“කොරෝනා සමග වාසේ” දිවයින කතුවැකිය: මානවයාගේ ඓතිහාසික භාවිතාවට එරෙහි ප්‍රතිගාමී තර්කයක්

කොරෝනා වසංගතය ලක්ෂ සංඛ්‍යාත මහජනතාවගේ ජීවිත බිලි ගනිමින් තවදුරටත් ව්‍යාප්ත වෙද්දී, ධනපතියන්ගේ ලාභ උත්පාදන ක්‍රියාවලිය පන ගන්වා ඉදිරියට ගෙනයාමේ පරම අවශ්‍යතාවයෙන්, ලොවපුරා ධනපති ආන්ඩු, කම්කරුවන් යලි වැඩට කැඳවා ගැනීමට එකාවන්ව පෙලගැසී සිටිති. 

කම්කරුවන් වසංගතයට දැනුවත්ව බිලිදෙන මෙම සාපරාධී වැඩපිලිවෙල යුක්තිකරනය කිරීමට ධනපති පාලකයන්, ඔවුනගේ ඇට්ටැඹි මාධ්‍යයන් සහ ඊනියා ශාස්ත්‍රාලිකයන් විවිධාකාරයේ කුතර්කයන් ඉදිරිපත් කරමින් සිටිති. 

ලංකාවේ ධනපති පුවත්පතක් වන දිවයින මෙම ප්‍රතිගාමී කාර්යයෙහි කැපී පෙනෙන ක්‍රියාධරයෙකි. 

“කොරෝනා සමග වාසේ (ලෝක තේමාව අනුව යාම)” යන මැයෙන්, මැයි 14 වන දා, පල කෙරුනු දිවයින  කතුවැකියේ මෙසේ සටහන් විය: “ලෝකයේ ආර්ථිකය කඩා බිඳ දමමින්, ලෝක ජනගහනයෙන් දෙ ලක්ෂ හැත්තෑ දහසක් දෙනා වසංගතයට ගොදුරු වී තත්ත්වය මෙසේ පවතිද්දී, දැන් ලෝකයට ම වුවමනා වී ඇත්තේ කොරෝනා මධ්‍යයේ ම වහා වහා ම තම රටවල් ලෝකයට විවෘත කර, තමන් වැටී ඇති ආර්ථික ආගාධයෙන් ගැලවීමට ය.”

හුදෙක් මහ ධනපතියන්ගේ උවමනාව සඳහා සිදු කෙරෙන මෙම “යලි විවෘත කිරීම”, “ලෝකයේ ම” උවමනාවක් ලෙස පෙන්වීමට දිවයින වංචනික උත්සාහයක යෙදෙයි.

ලෝකය, එකිනෙකට ප්‍රතිමුඛ සමාජ පන්තීන් දෙකකට බෙදී ඇති බව, මෙම “යලි විවෘත කිරීම” හමුවේ වඩාත් විශදව ඉස්මත්තට පැමින ඇත. අතලොස්සක්වූ ධනපති පන්තිය සහ ඔවුනගේ ආවතේවකරුවන් “යලි විවෘත කිරීම” පාර්ශ්වයේ සිටින අතර, බිලියන සංඛ්‍යාත කම්කරුවෝ එයට එරෙහිව පිහිටා සිටිති. 

මාර්තු මාසයේ ආරම්භයේ පටන් ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රන්සය, ජර්මනිය, මැක්සිකෝව, බ්‍රසීලය ආදී රටවල  කම්කරුවෝ නැවත වැඩ ඇරඹීමට එරෙහිව විවිධ විරෝධතා දක්වමින් සිටිති. කම්කරුවන් යලි වැඩට ගියේ නම්,  ඒ අනෙකක් නිසා නොව, ජීවිතය පරදුවට තබා හෝ ජීවිකාව රැක ගනිමින් තම අඹුදරුවන් ජීවත් කරවීමේ ඒකායන අරමුනෙනි.      

