ජනාධිපති ලේකම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් උදුරා ගැනීමේ යෝජනාවක් ඉදිරපත් කරයි

අයවැය “පීඩනය” අවම කිරීමේ සහ විදේශ නය “කලමනාකරනය” කිරීමේ පියවරක් ලෙස රාජ්‍ය  සේවකයින්ගේ වැටුප්  කපාගැනීමේ යෝජනාවක්  ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් ඉදිරිපත් කර ඇත. 

”කෝවිඩ් - 19 රාජ්‍ය  සේවයේ පුරෝගාමී මෙහෙවර” යන හිසින් ජයසුන්දර මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ ඔහුගේ පෞද්ගලික “ආයාචනයක්” ලෙස ය. 

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මන්ඩල ලේකම්, ශ්‍රී  ලංකා මහ බැංකු අධිපති හා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමුකර ඇති  මෙම “ආයාචනයෙන්”, “රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා  මාසිකව රුපියල් බිලියන 100 ට ආසන්න මුදලක් රජයට අවශ්‍ය” බවත්, “එක් මසක වැටුප නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු ගෙවීම් සඳහා යොදවන ලෙස උපදෙස් දුනහොත් මැයි මාසයේ වියදම අඩුවී ආදායම වැඩිවීමෙන් අයවැය හිඟය අඩුකර ගත හැකි” බව ජයසුන්දර සඳහන් කර ඇත. 

මාසයේ මුලු වැටුප දීමට නොහැකි  නම් “ඉන් කොටසක්” හෝ “පරිත්‍යාග” කරන ලෙස ඔහු ඉල්ලා ඇත. අයවැය හිඟය අඩුකර ගැනීමෙන් විදේශ නය “කලමනාකරනය” කරගත හැකි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.   

ජයසුන්දර මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ රාජපක්ෂ ආන්ඩුව වඩ වඩා ගැඹුරු වන ආර්ථික අර්බුදයකට සහ දේශීය සහ විදේශීය නය කන්දරාවකට යට වී ඇති කොන්දේසි තුලය. 

අප්‍රේල් මාසයේ නිකුත් වූ මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ විදේශ නය ප්‍රමානය එක්සත් ජනපද ඩොලර් බිලියන 55 ඉක්මවා තිබේ. මෙම වසරේ ආන්ඩුව නය වාරික සහ පොලිය වශයෙන් ඩොලර් බිලියන 3.2 ක් ගෙවිය යුතු අතර 2021 සිට 2023 වන විට ඩොලර් බිලියන 13.8 ගෙවිය යුතු ය. 

ආන්ඩුව මෙම නය පියවිය යුත්තේ, ජයසුන්දරගේ වචන වලින් ම කිවහොත්, “ආර්ථික වශයෙන් වසර  ගනනාවක්ම පැවැති ජාත්‍යන්තර වෙලඳාම, අපනයන සංචාරක ක්ෂේත්‍ර ඇනහිට තිබෙන” සහ “විදේශ  ආදායම්  මෙන්ම  රජයේ ආදායම් මාර්ග ද අවහිර වී ඇති” තත්වයක් තුලය.

රාජපක්ෂ ආන්ඩුව සැලසුම් කරන්නේ වැටුප්, සමාජ ප්‍රතිලාබ සහ රැකියා කප්පාදුව තුලින් වැඩකරන ජනයා මත මෙම අර්බුදයේ බර පැටවීමට ය. ආන්ඩුව දැනටමත් වැටුප් හා රැකියා කප්පාදු කිරීමේ අවසරය රාජ්‍ය ආයතන  ප්‍රධානීන් ට හා ධනපති හාම්පුතුන්ට  දී ඇත. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනකොට  ඇති රාජ්‍ය ආයතන    ප්‍රතිව්‍යූහකරනය හා සුබසාධන කාප්පාදුව ඇතුලු ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම  කඩිනම් කරනු  ඇත. එහෙයින් ජයසුන්දරගේ යෝජනාව හුදෙක්  ඔහුගේ පුද්ගලික අදහසක් නොවේ.  රාජපක්ෂ ආන්ඩුව විසින් කම්කරු පන්තියට එරෙහිව සැලසුම් කරන ප්‍රහාරයේ කොටසකි. 

කොවිඩ්- 19 වසංගතය පාලනය කිරීම සඳහා ආන්ඩුවේ අගුලු දැමීම මධ්‍යයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා දීමනා කප්පාදු කෙරුනි.  සේවයේ නියුතු ආයතන හා බැංකු වලින් තම අවශ්‍යතාවයන් සඳහා ගත් නයවලට බොහෝ කම්කරුවන්ගේ වැටුපෙන් සියයට 60 කටත් වඩා කපා ගැනෙයි. ජීවන වියදම බෙහෙවින් ඉහල ගොස් ඇත. ඔවුන් පවුලේ වියදම යන්තම් ගැට ගසා ගන්නේ අතිකාල සේවය සඳහා ලැබෙන ගෙවීම් වලිනි.

