ධනවාදී නයෙහි දේශපාලන ආර්ථිකය

මෙම ලිපිය 2020 මැයි 5 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපද ආර්ථිකයෙහි හැකිලීම සහ සංගතවලටත් වෝල් වීදියටත්, පෙනෙන පරිදි අවසානයක් නැති මුදල් සැපයීම පිලිබඳ ව පසුගිය සතියේ පලකල ලිපියකට ප්‍රතිචාර දක්වමින්, ‘ඩිස්කස්‘ අදහස් දැක්වීමේ කොටසේ පාඨකයෙක් වැදගත් ප්‍රශ්නයක් මතු කර ඇත.

‘මුදල් ඒ හෝ මේ ආකාරයෙන් උකහාගන්නේ කම්කරු පන්තියෙන් යයි කීමේ දී ලේඛකයන් අදහස් කරන්නේ කුමක්දැයි කවරෙකුට හෝ විස්තර කල හැකි දැ” යි පාඨකයා විමසී ය.

“ග්‍රීසිය හෝ ස්පාඤ්ඤය වැනි රටවල දී නය, කප්පාදුවට සමාන වන්නේ කෙසේදැයි මට අවබෝධ කරගත හැකි නමුත්, එය ඇමරිකාව තුල ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි මට හරියටම දැකගත නො හැකි ය. එක්සත් ජනපදය ට්‍රිලියන ගනනින් නය වී නැද්ද? එසේ නම්, ට්‍රිලියන ගනනක් අමතර නයවීමෙන් සිදුවන වෙනස කුමක් ද?

“මේ මාසයේ දී වෝල් වීදියට වෙන් කල ට්‍රිලියන ගනන කෙලින් ම සමාජ වැඩසටහන්වලින් ඇද ගත්තේ ද, නැතහොත් එය ඊට වඩා නො පෙනෙනසුලු ද?”

එක්සත් ජනපදයේ තත්ත්වය ග්‍රීසියේ හා ස්පාඤ්ඤයේ තත්ත්වයට  සපුරා වෙනස් යයි සඳහන් කිරීම, බොහෝ ආර්ථික පන්ඩිතයන් හා අටුවාකරුවන් විසින් ප්‍රකාශයට පත්කරන දෘෂ්ටීන් මත නැඹුරු වීමකි. ඩොලරය ප්‍රමුඛ ගෝලීය මුදල වන නිසා, මූල්‍ය අධිකාරීන්ට හා ආන්ඩුවට මුදල් සැපයීම අසීමිත ව ප්‍රසාරනය කරමින් ඉදිරියට යා හැකි බවත්, ගෝලීය ආර්ථිකයේ අනෙකුත් රටවලට බලපාන නීතිවලින් එක්සත් ජනපදය කෙසේ හෝ නිදහස් බවත් ඔවුහු තරයේ කියා සිටිති.

පාඨකයා ඇසූ ප්‍රශ්නයට දක්වන මෙම ප්‍රතිචාරයෙහි අරමුන, එය එසේ නො වන බවත්, අර්බුදයෙන් ඍජු ව පැනනගින මූලික කරුනු දෙකක් ඉස්මතු කිරීමත් ය.

ඉන් පලමුවැන්න, සුවිශේෂී වනවා වෙනුවට, පසුගිය දශක කිහිපය තුල එල්ල කෙරී ඇති ප්‍රහාරවලට අතිරේක ව, ඇමරිකානු කම්කරු පන්තිය,  සිය ජීවන තත්ත්වයන්, රැකියා හා වැඩ කොන්දේසි හා තම ජීවිතයට පවා එල්ල වන පෙරමුනු ප්‍රහාරයකට දැනට මත් මුහුන දෙන බව ය. තව ද ඇමරිකානු කම්කරු පන්තිය, තමන්වම ආරක්ෂා කර ගැනීමට ගෙන යන ප්‍රචන්ඩ සටනේ දී, දේශපාලන බලය තම අතට ගැනීම සඳහා වන අරගලයක් දියත් කිරීමේ අවශ්‍යතාවට මුහුන දෙනු ඇති බව ය.

දෙවැන්න, දැනට ම පවතින ව්‍යාජ ප්‍රාග්ධන කන්දට ඩිජිටල් තාක්ෂනය යොදාගෙන නිර්මිත ඩොලර් ට්‍රිලියන ගනන් තව තවත් එකතු කිරීමේ ක්‍රියාවලිය, මෙතෙක් අත්දැක ඇති ඕනෑම අර්බුදයන්ගෙන් බොහෝ ඔබ්බට යන ආර්ථික හා මූල්‍ය අර්බුදයක ක්ෂනික බීජ එය තුල අඩංගු කරගන්නා බව ය.

ඩිස්කස් අදහස් දැක්වීම තුල ප්‍රතිචාර දැක්වූවන් කිහිප දෙනෙක් නිවැරදි ව සඳහන් කල පරිදි, පාඨකයා විසින් ඉස්මතු කල ප්‍රශ්නවලට දෙන පිලිතුරු, වටිනාකම පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනයක් ඉල්ලා සිටී. අපි මෙම ප්‍රශ්නය විභාග කරමු.

ප්‍රාග්ධන පරිපථයේ අතිමූලික රූපාකාරය වන්නේ මුදල්-භාන්ඩ-මුදල් යන්න යි. ධනවාදී නිෂ්පාදන මාදිලියේ ඉලක්කය හා ගාමක බලය වන්නේ, භාන්ඩ මිල දී ගැනීම සඳහා මුදල් වියදම් කොට ඉන්පසු එම භාන්ඩ වැඩි මුදලකට විකිනීම හා එලෙස හිමි කරගත් අතිරේක මුදල්  ප්‍රමානය වැඩිදුර සමුච්ඡය කරගැනීම සඳහා එම ක්‍රියාවලිය ක්ෂනික ව යලි ඇරඹීම යි.