වසංගතය මධ්‍යයේ යලි වැඩට යමින් එයට මුහුනදීම හැර අන් විකල්පයක් නොමැති බව ද  දිවයින කතුවැකිය පවසයි:  

“අපට ද දැන් මේ වසංගතය හමුවේ බියේ සැඟ ව නොසිට හෝ පලා නොගොස් වසංගතයට මුහුන දෙමින් ජීවත් වීමට සිදු ව තිබේ. රජය මගින් රට විවෘත කරන්නට තීන්දු කර ඇත්තේ ජන ජීවිතය යථාවත් කර යලිත් ආර්ථික          ක්‍රියාදාමයට පන දීම සඳහා ය. නොහොත් කොරෝනා සමඟ ජීවත් වීම සඳහා ය. ... කොවිඩ් සමඟ අපට ජීවත් වන්නට සිදු වන්නේ මරනය දෝතින් දරා ගෙන ය.”

“මරනය දෝතින් දරා” ජීවත් වීමට සිදුව ඇත්තේ, පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම් වූ ධනපති  ක්‍රමයේ        ප්‍රතිඵලයක්ය යන්න වසං කරනුවස්, “ලෝකයේ මෙතෙක් තේමාව වූයේ ස්වභාවික ආපදා සමඟ ජීවත් වීම” යන අමූලික ප්‍රලාපය තොරොම්බල් කරයි.

විද්‍යාත්මක විමර්ශනයක යෙදෙන ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත්තේ, මිනිසාගේ සමස්ත ඓතිහාසික භාවිතාව, “ස්වභාවික ආපදා සමඟ ජීවත් වීමට” එරෙහිව පිහිටා ඇති බවයි. 

ගංවතුර, නායයාම්, භූමි කම්පා, සුලි සුලං, වසංගත ආදී ස්වභාවික ආපදාවන් වලකාලීමට හෝ අවම කිරීමට මිනිසා දරන ලද ඓතිහාසික ප්‍රයත්නයේදී අත්පත්කරගත් විද්‍යාවේ සහ තාක්ෂනයේ විශිෂ්ට ජයග්‍රහනයන් මගින්, එම ආපදා කෙතෙක් දුර පාලනය කොට ඇත්ද යන්න සලකා බැලීමෙන් වුව දිවයින කුතර්කය කීතුකර දැමෙයි.

මිනිසා සහ ස්වභාව ධර්මය අතර පවත්නා මෙම අනවරත අරගලය ෆෙඩ්‍රික් එංගල්ස් ඉතා සංයුක්ත අයුරින් ඉදිරිපත් කොට ඇත්තේ මෙසේය: “මේ අනුව, අප කිසිසේත්, දිග්විජය කල තැනැත්තෙක් විදේශීය ජනතාවක් පාලනය කරන ආකාරයෙන් ස්වභාව ධර්මය පාලනය නොකරන බවත්, ස්වභාවධර්මයෙන් පරිබාහිරව සිටින්නාවූ තැනැත්තෙකු ලෙස නොසිටින බවත්, අපද අපේ මස්, ලේ සහ මොලය සහිතව ස්වභාව ධර්මයට අයත්ව ඇති අතර, එය තුලම ජීවත්වන බවත්, ස්වභාව ධර්මය කෙරෙහි අපගේ ආධිපත්‍යය පැතිරවීම සංයුක්ත වනුයේ, ස්වභාව ධර්මයේ නියමයන් හඳුනාගෙන ඒවා නිවරැදි ලෙස අදාල කර ගැනීමට සමත් වීමෙන් අපට අනෙක් සියලුම සතුන්ට වඩා වාසිදායක තත්වයක් තිබේය යන කරුනින් බවත් අපට සෑම පියවරකදීම මතක් කරනු ලැබේ.” (සොබාදහමේ දයලෙක්තිකය, පිටුව 275, ප්‍රගති ප්‍රකාශන)

සැබැවින්ම මෙම වසංගතයෙන් ඇතිකෙරී ඇති ව්‍යසනය වලකාගත හැකිව තිබූ දෙයකි. මෙවන් වසංගතයක් පිලිබඳව දශක කීපයකට පෙරාතුවම විද්‍යාඥයන් විසින් ලොවටම අනතුරු අඟවා තිබුනි. 

එබඳු වසංගත තර්ජනයට මුහුන දීමට හැකි පරිදි  සෞඛ්‍ය සේවා ශක්තිමත් කරනු වෙනුවට, ලොවපුරා ධනපති ආන්ඩු, තමා මුහුනදී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින්, මහජන සෞඛ්‍යය සහ මහජන අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධන දැවැන්ත පරිමානව කප්පාදු කලහ. 

