හලාවත තොඩුවාවේ මුහුදු ඛාදනය නිසා ධීවර පවුල් අනාථවීමේ අවදානමක

සති තුනක පමන කාලයක සිට සිදුවන ප්‍රචන්ඩ මුහුදු ඛාදනය හේතුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ හලාවත තොඩුවාව ධීවර ගම්මානයේ වෙරලාසන්න නිවාස සහ මාර්ග මුහුදට බිලිවීමේ අවදානමක් මතු වී තිබේ. 

මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ වෙරල සංරක්ෂන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මේ වනවිට බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන සිදු කරන කලුගල් ඇතිරීම, සිදු වෙමින් යන ඛාදනය වැලැක්වීමට ප්‍රමානවත් නොවේ යයි ගම්වාසීහු චෝදනා නගති. 

නිවාස 10 ක් පමන ක්ෂනික අවදානමට ලක්ව ඇති අතර අඛන්ඩ ඛාදනය හේතුවෙන් තවත් නිවාස මුහුදට බිලි ගනු ඇත. තොඩුවාව වෙරලපාරෙහි කොටසක්, නිවැසියන්ගේ තාප්ප, වැටවැල් හා කුඩා ඉදි කිරීම් ද දැනටමත් මුහුදට බිලිගෙන ඇත.

මුහුදු ඛාදනයට ලක්වී ඇති තොඩුවාව වෙරලපාරෙහි කොටසක්

 දේපල හා ජනජීවිතය ව්‍යසනයට පත්වීමේ වගකීම මුලුමනින්ම පැවරෙන්නේ, මෑත වසර කිහිපය තුල ක්‍රමානුකූලව වර්ධනය වන මුහුදු ඛාදනයට කලුගල් වැටි යෙදීම හා වෙනත් ස්ථානවල ජනයා පදිංචි කිරීම නොතකා හැරි වත්මන් පොදු ජන පෙරමුනු ආන්ඩුව හා එක්සත් ජාතික පක්ෂය (එජාප)    ප්‍රමුඛ පැවති ආන්ඩුවටයි.  

ප්‍රදේශයේ කිසිදු ධීවර වරාය පහසුකමක් නොමැත. විදේශ ධීවර නැව් සහ මත්ස්‍ය අලෙවියේ යෙදී සිටින සමාගම්වල බලපෑම හේතුවෙන් ටූනා මත්ස්‍ය මිල පහල බැස ඇත.  කොරෝනා වසංගතය හේතුවෙන් තම රැකී රක්ෂා අහිමි වූ බොහොමයක් ධීවරයන්ට ආන්ඩුවෙන් සහන නො ලැබීම හේතුවෙන් ආන්ඩුව කෙරෙහි ඔවුන් අතර වර්ධනය වී ඇත්තේ බරපතල වෛරයකි.  

ලඟ එන මහ මැතිවරනයේ දී ඡන්ද කඩා ගැනීම ඉලක්ක කරගෙන විපතට පත්වූවවන් අතරට මැදිහත් වී පොරයක නිරත වී ඇති ධනපති පක්ෂවල ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අවස්ථාවාදී ක්‍රියාකලාපය ද තොඩුවාව ජනයාගේ දැඩි පිලිකුලට ලක් වී තිබේ. ඒ අතර ප්‍රධාන වන්නේ ධීවර රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා සිංහලදීප ජාතික පෙරමුන (සිජාපෙ) නැමැති බෞද්ධ අන්තවාදී සංවිධානයකින් තරගවැද සිටින ඉන්ද්‍රසිරි සේනාරත්න නැමැති  නිතීඥවරයෙකි.