ධනේශ්වර ආර්ථික විද්‍යාඥයින් විස්තර කරන පරිදි, මෙම අවසානයක් නොමැති පරිපථය තුල මුදල් වනාහි හුවමාරු ක්‍රියාවලිය සුරක්ෂිත කරගැනීම පිනිස කිසියම් ආකාරයකින් සොයාගන්නා ලද තාක්ෂනික උපක්‍රමයක් නො වේ. මුදල් වනාහි වෙනත් දෙයක, එනම් වටිනාකමෙහි, ද්‍රව්‍යමය නියෝජිතයා යි.

එම වටිනාකම තද්භව කරගනු ලබන්නේ, නිෂ්පාදන බලවේගවල වර්ධනයේ දෙන ලද අවධියක දී, සුවිශේෂී භාන්ඩය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය සාමාජීය ශ්‍රම ප්‍රමානයෙනි. එනම්, ආරම්භක මුදල් ප්‍රමානයක් යොදවා භාන්ඩ මිලට ගෙන, වඩා විශාල මුදල් ස්කන්ධයක් සුරක්ෂිත කරගැනීම සඳහා වන එම්-සී-එම්’ (මුදල්-භාන්ඩ-මුදල්) ක්‍රියාවලිය යනු, අවසාන විග්‍රහයේ දී වටිනාකම සමුච්ඡය කරගැනීම යි.

මූලික ප්‍රශ්නය, මෙම අතිරේක වටිනාකම පැමිනෙන්නේ කොහි සිට ද යන්න යි. එයට පිලිතුර කාල් මාක්ස් විසින් දෙනු ලැබී ය. (විශේෂයෙන් ම ඇඩම් ස්මිත් හා ඩේවිඩ් රිකාඩෝ වැනි) ඔහුගේ සම්භාව්‍ය පූර්වගාමීන් දේශපාලන ආර්ථික ක්ෂේත්‍රයේ දී ව්‍යාකූලත්වයට පත්කල ගැටලුව මාක්ස් විසින් විසඳී ය. සමාන දේවල් සමාන දේවලට හුවමාරු කරනු ලබන වෙලඳපොල සමාජයක් තුල, ධනපති පන්තියේ අත්වල අතිරික්තයක් සමුච්ඡය විය හැකි වූයේ කෙසේ ද?

කලින් පැවති සංකල්පයට අනුව කම්කරුවා ධනපතියාට විකුනන්නේ ඔහුගේ හෝ ඇයගේ ශ්‍රමය නො වන බව මාක්ස් වටහා ගත්තේ ය. ඊට විපරීත ව, කම්කරුවා විකුනුවේ ශ්‍රමය නො ව, ශ්‍රමය වැය කිරීමට ඇති හැකියාව හෙවත් ශ්‍රම ශක්තිය යි.

කම්කරුවා හා ඔහුගේ හෝ ඇයගේ පවුල නො නැසී පවතිමින්, වැටුප් කම්කරුවන්ගේ ඊලඟ පරම්පරාව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය භාන්ඩවල වටිනාකම විසින් (ශ්‍රම ශක්තිය නමැති) මෙම භාන්ඩයේ වටිනාකම නීර්නය කරන ලදී. ශ්‍රම ශක්තිය නමැති භාන්ඩය මිලට ගත් ධනපතියා ඉන්පසු එය පරිභෝජනය කිරීමේ අයිතිය ලබාගන්නා අතර, භාන්ඩයක් මිලට ගත් ඕනෑම අයෙක් මෙන්, එය පරිභෝජනය කිරීමේ ප්‍රතිඵල භූක්ති විඳී. ශ්‍රම ශක්තිය පරිභෝජනය කිරීම සිදු වූයේ නිෂ්පාදනය තුල යි. කම්කරුවා, ඔහු හෝ ඇය ධනපතියාට විකුනූ භාන්ඩය තුල මූර්තිමත් වන වටිනාකමට වැඩි වටිනාකමක් නිර්මානය කල අතර, විකිනූ භාන්ඩය ශ්‍රම ශක්තිය යි.

උදාහරනයක් ලෙස, ධනපතියාට විකුනූ ශ්‍රම ශක්තිය නමැති භාන්ඩයේ අඩංගු වූ වටිනාකම ශ්‍රම පැය හතරක් වුවත්, කම්කරුවා පැය අටක්, 10ක් හෝ 12ක් වැඩකල අතර, අතිරික්ත වටිනාකමෙහි සම්භවය එය යි.

එනම් ශ්‍රම ශක්තිය පරිභෝජනය කිරීමෙන් ලත් නිෂ්පාදනය, අතිරේක හෝ අතිරික්ත වටිනාකමෙහි මූලාශ්‍රය වන සුවිශේෂී හෝ අමුතු භාන්ඩයක් වූ අතර, මෙම ක්‍රියාවලිය වෙලඳපොල හුවමාරුවේ නීතිවලට පටහැනි ව නො ව, ඒවාට අනුරූප ව සිදු විය.

අතිරික්ත වටිනාකම සමුච්ඡය කරගන්නා ලද්දේ කම්කරුවා රවටනු ලැබීමෙන් නො ව, -කම්කරුවාට ඔහුගේ හෝ ඇයගේ ශ්‍රම ශක්තිය සඳහා පූර්න වටිනාකම ගෙවනු ලබන බව මාක්ස් උපකල්පනය කරයි-ද්‍රව්‍යමය සම්පත් ප්‍රසාරනය වෙද්දී පවා යෝධ අසමානතාවකට උපත දෙන මෙම තුලනය සිදුව ඇත්තේ, එක් ධ්‍රැවයක ධනය සමුච්ඡය වෙද්දී අනෙක් ධ්‍රැවයේ දරිද්‍රතාව ජනනය කරන සමාජ සම්බන්ධතා පද්ධතියක් හරහා ය.

මාක්ස්ගේ සොයාගැනීමෙහි යුග-කාරක ස්වභාවය, ඔහුගේ ජීවිත කාලීන සහකරු වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් ඇන්ටි-ඩූරිං (ඩූරිං විරෝධය) නමැති ඔහුගේ කෘතිය තුල විදහා දැක්වී ය.

