හිටපු මන්ත්‍රීන් සමග අගමැතිගේ රැස්වීම: නැගෙන මහජන විරෝධයට එරෙහි පෙරමුනක් තරකර ගැනීමේ තැතක්

පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් අරලියගහ මන්දිරයට කැඳවා පැවැත්වූ රැස්වීමේ මුඛ්‍ය අරමුන ලෙස ප්‍රකාශ වූයේ “‍රටේ පවතින කොවිඞ්-19 වසංගතයට එරෙහිව ආන්ඩුව ඉදිරියේ ගැනීමට යන පියවරයන් ගැන සාකච්චා කිරීම”‍ යි.  

අගමැතිගේ කෛරාටික ප්‍රකාශ කුමක් වුවත් එහි රැස්වීමේ සැබෑ අරමුන වූයේ වසංගතයට මුවාවී ධනපති පන්තිය හා එහි ආන්ඩුව එල්ලකරන ප්‍රහාරවලට හා බරපතල දුෂ්කරතාවලට මුහුනපා සිටින කම්කරුවන්, දුගීන් හා තරුනයන් අතර නැගෙන විරෝධය මැඩ යටපත් කිරීම සඳහා අවශේෂ ධනේශ්වර පක්ෂවල මුක්කුව ලබා ගැනීමයි. 

මැයි 4 දා කැඳවූ මෙම රැස්වීමට ආන්ඩුවේ පක්ෂ මෙන්ම, විපක්ෂ දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුලු‍ පක්ෂ 16 ක් සහභාගිවිය. මෙවර රැස්වීමට පසුගිය පාර්ලිමේන්තුවේ පමනක් නොව ඊට පෙර සිටි මන්ත්‍රීන් ද කැඳවා සිටි බව වාර්තාවේ. 

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කල පක්ෂ කැඳවා අගමැති විසින් මාර්තු 24 දා සහ 31 දා පැවැත්වූ රැස්වීම්වලට බඩ  ගා ආන්ඩුවට සම්පුර්න සහයෝගය පලකල එක්සත් ජාතික පක්ෂය (එජාප), සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ව්‍යාජ හේතු දක්වමින් මෙවර රැස්වීමට සහභාගී නොවූහ. 

රැස්වීමේ සිදුවූ කතාබහ ගැන වාර්තා නැතිතරම් ය. විදේශ වලින් වසංගතය මැඩීම සඳහා ආධාර නොලැබුනු බව රැස්වීමට සහභාගිවූ මුදල් අමාත්‍යංශ ලේකම් මගින් කරුනු පැහැදිලි කර දුන් බවත් ඉදිරි වැඩපිලිවෙල සකච්චාවූ බවත් වාර්තාවල සඳහන් ය. වසංගතය මැඩීම සඳහා පීසීආර් පරීක්‍ෂන වැඩියෙන් කරනලෙස රැස්වීමට සහභාගි වූවන්ගෙන් ඇතැමෙක් ඉල්ලා ඇත. 

ඔවුන් මොනවා කතා කලත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි ලොක්කන්, අගමැති රාජපක්ෂ හා අනෙකුත් සමීපතමයන් සම්බන්ධ පාලක කට්ටුවට අවශ්‍ය වනුයේ ආඥාදායක පාලනයක් සඳහා යන ගමන වේගවත් කිරීම සඳහා ගන්නා පියවර ආවරනය කර ගැනීමයි. 

රාජපක්ෂ ආන්ඩුව, මාර්තු 20 වන දා, හිටිවනම ඇඳිරිනීතිය පනවා මුලු රටම අගුලු දැමුවේ, ආහාර සහ ඖෂධ ඇතුලු,  කම්කරු-පීඩිත මහජනතාවට අත්‍යවශ්‍ය දෑ කිසිවක් සම්පාදනය කිරීමේ ලා විධිමත් වැඩපිලිවෙලකින් තොරවය. බඩගින්නේ හඬන තම දරුවන්ට ආහාර සපයාදිය නොහැකිව ආන්ඩුවට දෙස්දෙවොල් තබන දුගී දෙමාපියන් පිලිබඳ වීඩියෝ දර්ශන ඇතුලත් වාර්තා රූපවාහිනී නාලිකාවන්හි නිරන්තරව විකාශය වන්නට විය. 

