ඉදිරිදර්ශන

විද්‍යාවට එරෙහි ධනවාදය : පැය 36 ක් පැවති මොඩෙර්නා එන්නත් උමතුවේ පාඩම

මෙම ලිපිය මැයි 20 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

මිනිසුන් සඳහා කරන ලද පලමු කොවිඩ්-19 එන්නත් පරීක්ෂනයෙන් තමන්ට සාධනීය ප්‍රතිඵල ලැබී ඇති බව බොස්ටන්හි ජෛව තාක්ෂන සමාගමක් වන මොඩෙර්නා විසින් සඳුදා කල නිවේදනය,  මාධ්‍ය උමතුව හා ප්‍රශංසා රැල්ලක් සමඟින් පිලිගනු ලැබිනි.

සන්ධ්‍යාවේ ප්‍රවෘත්ති සිරස්තල පල වුනේ විශාල ඉදිරිපියවරක් ලෙස හැඳින්වුනු “විප්ලවීය” ප්‍රතිකාරය සමඟිනි. එන්බීසී නිවුස් ප්‍රකාශ කලේ, මෙම සොයා ගැනීම “සුභවාදී රැල්ලක් ජනනය කරන” බවයි. ෆොක්ස් නිව්ස්වල සිට සීඑන්එන් හා පීබීඑස් දක්වා සෑම තැනකම රැල්ල එක හා සමාන විය.

කියන පරිදි ප්‍රාතිහාර්යයක් සොයා ගෙන තිබුන අතර, වෝල් වීදිය ම ද එහි පසුපසින් සිටියේය. ප්‍රවෘත්තිය පිලිබඳව වෙලඳපොල ඉපිල ගිය අතර, ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය ඒකක 900 ට වඩා ද මොඩෙර්නා කොටසක මිල ඩොලර් 20 කට වඩා ද ඉහල නැඟුනි.

නමුත් පැය 36 ක් වැනි කෙටි කාලයක් තුල දී මෙම උඝෝෂනය එහිම බරින් බිඳ වැටෙන්නට පටන් ගත්තේ ය.

මොඩෙර්නා විසින් සපයන ලද තොරතුරු ඉතා සීමිත බවත්, නිෂ්පාදකයා විසින් කුඩා අධ්‍යයනයට සහභාගී වූ බොහෝ දෙනාගේ ප්‍රතිඵල පිලිබඳ දත්ත අත්හිටුවා හෝ ඒවා ලබාගෙනවත් තිබුනේ නැත යන කාරනයටත් කිසිවෙකු අවධානය යොමු නො කල බව පෙනී ගියේ ය.

ස්ටැට් නම් වෛද්‍ය ප්‍රකාශනය විසින් ඒ කිවූ කඩිනම් එන්නත පිලිබඳ මූලික විද්‍යාත්මක ප්‍රශ්න මතු කරන වාර්තාවක් ප්‍රකාශයට පත් කල විට, මොඩෙර්නා කොටස් සියයට 10 කින් පහත වැටුනි. ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය ද ඒ සමඟම පහත වැටුනි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආන්ඩුවේ “වාර්ප් ස්පීඩ්” (wasp speed) නම් එන්නත් සංවර්ධන මෙහෙයුමේ ප්‍රධානියා ලෙස පත් කර ගන්නා ලද මොඩෙර්නා විධායක නිලධාරියෙකු වන මොන්සෙෆ් ස්ලාවුයිට එය බාධාවක් නො විය. ස්ලාවුයි සිකුරාදා නිවේදනය කලේ, සඳුදා මොඩෙර්නා හි තම කොටස් විකුනන බවයි, එයින් අදහස් කරන්නේ ප්‍රචාරක උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු ඩොලර් මිලියන 2.4 න් ධනවත් වූ නමුත්, අධ්‍යයනය පිලිබඳ ප්‍රශ්න මතු වූ විට කිසිදු පාඩුවක් නො ලැබූ බව යි.

“ස්ටැට් විසින් විමසන ලද එන්නත් විශේෂඥයින් කිහිප දෙනෙකුගේ නිගමනය වූයේ, කේම්බ්‍රිජ් මහා පරිමාන සමාගම විසින් ලබා දී ඇති තොරතුරු මත පදනම්ව, ඇත්ත වශයෙන්ම එන්නත කෙතරම් බලගතු ද නැද්ද යන්න දැන ගැනීමට ක්‍රමයක් නොමැති බව ” යයි ස්ටැට් සිය වාර්තාවේ සඳහන් කලේය.

