ඉදිරිදර්ශන

අහමෝද් ආබරි ඝාතනය කිරීම

මෙම ලිපිය 2020 මැයි 12 දින ඉංග්‍රීසියෙන් පලවින.

පෙබරවාරි 23දා ජෝර්ජියාවේ බෘන්ස්වික්හි දී 25 හැවිරිදි අහමෝද් ආබරි ඝාතනය කිරීම පෙන්වන ඩෑෂ්කැම් වීඩියෝ පටයක් පසුගිය සතියේ නිකුත් කිරීම, ඝාතනය හා එය වසං කිරීමට ප්‍රාදේශීය බලධාරීන් දරන ප්‍රයත්නය කෙරෙහි කෝපයක් ජනනය කර ඇත.

ඝාතනයෙන් මාස ගනනකට පසුව, එයට සම්බන්ධ වූ 64 හැවිරිදි ග්‍රෙගරි මැක්මයිකල් හා ඔහුගේ පුත්‍රයා වන 34 හැවිරිදි ට්‍රේවිස් මැක්මයිකල් අවසානයේ මැයි 7දා අත්අඩංගුවට ගන්නා ලදී. ග්‍රෙගරි මැක්මයිකල් යනු හිටපු පොලිස් නිලධාරියෙක් හා රාජ්‍ය විමර්ශන නිලධාරියෙකි. 

බෘන්ස්වික් නගරයට යාබද නිවහන් ප්‍රදේශයේ සැටිල්ලා වෙරල තීරය හරහා දිවීම සඳහා පිටතට පැමින සිටි  නිරායුධ ආබරි, පතරොම් තුවක්කුවක් අතැතිව සිටි ට්‍රේවිස් මැක් මයිකල් සමග ගැටුමක දී ඝාතනය කරනු ලැබීම වීඩියෝවෙන් පෙන්නුම් කෙරේ. වැඩිහිටි මැක්මයිකල් ඔහුගේ පික්අප් රථයේ ආසනයේ සිට පිස්තෝලයක් අතැති ව බලා සිටියේ ය. ට්‍රේවිස් මැක්මයිකල් විසින් දෙවරක් වෙඩි තබනු ලැබීමෙන් පසුව ලේ ගලමින් වීදියේ ඇද වැටුනු ආබරි මරනයට පත් විය.

සති ගනනක් යන තෙක් චෝදනා නැගීමක් හා අත්අඩංගුවට ගැනීමක් නො කෙරුනි. පොලීසියට ප්‍රකාශ ලබාදීමෙන් පසුව ඝාතකයන්ට  නිවාස බලා යාමට අවසර ලැබුනි. ඇයගේ පුත්‍රයා සොරකමකට ගොස් නිවෙස් හිමියා විසින් වෙඩි තබන ලද බව විමර්ශකයන් ආබරිගේ මව වන වැන්ඩා කූපර්ටට කියා තිබූනේ   පට්ට පචයකි.

ආබරිගේ ඝාතනය සිහියට නංවන්නේ, 2012 දී ෆ්ලොරිඩාවේ තරුනයෙකු වූ ට්‍රෙවොන් මාටින්ට වෙඩි තැබීම යි. මාටින්ගේ ඝාතකයා වූ ජෝර්ජ් සිමර්මාන්ට මෙන් ම මැක්මයිකල්වරුන්ට ප්‍රාදේශීය ආන්ඩුව හා පොලිස් ඒජන්සි සමග සමීප සබඳතා තිබේ. 1980 ගනන්වල ග්ලින් ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙක් වූ ග්‍රෙගරි මැක්මයිකල්, බෘන්ස්වික් අධිකරන බලප්‍රදේශයේ දිස්ත්‍රික් නීතිඥයාගේ විමර්ශකයෙක් ලෙස වසර 20ක් සේවය කිරීමෙන් අනතුරු ව විශ්‍රාම ගත්තා පමනි.

බෘන්ස්වික් දිස්ත්‍රික් නීතිඥ ජැකී ජොන්සන්ට මෙම සිද්ධියෙන් වසං වීමට මෙය හේතු විය. ඇය මෙම සිද්ධිය විමර්ශනය කිරීම වෙයා ප්‍රදේශයේ දිස්ත්‍රික් නීතිඥ ග්‍රෙගරි බාන්හිල්ට බාරදුන් අතර, ඔහු පොලීසියට උපදෙස් දුන්නේ, මැක්මයිකල්වරු අත්අඩංගුවට ගැනීමට “ඇති හේතු ප්‍රමානවත් නො වන” බව යි.

වීඩියෝව ප්‍රසිද්ධ කරන තෙක්, ග්ලින් ප්‍රදේශයේ පොලිස් දෙපාර්තමේන්තුව හා චෝදකයෝ, ජෝර්ජියාවේ පවතින ප්‍රතිගාමී “යටත් නො වී සිටිනු” (“stand-your-ground”) යන නීතිය යටතේ ඝාතනය සාධාරනීකරනය කර යටගැසීමට උත්සාහ කල හ. ඔවුන් නිගමනය කලේ, පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී මැක්මයිකල්වරු “ස්වයං-ආරක්ෂාව” සඳහා ක්‍රියා කල බව යි.

