පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුවට වෘත්තීය සමිති එකඟ වෙති

ආන්ඩුව, සේවා යෝජක හාම්පුතුන් සහ වෘත්තීය සමිති වලින් සැදුම්ලත් ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකායේ   (ත්‍රෛපාකාසාබ) සාකච්ඡාවක් මැයි 5 වෙනිදා පැවැත්වුනි. 

මෙම සාකච්ඡාවේ දී, කොරෝනා වසංගතය නිසා පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන් සහ මහ ව්‍යාපාරිකයන් මුහුන දී ඇති අර්බුදයෙන් ගොඩ ඒම පිනිස, ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය විසින් ඉදිරිපත්  කරන ලද රැකියා  සහ වැටුප් කප්පාදු කිරීමේ යෝජනාවලට වෘත්තීය සමිති එකඟ වී ඇත.  

අනතුරුව කම්කරු ඇමති දිනේෂ් ගුනවර්ධන ගේ   ප්‍රධානත්වයෙන්, මැයි 11 වෙනිදා පැවති, ජාතික කම්කරු උපදේශක සභා (ජාකඋස) රැස්වීමේ දී එම යෝජනාවලට නිලමුද්‍රාව තබන  ලදුව “කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිත කිරීමේ එකඟතා  ලියවිල්ල” යනුවෙන් නිවේදනයක් ඇමති වරයා විසින් නිකුත්කොට  ඇත.

මෙම කමිටු දෙකේ  ඉහත සාකච්ඡාවලට නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේස) ජනතා විමුක්ති පෙරමුන  (ජවිපෙ) විසින් මෙහෙයවන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය (ලවෙකාපොසේස) හා එක්සත් කම්කරු සම්මේලනය ඇතුලු  වෘත්තීය සමිති සහභාගී වී ඇත.   

ඇමති ගුනවර්ධන ගේ නිවේදනයට අනුව, සෞඛ්‍ය ආරක්ෂන පිලිවෙත් අනුගමනය කිරීමේ කඩතුරාව යටතේ සේවකයන් කොටස් වශයෙන් කැඳවේ. රැකියා කප්පාදුවේ කොටසක් ලෙස මැයි සහ ජුනි මාස වන විට සේවයට නොකැඳවන සේවකයන් සඳහා, ඔවුන් අවසානයට ලද සම්පූර්න වැටුපෙන් සියයට 50 ක් හෝ රුපියල් 14,500 ක් වැටුප වශයෙන් ගෙවීමට හාම්පුතුන්ට ඉඩසලසා ඇත. නිවේදනයට අනුව කම්කරුවාගේ වැටුප වනුයේ ඉහත අගයන් දෙකෙන් වැඩි අගය යි. 

මෙය නිශ්චිතව හාම්පුතුන්ගේ උවමනාවට ගැලපෙන පරිදි සිදු කෙරුනු වැටුප් කප්පාදුවකි. මෙහිදී වෘත්තීය සමිති විසින් ඇස්බැන්දුමක් ලෙස ඉදිරිපත් කරන ලද රුපියල් 20,000 වැටුප් යෝජනාව හාම්පුතුන්ගේ සම්මේලනය එකහෙලා ප්‍රතික්ෂේප කර තිබේ. එම මාස දෙක සඳහා යෝජිත වැටුපට සමානුපාතිකව අර්ථසාධක  ඇතුලු විශ්‍රාමික අරමුදල් සඳහා දායක මුදල් ගෙවීමට ව්‍යාපාරිකයන් එකඟ වී ඇත. විශ්‍රාමික අරමුදල් සඳහා දායක මුදල් ගෙවීම අවම වශයෙන් මාස 6 ට අත් හිටුවිය  යුතු බව ව්‍යාපාරිකයන් කලින් අවධාරනය කර තිබුනි.

යෝජිත ආකාරයට වුව ද වැටුප් සහ විශ්‍රාමික අරමුදල් සඳහා දායක මුදල ගෙවීමට  අපහසුවන සේවා යෝජකයන්ට   “කම්කරු කොමසාරිස් ජනරාල්  වෙත ලිඛිතව ඔවුන්ගේ ගැටලුව ඉදිරිපත් කර” සහන ලබා ගැනී මට ද එකඟතා ගිවිසුමෙන් ඉඩ සලසා තිබේ.  

කර්මාන්ත සහ ව්‍යාපාර වල ශ්‍රම බලකායෙන් සියයට 30 ක් සේවයට කැඳවීම හාම්පුතුන් විසින් මෙම සාකච්ඡා වලට  පෙරාතුවම ගෙන තිබූ තීන්දුවකි. 

කර්මාන්ත සහ ව්‍යාපාර යලි  ආරම්භ කිරීමේ දී වැඩට කැඳවන සේවක සංඛ්‍යාව සම්බන්ධව තම අභිමතය පරිදි තීන්දු  ගැනීමට ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ විසින් හාම්පුතුන් ට වරපත්‍රයක් කලින් ම ලබා දී තිබුනි. ඊනියා එකඟතාවය තුලින් එය රීතියක් බවට පත්කර තිබේ.