අත්හදා බැලීමේ දී ජාතික ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිලිබඳ ආයතනය සම්බන්ධ වී තිබියදීත්, “එන්අයිඒඅයිඩී සඳුදා පුවත්පත් නිවේදනයක් නිකුත් නොකල අතර මොඩෙර්නා නිවේදනය පිලිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කලේ ය.”

පුද්ගලයින් 45 දෙනෙකුට එන්නත ලබා දුන් අතර, මොඩෙර්නා විසින් ප්‍රතිඵල පිලිබඳ දත්ත ලබා දී ඇත්තේ අට දෙනෙකු ගැන පමනි.

ස්ටැට් වැඩිදුරටත් වාර්තා කලේ:

එන්නත ලබාගත් පුද්ගලයන් උදාසීන කිරීමේ  ප්‍රතිදේහ (neutralizing antibodies) වාර්තා ලබාගෙන ඇත්තේ, දෙවන එන්නත දීමෙන් සති දෙකකට පසුව ලබාගත් රුධිරයෙනි. සති දෙකක්. “එය ඉක්මන් වැඩියි. එම ප්‍රතිදේහ කල් පවතින ඒවා දැයි අපි නො දනිමු”යි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ එන්නත් පර්යේෂිකාවක වන ඇනා ඩර්බින් පැවසුවා ය. 

මොඩෙර්නා සිය පුවත්පත් නිවේදනයේ සඳහන් කලේ, එන්නත ලබා දුන් අය තුල දක්නට ලැබෙන ප්‍රතිදේහ මට්ටම් යථා තත්වයට පත් වූ රෝගීන්ගේ  “සීරාවල දක්නට ලැබෙන මට්ටමට සමාන හෝ ඊට වඩා ” වැඩි බව යි. නමුත් අධ්‍යයනය කරන ලද කොවිඩ් -19 රෝගීන් 175 දෙනාගෙන් 10 දෙනෙකුට හඳුනාගත හැකි උදාසීන කිරීමේ ප්‍රතිදේහ ( neutralizing antibodies) නොමැති බව STAT සඳහන් කරයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ එන්නත් පර්යේෂිකාවක වන ඩර්බින් සඳහන් කලේ

“මම හිතුවේ: සාමාන්‍යයෙන්? එහි අර්ථය වන්නේ කුමක්ද?"

සැට්  නිගමනය කලේ, “ඇගේ ප්‍රශ්නයට, දැනට, පිලිතුරු දිය නො හැකි”බවයි.

කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූ මහා පරිමාන මරන, දැවන්ත විරැකියාව සහ පුලුල් සමාජ අවතැන්වීම් යටතේ, මෝඩෙර්නා එන්නත නිර්දය ලෙස වගකීම් විරහිත ව ප්‍රවර්ධනය කිරීම, දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍යයේ සෑම අංශයක් තුල ම පැතිරී ඇති අසීමිත මට්ටමේ දූෂනය පිලිබඳ තවත් නිදසුනකි. 

වෝල් වීදිය හා ඖෂධ සමාගම් සම්බන්ධයෙන් ගත් විට, වසංගතය නොසිතන ලද වාසියකි. ඔවුන්ට ඩොලර් ට්‍රිලියන 6 ක ඇපයක් ලැබී ඇතිවා පමනක් නොව, ජීවිතාරක්ෂක ප්‍රතිකාර හා එන්නත් ලබා ගැනීම සඳහා බියට පත් සහ රෝගී ජනයාගෙන් වැඩිපුර අය කර ගනිමින් ඩොලර් බිලියන ගනනක් උපයා ගැනීමේ හැකියාව ද ලැබී ඇත. පාලක පන්තිය සම්බන්ධයෙන් ගත් විට, එන්නතක් නිපදවීම යනු ජීවිත ආරක්ෂා කිරීම නො ව, කොරෝනා වෛරස් ලොතැරැයිය ජය ගන්නේ කවුරුන් ද යන්න තීරනය කිරීම යි.