ආන්ඩුවෙන් ලබාදෙන බවට සහතික වූ ඊනියා සහනමලු සහ රුපියල් 5000 දීමනාව නොලැබුනු දහස් සංඛ්‍යාත ජනයා අතරින් සමහරු තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට වීදි බටහ. ආන්ඩුව එම විරෝධතාවන්ට ප්‍රතිචාර දැක්වූයේ, පොලීසිය ලවා ඒවාට නායකත්වයදුන් අය අත්අඩංගුවට ගැනීමෙනි. මෙම දීමනාව ලබා දීමේ රාජකාරිවල යෙදී සිටින සංවර්ධන නිලධාරීහු සහ ග්‍රාම නිලධාරීහු එම සේවාවන්හිදී තමා මුහුනදෙන අපහසුතාවන් නොවිසඳීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් සේවයෙන් ඉවත්වූහ.

තම නිශ්පාදන මිලදී ගන්නා බවට ආන්ඩුව දුන් පොරොන්දු මත ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිනි දහස් ගනනක් ගොවියෝ අපේක්ෂා භංගත්වයට පත්ව රැගෙන ආ නිශ්පාදන ගිනි තබා විනාශ කලහ.  

වසංගත මර්දන කාර්යයේ නියුතු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් අතරින් හෙද හෙදියන්, වෛද්‍යවරුන් සහ අනෙකුත් රෝහල් කාර්ය මන්ඩලයන් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද ආරක්ෂන උපකරන නොසැපයීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වය නිරන්තරව පල කලහ.

වසංගතය මැඩීමේදී අත්‍යවශ්‍යම දෙය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරව අවධානය යොමුකරන මහා පරිමාන පීසීආර් පරීක්ෂනයන් ක්‍රියාත්මක කිරීම ආන්ඩුව සාපරාධී ලෙස නොතකා සිටියේය. වසංගතය ව්‍යාප්ත වන්නට ඉඩදී, සති ගනනාවකට පසු ආරම්භ කල පරීක්ෂනවල පරිමාව කිසිසේත්ම නොසෑහෙන බව වෛද්‍ය විශේෂඥයෝ යලියලිත් පෙන්වා දෙති.

මේ සියල්ලටත් වඩා, වසංගතයට මුවා වී ආන්ඩුව ගනු ලබන ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ නීති-විරෝධී පියවර මාලාව සහ එයට සමාන්තරව වේගවත්කොට ඇති මිලිටරීකරනය සම්බන්ධයෙන් මහජනතාව අතර ඇත්තේ දැඩි විරෝධයකි.

අගමැති රාජපක්ෂ මෙම රැස්වීම කැඳවූයේ, තම ජීවිත පිලිබඳ ආන්ඩුවේ සාපරාධී නොතැකීම සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර ගැන කම්කරු-පීඩිත මහජනතාව අතර ඒ සා පරිමාන විරෝධයක් වැඩෙන පසුබිමකය. 

ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික අර්බුදය ද ගෝලීය වසංගතය මගින් වඩාත් ගැඹුරු කෙරී ඇත. ශ්‍රී ලංකාව නය පැහැර හැරීමේ අද්දරටම පැමින ඇති රටක් ලෙස නම් කෙරී ඇති අතර, මේ වසරේ ඉතිරි මාස වල නය වාරික හා පොලී ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක දැවැන්ත මුදලක් ගෙවීමට ආන්ඩුවට සිදුව ඇත.

මෙයට, ආන්ඩුව ඇතුලු‍ පාලක පන්තියේ විසඳුම වනුයේ, ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමයි. එය කල හැක්කේ, කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් මෙන්ම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුලු‍ සමාජ සුබසාධනයන් දැවැන්ත පරිමානව කපා හැරීමෙනි. 

