර කිරීම් හා තවත් ඉල්ලීම් මුල් කරගෙන ගෙන ගිය අරගල ආන්ඩුවේ බොරු පොරොන්දු මත ඔවුහු පාවා දුන්හ. 

ලංකාවේ දෙපාර්තමේන්තු, සංස්ථා සහ මන්ඩල ඇතුලු රාජ්‍ය ආයතන වල සේවයට කැඳවිය යුත්තේ මුලු සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමනක් බවත් “යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යවශ්‍ය එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමනක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු” බව ආන්ඩුව කලින් නිවේදනය කර තිබුනි. “අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමනක්” යනුවෙන් කෙරෙන අවධාරනය තුල අවශ්‍ය නොවන “අතිරික්ත” සේවකයන් රාජ්‍ය ආයතන තුල සිටින බවක් වක්‍රව ඇඟවුම් කෙරෙයි. 

ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල්  කනිෂ්ක වීරසිංහ විසින් නිපුනතා සංවර්ධන, රැකියා හා කම්කරු සම්බන්ධතා ඇමති දිනේෂ් ගුනවර්ධන වෙත අප්‍රේල් 25 වෙනිදා යවන ලද ලිපියකින්  කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සමාජ සහන කප්පාදු කිරීමට ඉඩ සලසන යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. (කියවන්න: ආන්ඩුවේ පිටුබලය ඇතිව රාජ්‍ය හා පුද්ගලික අංශයේ දැවැන්ත රැකියා කප්පාදුවක්)

වසංගතය තුල යොදන ආරක්ෂක වැඩපිලිවෙල ලෙස ඉදිරියට ගැනෙන මෙම පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින්    ක්‍රියාවට දැමීමට නියෝග කර තිබෙන රාජ්‍ය සේවක කප්පාදුව, කම්කරු අයිතීන් අතුගා දැමීම හා පෞද්ගලීකරනය ඇතුලු ආර්ථික  ප්‍රතිව්‍යුහගත කිරීම්වල කොටසකි. 

මෙම ප්‍රහාර ඉදිරියට ගැනීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව “සංවෘත සේවාවක්” බවට පත් කිරීමේ සැලසුම් ආන්ඩුව පසුගිය කාලයේ ඉදිරියට දමා තිබු අතර වෘත්තීය සමිති එම වැඩපිලිවෙලට සිය සහයෝගය පල කර ඇත. 

කොවිඩ්-19 වසංගතය මගින් ලෝක ධනවාදයේ ආර්ථික අර්බුදය තවත් ගැඹුරු කොට තිබේ. අර්බුදයේ මුලු බර කම්කරු පන්තිය මත පැටවීම අරඹා ඇති ලොව පුරා පාලක පන්තීන් කම්කරුවන්ගේ ජීවිත විනාශය නොතකා මහ ධනපතියන්ගේ ලාභ පොදි තර කිරිමට කම්කරුවන් වැඩට දැක්කීමේ නිරතව සිටී. ලංකාවෙත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තියට එරෙහිව එල්ල වී ඇති මෙම ප්‍රහාර පරාජය කිරීමට කම්කරු පන්තියේ කාර්මික දේශපාලන ශක්තිය බලමුලු ගන්වා ගනිමින් ආන්ඩුවට හා සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව අරගලයක් දියත් කිරීමට කම්කරු පන්තිය හැරී ගත යුතු ය. 

Loading