මාධ්‍ය විසින් හයිඩ්රොක්සික්ලෝරොක්වීන් හා පසුව ගිලීද් සමාගමේ රෙම්ඩිසිවර් ප්‍රවර්ධනය කිරීම මෙන්ම, මොඩෙර්නා එන්නත ප්‍රවර්ධනය කිරීම ද හුරුපුරුදු රටාවකට සිදුවේ. මොඩෙර්නා ප්‍රතිඵල පිලිබඳව පලවූ මාධ්‍ය අවධානය, ප්‍රාතිහාර්යක් මෙන්  සුවය ලැබීමට ආසන්නව  ඇති බවට හැඟීමක් ඇති කිරීමට උපකාරී වේ. පාලක පන්තියේ වැඩට ආපසු යාමේ ව්‍යාපාරය දිරිගගැන්වීම මෙහි අරමුනයි. කොරෝනා වෛරසය භයානක දෙයක් නො වන බවත්, සියල්ල පාලනය කර ඇති බවත්  ජීවිතය “යථා තත්ත්වයට පත්වනු” ඇතැයි යන මනෝභාවය ඇති කිරීම මෙහි අරමුන යි.

කෙසේ වෙතත්, මුල් කාලීන අත්හදා බැලීම් පිලිබඳ පොරොන්දු, වඩාත් පුලුල් ජනගහන අධ්‍යයනයන්හි පසුබෑම් හමුවේ නිරන්තරයෙන් අප්‍රසාදයට පත්වන බව එන්නත් අත්හදා බැලීම් පිලිබඳ අත්දැකීම් මගින් ඔප්පු වී ඇත. අවසානයේ වෙලඳපොලට පැමිනෙන්නේ පලමු පර්යේෂන අවධිය ඉක්ම ගිය ඖෂධවලින් සියයට 10 ක් පමනකි.

උදාහරනයක් ලෙස, ප්‍රන්ස ඖෂධ සමාගමක් වන සනෝෆි විසින් 2015 දී නිෂ්පාදනය කරන ලද ඩෙංගු එන්නත  අත්හදා බැලීමේ අදියර කිහිපයක් පසුකර ගියේය. එන්නත ලබාගත් අයට රෝගයේ දරුනු ස්වභාවයක් ඇතිවිය හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමේ සලකුනු සොයාගෙන තිබීම (discovering) මත සමාගම විවේචනයට ලක්විය. මෙම තත්වය ප්‍රතිදේහ මත යැපෙන වැඩි දියුනු කිරීමක්' (antibody-dependent enhancement)   ලෙස හැඳින්වෙන අතර එම තත්වය   වෛරස් ආසාදනය‍ මගින් ප්‍රේරනය කල හැකි ය. 2017 දී පාසැල් ලමුන් 800,000 කට එන්නත ලබා දීමෙන් පසු  එහි ආරක්ෂාව පිලිබඳ පුළුල් මහජන බිය සහ කෝපය මධ්‍යයේ  පිලිපීන ආන්ඩුව විසින් මෙම එන්නත භාවිතය අත්හිටුවා තිබේ.

අකාලයේ වෙලඳපොලවලට නිකුත් කරන ලද ඖෂධ වේගයෙන් වැඩිවීම නිසා විනාශකාරී ප්‍රතිපල ඇතිව තිබේ. 1957 දී බටහිර ජර්මනියේ ප්‍රථම වරට අලෙවි කරන ලද තලිඩොමයිඩ්, කාංසාව, නින්ද නොයාම හා උදෑසන අසනීප වැලැක්වීම සඳහා, වෛද්‍ය නිර්දේශයක් අනවශ්‍ය ඖෂධයක් ලෙස ප්‍රවර්ධනය කරන ලදී. 1961 වන විට එය දරුනූ සංජානන ආබාධ ඇති කරන බව හඳුනාගෙන තිබේ. ගබ්සා වීම වැලැක්වීම හා ගර්භනී භාවයේ ගැටලු වලක්වා ගැනීමට ගර්භනී කාන්තාවන් සඳහා  1940  සිට 1970 දශකය දක්වා අලෙවි කරන ලද ඊස්ට්‍රජන් පෙත්තක් වූ  ඩයිතිල්ස්ටිල්බෙස්ට්රෝල් (DES), පාවිච්චි කල කාන්තාවන්ට උපන් දියනියන් දුර්ලභ ආකාරයක යෝනි පිලිකා වර්ධනය වීමේ අවදානමට නැඹුරු වන බව සොයාගත්තේය.

