මේ සතියේ ඉතිහාසය - මැයි18-24

වසර 75 කට පෙර: යුද සමයේ පැවති බ්‍රිතාන්‍ය සභාග ආන්ඩුවේ අවසානය

චර්චිල්

1945 මැයි 21 වන දින යුද කාලීන සන්ධානය අවසන් කරමින් බ්‍රිතාන්‍ය ලේබර් (කම්කරු) පක්ෂය, වින්ස්ටන් චර්චිල්ගේ කොන්සවේටිව් පක්ෂ ආන්ඩුවට ලබා දුන් සහයෝගය අවසන් කිරීමට ඡන්දය ප්‍රකාශ කලේය. හය වන ජෝර්ජ් රජුගේ ඉල්ලීම පරිදි චර්චිල් මැයි 25 වන දින ඉල්ලා අස් වීමටත්, ජුලි 5 වන දින නැවත මැතිවරනයක් පවත්වන තෙක් රට පාලනය කිරීමට භාරකාර අමාත්‍යංශයක් පිහිටුවීමටත් මෙම ඉවත් වීම හේතු විය.  

ලේබර් පක්ෂයේ මෙම පියවර,  වසර ගනනක අවපාත යුගයේ තත්වයන් ද දෙවන ලෝක යුද්ධය මගින් ඇති කරන ලද ව්‍යසනයන් ද තුල කම්කරු පන්තියේ නැගී එන සමාජ අපේක්ෂාවන්ට ප්‍රතිචාර දැක්වීමකි. තමන් චර්චිල්ට දුන් සහයෝගය ලේබර් පක්ෂය විසින් ඉවත් කරගනු ලැබුවේ, සති කිහිපයකට පෙර නාසි ජර්මනිය යටත් වීමත් සමග බ්‍රිතාන්‍ය මෙන්ම මිත්‍ර පාක්ෂික බලවතුන් යුරෝපා ගැටුම ජයගැනීමෙන් පසුව පමනි.

වැඩ වර්ජන සහ කම්කරු අරගල තහනම් කිරීම, ලේබර් සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ  පිටු බලය ඇතිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ප්‍රහාර එල්ල කිරීම ද ඇතුලු චර්චිල්ගේ මර්දනකාරී පියවරයන්ට, මීට පෙර, ලේබර් පක්ෂය,  සහාය දැක්වීය. 1944 අප්‍රේල් මාසයේදී හතරවන ජාත්‍යන්තරයේ බ්‍රිතාන්‍ය ශාඛාව වූ විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂයේ ලන්ඩන් මූලස්ථානයට කඩා වැදීමට විරුද්ධව ලේබර් පක්ෂය කිසිදු පියවරක් ගත්තේ නැත. 1926 මහා වැඩ වර්ජනයෙන් අනතුරුව වෘත්තීය අරගල පනත හඳුන්වා දීමෙන් පසුව පලමු වතාවට නීති විරෝධී වැඩ වර්ජන, උසිගැන්වීම් සහ කුමන්ත්‍රන වැරදි සම්බන්ධයෙන් එහි නායකයින්ට චෝදනා එල්ල විය.

ලේබර් පක්ෂය විසින් කොන්සවේටිව් ආන්ඩුවට ලබා දුන් සහයෝගය, යුරෝපීය කම්කරු පන්තිය බිය වැද්දීමේ අරමුනෙන් ඩ්‍රෙස්ඩන් වැනි ජර්මනියේ සිවිල් වැසියන්ගෙන් පිරුනු අතිශය ජනාකීර්නන ප්‍රදේශ වලට මිත්‍ර පාර්ශික බෝම්බ හෙලීම වැනි යුද අපරාධ වලට සම්බන්ධ වීම මගින් පැහැදිලි වෙයි. 1945 ට පෙර, ජර්මානු නාසීන් අත්පත් කරගෙන සිටි ප්‍රදේශවල ධනවාදය යලි  ගොඩනැඟීම සහතික කිරීම සඳහා බ්‍රිතාන්‍ය හමුදාව ගෙන ගිය මර්දනයේදී, පහර කෑමට ලක්ව සිටි ග්‍රීසියේ ෆැසිස්ට් විරෝධී පාටිසන්වරු කුරිරු ලෙස මර්දනය කිරීමට චර්චිල් ගත් පියවරයන්ට ලේබර් පක්ෂය පූර්න සහාය ලබා දී තිබුනි.

ලේබර් පක්ෂයේ නායකත්වය, වැඩෙමින් පැවති ජනතා රැඩිකල්කරනයට බිය වූවා සේම, කම්කරු පන්තියේ වමට නැඹුරු ව්‍යාපාර තුල තැනක් හදා ගැනීමට ද චර්චිල්ගේ හවුලෙන් ඉවත් වීමේ අවශ්‍යතාව දැක ගත්හ. වමට මාරුවීම වඩාත් හොඳින් පිලිබිඹු වූයේ, ජූලි මාසයේ පැවති මැතිවරනයෙන් කොන්සර්වේටිව්වරුන්ගේ ආසන 213 ට සාපේක්ෂව ලේබර් පක්ෂය ආසන 393 ක විශාල ජයග්‍රහනයක් අත් කර ගනිමින් පලමු වරට බහුතර ආන්ඩුවක් පිහිටුවීමෙනි. පශ්චාත් යුද සමයේ ධනේශ්වර උත්පාතය සහ යුරෝපය පුරා කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල මර්දනය කිරීම මධ්‍යයේ ලේබර් පක්ෂය, ජාතික සෞඛ්‍ය සේවය ස්ථාපිත කිරීම ඇතුලු සමාජ ප්‍රතිසංස්කරන මාලාවක් ක්‍රියාත්මක කලේය.

Loading