අධිරාජ්‍යවාදී යුද්ධ සඳහා කෙරෙන වියදම් පෙරනොවූවිරූ අයුරින් ඉහල දැමුනු අතර, වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය එන්නත් සොයා ගැනීම ඇතුලු වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂන වලට වෙන් කෙරෙන මුදල් කපා දැමින. 

මේ හේතුවෙන්, වසංගතයට කිසිසේත් මුහුනදිය නොහැකි මට්ටමකට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් විනාශ වූ අතර, එන්නත් සොයා ගැනීමේ පර්යේෂන ක්‍රියාවලිය අඩපන විය. මෙහි ප්‍රතිඵලය වූයේ ලක්ෂ සංඛ්‍යාත කම්කරු-පීඩිත මහජනතාවට තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවීමයි. 

ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල්, වසංගතය නිසා ධනපති නිෂ්පාදන ක්‍රියාවලිය නවතා තැබීමෙන් ඇතිවන    “හානිය” අවධාරනය කරමින්, “ප්‍රතිකර්මය රෝගයට වඩා හානිදායක නොවිය යුතු” බව කියා සිටී. 

අවසානයේදී ඔවුහු “පට්ටිි ප්‍රතිශක්තිකරනය” (Herd Immunity) නම් වූ ව්‍යාජ-විද්‍යාත්මක සංකල්පය මත පදනම් වෙමින්, පීසීආර් පරීක්ෂන, නිරෝධායනය සහ කායික දුරස්ථකරනය නවතා මහජනතාව මුලුමනින්ම එකිනෙකාට නිරාවරනය කිරීමේ පිලිවෙතකට යාමේ තීන්දුවට පැමින සිටිති.

එලෙස වසංගතයට නිරාවරනය වී ජනගහනයෙන් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිදේහ වර්ධනය කර ගතහොත් රෝග ව්‍යාප්තිය නතර කලහැකි බව “පට්ටි    ප්‍රතිශක්තිකරන” සංකල්පයෙන් කියැවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වසංගතවේදී මයික් රයන්,  “පට්ටි ප්‍රතිශක්තිකරනය” යන වචනයේ ම ඇති අමානුෂික බව වෙත අවධානය යොමු කලේය. සත්ව පාලනයේ දී පට්ටියක තනි සතෙකුට පුද්ගලිකත්වයක් නැත; උගේ තනි පුද්ගල බව ගනු ලබන ආර්ථික තීරනවලට වැදගත් වන්නේ ද නැත. එසේ වුවත්, මිනිස් සමාජය එ බඳු සත්ත්ව පට්ටියක් වශයෙන් සැලකීම ඔහු පිලිකුලෙන් හෙලා දැක්කේ ය. 

ලෝකයේ ම වැඩි ම ආසාදිතයන් සහ මරන ගනනක් වාර්තා වූ රටක් වන ස්පාඤ්ඤයේ පවා ප්‍රතිදේහ වර්ධනය වූයේ ජනගහනයෙන් සියයට 5 දෙනෙකුට පමනි. නමුත් මේ        ප්‍රතිශතය සඳහා ස්පාඤ්ඤයේ ජීවිත 27,459ක් බිලි දී ඇත. සියයට පනහක ප්‍රතිශතයක් සඳහා තවත් ජීවිත මිලියන ගනනක් බිලී දීමට සිදු වනු ඇත. 

“පට්ටි ප්‍රතිශක්තිකරනය” ප්‍රතික්ෂේප කරන ලොවපුරා වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වනුයේ, ආර්ථිකය යලි විවෘත කිරීම දැවැන්ත පරිමාන ව පරීක්ෂා කිරීම් සමඟ අත්වැල් බැඳ ගත යුතු බවයි. ගුවන්තොටුපලවල, කර්මාන්තශාලාවල සියලු දෙනාට ම පරීක්ෂන පහසුකම් අනිවාර්ය කලයුතු වන අතර කම්කරුවන් දින 14කට වරක්වත් පරීක්ෂා කල යුතු ය. 