මාක්ස්ට පෙර පැවති සමාජවාදය ධනපති නිෂ්පාදන මාදිලිය විවේචනය කරමින් එහි ප්‍රතිවිපාක හෙලාදැක තිබුනු බව එංගල්ස් එහිලා විස්තර කලේ ය. එහෙත් එහි කෙල පැමිනීමට නො හැකි වූ  එයට කල හැකි වූයේ නරක යයි කියමින් එය ප්‍රතික්ෂේප කිරීම පමනි.

දෙන ලද කාලපරිච්ඡේදයක දී ධනවාදයේ වර්ධනය සඳහා අවශ්‍යතාව -එය විසින් සමාජයේ නිෂ්පාදන බලවේග වර්ධනය කිරීම- මෙන් ම එය ඇදවැටීමේ ප්‍රවනතාව ද මාක්ස් පෙන්වා දුන්නේ ය. ඔහු එහි අත්‍යවශ්‍ය ස්වභාවය හෙලිදරවු කලේ ය.

මෙම සොයාගැනීම් දෙක -ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය හා ධනපති නිෂ්පාදනයේ රහස- සමගින් “සමාජවාදය විද්‍යාවක් බවට පත් වූ” බව එංගල්ස් ලිවී ය. “ඊලඟට කල යුතු වුනේ එය සවිස්තර ව විභාග කිරීම” යි ඔහු එයට එකතු කලේ ය.

වර්තමානයේ බොහෝ දෙනා උත්සුක වන ඉන් එක් විස්තරයක් වන්නේ, දාස් කැපිටාල් (ප්‍රාග්ධනය) පලකිරීමේ සිට ගත වූ වසර 150 පුරා වර්ධනය වී ඇති මූල්‍යයේ හෙවත් ව්‍යාජ ප්‍රාග්ධනයේ භූමිකාව ය; එහි වර්ධනයන් පිලිබඳ ව මාක්ස් හොඳින් ම දැන සිටි නමුත්, ඔහුගේ දවස්වල එය ඉස්මතු වෙමින් තිබුනා පමනි.

යෝධ සංගතයන්ට අරමුදල් සපයනු ලබන්නේ, තමන්ගේ ම හෝ තම පවුලේ හෝ ඉතිරි කිරීම් මත පදනම් වන තනිපුද්ගල ව්‍යවසායකයන් විසින් නො වේ. ධනපති නිෂ්පාදනයේ පරිමානය මෙයට වඩා බොහෝ දුර ගොස් ඇත. කොටස් වෙලඳපොල හා බැංකු විසින් නිකුත් කරන නය හරහා සමස්තයක් ලෙස සමාජයේ සම්පත් බලමුලුගැන්වීම මත ඒවා පදනම් වේ.

දැවැන්ත තරඟයට හා අවදානම් ගැනීමට එරෙහි ව ඉදිරියට යාමට සටන් කිරීම වැනි තනිපුද්ගල ධනපතියාගේ මිථ්‍යාව නඩත්තු කරන්නේ, සාරභූත වසයෙන් සමාජීය වන ක්‍රියාවලියකින් පුද්ගලික ලාභ සමුච්ඡය කරගැනීම සාධාරනීකරනය කිරීම පිනිස වන දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක හේතූන් නිසා ය.

මූල්‍යයේ නැගීම, ව්‍යාජ ප්‍රාග්ධනය යන නව ආර්ථික ප්‍රවර්ගයක නැගීමට තුඩු දුන්නේ ය.

කොටස් නිකුතුව හෝ බැංකු නය හරහා මුදල් උපයාගෙන, නිෂ්පාදනය ආරම්භ කිරීමට හා අතිරික්ත වටිනාකම උකහා ගැනීමට යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය හා ශ්‍රම ශක්තිය මිලට ගැනීමට එම මුදල් යොදවන්නේ නම්, එතැන තිබෙන්නේ නිෂ්පාදන ප්‍රාග්ධනය හෙවත් අතිරික්ත වටිනාකම උපුටා ගන්නා ප්‍රාග්ධනය යි.

එහෙත් එම ප්‍රාග්ධනය ම කොටස් හෝ නය ගැතිකම වැනි තවත් රූපයකින් පවතී. එය නිෂ්පාදන ප්‍රාග්ධනය නො ව, ව්‍යාජ ප්‍රාග්ධනය යි. එය අතිරික්ත වටිනාකම් උපුටා ගැනීම තුල නිමග්න නො වේ. ඒ වෙනුවට එය, ප්‍රාග්ධනය එහි නිෂ්පාදනීය රූපයෙන් කම්කරු පන්තියෙන් උකහා ගන්නා අතිරික්ත වටිනාකමට හිමිකම් පාන කොටසකි.

මෙම ක්‍රියාවලිය මාක්ස් ජීවත් වූ සමයේ  ආරම්භ වී තිබුනා පමනක් වුවත්, ඒ පිලිබඳ ව අදාලත්වය කිසි ලෙසකින් නැති කරගෙන නොගත් විනිවිද දක්නා අදහස් ඔහු සතු විය. බද්ධ කොටස් සමාගම් වර්ධනය වීම, “සමාගම් ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන්, කොටස් නිකුතුව හා කොටස් ගනුදෙනු හරහා මහා වංචාවන් හා රැවටීම්වල සමස්ත පද්ධතියක් හෙවත්, සමාගම් දිරිමත් කරන්නන්, සමපේක්ෂකයන් හා හුදෙක් නාමික අධ්‍යක්ෂවරුන්ට මුවා වී සිටින නව වර්ගයක පරපුට්ටන් සහිත නව මූල්‍ය වංශාධිපතිත්වයක් නිර්මානය කරති” යි ඔහු ලිවී ය.