මෙම ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් අතරින් පැන නගින දැවැන්ත අරගල සම්බන්ධයෙන් ආන්ඩුව ඇතුලු සමස්ත පාලක පන්තිය දැඩිලෙස උත්සුකය. දැනටමත් වැඩී ඇති සමාජ නොසන්සුන්තාවය සමාජ පිපිරීමක් බවට පරිවර්තනය වියහැකි බවට ඔවුහු ගනන් බලති. 

එවැනි පිපිරීමක් ලෙයින් මැඩියහැකි ආඥාදායක පාලනයක් වෙත හැකි ඉක්මනින් මාරු වීම ආන්ඩුව ඇතුලු‍ පාලක පන්තියේ එල්ලය වන අතර, ඒ සඳහා ධනපති සංස්ථාපිතයේ සියලු‍ පක්ෂවල සහාය ගොනුකර ගැනීම ආන්ඩුවේ අභිප්‍රායයි.

එජාප, සජබ සහ ජවිපෙ මෙම හමුවට සහභාගී නොවුනේ, රාජපක්ෂ ආන්ඩුවේ එම අභිප්‍රායට එරෙහිවීමක් ලෙස නොවේ. අගමැති රාජපක්ෂ කැඳවූ ඊනියා සර්ව-පාක්ෂික රැස්වීම් දෙකටම සහභාගි වූ ඔවුහු රාජපක්ෂගේ ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට කිසිදු අභියෝගයක් නොකල හ. 

එපමනක් නොව, ආන්ඩුවේ කොරෝනා මර්දන මෙහෙයුමට, එනම් වසංගතය මැඩීමේ නාමයෙන් ජනාධිපති රාජපක්ෂ ගෙනයන මිලිටරීකරන වැඩපිලිවෙලට තම පූර්න සහයෝගය පල කලහ.

ආඥාදායකත්වයක් දෙසට වන ජනාධිපති රාජපක්ෂගේ ගමනට පූර්න සහයෝගය දෙමින් සිටින මෙම පක්ෂ අගමැති රාජපක්ෂගේ කැඳවුම ප්‍රතික්ෂේප කලේ, විසුරුවාහල පාර්ලිමේන්තුව යලි කැඳවීමේ උද්ඝෝෂනයක් මගින් වැඩෙන මහජන විරෝධය අපසරනය කිරීමට සහ මහමැතිවරනයේදී එම විරෝධය ගසාකෑම සඳහා ආන්ඩුවෙන් යම් දුරස්ථභාවයක් පෙන්වීමට යි.

පාර්ලිමේන්තුව නැවත කැඳවීමෙන් කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයක් ඉටු නොවනු ඇත. විසුරුවාහල පාර්ලිමේන්තුවේ සියලු‍ම නියෝජිතයන්ට ඇත්තේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී රුදුරු පාලනයන්ට සෘජුව හෝ වක්‍රව සහභාගිවීමේ කුප්‍රකට වාර්තාවන් ය. 

රුදුරුම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරය වන, පීඩිත දෙමල ජනයාට එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද්ධය ආරම්භ කලේ ජේ.ආර්.ජයවර්ධනගේ එජාප ආන්ඩුව වන අතර සජබ ඉන් බිඳීගිය කන්ඩායමකි. යුද්ධය යලි ආරම්භ කොට එය රුදුරුම මට්ටමට උත්සන්න කරමින් එහි අවසන් භාගයේදී දහස් සංඛ්‍යාත දෙමල ජනයා මරා දැමුවේ සහ තවත් ලක්ෂ ගනනකට උන්හිටිතැන් අහිමි කලේ මහින්ද රාජපක්ෂ තන්ත්‍රය යි. ජවිපෙ මෙම යුද්ධයේ ප්‍රධාන කසකරුවා විය.    

කෙසේ නමුත්, රැස්වීමට සහභාගි නොවන බව පවසමින්, එජාප, සජබ සහ ජවිපෙ අගමැතිට යැවූ ලිපිවලින් ප්‍රකාශයට පත්වන්නේ, ඉදිරියට ද කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයේදී  රාජපක්ෂ ආන්ඩුව සමග සමීපව කටයූතු කිරීමට ඔවුන් සූදානම් බවයි.