හාම්පුතුන් සමග ඇති කර ගත් “එකඟතාවය නිසා කොවිඩ් වසංගත තත්වය හේතුකොට ගෙන කිසිදු සේවකයෙකු සේවයෙන් ඉවත් නොකල යුතු බව ස්ථාවර වුන” බව නිවෙකපොසේසේස සම ලේකම් ඇන්ටන් මාකස් මාධ්‍යයට පවසා ඇත. එය, රැකියා සහ වැටුප් කප්පාදුව කෙරෙහි උරනව  දැනටමත් විරෝධතා අරගලවලට එලැඹ සිටින කම්කරුවන් නොමග යැවීමේ කූට ප්‍රකාශයකි. 

යථා වශයෙන් සිදු වී ඇත්තේ, මැයි සහ ජුනි මාසවලින් පසුව සේවයට නොකැඳවන සේවකයන් සඳහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් හාම්පුතුන් කල ප්‍රතික්ෂේපය ආන්ඩුව සහ වෘත්තීය සමිති විසින් පිලිගනු ලැබීමය. 

කම්කරු ඇමති ගුනවර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ට පවසා ඇත්තේ ජුලි මාසය වන තුරු සේවය අවසන් කිරීමේ ඉල්ලීම් භාර නොගන්නා ලෙස ය. එහි අර්ථය ඉන් පසු සේවය අවසන්කිරීමේ හාම්පුතුන්ගේ ඉල්ලීම් වලට ආන්ඩුව විරුද්ධ නොවන  බවය. ජුලි මාසය වන තුරු කල් ගැනීම හුදෙක් ම, ඊට පෙරාතුව පාර්ලිමේන්තු මැතිවරනය  පැවැත්වෙන්නේ නම්  ආන්ඩුවට අවාසියක් වීම මගහරවා ගැනීමේ සටකපට දේශපාලන උපාමාරුවකි.

කොටස් වශයෙන් සේවයට කැඳවන සේවකයන්  සේවයේ යොදවනු ලබන්නේ  සීරු මාරු ක්‍රමයටය. හාම්පුතුන්ගේ සම්මේලනය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති එකඟත්වය ඇතිකර ගැනුනු ගිවිසුමේ කොන්දේසි පැහැදිලි කරන සහ අනුගමනය කලයුතු ක්‍රමවේද සම්බන්ධ උපදෙස් මාලාවක් එහි සාමාජිකයන් ට නිකුත් කර තිබේ 

ඒ අනුව සේවකයන් සඳහා වැටුප් ගනනය කෙරෙනුයේ දෛනික පදනමකිනි. දෛනික වැටුප නිර්නය කෙරෙන්නේ කම්කරුවාගේ මූලික වැටුප, ආයතනයේ මාසික වැඩ දින ගනනෙන් බෙදීමෙනි.  

මෙම අනුපාතික වැටුප් ක්‍රමය ගැන හාම්පුතුන්ගේ සම්මේලනය සඳහන් කරන්නේ මහත්  උද්දාමයෙනි: “මෙය  ආරම්භක පියවරක්  වන නමුත්  අනුපාතික   වැටුප් ක්‍රමයට සියලුම පාර්ශවයන් -ආන්ඩුව, හාම්පුතුන් සහ වෘත්තීය සමිති- ජාතික මට්ටමෙන් එකඟවීම අපගේ ඉතිහායේ දුර්ලභ අවස්ථාවක් නිසා එය ඓතිහාසික  ගිවිසුමක්” බව සම්මේලනය පවසයි.   

හාම්පුතුන්ගේ උද්දාමයට හේතු වී ඇත්තේ අනුපාතික වැටුප් ක්‍රමය මගින් ස්ථීර මාසික වැටුප් ක්‍රමය විස්ථාපනය කරමින් දෛනික වැටුප් ක්‍රමයක් කම්කරුවන් මත පැටවීමට  ගිවිසුම  තුලින් කොන්දේසි සැකසෙන බැවිනි.

“විශේෂයන් ම, එලඹෙන  මාස සහ වසරවල දී අප පෙරදකින අපගේ වැඩ රටාවන් ගේ කොටසක් ලෙස වැඩ බෙදා ගැනීම වැනි ක්‍රමයන්  තවදුරටත් සාකච්චා කිරීමට සහ ශක්තිමත් කිරීමට ද (ගිවිසුමෙන්) මග  පාදනු ඇත. එමෙන් ම, එය වැටුප් බෙදාහදා ගැනීමට අනුගතවීමට සේවකයන් සඳහා පරිසරයක් නිර්මානය කරන” බවද “මෙම තීරනාත්මක, ශ්‍රී ලංකා ඉතිහාසය තුල වැදගත් අවස්ථාවේ දී එහි සාමාජිකයන් තවදුරටත් සහන ලබා ගැනීමේ උත්සාහය අඛන්ඩව  පවත්වාගෙන යනු” ඇති බව ද හාම්පුතුන්ගේ සම්මේලනය වැඩි දුරටත් සඳහන් කරයි.  