මොඩෙර්නා එන්නත අත්හදා බැලීමේ පෙරමුන ගෙන තිබෙන ජාතික සෞඛ්‍ය ආයතනයේ ආකාස්මිකතා හා ආසාදන සෞඛ්‍ය පිලිබඳ ප්‍රධානී මෙන් ම ධවල මන්දිර සෞඛ්‍ය උපදේශක ඇන්තනි ෆෝසි, සෞඛ්‍ය, අධ්‍යාපනය, කම්කරු හා විශ්‍රාම වැටුප් පිලිබඳ සෙනෙට් කමිටුව ඉදිරියේ, වසංගතයට එරෙහිව සටන් කිරීමට ඉතා විශ්වාසදායක මෙන් ම ඔප්පු කෙරෙනු එන්නතක් අවශ්‍ය බව ප්‍රකාශ කලේ ය. වසර අවසානයට පෙර එන්නතක් ලබා දෙන බවට ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් දුන් පොරොන්දුව නො තකා, ඔහු අවධාරනය කලේ ඒ් සඳහා අවම වශයෙන් මාස දොලහේ සිට දහඅට දක්වා කාලයක් ගතවනු ඇති බව යි .

එන්නතෙහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සහතික කිරීමට පෙර එන්නත පරෙස්සමින් පාලනය කෙරුනු අත්හදා බැලීම් කිහිපයකට භාජනය විය යුතු ය. වසංගතයට එරෙහි ව සටන් කිරීම සඳහා බිලියන ගනනක් නොවන්නේ නම්, මිලියන ගනනක් පුද්ගලයන්ට එන්නත් කරනු ලැබේ. එන්නතෙහි අතුරු ආබාධ සියයට 1 ක් වැනි සුලු ප්‍රමානයකින් පවා රෝගී හෝ මාරාන්තික ප්‍රතිඵල ඇති කරයි නම් එය,  මිලියන සිය ගනනක් නොව මිලියන දහස් ගනනක් දක්වා පැතිර යනු ඇත. 

මොඩෙර්නා එන්නත පිලිබඳ ජනමාධ්‍ය රැවටිල්ල තුල පැහැදිලි කෙරී ඇති කුලීකාර හා කොල්ලකාරී අවශ්‍යතා වලට අමතරව, කොවිඩ්-19 එන්නත නිපදවීමේ එක්සත් ජනපද  ප්‍රයත්නයේ සමස්ත රාමුවේ ම ආධිපත්‍ය ගෙන ඇත්තේ  ජාතිකවාදී භූදේශපාලනික අවශ්‍යතා ය. 

ට්‍රම්ප් පරිපාලනයේ “වාප් ස්පීඩ්” නම් එන්නත් සංවර්ධන වැඩසටහන පදනම් වී ඇත්තේ, “ජාත්‍යන්තර සහයෝගීතාවය - හා චීනයෙන් එන ඕනෑම එන්නතක් වැලැක්වීම ” ද  “ඇමරිකානුවන් සඳහා පමනක් වෙන් කෙරුනු” එන්නතක් වර්ධනය කිරීමේ අරමුනු මත ද බව සයන්ස් සඟරාවේ මෑත ලිපියක සඳහන් වේ.

එහි සඳහන් වන්නේ, “වාර්ප් ස්පීඩ් කිසිදු ආකාරයක හෝ එන්නතක් බැහැර කර නැතත්, එය මෑත දී හඳුන්වා දී ඇති, වඳුරන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීමේ  එන්නත වැනි චීනයේ නිෂ්පාදිත ඒවා සලකා බලනු නො ලැබේ ” යන්නයි. එය තව දුරටත් පැවසුවේ,“වාර්ප් ස්පීඩ් හි ප්‍රධාන ඉලක්කය,  එක්සත් ජනපදය ආරක්ෂා කිරීම” බව යි.

