ශ්‍රී ලංකාවේ ස්ටැලින්වාදී පක්ෂය කොවිඩ්-19 වසංගතය කෙරෙහි රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නො තැකීම ආවරනය කරයි

ස්ටැලින්වාදීන්ගේ  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ (කොප) පරඬලෙහි ප්‍රධාන ලේකම් ඩිව් ගුනසේකර, “ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැපවන” ලෙස ඉල්ලා සිටිමින් කොවිඩ්-19 වසංගතය නිසා ලංකාව තුල උද්ගතවී තිබෙන අර්බුදය පිලිබඳ ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඇත්ත පුවත්පතේ  පලකොට ඇති, උඩසිට පහලට බොරුවලින් පිරුනු මෙම ප්‍රකාශය ස්ටැලින්වාදීන් විසින් නිකුත්කොට ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව වසංගතය ලංකාව තුල පැතිරීම සාපරාධී ලෙස නො තකා හැරීම සහ වසංගතයට මුවාවී ආඥාදායක පාලනයක් ගෙන යන පියවර ආවරනය කිරීම සඳහායි.

1970 සිරිමා බන්ඩාරනායකගේ සභාග ආන්ඩුවට කෙලින්ම බැඳීමට පෙර පටන් ම කොප  ක්‍රියාකලේ ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) අන්ඩක් ලෙස ය. ශ්‍රීලනිප සමග  වඩවඩාත් දකුනට ගොස් සිටින ස්ටැලින්වාදී සංවිධානය  දැන් මහින්ද රාජපක්ෂ නායකත්වය දරන දක්ෂිනාංශික ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) සමග පෙල ගැසී ඇත. 

ලොව පුරා ධනපති පන්ති සහ ඒවායේ ආන්ඩු  කොවිඩ්-19 වෛරසය පැතිරීම “හදිසි ගෝලීය අභියෝගයක්” යයි වංචනිකව කරන ප්‍රකාශය  ගුනසේකර ද සිය ප්‍රකාශය තුල රුවා තිබේ. සත්‍යය නම්, කොවිඩ්-19 වර්ගයේ වසංගතයක් ඇතිවිය හැකිබවට අවම වසයෙන් දශක දෙකක් තිස්සේ විද්‍යාඥයන් විසින් කරතිබූ අනතුරු ඇඟවීම්  නොතකා හැර ලොව පුරා ධනපති ආන්ඩු ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ජීවිත බිලිගන්නා බිහිසුනු  තත්වයක් උද්ගත කර ඇතිබවයි.   

ස්ටැලින්වාදියාගේ ප්‍රකාශය මෙසේද සඳහන් කර ඇත: “මෙවැනි අභියෝගයකට මුහුන දීමේදී ශ්‍රී ලංකාව සතු ශක්තිමත් මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය සහ මුල්‍ය ක්ෂේත්‍රයෙහි ස්ථාවර රාජ්‍ය අංශය බෙහෙවින් උපකාරීවන බව අපි තේරුම් ගතයුතුය.”

ඔහු සඳහන් වර්ගයේ ”ශක්තිමත් මහජන සෞඛ්‍ය සේවා පද්ධතියක්” ලංකාවේ පාලක පන්තිය විසින් ඉතුරු කොට නැත. කම්කරු පන්තියේ අතීත අරගල නිසා යම් මට්ටමක සෞඛ්‍ය සේවා පද්ධතියක් මෙරට පැවති නමුත් 1977 දී ජාත්‍යන්තර ප්‍රාග්ධනය සඳහා ආර්ථිකය විවෘත කිරීමෙන් පසු බලයට පත් සියලු ආන්ඩු, සෞඛ්‍යය සඳහා වෙන් කරන අරමුදල් තව දුරටත් කපා හැරියේය. වර්තමානයේ දී එය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1. 2ක් පමන වූ සොච්චම් මුදලකි. 