මෙම ක්‍රියාවලිය, ධනේශ්වර නිෂ්පාදන මාදිලිය සඳහා වන සියලු දෘෂ්ටිවාදාත්මක සාධාරනීකරනයන් අතුගා දැමූ බව ඔහු තවදුරටත් කීවේ ය. “සමපේක්ෂක වෙලෙන්දා අවදානමේ තබන්නේ, සමාජීය දේපොලක් මිස ඔහුගේ ම දේපොලක් නො වේ. ඒ හා සමාන ව විකාර රූපී වන්නේ, සමපේක්ෂකයා ඉල්ලා සිටින්නේ අනෙකුත් අය ඔහු සඳහා ඉතිරි කල දේ නිසා ප්‍රාග්ධනයෙහි සම්භවය ඉතිරි කිරීම යයි කීම යි... ඔහුගේ සුඛෝපභෝගය විසින් නයෙහි මාධ්‍යය බවට පත්වන, වැලකී සිටීම පිලිබඳ අනෙක් කියමන අත්‍යන්තයෙන්ම නිෂ්ප්‍රභා කරනු ලැබේ. ධනපති නිෂ්පාදනයේ අඩු-වර්ධිත ස්වරූපයක් තුල තවමත් යම් තරමක තේරුමක් සහිත වූ සංකල්පයනයන් දැන් මුලුමනින් ම තේරුමක් නැති තැනට පත්වේ.” (කාල් මාක්ස්, ප්‍රාග්ධනය (ඉංග්‍රීසි), 3 වෙලුම, 369, 370 පිටු, පෙන්ගුවින්, 1991).

කම්කරු පන්තියෙන් උකහා ගන්නා අතිරික්ත වටිනාකම් ස්කන්ධය, තටාකයක් නිර්මානය කරන අතර, එම තටාකය නිෂ්පාදන ප්‍රාග්ධනයෙහි විවිධ කොටස් හා ව්‍යාජ ප්‍රාග්ධනය දරා සිටින්නන්ගේ හිමිකම්පෑම් අතර බෙදා හරිනු ලැබේ.

සත්‍ය වසයෙන් ම, කොටස් වෙලඳපොල තුල වෙලඳාම මගින් හා මෑත කාලයේ වර්ධනය වී ඇති මූල්‍ය වෙලඳපොලවල ගුප්ත යාන්ත්‍රනයන් මාලාවක් හරහා නය විකුනා දැමීම් මගින් යෝධ ධනයක් ඉපැයිය හැක.

එහෙත් මෙම වෙලඳාම් මගින් ලාබ ඉපැයිය හැකි ය යන්නෙන්, විවිධාකාර මූල්‍ය වත්කම් හා එම වත්කම් මත් වටිනාකම් මූර්තිමත් කරතියි අදහස් නො කරයි. සංගතයක් හෝ ව්‍යවසායයක් බංකොලොත් වූ විට, එය මත පදනම් වන සියලු මූල්‍ය වත්කම් කඩාවැටීම හමුවේ, හිමිකරුවන් ඔවුන්ට කුනපයෙන් අත්කරගත හැකි දෙය ලබාගැනීම මගින්, අවසාන විග්‍රහයේ දී ඒවා වටිනාකම මත හිමිකම් පෑමක් ලෙස පවතින බව හෙලිදරවු කරයි.

පසුගිය දශක හතර පුරා ධනය සමුච්ඡය කිරීම, සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියෙන් වඩ වඩා වෙන් වීම හේතුවෙන් ජනනය වූ ක්‍රියාවලිය තුල, මූල්‍ය වත්කම් හා ඒවාට අනුබද්ධ යාන්ත්‍රනයන්, යෝධ පරිමානයකට ප්‍රසාරනය වී ඇත.

ධනපති නිෂ්පාදනයේ මූලික රටාව තුල මෙම වෙන්වීමේ මූලයන් දැකගත හැක: එම්-සී-එම්’. එනම්, සමස්තයක් ලෙස ක්‍රියාවලියේ ආරම්භක හා අවසාන ලක්ෂ්‍යය වන්නේ මුදල් ය.

“ආර්ථිකය රැකගැනීම” සඳහා ඇප තැබීම් හා මූල්‍යමය ප්‍රදානයන්වල අවශ්‍යතාව ගැන ධනේශ්වර දේශපාලනඥයන් කවර භාෂාවෙන් කතා කල ද ධනපති නිෂ්පාදනය, කවර කලෙක වත්, සමාජයේ අවශ්‍යතා ඉටුකිරීම පිනිස, ද්‍රව්‍යමය භාන්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම පිලිබඳ ව වූවක් නො වේ. මාක්ස් නිගමනය කල පරිදි, ද්‍රව්‍යමය සම්පත් නිර්මානය කරන සැබෑ නිෂ්පාදනය, ප්‍රාග්ධනය විසින් සලකනු ලබන්නේ, එය නිරන්තරයෙන් නිදහස් වීමට උත්සාහ දරන නුසුදුසු “මධ්‍ය පදයක්” වසයෙන් පමනක් වන අතර, මුදලේ සිට තවත් වැඩියෙන් මුදල් ඉපැයීම දක්වා ඍජු ව ප්‍රගමනය වීමට එනම්, පොහොසත් වීම සඳහා වන උපක්‍රමයට, බාධාවක් ලෙස ද සලකනු ලබයි. 

මෙය වනාහි, පුද්ගලික හා තෘප්තියට නො පැමිනෙන කෑදර කමේ -එය බහුල වසයෙන් පැවතිය ද- නිෂ්පාදනයක් නො වන බවත්, ඒ වෙනුවට එය, ධනපති සමාජ හා ආර්ථික සම්බන්ධතාවන්ගේ වෛෂයික තර්කනය තුල මුල් බැස තිබෙන බවත් සඳහන් කල යුතු ය.

1980 ගනන්වල සිට ඉදිරියට “මධ්‍ය පදය” අතහැර දැමීම  වේගවත් විය. එනම්, අනවරත හෝ ඉහල යන ලාභ අනුපාත හා ඒවායේ ප්‍රතිඵලය වූ කර්මාන්තයේ ප්‍රසාරනය මත පදනම් වූ උත්පාතයක් වන, පශ්චාත්-යුද කාලීන ධනපති උත්පාතය අවසානයකට ගෙන ආ ලාභ අනුපාතයේ පහල යාම, මූල්‍යකරනයේ නැගීමට සහ සමපේක්ෂනය හා පරපෝෂිතකම  තුලින් ධන සමුච්ඡය සඳහා මගපෑදීම ය.