වීඩියෝව නිකුත් කරනු ලැබීමෙන් අනතුරු ව, ඝාතනයේ වාර්ගික සංරචකය ඉස්මතු කරන ප්‍රකාශ නිකුත් කරමින් ඩිමොක්‍රටික් දේශපාලකයින් මැදිහත් වී ඇත. ආබරි කලු ජාතිකයෙක් වූ අතර මැක්මයිකල්වරු සුදු ජාතිකයන් ය. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට නියමිත හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මැයි 7දා ප්‍රකාශ කලේ, ඝාතනය වනාහි “නැගෙන වෛරීය වසංගතයක” කොටසක් බව යි. ආබරි “සුදු ජාතිකයෙක් වී නම්” ඔහු ජීවතුන් අතර සිටිනු ඇතැයි වර්මොන්ඩ් සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස් පසුගිය සතියේ ප්‍රකාශ කලේ ය.

විරෝධතා සංවිධානය කරන පවුලේ සාමාජිකයන් හා අනෙකුත් පුද්ගලයන් විසින් ඝාතනය හා එය ආවරනය කිරීම මූලික වසයෙන් වාර්ගික කරුනක් ලෙස පැත්තකට දැමීමේ උත්සාහයන්,  ප්‍රතික්ෂේප කොට ඇත.

නිව් යෝක් ටයිම්ස් පත්තරය සඳුදා (මැයි 11) පලකල ලිපියක (“අහමෝද් ආබරි උපන් නගරයේ පැතිර පැවති  වාර්ගික ඉතිහාසය තුල වේදනාව, කෝපය හා ආඩම්බරය”) මෙසේ සඳහන් කලේ ය: “ආබරි මහතාගේ ගැටුම හා ඔහුට වෙඩි තැබීමට හෝ බලධාරීන් විසින් එම සිද්ධිය හැසිරවූ ආකරය තුල වාර්ගිකත්වය සාධකයක් වී තිබිය හැකි යයි බොහෝ දෙනා හඳුනාගනිති. වැරදි පිලිබඳ ව චෝදනා ලත් පොලිස් නිලධාරීන් ආවරනය කිරීම ගැන ග්ලින් ප්‍රදේශයේ පොලිස් දෙපාර්තමේන්තුවට යලි යලිත් චෝදනා එල්ලවීමේ ඉතිහාසයක් තිබුනු බව ද ක්‍රියාකාරීහු සඳහන් කරති.”

ආබරි මහතාගේ නැන්දනිය වන තී බෘක්ස් “එය කලු හෝ සුදු වීම පිලිබඳ තත්ත්වයක් නො වේ. එය සෑම දෙනෙක් ම මුහුන දෙන තත්ත්වයකි” යි ටයිම්ස් පත්තරයට කීවා ය.

බෘන්ස්වික් අසල කලාපයට ජනවර්ගයන් වෙන් කර තැබීමට හා වාර්ගික ප්‍රචන්ඩත්වයට විරුද්ධ වීමේ ඉතිහාසයක් තිබීම අර්ථභාරී ය. ඝාතකයන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පැවැත්වෙන විරෝධතාවන්ට සුදු හා කලු යන දෙකොට්ඨාශයම සහභාගි වී ඇත. “මේ ප්‍රජාව තුල මෙවැන්නක් සිදු වේ යයි කිසිවෙක් අපේක්ෂා නො කරනු ඇත” යි බෘන්ස්වික්හි පදිංචි 82 හැවිරිදි රොබට් ග්‍රිෆින් ටයිම්ස් පත්රයට කීවේ ය. “එය සුදු ජාතික බහුතරය ඇතුලු සෑමදෙනා ම තිගැස්මට පත්කලා.”

පොලිස් නිලධාරීන්ගේ වැරදි හැසිරීම හා ප්‍රචන්ඩත්වය වසං කිරීම ගැන බෘන්ස්වික්හි දකුනු ජෝර්ජියා ප්‍රදේශයේ ප්‍රාදේශීය පොලීසියට තිබෙන දීර්ඝ හා නින්දිත ඉතිහාසයට ග්‍රිෆින් හා අනෙකුත් අය අවධානය යොමු කල හ.

එක්සත් ජනපදය තුල ජීවිතයේ යථාර්ථය මෙය යි. සෑම වසරක ම පුද්ගලයන් 1,000ට වැඩි ගනනක් පොලීසිය විසින් ඝාතනය කරනු ලබන අතර, රජය හා උසාවි විසින් පොලීසිය ආරක්ෂා කරයි. කිල්ඩ්බයිපොලිස්.නෙට් (killedbypolice.net) වෙබ් අඩවියට අනුව, මේ වසර තුල මේ දක්වා පොලීසිය විසින් පුද්ගලයන් 350කට අධික සංඛ්‍යාවක් ඝාතනය කොට ඇති අතර,  මැක්මයිකල්වරුන් විශ්‍රාමික නිසා ආබරිගේ සිද්ධිය එයට ඇතුලත් නොවීය. ඝාතනය වූවන්ගෙන් සාපේක්ෂ ව කුඩා සංඛ්‍යාවක් කලු ජාතිකයන් වෙද්දී, බහුතරය සුදු ජාතිකයන් ය.