ස්ටැලින්වාදී පක්ෂය, අවස්ථාවාදී ලංකා සම සමාජ පක්ෂය සමග එක්වී ශ්‍රීලනිප ප්‍රමුඛ ආන්ඩුවල හවුල්කරුවන් ලෙස එම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියේ ලංකාවේ සෞඛ්‍ය සේවාව අද  පවතින ශෝචනීය මට්ටමට පිරිහෙලමිනි. අනෙක් අතට, රෝගීන්ගේ මුදල් ගරා ලාභ මඩි තරකරගන්නා පුද්ගලික රෝහල් හා  රසායනාගාර තර කිරීමට ද ඔවුහු හවුල් වූහ. 

අද දින ලංකාවේ බෝවෙන රෝගීන්ගේ රෝහල (අයිඩීඑච්) පවතින්නේ ඉහල යන රෝගීන් සංඛ්‍යාවට අවශ්‍ය ඇඳන් සම්පාදනය කිරීමට පවා නොහැකි තත්ත්වයක ය. සියලු රෝහල් කාර්ය මන්ඩල අතුලු සෞඛ්‍ය සේවකයන් වැඩි දෙනා සේවය කරන්නේ  නිසි සෞඛ්‍ය ආරක්ෂන උපකරන නොමැතිව ය.  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ඩබ්ලිව්එච්ඕ) උපදෙස් මුලුමනින් ම නො තකා හරිමින් මුල පටන් ම රාජපක්ෂ ආන්ඩුව කටයුතු කලේ, වෛරසය මැඩපැවැත්වීමට අත්‍යාවශය බවට එම සංවිධානය නිර්දේශ කල මහා පරිමාන පරීක්ෂන සිදුකිරීම සඳහා කිසිදු නව අරමුදල් වෙන්කිරීමකින් තොර ව ය. නිසි පරීක්ෂන සිදුකිරීමට හැකියාවක් නැත්තේ, අවශ්‍ය මුදල් සම්පාදනය කොට නැති නිසා බව සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත. 

ලොව පුරා අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල සිය පාලක හාම්පුතුන් මෙන්, ශ්‍රී ලංකාවේ ජනාධිපති රාජපක්ෂ ද ප්‍රකාශ කරන බොරුවක් වන්නේ, ආන්ඩුව වසංගතයට කල්තබා සූදානම් ව අවශ්‍ය පියවරයන් ගත් බව යි. මෙම ප්‍රකාශ  වැලඳගන්නා ගුනසේකර, “කොවිඩ් - 19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමටත් පෙර එවැනි තත්ත්වයකට මුහුනදීමට පෙර සූදානම්වීමක් වශයෙන්, ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට” ගත් මූලිකත්වය පිලිබඳව සිය පක්ෂයේ සතුට ප්‍රකාශ කර ඇත. 

එහෙත් ඇත්ත තත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාව තුල පලමු වතාවට කොරෝනා වෛරසය ආසාදනය වුනු චීන ජාතික කාන්තාවක සොයාගනු ලැබී ය. ඇය සුවය ලබා පිටව ගිය පසු රාජපක්ෂ උදම් අනමින් මෙසේ ප්‍රකාශ කලේ ය: “අනෙක් රටවලට හොඳම සෞඛ්‍ය පහසුකම් තිබිය හැකි වුවත්, අපේ ම උත්සාහයෙන් ආසාදිත පුද්ගලයන් සුව කිරීමට අපි සමත් වුනා.” 

මෙම ප්‍රකාශවල පල්ල යවමින්, අතිශය සීමිත පීසීආර් පරීක්ෂන මධ්‍යයේ පවා, මේ වන විට රට තුලින් කොවිඩ්-19 ආසාදිතයන් 900ට ආසන්න ගනනක් සොයාගනු ලැබ ඇත. සිදු වූ මරන සංඛ්‍යාව නවයකි. රාජපක්ෂගේ හා ගැත්තන්ගේ ප්‍රකාශ කුමක් වුව ද, නිසි සෞඛ්‍ය පියවර නොගතහොත් ඉදිරියේ තත්වය භයානක විය හැකිබවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇත.  