නය පැහැර හැර හුවමාරු කරගැනීම් හා ඇප නය බැඳීම් වැනි ගුප්ත මූල්‍යමය ව්‍යුත්පන්නයන් ඇතුලු ව්‍යාජ ප්‍රාග්ධනයේ නව හා වඩ වඩා වැඩිවන විකාර රූපාකාර නිර්මානය කරන ලදී. ලාභයක් උපයාගැනීම පිනිස සමපේක්ෂකයන්ට, වෙලඳපොලෙහි ඉතා කුඩා වෙනස්වීම්වල වාසියක්  ක්ෂනික ව අත්කරගත හැකි වන පරිදි, ක්ෂනික පරිඝනකගත වෙලඳාමට පහසුකම් සැපයීම සඳහා ක්‍රමලේඛනයන් වර්ධනය කරනු ලැබී ය. නිවාස උකස්කරවල සිට නයවර කාඩ් හා ශිෂ්‍ය නය ද සමාගම්වල නය ලැබීමට සුදුසුකමේ සිට කොටස් වෙලඳපොලේ ද්‍රවශීලතාව සහ පොලී අනුපාත හා මූල්‍ය චලනයන් යන සියල්ල, සමපේක්ෂනයේ විෂයයන් බවට පත්විය.

 වඩ වඩාත් ලාබ උපයාගන්නා ලද්දේ නිෂ්පාදනය වර්ධනය කිරීමෙන් නො ව, මෙම යෝධ කැසිනෝ ක්‍රීඩාව තුල, සූදුව හා සමපේක්ෂනයෙන් වන අතර, එක් මූල්‍ය බුබුලක් පිපිරී ගිය විට, එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව ඊලඟ බුබුල නිර්මානය කිරීමට අවශ්‍ය මුදල් පොම්ප කිරීමට යුහුසුලු ව සිටියේ ය.

මෙය 2008 කඩාවැටීමට මගපෑදී ය. ඇමරිකානු මහ බැංකුව හා එහි ගෝලීය සහකරුවෝ, ඉමහත් ලෙස අඩු පොලී අනුපාත හා ප්‍රමානාත්මක ලිහිල් කිරීම හරහා තව තවත් මුදල් සම්පාදනය කරමින් එයට ප්‍රතිචාර දැක්වූ අතර, එම ප්‍රතිචාරය, කොරෝනා වෛරසය විසින් පහර දීමටත් පෙර ඇදවැටීමට තර්ජනය කරමින් තිබූ ව්‍යාජ ප්‍රාග්ධනයේ මහා කන්දක් නිර්මානය කර තිබුනි.

යථාර්ථයේ දී, වසංගතය ප්‍රාග්ධනය සඳහා ප්‍රයෝජනවත් භූමිකාවක් ඉටුකර ඇති බව කිව හැක්කේ, එය, ඇමරිකානු හා අනෙකුත් ප්‍රධාන මහ බැංකුවලට කවර ලෙසකින් හෝ ක්‍රියාවට දැමීමට නියමිතව තිබූ ගලවාගැනීමේ මෙහෙයුමක් යුක්තිසහගත කිරීම සඳහා තර්කනය සම්පාදනය කරන බැවිනි.

මාර්තු මැද ඉස්මතු වූ වෙලඳපොල උනුවීමේ තර්ජනයට ප්‍රතිචාර වසයෙන්, මූල්‍ය පද්ධතිය තුලට තවත් ට්‍රිලියන ගනනක් මුදල් පොම්ප කර ඇත.

එහෙත්, “වටිනාකම” සරල ව නො පෙනෙන තැනකින් නිර්මානය කරනු ලැබිය හැකි යයි කොතරම් පෙනී ගිය ද ව්‍යාජ ප්‍රාග්ධනයෙහි හා නයෙහි යෝධ ස්කන්ධය අවසානයේ රඳා පවත්නේ කම්කරු පන්තිය සූරාකනු ලැබීමෙන් උකහා ගන්නා අතිරික්ත වටිනාකම මත ය. එයට උරුමකම් කිව හැක්කේ, පවතින අතිරික්ත වටිනාකම් තටාකය ඉහල දමාගැනීමෙන් පමනි.

ආන්ඩුවල දේශපාලන වර්නය කුමක් වුවත්, කම්කරුවන්ට මුහුන දීමට සිදුවන අන්තරාය කුමක් වුවත්, ඔවුන් ආපසු වැඩට දැක්කීමට සියලු ධනපති ආන්ඩු දරන උත්සාහයෙහි වෛෂයික ද්‍රව්‍යමය මූලාශ්‍රය රැඳී තිබෙන්නේ මෙය තුල ය.

අතිරික්ත වටිනාකම උකහාගැනීම යලි අරඹනු ලැබිය යුතු අතර, අතීතයේ පැවතියාට වඩා රුදුරු අනුපාතයකින් එය යලි අරඹනු ලැබිය යුතුය. 2008 අර්බුදයෙන් පසුව, ස්ථර-දෙකේ වැටුප් ක්‍රමය, ශූන්‍ය පැය කොන්ත්‍රාත්තු හා ඊනියා අවිධිමත් ආර්ථිකයේ වර්ධනය වැනි නව පියවර තහවුරු කලාක් මෙන්, පැවති වැටුප් හා කොන්දේසි විනාශ කරන ඊනියා “හදිසි” පියවරයන් වර්තමාන අර්බුදය මධ්‍යයේ හඳුන්වා දෙනු ලබන්නේ එබැවිනි.

ඇමරිකානු හා අනෙකුත් මහ බැංකු ද සංගත හා බැංකුවලට මුදල් සම්පාදනය කිරීමේ දී ආන්ඩු විසින් ද දරාඇති හිඟයන්ට, එමඟින් නිර්මිත ව්‍යාජ ප්‍රාග්ධන රුධිර පිපාසිතයා විසින් ඉල්ලා සිටින නව රුධිරය, අතිරික්ත වටිනාකමේ රූපයෙන් ඔහුගේ රුධිර වාහිනී තුලට පොම්ප කල හැකි විය යුතු ය.