 අවතැන්වූවන්ට ආහාර ලබාදීමේ තරගය හමුවේ දෙදෙනා අතර ගැටුම්කාරී තත්වයක් උද්ගත විය හැකි බව ජනතාව පවසයි. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ මැක්සි නම් ධීවරයා මෙසේ කීවේය: “පසුගිය ඔක්තෝම්බර් මාසයේ මම තවත් ධීවර කන්ඩායමක් එක්ක මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, වෙරල සංරක්ෂන දෙපාර්තමේන්තුවට මේ ගැන අපි පැමිනිලි කලාට වැඩක් වුනේ නෑ. ජනවාරි 26 දා පොදු ජන පෙරමුනේ සනත් නිශාන්ත කිව්වා මැයි මාසයේ දී මෝයකට ගාවටම ගල් දමා අවසන් කරලා දෙනවා කියලා. සියලුම පොරොන්දු තිබියදී මගේ ගෙයි තාප්පයත් මූදට ගහගෙන ගිහින් ඉවරයි. මේ විනාශයට රට පාලනය කරන දේශපාලනඥයෝ වගකියන්න ඕන” යයි ඔහු ප්‍රකාශ කලේ ය. 

වෙරලාසන්නයේ කුඩා චීන අවන්හලක් පවත්වා ගෙන ගිය තරුනයෙක් වන ලක්සිත ප්‍රකාශ කලේ පසුගිය දෙසැම්බර් මාසයේ ඔහුගේ අවන්හල වෙරලට ගසාගෙන ගිය අවස්ථාවේ දී වෙරල සංරක්ෂන දෙපාර්තමේන්තුවෙන් ඇවිත් වැලි කන්දක් ගැසූ බවයි. 

“අපි කලුගල් දාන්න කිව්වාම ඒ නිලධාරීන් කිව්වේ කලුගල්වලට රුපියල් ලක්ෂ 500 ක් පමන වැය වන බැවින් මේ ව්‍යාපෘතිය පෙබරවාරියේ වෙනකන් සිදු කල නොහැකි බවයි. සනත් නිශාන්ත කියනවා කොරෝනා වසංගතය නිසා ගල් ගේන්න බැරි වුනා කියලා. නමුත් අපි මේවා කිව්වේ ගිය සැප්තැම්බර් මාසේ ඉඳලා” යයි ඔහු චෝදනා කලේ ය. 

සේනාරත්නගේ පැටිකිරිය ධීවර කාන්තාවක් මෙසේ විස්තර කලා ය: “අපිට ප්‍රධාන පාරේ ඉඳලා වෙරල දෙසට අතුරු පාරක් තිබුනා. ප්‍රධාන පාර අසල අතුරු මාර්ගයට මායිම් වෙන ප්‍රධාන ඉඩමේ හිමිකරු අපේ අතුරු මාර්ගය වැහුව. අපි ඒකට විරුද්ධ වුනා. ඉඩම් හිමිකරුගේ බලපුලුවන්කාරකමට අපේ ගැහැනු 8 දෙනෙක් රිමාන්ඩ් කලා. පසුව උසාවියට නඩුව ගියා. උසාවියෙන් අපිට අඩි 12 ක පාරක් දුන්නා. මේ නඩුවේ දී අපිට පාර නො දෙන්න තර්ක විතර්ක ඉදිරිපත් කල පැමිනිල්ලේ නීතිඥයා තමයි ඉන්ද්‍රසිරි. ඒ ලැබුනු පාර නිසා තමයි දැන් වෙරලට කලු ගල් ගෙනියන්න පුලුවන් වුනේ. මේ වගේ අය තමා අපේ ඡන්දය ඉල්ලන්නේ“.  

සෑම වසරකම අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාල සීමාව තුල නිරිතදිග මෝසම් සුලං සක්‍රියවීමත් සමග ලංකාවේ බටහිර දෙසින්වන මුහුද රලු ස්වභාවයක් (වාරකන්) ගනී. එම කාලවකවානුවේ දී යම් ප්‍රමානයක මුහුදු ඛාදනයක් සිදුවුව ද යලි සුලං දිශාව මාරු වී මුහුද සැර අඩුවීමත් සමග (වලාල) සිදු වූ ඛාදනය යලි ගොඩවීම සාමාන්‍ය ස්වභාවයයි. 