රාජපක්ෂ ආන්ඩුව පීසීආර් පරීක්ෂන ඉතා සීමිතව සිදුකර මෙබඳු අඩු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබෙන්නේ අතිශය දුෂ්ට දේශපාලන අරමුනු ඇතිවය: වසංගතය පාලනය කිරීමට ආන්ඩුව සමත් වී ඇතිබව අවධාරනය කරමින් ”ආර්ථිකය යලි විවෘත  කිරීමේ” නමින් ධනපතියන්ගේ සූරාකෑමේ  ක්‍රියාවලිය යලි පනගන්වා ගැනීම, ඉක්මනින් මැතිවරනයක් පවත්වා පාර්ලිමේන්තුවේ බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ) ලබාගෙන ආඥාදායක විධායක බලතල ලබා ගැනීමට ව්‍යවස්ථාව යලි ලියා ගැනීම එම අරමුනු අතර වෙයි. 

කොවිඩ්-19 වසංගතය යොදාගනිමින් රාජ්‍ය පාලනය මිලිටරීකරනය කිරීම උත්සන්න කිරීමට ජනාධිපති ගෙන යන වැඩපිලිවෙල පිටුපස ද කොප පෙලගැසේ. රාජපක්ෂ කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධාන තනතුරට යුද හමුදාපතිවරයා පත්කරනු ලැබ ඇත්තේ, සෞඛ්‍ය හා අනෙකුත් අධිකාරීන් ඔහු යටතට ගෙන එමිනි. විශ්‍රාමික ගුවන් හමුදාපති රොෂාන් ගුනතිලක, ආර්ථිකයේ හා පාලනයේ කේන්ද්‍රස්ථානය මෙන්ම කම්කරු පන්තියේ ප්‍රමුඛ මධ්‍යස්ථානය වන කොලඹ  අගනුවර කරගත් බස්නාහිර පලාතේ ආන්ඩුකාරයා ලෙස පත්කරන ලද්දේ වසංගත අර්බුදය මධ්‍යයේ ය. පසුගිය නොවැම්බරයේ බලයට පත් තැන් පටන්, ජනාධිපති රාජපක්ෂ රාජ්‍ය අංශයේ මූලික තනතුරුවලට දැනට සිටින හා විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ට මිලිටරි නිලධාරීන් පත්කලේ ය.   

මිලිටරිය මෙහෙයවා ගත් ඒකාධිපති පාලනයක් දිසාවට ගන්නා මෙම පියවර ගැන ස්ටැලින්වාදී නායකයා නිහඬ, ඒවාට ඔහු මුලුමනින්ම එකඟ හෙයිනි. 

“පශ්චාත් කොවිඩ්-19 ගෝලීය වර්ධනයන් ලෝක ආර්ථිකය ප්‍රබල පසුබැස්මකට මග පාදනු”  ඇතැයි  ද ”එය, 2008 ගෝලීය මුල්‍ය අර්බුදයන්හි අත්දුටු පසුබැස්මට වඩා ප්‍රබල විය හැකිය” යි ද ගුනසේකර ආන්ඩුවට අනතුරු අඟවයි. මෙම අනතුරු ඇඟවීම කරන්නේ කම්කරුවන් හා දුගීන් මුහුන දෙන තත්වය ගැන ඔහුට ඇති අනුකම්පාවක් නිසා නොවේ. 