එහෙත්, මෙම රුධිරය සම්පාදනය කිරීමට නියමිත වන්නේ, හුදෙක් කම්කරු පන්තිය සූරාකෑම ක්ෂනිකව උග්‍ර  කිරීම හරහා පමනක් නො වේ. සෞඛ්‍යය, අධ්‍යාපනය, විශ්‍රාම වැටුප් වැනි අංශ, ව්‍යාජ ප්‍රාග්ධනයට හිමිකර ගැනීම සඳහා ඇති අතිරික්ත වටිනාකම් තටාකය ඉවතට ගලා යන සොරොව් වන අතර, අතිරික්ත වටිනාකමෙහි මෙම අපසරනය නවත්වනු ලැබිය යුතු ය. මෙය, සිදු වනු ඇත්තේ කුමක් ද යන්න පිලිබඳ පුරෝකථනයක් නො ව, දැනට ම සිදු වී ඇත්තේ කවරක් ද යන්න පිලිබඳ අධ්‍යයනයකි.

2008 අර්බුදයෙන් ක්ෂනික ඉක්බිත්තේ, ප්‍රධාන ධනපති ආන්ඩු, අයවැය උත්තේජක සම්පාදනය කිරීමට පොරොන්දු වූ හ. යන්තම් වසරකට වැඩි කලකට පසු, 2010 ජුනි මාසයේ පැවති ජී20 රැස්වීමක දී, එම පිලිවෙත ආපසු හරවා කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමන ලද අතර, අනෙකුත් අංශවලට අමතර ව එය සිදුකලේ, වර්තමාන වසංගතයෙන් හෙලිදරවු කරන්නා වූ සෞඛ්‍ය සේවාවන් සඳහා කරන වියදම් විනාශකාරී ලෙස කප්පාදු කරමිනි.

නය මට්ටම් දැනටමත් සැලකිය යුතු තරම් ඉහල ගොස් තිබෙන තතු තුල, තවත් ඩොලර් ට්‍රිලියන ගනනක් එකතු කිරීමෙන් එක්සත් ජනපදයේ අයවැය හිඟයට කුමන බලපෑමක් සිදුවන්නේ දැයි ඩිස්කස් පාඨකයා ප්‍රශ්න කරයි.

මෙයට පිලිතුරු දීමේ දී පලමුව සඳහන් කල යුත්තේ, වසංගතයට පෙර පවා, එක්සත් ජනපද රාජ්‍ය නය මට්ටම් හා එහි දිගුකල් පැවැත්ම පිලිබඳ උත්සුකතා පැවතුනු බව යි. නය වැඩිදුර සමුච්ඡයකරනය වීම හුදෙක් ප්‍රමානාත්මක වැඩිවීමක් නො ව, වඩ වඩාත් ගුනාත්මක පිම්මක ස්වරූපය ගනී.

ගිය වසරේ සියයට 79ක් වූ ඇමරිකාවේ රාජ්‍ය නය දල දේශීය නිෂ්පාදිතයට (දදේනි) දරන අනුපාතය, මේ වසරේ සියයට 99ක් දක්වා ඉහල යනු ඇති බව හා 2023 වන විට සියයට 108 දක්වා ඉහල යනු ඇති බව තක්සේරු කෙරී ඇත්තේ, දෙවන ලෝක යුද්ධය සමයේ පැවති පැරනි වාර්තාව අභිබවා යමිනි.

මෙහි දී මූලික ප්‍රශ්නය, එක්සත් ජනපද ඩොලරය ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ පදනම වන කොන්දේසි යටතේ, මෙය ගෝලීය මූල්‍ය පද්ධතිය මත ඇති කල හැකි බලපෑම කුමක් ද යන්න යි.

ආර්ථික ඉතිහාසඥ ඇඩම් ටූස්ට අනුව, ගෝලීය නය පද්ධතියෙහි කඩාවැටීමක් වැලැක්වීම සඳඟා අනෙක් මහ බැංකුවලට ඩොලර් සම්පාදනය කරන තාක් කල් එයට දිගට ම ක්‍රියාත්මක විය හැක.

2008 මූල්‍ය ගිනියම් වීමේ දසවන සංවත්සරයේ දී ක්‍රෑෂ්ඩ් (බිඳවැටුනි) නමැති කෘතිය පලකල ටූස්, නය පද්ධතිය මුලුමනින් කැටි වීම වලකාලමින්, ඇමරිකානු මහ බැංකුව අනෙකුත් මහ බැංකුවලට හුවමාරු වශයෙන් ඩොලර්  සම්පාදනය කිරීමේ දී ඉටුකල මූලික ක්‍රියාකලාපයට අවධානය යොමු කලේ ය. එම නිසා, එක්සත් ජනපද කොටස් වෙලඳපොල කිඳී යමින් තිබුනු මාර්තු මැද, මෙම වැඩසටහන විස්තීර්න කිරීම ඔහු සාදරයෙන් පිලිගත්තේ ය.

මහ  බැංකුව ගැඹුරින්ම එහි ජාත්‍යන්තර වගකීම  ගන්නා බවත්, එය “හොඳ ප්‍රවෘත්තියක්” බවත්, මාර්තු 20දා නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ පලකල ලිපියක ඔහු ලිවී ය. “ මූල්‍ය කඩාවැටීමෙන් ලෝකය ආරක්ෂා කරගත හැකි එක් දෙයක් වන්නේ මෙයයි” යන උද්ධෘතය පවා එයට යොදා තිබුනි.

ඔහුගේ ලිපිය තුල, වටිනාකම පිලිබඳ ප්‍රශ්නයට ටූස් යොමු විය.

“ඒ හැටියට ගත් කල ඇමරිකානු ආර්ථිකය දුර්වල යයි පෙනිය හැකි වුවත්, ඩොලරය යනු තවමත් වඩාත් ම විශ්වීය ලෙස පිලිගැනෙන වටිනාකම් ගෙවීමේ හා තැන්පත් කිරීමේ මාධ්‍ය යයි” යි ඔහු ලීවී ය.

