සෞඛ්‍ය ආරක්ෂන උපකරන සහ දීමනා ඉල්ලා සංවර්ධන නිලධාරීහු ආපදා සේවාවන්ගෙන් ඉවත්වෙති

කොරෝනා වසංගතය ආශ්‍රිත හදිසි ආපදා සේවාවන්හි යෙදී සිටින ලක්ෂයක් පමන වන සංවර්ධන නිලධාරීහු, ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂන උපකරන සහ දීමනා ලබා නොදීමට විරෝධය පල කරමින්, මැයි 06 දා සිට, එකී ආපදා රාජකාරි කටයුතුවලින් ඉවත් වී සිටිති.

මෙම රාජකාරි වලට, විදේශයන්හි සිට පැමිනි පුද්ගලයන්ගේ සහ දිලිඳු පවුල්වල ජනයාගේ තොරතුරු එකතු කිරීමට අමතරව ආන්ඩුවේ ආපදා සහනාධාර මුදල් බෙදීම යන කටයුතු අඩංගු වෙයි.      

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ආපදා කටයුතු සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන චක්‍රලේඛ වල සංවර්ධන නිලධාරීන්ට වගකීම් නොපැවරීම ද විරෝධතාවයට හේතුවකි.

තම අත්සන සහිත ලිපියකින් සියලු ඉල්ලීම් ආන්ඩුවේ වගකිව යුත්තන්ට දැනුම් දී දින තුනක් ගතව ඇතැත් ආන්ඩුව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැතිබව සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චන්ද සූරියආරච්චිගේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසීය. 

ආන්ඩුවේ මෙම නොතැකීම සංවර්ධන නිලධාරීන්ට සීමා වූවක් නොවේ. කොරෝනා මර්දන මෙහෙයුමට සම්බන්ධ වී සිටින අති මහත් බහුතරයකට තමාගේම වියදමින් අවශ්‍ය ආරක්ෂන උපකරන ඇතුලු පහසුකම් සම්පාදනය කර ගැනීමට සිදුව තිබේ. 

පසුගිය අප්‍රේල් 4 දා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තම ආරක්ෂාව හා සේවා පහසුකම් සම්බන්ධයෙන් ආන්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම ට විරෝධය පලකරමින් සේවයෙන් ඉවත් වීමට තීරනය කරන ලදී. 

එසේම අප්‍රේල් 29 දා, කොලඹ කෙසෙල්වත්ත ආශ්‍රිතව කොරෝනා මර්දන රාජකාරීවල යෙදී සිටි, කොලඹ මහනගර සභාවට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තමා ඉල්ලා සිටි පීසීආර් පරීක්ෂන ලබා නොදීම හේතුවෙන් රාජකාරි කටයුතු වලින් ඉවත්ව දින 14 ක ස්වයං නිරෝධායනකට ලක්වන බව බලධාරීන්ට දැන්වූහ.  

එමෙන්ම ආපදා සහන සේවා වලට අදාලව අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන රුපියල් 5000 දීමනාව ගෙවීම සම්බන්ධව වරින් වර නිකුත් කරන ලද චක්‍රලේඛ වල පවත්නා ගැටලු හේතුවෙන් අප්‍රේල් 16 වනදා අදාල ගෙවීම් කටයුතු වලින් ඉවත් වීමට එක්සත් ග්‍රාම නිලධාරී සංගමය තීරනය කලේ ය. 

ආරක්ෂක උපකරන නොමැතිවීම 11 දා වැඩ ආරම්භ කිරීම පිලිබඳව තැපැල් සේවකයන් ද සිය විරෝධය පල කොට තිබේ. 

පසුගිය මාසයේ සිට දිලිඳු ජනයාට ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබාදීම හා ඒ සඳහා සුදුස්සන් තෝරා අදාල කටයුතු සිදු කරන ලද්දේ ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, කෘෂිකර්ම පර්යේෂන නිෂ්පාදන සහකාර නිලධාරි සහ සංවර්ධන නිලධාරිවරයාගෙන් සැදුම්ලත් ග්‍රාමීය කමිටුවක් විසිනි. 

එම කමිටුවට පොදු ජන පෙරමුනේ ප්‍රාදේශීය දේශපාලනඥයන් මැදිහත් කිරීමට එරෙහිව ග්‍රාම නිලධාරීන් ඇතුලු කමිටුවේ නිලධාරින් අදාල කටයුතුවලින් ඉවත්විය. මේ හේතුවෙන් ප්‍රාදේශීය දේපාලනඥයන් එම කටයුතු වලින් ඉවත් කිරීමට ආන්ඩුවට සිදු විය.  

නමුත් ආන්ඩුව වරින් වර නිකුත් කර ඇති චක්‍රලේඛ මගින් ග්‍රාමීය කමිටුව තුල සංවර්ධන නිලධාරීන්ගේ වගකීම් අඩු කොට ඔවුන් අපහසුතාවයට පත් කරමින් දීමනාව බෙදාදීමේ විනිවිදභාවයත්    ප්‍රශ්නයට භාජනය කොට ඇති බවට සංවර්ධන නිලධාරීහු චෝදනා කරති.  