වැඩෙන සමාජ අතෘප්තියේ හා පන්ති ගැටුමේ කොන්දේසි යටතේ, පොලීසිය යනු සමස්ත කම්කරු පන්තියට එරෙහි ව මෙහෙයවනු ලබන රාජ්‍ය මර්දන යාන්ත්‍රනයෙහි තීරනාත්මක සංරචකයකි.

වර්ගවාදය පවතින අතර, ආබරිගේ ඝාතනය වැනි සිද්ධිවල දී එය භූමිකාවක් රඟදක්වයි. දැන් ධවල මන්දිරය  අරක්ගෙන සිටින්නා විසින් පොලීසිය හා ඒ වටා සිටින කොටස් ඇතුලු ජනගහනයේ වඩාත් ම ප්‍රතිගාමී හා පසුගාමී කොටස් දිරිමත් කරයි. 

රාජ්‍යයේ ඉහල ම තැන් වලට අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී පුද්ගලයන් යොදවාගෙන ඇති ට්‍රම්ප් පරිපාලනය, සංක්‍රමනිකයන්ට එරෙහි ව වර්ගවාදය ක්‍රමානුකූල ව ප්‍රවර්ධනය කර ඇත. කොරෝනා වෛරස් වසංගතය පැතිරයාම මධ්‍යයේ ආපසු වැඩට දැක්කීමට බලකිරීමේ ව්‍යායාමයෙහි කොටසක් ලෙස, සමාජ දුරස්ථකරන පියවරයන් අවසාන කරන ලෙස ඉල්ලීමට ප්‍රාන්ත අගනුවරවල පෙලපාලි පවත්වා ඇති අන්ත දක්ෂිනාංශික මිලීෂියා සාමාජිකයන් හා අනෙකුත් ෆැසිස්ට්වාදී සංවිධාන, පරිපාලනය විසින් උත්කර්ෂයට නංවනු ලැබ තිබේ.

මෙය ජාත්‍යන්තර ප්‍රපංචයකි. සමාජ ආතතීන් අපසරනය කිරීමේ හා ආඥාදායක පාලන රූප සඳහා කොන්දේසි නිර්මානය කිරීමේ උත්සාහයේ දී, පාලක ප්‍රභූහු 20වන ශතවර්ෂයේ දේශපාලනික දහජරාවන් පුනරුත්ථානය කරමින් සිටිති. අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී පක්ෂ සුජාතකරනය හා රාජ්‍ය බලය කරා නඟාසිටුවද්දී, ජර්මනිය හා යුරෝපය පුරා යුදෙව්-විරෝධී ප්‍රචන්ඩත්වය ඉහල නගිමින් තිබේ.

වර්ගවාදය යම් භූමිකාවක් ඉටුකල ද එය මුලුමනින් ම මූලික පන්ති බෙදීමට යටත් ය. වර්ගවාදය හා ජාතික ස්වෝත්තමවාදය සමගින් ඩිමොක්‍රටික් පක්ෂයේ වර්ගවාදී දේශපාලනය, සමාජ ආතතීන් අපසරනය කොට සමස්ත කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් වර්ධනය වීම වලක්වන පන්ති පාලනයේ උපකරන ලෙස යොදාගනු ලබයි.

ආබරි ඝාතනය  හා එය වසං කිරීම, කලු හා සුදු යන දෙවර්ගයේ ම කම්කරු බහුතරය කෝප ගන්වා ඇත. එය වනාහි කම්කරුවන්ගේ ජීවිත අනවශ්‍ය ලෙස සලකන, රාජ්‍යයට සම්බන්ධ පුද්ගලයන්ට ඝාතන සිදු කොට ආරක්ෂා විය හැකි සමාජයක ලක්ෂනයක් ලෙස ඔවුහු නිවැරදි ව දැකගනිති.

මෙම පලල් සමාජ හා දේශපාලන යථාර්ථයෙන් පිටස්තර ව, අහමෝද් ආබරිගේ ඝාතනය හා ඉන්පසු එය ආවරනය කිරීම අවබෝධ කරගත නො හැක. එය මූලික ව ගත් කල ධනවාදයේ නිෂ්පාදිතයකි.

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි:

ට්‍රම්ප් විසින් නාසිවාදී ප‍්‍රචන්ඩත්වය ආරක්ෂා කිරීම: වෙස් මුහුන ගැලවෙයි

පිට්ස්බර්ග් යුදෙව් ධර්මාශ්‍රයේ සමූහ ඝාතන: ඇමරිකාව තුල යුදෙව් විරෝධී ප්‍රචන්ඩත්වය පිපිරේ

Loading