නමුත් මෑත කාලයේ සිට එම තත්වය වෙනස් වී ඛාදනය ඉහල ගොස් ඇතැයි ධීවරයෝ පවසති. බටහිර වෙරල තීරයේ මුහුදු ඛාදනය මෑත වසරවල සිට වර්ධනය වී ඇති අතර වෙරලාසන්නව ජීවත්වන දහස් සංඛ්‍යාත ජනයා ඒ හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව සිටී. 

ගෝලීය උනුසුම ඉහල යෑම නිසා උත්තර හා දක්ෂින ධ්‍රැවයන් හි පිහිටි අයිස් දියවීම හේතුවෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහල නැගීම, ලොව පුරා කුඩා දූපත් සහ වෙරලාසන්නව ජීවත් වන මිලියන සංඛ්‍යාත ජනයාගේ නිවාස, රැකී රක්ෂා තර්ජනයට ලක් ව තිබේ. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමනජිත් කුමාර ගෝලීයව සිදු කර ඇති පරීක්ෂන දත්ත මෑත රූපවාහිනි වැඩසටහනක දී වැදගත් හෙලිදරව්වක් කලේ ය. 

ගෝලීය උනුසුම හේතුවෙන් මේවන විට ග්‍රීන්ලන්තයේ සහ දක්ෂින ධ්‍රැවයේ ග්ලැසියර් වසරකට ඝන කිමී 150 ත් 250 ත් අතර ප්‍රමානයක් දියවන බව ඔහු පවසයි. මේ හේතුවෙන් පසුගිය ශතවර්ෂය තුල ගෝලීය මුහුදු මට්ටම සෙන්ටිමීටර් 17 ක ප්‍රමානයකින් ඉහල නැග ඇත. ඉදිරි දශකය තුල එය දෙගුනයක් විය හැකි බවත් වර්ෂ 2100 විට විට එය සෙන්ටි මීටර් 102 ක් විය හැකි බවත් ඔහු අනතුරු අගවයි. 

මාලදිවයින වැනි දූපත් ලෝක සිතියමින් ඉවත්වීමත් ලංකාවේ හලාවත සිට දකුනු දෙසට වන මුහුදු ඛාදනය, සාගර ජල මට්ටම ඉහල යෑමේ ඍජු ප්‍රතිඵලයක් බවත් ඔහු පෙන්වා දෙයි.  

කාබන් පොසිල දහනය සහ දැවැන්ත වන විනාශය ගෝලීය උනුසුමට ප්‍රධාන හේතු කාරකයයි. ලාභය අරමුනු කරගත්   ගෝලීය ධනේශ්වර ක්‍රමය මෙම බරපතල විනාශයට හේතුවයි. 

මහා සුලි කුනාටු ගෝලීය උනුසුමේ තවත් ප්‍රතිවිපාකයකි. මේ දිනවල ලංකාව ආශ්‍රිතව වර්ධනය වන අම්ෆන් සුලි කුනාටුව ද මුහුදු රල ප්‍රචන්ඩවීමට හේතුවක් වී ඇත. 

පයාගල වෙරලින් මුහුදු ගොස් යලි එමින් සිටි කුඩා ධීවර බෝට්ටුවක් සඳුදා සවස පෙරලීමෙන් එහි ගමන් කල ධීවරයන් දෙදෙනෙකු මරනයට පත් වී තවත් ධීවරයෙක් බරපතල ලෙස තුවාල ලබා තිබේ. 

නිසි වරාය පහසුකම් හෝ නැංගුරම්පලවල් නොමැතිවීමෙන් දිවයින පුරා කුඩා බෝට්ටු ධීවරයෝ සෑම වසරකම මරනීය අනතුරුවලට මුහුන දෙති. 