එහෙත්, පරිඝනක බොත්තමක් තදකිරීම හරහා ඩිජිටල් තාක්ෂනයෙන් නිර්මානය කරන මෙම ඩොලර් “වටිනාකම් රැස්කිරීම” විය හැක්කේ කෙසේදැයි ඔහු විස්තර කලේ නැත. තව ද ඔහුගේ තර්කනය සාරභූත වසයෙන් චක්‍රාකාර ය. එය ඉදිරිපත් කලේ, පහත සඳහන් අයුරිනි: වටිනාකම් රැස්කරන මාධ්‍යයක් වන බැවින්, ඩොලරය වනාහි වඩාත් ම විශ්වීය ලෙස පිලිගන්නා ගෙවීමේ මාධ්‍යයයි, වඩාත් ම විශ්වීය ලෙස පිලිගන්නා ගෙවීමේ මාධ්‍යය නිසා ඩොලරය යනු වටිනාකම් රැස්කරන මාධ්‍යයකි.

තමන් “වාම-ලිබරල්” ඉතිහාසඥයෙක් ලෙස විස්තර කරගන්නා ටූස්, 2008 අර්බුදය පිලිබඳ ව කල සිය අධ්‍යයනය මඟින්, යෝධ පරිමානයෙන් නය කඳුගැසීමෙහි ගම්‍යයන් ගැන හොඳින් දැන සිටියි.

අර්බුදයෙන් “අයිඕයූ (මම ඔබට නයයි) ගොන්නක් කඳුගැසෙනු ඇති” බවත්, ඒවා ආපසු ගෙවීමේ ප්‍රශ්නය “එලඹෙන වසර ගනනාවකට අපගේ දේශපාලනයෙහි වර්නය තීන්දු කරනු ඇති” බවත්, ද ගාඩියන් පුවත්පතේ අප්රේල් 27දා පලකල ලිපියක ඔහු ලියයි. මෙම ප්‍රශ්නය නිරාකරනය නො කල හොත් “කොරෝනා වෛරස් නය, නව කප්පාදු මෙහෙයුමක් දියත් කිරීමේදී එය විනාශකරන ජම්බරයක් වනු ඇති” බවට ඔහු අනතුරු අඟවයි.

2010න් පසුව ආරම්භ කරන ලද කප්පාදු න්‍යාය පත්‍රය ගැන සඳහන් කිරීමෙන් අනතුරු ව, නය ආපසු ගෙවීමේ දේශපාලනය ජාතික ප්‍රශ්නයක් නො ව, පන්තියක ප්‍රශ්නයක් බව ඔහු නිවැරදි ව නිගමනය කරයි: ගෙවන්නේ කවුද?

එහෙත් ඔහුගේ අවසන් නිගමනය වන්නේ, ආන්ඩු විසින් නිකුත් කරන නය මහ බැංකු මගින් මිලට ගනීම හරහා මුහුනට මුහුන ගැටුමක් වැලැක්වීමේ හැකියාව පවතින බව සහ “මහ බැංකු විසින්, අර්බුදයට එරෙහි ව සටන් කිරීමේ ක්‍රම, ප්‍රකෘතියේ කාලපරිච්ඡේදයට ද සුරක්ෂිත කර ගැනීමේ” අරමුන සහිත ව දේශපාලන උද්ඝෝෂනයක් දියත් කල යුතු ව පවතින බව යි.

මෙහි ඉලක්කය, මහජනයා දැන් මුහුන දෙන ධනේශ්වර ක්‍රමයෙහි බිඳ විසිර යාමේ සැබෑ අර්ථභාරය ග්‍රහනය කරගැනීමෙන් වලක්වනු ලබන බව තහවුරු කිරීම යි. යුරෝපීයහා එංගලන්ත මහ බැංකුව සමගින් ඇමරිකානු මහ බැංකුව, නො නවත්වා මුදල් පොම්ප කරන්නේ නම්, මුහුනට මුහුන ගැටුමක් වැලැක්විය හැකිය යන මායාවන් මාලාවක උගුලට මහජනයා හසුකර ගැනීමට හැකි බවයි. 

“වාම-ලිබරල්” ටූස් එය හඳුනාගැනීමට සූදානම් වුවත් නැතත්, එවන් ක්‍රියාමාර්ගයක දේශපාලනය,  කම්කරු පන්තියට එරෙහි පාලක පන්තීන්ගේ ප්‍රහාරය සූදානම් කිරීමට තව තවත් කල් ලබා දීමකි. එය ඔවුන් අනිවාර්යයයෙන් හඳුනාගෙන ඇත.

වැඩිකල් යාමට මත්තෙන් එක් අවස්ථාවක දී, සමස්ත මූල්‍ය පද්ධතියට ම වලකපන නිසා -මේ පිලිබඳ ව දැනට මත් අනතුරු ඇඟවිම් නිකුත්වී තිබේ- ඩිජිටල් මුදල් පොම්ප කිරීම අනන්තය දක්වා කරගෙන යා නො හැක.

උදාහරනයක් ලෙස, එලියට් මැනේජ්මන්ට් නමැති ඩොලර් බිලියන 60ක් වටිනා ආරක්ෂක අරමුදලේ ප්‍රධානියා වන පෝල් සිංගර් විසින් කරන අනතුරු ඇඟවීම් වාර්තා කරන ලිපියක්, අප්‍රේල් 27දා ඕස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවීව්හි පල විය. ආයෝජකයන් වෙත ලියන ඔහුගේ නවතම ලිපිය තුල සිංගර්, “හදිසි මූල්‍ය පිලිවෙත” අද දින නිවැරදි පියවර විය හැකි වුවත්, වසර දෙකකට පසු එය එසේ නො වනු ඇතැයි  ලීවේ ය.

දස වසරකට පෙර පිලිවෙත් සකසන්නෝ, “මූල්‍ය අන්තවාදයට”හැරී, හදිසි අවස්ථාව පහව ගිය පසුත් එය වේගවත් කල බව ඔහු ලීවේ ය. එහි ප්‍රතිඵලය වූයේ, අධි උද්ධමනය නො වේ. එහෙත් “ව්‍යාජ මුදල් හා ව්‍යාජ ලෙස දැනුවත් මහ බැංකුකරුවන් ප්‍රතික්ෂේප කිරීමක්” ලෙස ඔහු විසින් අර්ථකථනය කල මෙම කාරනය, “දෘෂ්ටි පථයෙන් ඉවත් ව සැඟවෙමින් තිබෙනවා විය හැකිය.”