එනම් වෘත්තීය සමිති වල සහ රාජපක්ෂ ආන්ඩුවේ පිටුබලය ඇතිව කම්කරුවන් මත විනාශය පැටවීමත් තමන් සඳහා ආන්ඩුවෙන් සහන කඩා ගැනීමත්  සමගාමීව පෙරට ගෙන යන බවය.

රැකියා ආහෝසි නොකිරීමේ එකඟතාවයකට හාම්පුතුන්  එලඹ නැති බවත්, දැනට එවැනි කරුනු සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි යටතේ කටයුතු කරනු ඇති බවත් සඳහන් කරන හාම්පුතුන්ගේ සම්මේලනය, ගිවිසුම මගින් ඇතිකරගෙන තිබෙන එකඟතාවයන්, පත්වීම් ලිපි සහ සාමූහික ගිවිසුම් වලට ඇතුලත් කරමින් ඒවාට නෛතික පදනමක් සම්පාදනය කල යුතු බව අවධාරනය කර ඇත,

හාම්පුතුන් ගේ සම්මේලනය මෙසේ කියයි: “මෙම නව නියමයන් පිලිබිඹු වන ආකාරයට පත්වීම් ලිපි සහ ගිවිසුම් සකස් කිරීමට අවශ්‍ය  නව වගන්ති සූත්‍රගත කිරීමට සාමාජිකයන්ට (හාම්පුතුන්ට) උදව් කිරීමට මෙන් ම, සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ පාලනයෙන් පරිබාහිරව සිදුවන වසංගත ඇතුලු  මිනිසුන් විසින් නිර්මිත සහ ස්වාභාවික යන දෙයාකාර ව්‍යසන තත්වයන්හි දී එම නියමයන් සහ කොන්දේසි ගැන යලි සලකා බැලීමට අවශ්‍ය වැඩපිලිවෙලවල් යොදා ඇත”.

අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) කම්කරු ඇමති වෙත ලිපියක් යවමින්  මැයි 11 වන දින ජාතික කම්කරු උපදේශක සභාවේ ඇතිකරගත් එකඟතාවයන් පිලිබඳව වෙනස්කම් සහිතව වුවද එකඟ වූ බව පවසා ඇත. 

එමෙන් ම, හාම්පුතුන්ගේ ඉල්ලීම සමග එක පෙලට සිට ගනිමින්  එකී “එකඟතාවයන් පොදුවේ රටේ වැඩකරන ජනතාවටත්,  ව්‍යාපාරිකයන්ටත් පොදු කාරනා” වන හෙයින් ඒවා නීති ගත කිරීමට පියවර ගන්නා ලෙස ද අසසේස කම්කරු ඇමතිගෙන් ඉල්ලා තිබේ.

ජාතික කම්කරු උපදේශක සභාව තුල දී ඇති කරගෙන තිබෙන එකඟතා තුල  වැඩකරන ජනතාවට හා ව්‍යාපාරිකයන්ට “පොදු” වූ කිසිවක් නැත. ඒවා හුදෙක් ම ව්‍යාපාරිකයන්ගේ උත්සුකතාවයන් ආරක්ෂා කරන හා කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට විනාශය කටින එකඟතාවයන් ය.

ජාතික කම්කරු උපදේශක සභාවේ එකඟතාවය ඇතිව  ක්‍රියාවට දැමීමට යෝජිත රැකියා හා වැටුප් කප්පාදුව,   ව්‍යාපාරික සහ කාර්මික සංගත වල ලාබ අවශ්‍යතාවයන් වෙනුවෙන්, කම්කරු පන්තියේ රැකියා, වැටුප්  සහ ජීවිත බිලි දෙමින් අධිරාජ්‍යවාදී සහ ධනපති ආන්ඩු  විසින් ලෝක පරිමානව ක්‍රියාවට දමන ප්‍රහාරයක කොටසකි.

රැකියා සහ වැටුප් කප්පාදු කිරීමේ මෙම යෝජනාවන් හාම්පුතුන්  විසින් ඉදිරිපත් කර ඇත්තේ කොරෝනා වසංගතය විසින්  තව දුරටත් ලෝක වෙලඳ පොල තුල ඉල්ලුම පහත වැටීම හා තරඟය තීව්‍රවීම මධ්‍යයේ  ලාබ රැක ගැනීමේ මංමුලා සහගත ප්‍රයත්නයක යෙදී සිටින කොන්දේසි තුලය. 

ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකායට හා ජාතික කම්කරු උපදේශක සභාවට  කරබදු වී සිටින වෘත්තීය සමිති,    හාම්පුතුන් සහ ආන්ඩුව සමග එකඟතාවයකට පැමින ඇත්තේ යෝජිත ප්‍රහාරයන් කම්කරුවන් මත පැටවීමට  ය.

Loading