සුලි කුනාටුවේ බලපෑමත් සමග රටේ සබරගමු, මධ්‍යම සහ දකුනු පලාත්වල මේවන විට ගංවතුර හා නාය යෑමට ලක්ව සිය ගනනක් අවතැන් වී තවත් කිහිප දෙනෙකු මරනයට පත්ව තිබේ. ඉන්දියාව හා බංග්ලාදේශයට ද මෙහි බලපෑම එල්ල වී ඇත. 

නායයෑම්, ගංවතුර සහ සුනාමි වැනි ස්වභාවික විපත්වලට වැඩිවශයෙන් ගොදුරු වන්නේ සමාජයේ දිලිඳු ජන කොටස් ය. විපතකට පෙර අනතුරු ඇඟවීමේ සිට විපතට පත්වූවන්ට සහන සැලසීමේ දී කලාපය පුරාම ධනපති ආන්ඩු ඔවුන්ගේ තුච්ඡ නොතැකීම සහ නොහැකියාව පෙන්වා ඇත.  

පසුගිය වසරවල දී මෙලෙස මුහුදු ඛාදනයට ලක්වීමෙන් තම නිවාස අහිමි වූ තොඩුවාවට දකුනු දෙසින් පිහිටි මාරවිල මූදුකටුව ප්‍රදේශයේ පවුල් 25 ක පමන ජනයාට ද තවම ස්ථීර පදිංචි ස්ථාන ලබා දී නැත. පිටුපස බිත්තිවලට මුහුදු රල පහරදෙද්දීත්, පොල්අතුවලින් අටවා ගත් මුලුතැන්ගෙවල්වලට උඩින් මුහුදු රල පහර එල්ල වද්දීත් ඇතැම් ජනයා තවමත් එම නිවාස තුලම රැඳී සිටින්නේ වෙන කර කියා ගැනීමට දෙයක් නොමැති හෙයිනි.

මූදුකටුව වෙරලේ තෙප්පම් රැකියාවේ යෙදෙන ලූෂන්ගේ බිරිඳ මියුරියල් කාන්ති දැඩි කෝපයෙන් මෙසේ සඳහන් කලා ය: 

“අපිට පොල්අතු පැලක් හරි අටවගෙන බයක් නැතුව ජීවත් වෙන්න පර්චස් 05 ක් හරි දෙන්න කියලා අපි ඉල්ලන්නේ. කොරෝනා වසංගතය නිසා පසුගිය මාස දෙකේම හරියට රස්සාවක් නෑ. මගේ පුතා ඩුබායිවල රට රැකියාවට ගියා කියලා සමෘද්ධියත් අපිට නෑ. හැම ආන්ඩුවක්ම බලයට එන්නේ බොරු කියලා.”  

2004 සුනාමියට ද තම කුස්සි සහ සත්ව කොටු ගසා ගෙන ගිය බව පැවසූ ඇය මාස 06 ට පෙර ඩුබායි ගිය සිය පුතාට තවම නිසි රැකියාවක් නොමැති බව වැඩි දුරටත් ප්‍රකාශ කලා ය. “මම දැන් සතියක් මූදු ගිහින් නෑ. අන්තීම දවසේ රුපියල් 500 ක මාලු තිබුනා. ලොකු ලොරිවලින් මාලු බානකොට අපේ මාලුවලට මිලකුත් නැති වෙනවා” යයි ලූෂන් ප්‍රකාශ කලේ ය. 

තවත් දෙදරු මවක් ප්‍රකාශ කලේ ඇගේ සැමියා ලොකු බෝට්ටුවල රැකියාවට ගොස් මේ වන විට මාසයක් පමන වන බවයි. “අපිට නිසි අධ්‍යාපනයක් තිබුනේ නෑ. අපේ බලාපොරොත්තුව දරුවන්ට හොඳට උගන්නලා ඔවුන්ට හොඳ හෙටක් හදන එක. නමුත් මාරවිල තිබෙන ලොකු පාසල් එකකින්වත් අපි වැල්ලේ නිසාත්, ඉඩම්වලට ඔප්පු නැති නිසාත් දරුවන්ව ඇතුලත් කර ගන්නේ නෑ” යයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

Loading