වෙනත් වචන වලින් කිවහොත්, කොවිඩ්-19 එන්නත සඳහා වැදගත් වන, වෙලඳපොලේ අධිකාරය දැරීමට එක්සත් ජනපදය අධිෂ්ඨාන කරගෙන සිටින්නේ, රෝගයට ඇති ඕනෑ ම බැරෑරුම් ප්‍රතිචාරයකට තීරනාත්මක වන ජාත්‍යන්තර සහයෝගීතාවය පූර්වභංග කරමිනි.

මෙම සතිය ලෝක සෞඛ්‍ය සමුලුවේ 73වැනි සංවත්සරය ද සලකුනු කල අතර,  ගෝලීය ආසාදන මිලියන පහකට ආසන්න වෙමින් තිබිය දී හා 325,000 කට අධික සංඛ්‍යාවක් මෙම වෛරසයේ විනාශයට ගොදුරු සිටිය දී ඒක්සත් ජනපදය, වසංගතය වෙනුවෙන් චීනයට දොස් පැවරීම දිගටම කරගෙන ගියේ ය. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්රෙයෙසස් පවසන පරිදි, “කොවිඩ්-19 සඳහා වන ව්‍යායාමය වේගවත් කිරීම යනු, හැකි තරම් කෙටි කාලයක් තුල අපට ආරක්ෂිත, ඵලදායී හා දැරිය හැකි චිකිත්සා හා එන්නත් ලබා ගැනීම සහතික කිරීම සඳහා බොහෝ පෙරමුනු වල ප්‍රයත්නයන් ඒකාබද්ධ කිරීම යි. මෙම මෙවලම් කොවිඩ්-19 ජය ගැනීම සඳහා අමතර බලාපොරොත්තුවක් සපයන නමුත්, අපට ඒවාට සමාන ප්‍රවේශයක් සහතික කල නො හැකි නම් ඒවා වසංගතය අවසන් නො කරනු ඇත. මෙම අසාමාන්‍ය තත්වයන් තුල, මිනිය හැකි, භාවිතා කල හැකි සහ සෑම තැනකම, සෑම කෙනෙකුටම, එකම වේලාවක නව සොයාගැනීම් බෙදා හැරීම සඳහා අපට  විද්‍යාවේ පූර්න බලය මුදා හැරීම අවශ්‍ය කෙරේ. සාම්ප්‍රදායික වෙලඳපල ආකෘතීන්, මුලු ලෝකය ම ආවරනය කිරීමට අවශ්‍ය පරිමානයෙන් බෙදා නොහරිනු ඇත. ”

එහෙත් මෙම අභිලාශයන්, ලොව පුරා ධනවාදී ආන්ඩුවල ප්‍රතිචාරයට වඩා හාත්පසින්ම වෙනස් ය. ඉන් ලාභ ඉපැයීමට ප්‍රධාන සමාගම් වලට කොන්දේසි සකසන අතරතුර දී ම ඒවා, වසංගතය පාලනය කිරීමේ මොන යම් හෝ  උත්සාහයක් අතහැර දමා ඇත.

මොඩෙර්නා එන්නත පිලිබඳ උමතුවෙහි මූලික පාඩම නම්, කොවිඩ්-19 ට එරෙහි සටන පෙරමුනූ දෙකක් ඔස්සේ ඉදිරියට යනු ඇති බවයි: එනම් වෛද්‍ය පෙරමුන සහ ධනේශ්වර පද්ධතියට එරෙහි සමාජ හා දේශපාලන අරගලය යි.

පෞද්ගලික ලාභය නො ව මහජන ශුභසාදනය ලබාදීමේ අරමුනු සහිත පෞද්ගලික ඖෂධ සමාගම්වල පාලනය අවසන් කිරිමේ අරගලයට වඩා, කොවිඩ්-19  වසංගතයට විසඳුමක් සෙවීම සඳහා  වෙනත් ආකාරයක දායකත්වයත් තිබිය නොහැක.

කතුවරයා තවදුරටත් පහත ලිපි නිර්දේශ කරයි.

කොවිඩ්-19 වසංගතය: ලෝක ඉතිහාසයේ ප්‍රේරක සිදුවීමක්

ඇමරිකානු කතිපයාධිකාරය මරනය සඳහා තීන්දු ගනියි

ට්‍රම්ප් හා පොම්පියෝගේ “ගජබින්නය”

Loading