ආන්ඩුවේ අයවැය හිඟය අඩුකර ගැනීමට වැටුප “පරිත්‍යාග” කරන ලෙස ජයසුන්දර ඉල්ලන්නේ ඔවුන් ගෙනි.  

ආන්ඩුව වැඩකරන ජනතාව මත බර පටවන්නේ  විශාල වශයෙන් ලාභ මඩි ගසා ගන්න පුද්ගලික බැංකු, මහා සමාගම් සහ වානිජ ව්‍යාපාර සඳහා දැවැන්ත බදු සහන සහ අසීමිත වරප්‍රසාද පුද දෙන අතරය. 

එලෙස දැවැන්ත ලාභ  ලබන බැංකු සහ වානිජ ව්‍යාපාර අතරින් හැටන් නැෂනල් බැංකුවේ  2019 අවසරේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 14 කි. පෑන් ඒෂියා බැංකුවේ පශ්චාත් බදු ලාභය රුපියල් මිලියන 1,750.56 කි. කොමර්ෂල් බැංකුවේ  වසරේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 17.4 කි. වානිජ සමූහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් සමාගමේ 2019 මාර්තු 31 අවසන් වූ මුල්‍ය වර්ෂයේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 3 කි. 

එවන් සුවිසල් ලාභ උපයා ගනිද්දී ආර්ථිකය “ශක්තිමත්” කිරීමේ  පියවරක් ලෙස හුවා දක්වමින් පුද්ගලික බැංකු සහ මහා සමාගම් වලට තවත් සහන සැලසීමක් ලෙස  පොලී අනුපාත තවදුරටත් සියයට 0.5 කින් පහත දැමීමට මහ බැංකුව තීරනය කර තිබේ.  ඒ අනුව මහ බැංකුව විසින් මෙම වසර තුල පොලී අනුපාත පහත දැමීම සියයට 1.5 ක් වනු ඇත.  ඊට අමතරව ආන්ඩුව මහ සමාගම් සඳහා සියයට 4 ක අඩු පොලියට නය සහන සැලසීමට ද පියවර ගෙන ඇත. 

කම්කරු පන්තියේ සොච්චම් පඩිය කොල්ලකෑමේ ජයසුන්දරගේ යෝජනාවට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය කිරීම වෘත්තීය සමිති විසින් පැහැර හරිනවා පමනක් නොව වක්‍රව ඒ සඳහා  අනුමැතිය ද ප්‍රකාශ කර ඇත. 

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්ට අනුව එය ආන්ඩුවට ලැබුන විදේශ ආධාර හා තෙල් මිල පහත වැටීමෙන් ලැබෙන වාසිය යට ගසා එය බරපතල ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින බව මවාපෑමේ හුදු උපාමාරුවකි.

“මා හිතන්නේ මෙය ජනතාව සාධාරනය ඉල්ලා සිටීම වැලැක්වීමේ උපාමාරුවක් කියල. සහතිකෙන් ම මෙය රජයේ සේවකයන් මත ලොකු පීඩනයක් යොදනවා. මා හිතන්නේ නැහැ බොහෝ අයට (එය)එපා කියන්න හැකියාව තියෙනවා කියල”  ඔහු දි අයිලන්ඩ් පුවත්පතට  පවසා තිබුනි. 

ජනතා විමුක්ති පෙරමුනේ නායකයෙකු සහ එය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මාධ්‍යයට පවසා ඇත්තේ “සේවකයින්ගෙන් කලින් ලබා ගන්නා අනුමැතියකින් තොරව වැටුපෙන් අඩු කලොත් එයට විරුද්ධව නීතිමය ක්‍රියාවන්ට යාමේ හැකියාව ඇති” බවය. 

සරල භාසාවෙන් කිවහොත් සමරසිංහ ආන්ඩුවට  යෝජනා කරන්නේ  අනුමැතිය ලබා ගෙන වැටුප් කපන ලෙසය. රුපියල් බිලියන 300 ක් ලබා දී ව්‍යාපාරිකයන් නගා සිටුවන ලෙස ඔහු අප්‍රේල් 20 වෙනිදා මහා ව්‍යාපාරිකයන්, කම්කරු ඇමති සහ වෘත්තීය සමිති අතර පැවති  සාකච්ඡාවේ දී යෝජනා කර ඇත.