ආරක්ෂිත උපකරන සම්පාදනය කල යුතු ය. එ මෙන් ම, රෝගයේ නව ඉහල යාමකට මුහුන දීම සඳහා දැවැන්ත පරිමාන ව මුදල් වෙන් කරමින් දැඩි සත්කාර ඒකක වැඩි වර්ධනය කල යුතුය. 

මේ නිර්දේශයන් සපුරාලීම කෙසේ වෙතත්, අඩු ම තරමේ සෞඛ්‍ය කාර්ය මන්ඩලවලට හෝ අවම පහසුකම් සම්පාදනය කිරීමටවත් ලංකාවේ ආන්ඩුව ඇතුලු ලොවපුරා ධනපති ආන්ඩු වලට උත්සුකයක් ඇත්තේ නැත.

ඒ වෙනුවට ඔවුන් කලේ වසංගතය මධ්‍යයේ බැංකු සහ මහා ව්‍යාපාරවලට ට්‍රිලියන ගනනින් මුදල් පොම්ප කිරීමයි. මෙම පොම්ප කල මුදල්වලට සැබෑ වටිනාකම් අත්පත් කර දීමට දැන් කම්කරුවන් වහා ම වැඩපල තුලට දැක්කිය යුතු ව ඇත. “කොරෝනා සමඟ වාසේ” නොහොත් “බැක් ටු වර්ක් (ආපසු වැඩට)” ධනපති සූත්‍රය කැටි කර ගන්නේ මෙම පන්ති වුවමනාවයි.

ධනපති කර්මාන්තකරුවෝ දිගු කාලයක් තිස්සේ සූදානම් කරමින් සිටි සැලසුම් ක්‍රියාත්මක කිරීමට වසංගතය අවස්ථාවක් කර ගෙන සිටිති. පසු ගිය වසරවල රුපියල් බිලියන ගනනින් ලාභ ලැබූ ධනපතියෝ කම්කරුවන් දොට්ට දමමින්, වැටුප්, අතිකාල සහ අනෙකුත් දීමනා කපා දමති. 

ආන්ඩුව, හාම්පුතුන් සහ වෘත්තීය සමිති යන ත්‍රිත්වය එක්ව කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට මෙතෙක් පැවති යම් කම්කරු නීතියක් වෙතොත් එයද සංශෝධනය කරමින් සිටිති.

දිවයින “පන පොවන්නට” වලිකන්නේ, ධනපතියන්ගේ ලාභ උත්පාදනය වඩාත් වේගවත් කරන සහ කම්කරුවන්ගේ සහ ඔවුනගේ දරු පවුල්වල ජීවිත අගාදයටම හෙලන මෙ බඳු ආර්ථික ක්‍රියාදාමයකටයි.

කම්කරු පන්තියට, ධනපති පන්ති සතුරාගෙන් තම රැකියා ඇතුලු මූලික අයිතීන් ආරක්ෂා කරගත හැක්කේද, දිවයින කතුවැකියේ එන කොරෝනා “අදිසි සතුරාගෙන්” තම ජීවිත ප්‍රවේසම් කරගත හැක්කේ ද, පුද්ගලික දේපොල සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය ලෝක පරිමානව පෙරලා දමා, මානව අවශ්‍යතා සපිරෙන පරිදි සමස්ත ආර්ථිකය තාර්කික ආකාරයකින් ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පමනි.

ස්වභාව ධර්මය සහ මිනිසා අතර සුසංවාදී සබඳතාවක් නිර්මානය කරගතහැකි පරිදි විද්‍යාව සහ තාක්ෂනය ප්‍රශස්ත ආකාරයෙන් යොදාගත හැක්කේද එවිට පමනි.

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි:

ශ්‍රී ලංකාවේ ජනාධිපති වසංගතය තිබියදී “ආර්ථිකය යලි විවෘත කරයි”

[15 මැයි 2020]

රෙම්ඩෙසිවිය’ “ප්‍රාතිහාර්ය ඖෂධයක්” ලෙස: විද්‍යාවට එරෙහිව වැඩට යාමේ ප්‍රචාරනය

[5 මැයි 2020]

විද්‍යාවට එදිරිව ට්‍රම්ප්: කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර කිරීමේදී හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් භයානක ලෙස ප්‍රවර්ධනය කිරීම

[23 අප්‍රේල් 2020]

Loading