ගෝලීය අර්බුදය වඩවඩාත් ගැඹුරු වන තතු තුල ලංකාව වෙලාගෙන ඇති ආර්ථික කඩාවැටීම කම්කරුවන් හා දුගීන් මත පැටවීම, ජාත්‍යන්තරව මෙන්ම ලංකාව තුල ද බරපතල අරගල පිපිරීමට තුඩුදෙනු ඇතැයි පාලක පන්තිය මෙන්ම එහි  ආවතේවකාරයෙකු වන ඔහු ද  භීතියට පත්ව සිටී. 

මෙම අර්බුදය ලංකාව තුලට බලපෑම නිසා කම්හල් 500කට වඩා වසා දැමුනු  අතර ලක්ෂ ගනනකගේ රැකියා සුන් කෙරුනි. අර්බුදය පැනනගින විට ගුනසේකර රාජපක්ෂ ආන්ඩුවේ ඇමතියෙකු විය. උතුරු නැගෙනහිර දෙමල ජනයා මැඩීමේ වර්ගවාදී යුද්ධයට ස්ටැලින්වාදියෝ සහයෝගය දුන්හ. ඒ අතරම, යුද්ධයට රජයේ අරමුදල් යටකිරීම නිසාත් ලෝක මූල්‍ය කඩාවැටීම නිසාත් උග්‍රවූ අර්බුදයේ බර කම්කරුවන් මත පටවා ඔවුන්ගේ අයිතීන් තලා දැමීමට වෘත්තීය සමිති මෙහෙයවා ගෙන ගෙනගිය වැඩපිලිවෙලට ද ඔවුහු හවුල් වූහ. 

කොරෝනා වෛරසය රුදුරු ලෙස ව්‍යාප්තවීම නිසා ධනපති අර්බුදය අලුත් අවධියකට උත්සන්නවී ලෝකයේ සෑම රටක්ම අඹරවාගෙන යමින් තිබේ. කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා අනෙකුත් අයිතීන් තලාදමන ප්‍රහාරයක යෙදෙන ආන්ඩු  ඒකාධිපති පාලනයන් කරා වේගයෙන් යමින් සිටින්නේ කම්කරුවන්ගෙන් දැනටමත් ප්‍රකාශවී ඇති ප්‍රතිරෝධය විප්ලවවාදී පිපිරීම් සඳහා කොන්දේසි සකස්කරන හෙයිනි. 

ඓතිහාසිකව ලෝක ධනවාදයේ ඒජන්සියක් ලෙස පැනනැගුන ප්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදී සංවිධාන කෙතරම් පරඬල්  වී ගියත් කම්කරු පන්තියේ අරගල ලෙයින් මැඩීමට තීරනාත්මක අර්බුදවල දී පාලක පන්තීන් සමග එක්වෙති.  “පශ්චාත් කොවිඩ්-19 ගෝලීය වර්ධනයන් තුල ... වාම සහ රැඩිකල් බලවේගයන්ගේ ප්‍රබල මැදිහත්වීමක් අවශ්‍යවනු ඇත” යි ගුනසේකර කරන ප්‍රකාශයේ අනතුරු ඇඟවීම එයයි. ගෝලීය වසයෙන් ස්ටැලින්වාදී සංවිධාන විප්ලවවාදී අරගල මැඩීමට  දුෂ්ටලෙස මැදිහත්වූ සැටි හා ලංකාව තුල ඒවායේ ක්‍රියා කලාපය සිහි කැඳවා ගැනීම අවශ්‍යය. 

1917 රුසියාවේ ජයගත් සමාජවාදී විප්ලවය පාවාදුන් ස්ටැලින්වාදී නිලධරය 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය පුනස්ථාපනය ක්‍රියා කලේය. එහි උරුමක්කාර ගුනසේකර හා කොපය ඊනියා වාම සහ රැඩිකල් බලවේගයන්ගේ ප්‍රබල මැදිහත්වීමකට කැඳවුම් කරන්නේ ලංකාව තුල ඉදිරි ප්‍රතිවිප්ලවවාදී  ක්‍රියාවන්ට  සූදානම් වෙමිනි. 

Loading