පඩිපත කොල්ල කෑමට දරන උත්සාහය කෙරෙහි කම්කරුවන්  අතර දැනටමත් බරපතල විරුද්ධත්වයක් මතු වෙමින් ඇත. රත්මලාන දුම්රිය  නිවාස වල පදිංචි දුම්රිය කම්කරුවෙක් මෙසේ පැවසීය:

“මම  විරුද්ධයි පඩිය කපනවට. මා සමග  කතා කරපු කම්කරුවොත් කිව්වේ දෙන්නේ නැහැ කියලා. දැන් ගන්න වැටුපෙන් ජීවත්වෙන්නත්  බැරුව කොහොම ද පරිත්‍යාග කරන්නේ. මගේ මූලික වැටුප රුපියල් 38.000 යි. සියලු දීමනා සමග ලැබෙන වැටුපෙන් නය වලට කැපුනට පස්සේ අතට එන්නේ 30,000 යි. දරුවන් දෙන්නෙක් ඉන්නවා. බඩුමිල දරා ගන්න බැහැ. ගන්න පඩිය  මදි නිසා හවසට ත්‍රී වීල් එකක් වැඩ කරනවා. ආන්ඩුව ආර්ථිකව අමාරුවේ වැටිලා ඉන්නේ. දරදඬු පාලනයකට යන බවක් පේන්න තියෙන්නේ. දැන් පරිත්‍යාග කරන්න කිව්වට ඉදිරියේ දී බලෙන් කපා ගනියි. සමිති කාරයෝ කටක් අරින්නේ නැහැ” යි ඔහු පැවසීය.

තමන් ද වැටුප් කැපීමට එකහෙලා විරුද්ධ වන බව පේරාදෙනිය ශික්ෂන රෝහලේ හෙද සේවිකාවක් පැවසුවාය. “අපි ජීවත් වෙන්නේ අමාරුවෙන්. අඩු කිරීම්වලින් පස්සේ අතට එන්නේ රුපියල් 40,000 ක් පමන. මහත්තයා සංචාරක මග පෙන්වන්නෙක්. කොරෝනා වසංගතය නිසා මහත්තයාටත් රක්ෂාව නැහැ. බඩුමිල ඉහල යනවා. මගේ පඩියෙන්  විතරක් පවුලේ වියදම පිරිමහ ගන්න බැහැ. ඒකෙනුත් කැපුවොත් ජීවත් වෙන්නේ කොහොමද? ඒ නිසා පඩිය කපනවට මම එකහෙලාම විරුද්ධයි.”

කොලඹ ප්‍රධාන පාසැලක තාක්ෂනවේද ගුරුවරයෙකු වන කොඩිතුවක්කු පඩි කැපීමේ යෝජනාව කෙරෙහි කෝපයෙන් කතා කලේ ය:

“ජයසුන්දරගේ ලිපිය දැක්කම මට මුලින්ම ලොකු කේන්තියක් ආවෙ. අපෙන් සල්ලි ඉල්ලන්න කිසිම සාධාරන හේතුවක් නැහැ. හැම රාජ්‍ය සේවකයෙක්ම සම්පූර්නයෙන් ඔය ඉල්ලීමට විරුද්ධ වෙන්න ඕනෙ. දැනට ජනාධිපති ලේකම්ගේ ඉල්ලීමක් විදියට ආවත් ඕකෙන් පේනවා ආන්ඩුව ලෑස්ති වෙන්නෙ මොකටද කියල. ඊට පස්සෙ ඉල්ලීමක් විදියට නොවෙයි නියෝගයක් හැටියට ම පඩි කපනවා කියල කියයි. රාජ්‍ය සේවකයො කටපියන් හිටියොත් ඊලඟට වෙන්නෙ ඒක.”

උපකාරක පන්ති පවත්වා අමතර ආදායමක් උපයා ගන්නා නමුත් වසංගතය නිසා එයද කල නොහැකි වූ බවත් ඔහු පැවසීය. ඔහුගේ නය වාරික අප්‍රේල් මාසයට ද අයකරගෙන ඇත. නය වාරික ගෙවීමට මාස තුනක සහනයක් දී ඇති නමුත් වාරික කීපයක් එකවර ගෙවීම ඉතා අසීරු කරුනක් බව ඔහු පැවසීය.

පඩිපත කපා ගැනීමට කම්කරුවන් විරුද්ධවීම යුක්ති යුක්තය. ආන්ඩුවේ අර්බුදයට කම්කරුවන් කර ගැසිය යුතු නැත. එහෙත් කම්කරු පන්තියට වැටුප් කප්පාදුව නතර කිරීමත් සෙසු අයිතීන් රැක ගැනීමත් කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා කරන අරගලයේ කොටසක් ලෙස පමනි.

 

   

Loading