ලෝසවෙඅ සමග අදහස් දැක් වූ සංවර්ධන නිලධාරිවරයෙක් මෙසේ පැවසීය: “අපට කිසිම ආරක්ෂක උපකරනයක් ලැබුනේ නෑ. අඩුම තරමේ ආන්ඩුවෙන් මුඛ ආවරනයක් වත් ලැබුනේ නෑ. ඒවා සේරම ගත්තේ අපේම වියදමෙන්. මගේ මූලික වැටුප රුපියල් 29,432 යි. මුලු වැටුප හතලිස් දහසකට කිට්ටු වෙනවා. නමුත් දරුවෝ දෙන්නගේ වියදම් එක්ක මේ ගන්න පඩිය ප්‍රමානවත් නෑ. හැමදාම ආරක්ෂක මෙවලම්වලටයි රාජකාරි ගමන්බිමන් වලටයි වියදම් අපිට දරන්න බෑ.“ 

මැතිවරනයක් ප්‍රකාශයට පත් කරලා තියෙද්දි සහනාධාර බෙදීමට දේශපාලනඥයන් යොදාගැනීම් ප්‍රජාතන්ත්‍ර-විරෝධී බවත් පවුලේ සමාජිකයන් පස් හය දෙනකු සිටින දිලිඳු පවුල්වලට පන්දාහක් කිසිසේත් ප්‍රමානවත් නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ය. 

2012 මාර්තු මස සිට අදියර කිහිපයක් යටතේ රුපියල් 10,000 ක සොච්චම් වැටුපක් මත අභ්‍යාසලාභීන් ලෙස වර්තමාන සංවර්ධන නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබුවේ, රජයේ රැකියා ඉල්ලා අවුරුදු ගනන් විරෝධතාවයේ නියැලී සිටි තරුන උපාධිධාරීන්ගෙනි. වසරක කාලයකින් අනතුරුව සංවර්ධන නිලධාරීන් ලෙස ඔවුන්ව ස්ථිර කරනු ලැබූ අතර කාර්යාලයීය හා ක්ෂේත්‍රගත රාජකාරි ඔවුන් වෙත පවරන ලදී. නමුත්, මේ දක්වා එම සේවයට අදාලව සේවා ව්‍යවස්ථාවක් සකස් කොට නැත.

සිය සාමාජිකත්වයෙන් එල්ල වන දැඩි පීඩනය යටතේ, වැඩි වැටුප් සහ පහසුකම් සපුරා ඇති අය ස්ථිර කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්, 2018 සැප්තැම්බර් 12 වනදා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය එක්දින සංකේත වැඩ වර්ජනයක් දියත් කල ද අදාල ඉල්ලීම් සියල්ල එවකට පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කලේ ය. 

රාජ්‍ය අංශයේ කාර්ය මන්ඩල සඳහා අවම ආරක්ෂක පහසුකම් හෝ සම්පාදනය නොකිරීම ගලා එන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ද අලලා පසුගිය දශක කිහිපය මුලුල්ලේ සිදු කෙරෙමින් යන අඛන්ඩ කප්පාදුවෙනි. 2017 මහ බැංකු වාර්තාවට අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් සෞඛ්‍යය සඳහා වෙන් කොට ඇත්තේ සියයට 1.5 ක් තරම් සුලු ප්‍රතිශතයකි. වසංගතය මගින් එලිමහනට ගෙනවිත් ඇත්තේ දැඩි සත්කාර ඒකකවල සිට මුඛ ආවරන දක්වා සෞඛ්‍ය අංශ මුහුන දෙන බරපතල සම්පත්වල හිගයකි. 

සමස්ත ලෝකයම දැඩි අවදානම් සහගත තත්ත්වයක පසුවෙන තතු තුල දැවැන්ත මුදලක් මෙම වසංගතය මැඩලීම සඳහා යෙදවිය යුතු වුවත් ලෝකය පුරාම ධනපති ආන්ඩු තවමත් මුදල් වෙන් කරනුයේ ව්‍යසනය හේතුවෙන් කඩාවැටෙමින් පවතින මහ සංගත බේරාගැනීම සඳහා ය. ධනේශ්වර අර්බූදයේ මුලු බර කම්කරු පන්තිය මත පටවන ලොව පුරා පාලක පන්තීන් කම්කරුවන්ගේ ජීවිත විනාශය නොතකා මහ ධනපතියන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලිය වහා පනගැන්වීමට කම්කරුවන් වැඩට දැක්කීමේ නිරතව සිටී.  

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් සියලුම රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප රජයට ලබා දෙන ලෙස කරන බලපෑම, වසංගතය නිසා  ආන්ඩුව මුහුන දී ඇති අර්බුදය හමුවේ රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ වැටුප් කැපිමේ පෙර සූදානමකි.  

සංවර්ධන නිලධාරින්, ග්‍රාම නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුලු සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන්ට, ආන්ඩුවලට බලපෑම් දැමීමේ දියාරු වෘත්තීය සමිති ආයාචනාවලින් තම අයිතීන් දිනා ගත නොහැකි ය. ආන්ඩුවේ ප්‍රහාර පරාජය කල හැක්කේ, වෘත්තීය සමිති වලින් බිඳී, සමස්ත කම්කරු පන්තියේ කාර්මික දේශපාලන ශක්තිය බලමුලු ගන්වා ගනිමින් ආන්ඩුවටත් සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහි දේශපාලන අරගලයක් පෙරට ගැනීමෙන් පමනි.

Loading