“රට අස්ථාවර” වී ඇති අවස්ථාවක රජය ගන්නා උත්සාහයන්ට තමන් “සහාය වීමට සූදානම්” බව එජාප පවසයි. මේ මොහොතේ ආන්ඩුව පෙරලා දැමීම වෙනුවට ඊට “කොන්දේසි විරහිතව” සහය දෙන බවට ආන්ඩුවට ලිඛිත සහතිකයක් ද ලබා දුන් බව සජබ කියා සිටී. 

ජවිපෙ තම සහාය පල කරනුයේ “කොරෝනා ව්‍යසනය පැරදවීමට” සහ “ජන ජීවිතයේ දුෂ්කරතා” වලට විසඳුම් සෙවීමට පක්ෂයක් ලෙස “ඉදිරියේදීද අපගේ මැදිහත් වීම” ලබා දෙන බවට පොරොන්දු වෙමිනි. 

විරුද්ධ පක්ෂ නියෝජනය කරමින් රැස්වීමට සහභාගිවූ දෙජාස යෝජනා දහයක් ඉදිරිපත් කල බව වාර්තාවේ. එහි ප්‍රමුඛ අවධානය යොමුව තිබුනේ ආන්ඩුව මුහුන දෙන ආර්ථික අර්බුදය සහ “ජාතික ප්‍රශ්නයට ආමන්ත්‍රනය කිරීම” යටතේ “බලය බෙදා ගැනීම” සම්බන්ධයෙනි. 

මෙම “බලය බෙදා ගැනීම” සහ දෙමල පීඩිතයින්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් තහවුරු කිරීම අතර කවර හෝ සම්බන්ධයක් නොමැත. එය දෙමල ධනපති පන්තියේ වරප්‍රසාද තහවුරු කරගනුවස් කොලඹ පාලක පන්තිය සමග ගනුදෙනුවක් සඳහා කෙරෙන ව්‍යායාමයක් පමනි.

අරලියගහ මන්දිරයේ පැවති මෙම රැස්වීමෙන් පසු අගමැති රාජපක්ෂගේ නිවසට ගිය දෙජාස නායකයෝ රාජපක්ෂ සමග රහසිගත සාකච්ඡාවක් පැවැත්වූහ. ඉන් අනතුරුව දෙජාස මාධ්‍ය ප්‍රකාශක එම්. සුමන්තිරන් මාධ්‍යයට මෙසේ පැවසීය:  “අපගේ ස්ථාවරය, මේ තත්වය තුල, සෑම කෙනෙක්ම රජයට සහයෝගය දැක්විය යුතු බවයි. එය අපගේ මූලික ප්‍රශ්නයයි. අපි මෙම රැස්වීමට පැමිනියෙමු. එමෙන්ම අපගේ පූර්න සහයෝගය රජයට ලබා දෙන්නෙමු. මෙම තත්වය යටතේ අපට දේශපාලන මත හා වෙනස්කම් වලට ඉඩ දිය නොහැක. මෙය අප රට තුල පමනක් නොව ලොව පුරා ද කල යුතුය.”

සිදුවිය හැකි සමාජ පිපිරීමක් පිලිබඳව ධනපති පාලක පන්තියේ අනෙක් කොටස් මෙන්ම දෙමල ධනපති පන්තියේ නියෝජිතයන් වන දෙජාස ද භීතියට පත්ව සිටී. ධනපති රාජ්‍යය බේරා ගැනීම සඳහා සියලු‍ දේශපාලන මතභේද ඉවත ලා සියලු‍ ධනපති කොටස් එකතුවියයුතු බව සුමන්තිරන් පවසන්නේ එබැවිනි.  

තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල වන ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට අවතීර්න වන කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් රුදුරුම ආකාරයෙන් මැඩීම අරමුනු කරගත් ආඥාදායකත්වයක් වෙත රාජපක්ෂ යන වවේගවත් ගමන සම්බන්ධයෙන් ධනපති සංස්ථාපිතයේ සියලු‍ පක්ෂ අතර පවතින්නේ පූර්න එකඟතාවයකි. 

Loading