“ප්‍රමානාත්මක ලිහිල් කිරීම හා ඍන පොලී අනුපාත පලදායී නොවන්නේ, පුරවැසියන්, ආයෝජකයන් හා ව්‍යාපාර විසින් ඒවායේ“අරුම පුදුම ලෙස පෙනෙන කාර්යක්ෂමතාව මත බොලඳ ලෙස විශ්වාසය” තැබීම නිසාය.”  එය කොතරම් වේගයෙන් ඉවත් ව යන්නේ ද එහි ප්‍රතිලාභය කුමක් ද යන්න නො තකා කඩදාසි මුදල් විශ්වාසවන්ත යයි සැලකීම. 

“ මුදල් අච්චු ගැසීම, මිල ගනන් හා නයෙහි වැඩීමෙන් පසුව, මහා අවපාතයක හා නය බිඳවැටීමේ පිරිවැයෙන් මිස බිඳ හෙලිය නො හැකි යයි මූල්‍ය අධිකාරීන් අවබෝධ කරගත්තා වූ උඩුකුරු සර්පිලයක් වන්, සුලු හෝ තිගැස්මකින් ගැස්සී යා හැකි අර්බුදයකට ලෝකය මුහුනපා ඇති” බව ඔහු පැවසීය.

නය, දැනට ලඟා වෙමින් තිබෙන මට්ටම්වල තිබූ පැරනි කාලපරිච්ඡේදයන් දෙක වන පලමුවන හා දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිදු වූ දේ විභාග කිරීම මගින්, “නය දේශපාලනය” යයි කිව හැකි දෙයෙහි කාලපරිච්ඡේදය තුල සිදු වීමට නියමිත දෙයෙහි හැඩය අවබෝධ කරගත හැකිය. 

දෙවන ලෝක යුද්ධයේ දී දරා සිටි නය බලපෑම පහත හෙලිය හැකි වූයේ, සියල්ලටත් වඩා, දශක තුනක මිනිස් සංහාරයකින් පසු ලෝක ධනේශ්වර ආර්ථිකය උද්ධමනයක් තුලින් ගමන් කල බැවිනි. මෙයට ප්‍රමුඛ හේතුව වූයේ, ලාභ අනුපාත ඉහල යාමක් හා ආර්ථික වර්ධනයේ නැඟීමක් සහතික කරමින්, අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන්ට ඇමරිකානු කර්මාන්තයේ වඩා ඵලදායී ක්‍රමවේදයන් ව්‍යාප්ත කිරීම යි.

පලමුවන ලෝක යුද්ධයෙන් පසුව පැවති තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් විය. යුද්ධය පුපුරා යාමට පෙර ගෝලීය ආර්ථිකය දීර්ඝ පසුබෑමකට මුහුනදී තිබුනු අතර -ලියොන් ට්‍රොට්ස්කි බොහෝ වරක සඳහන් කල පරිදි, බොහෝ සෙයින් යුද්ධයෙහි මුල් රැඳී තිබුනේ එම වර්ධනය තුල යි-  ඉන් ඉස්මතු වූ කම්කරු පන්තිය, දේශපාලන බලය ගැනිමේ කර්තව්‍යය ඍජු ව මුනගස්වන ලද ගැටුම් මාලාවකට ඇතුලු වීමට නියමිත විය.

1917 ඔක්තෝබර් විප්ලවයේ දී, රුසියානු කම්කරු පන්තිය බලය කරා මෙහෙයවූ, බොල්ශෙවික් පක්ෂය වර්ගයේ විප්ලවවාදී පක්ෂයක්, කම්කරු පන්තියේ මුදුනත නො තිබූ නිසා, එම කර්තව්‍යය ඉෂ්ට කර නො ගැනුනි. එම පරාජයන්ගේ විපාකය වූයේ විරැකියාවේ, අවපාතයේ, ෆැසිස්ට්වාදයේ හා යුද්ධයේ දශක දෙකකි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නය අඩුවීම සමග සමාන්තරයක් ඇඳීමට දරන ඕනෑම ප්‍රයත්නයක් මුලුමනින් ම ව්‍යාජ ය. ගෝලීය ධනේශ්වර පද්ධතියට අභිවෘද්ධියක් සම්පාදනය කිරීමට සූදානම් ඇමරිකානු ආර්ථිකයක් දැන් ඇත්තේ නැත. සමස්තයක් ලෙස පද්ධතියේ කුනුවීමෙහි හා ඛාදනයෙහි වඩාත් භයානක ප්‍රකාශනය එක්සත් ජනපද ධනවාදයමයි.

අතිමූලික ව ගත් කල වසංගතය විසින් අවුලුවන ලද, එහෙත් එය විසින් නිර්මානය නො කල බිඳවැටීමකට ලෝක ආර්ථිකය එලඹ ඇත. දිග්ගැස්සුනු පසුබෑමක කොන්දේසි යටතේ, චිරකාල නිශ්චලකයක් ලෙස කොරෝනා වෛරසය දර්ශන පථයට ලඟා වීමට බොහෝ පෙරම ඒ කාලපරිච්ඡේදයෙහි ලක්ෂන දකින්නට තිබුනි. 

දැන් විවෘත වී ඇති කාලපරිච්ඡේදයේ දේශපාලන ආර්ථිකය නීර්නය කරනු ලබන්නේ එයිනි. කම්කරු පන්තියට මෙම නව තත්ත්වයට මුහුන දිය හැක්කේ, අතීතයේ පාඩම් උකහාගෙන ඒවා මත පදනම් වෙමින්, ලෝක ආර්ථිකය සමාජවාදී පදනම් මත ප්‍රතිව්‍යූහගත කිරීමේ කර්තව්‍යය ආරම්භ කිරීම පිනිස, දේශපාලන බලය සඳහා සටන් වදින විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට උර දීමෙන් පමනි. 

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි:

වසංගතය, ලාභය සහ දුක් පීඩා විඳ මියයාම පිලිබඳ ධනේශ්වර සාධාරනීකරනය

2020/04/23

සමාගම් සමූහ දොට්ට දැමීම් නිවේදනය කිරීමත් සමඟ වෙලඳපොල ඉහල යයි

2020/03/04

Loading