කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවන්ගේ සංඛ්‍යා ව වැඩිවෙමින් පවතී

මෙම ලිපිය මැයි 18 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

බංග්ලාදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (ඩීජීඑච්එස්) ඊයේ වාර්තා කලේ ජාතික වශයෙන් පුද්ගලයින් 23,870 ක් කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවත්, රට තුල අධික ලෙස බෝවන ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 349 දක්වා ඉහල ගොස් ඇති බවත්ය. මිලියන 160 ක ජනගහනයක් සිටින බංග්ලාදේශයේ යන්තම් 185,000 කට වඩා වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කෙරී තිබේ. සෑම දිනකම පුද්ගලයින් 6,000 ත් 9,000 ත් අතර සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කෙරෙන අතර මෙය වෛද්‍ය විශේෂඥයින් විසින් නිර්දේශ කරනු ලබන අවම 10,000 ට වඩා අඩුය.

බංග්ලාදේශ කම්කරු සහයෝගීතා මධ්‍යස්ථානය විසින් කරන ලද සමීක්ෂනයක් උපුටා දක්වමින් බංග්ලාදේශ මාධ්‍ය මෑතකදී වාර්තා කලේ කම්කරුවන් 96 දෙනෙකු ආසාදනය වී ඇති බවයි. නාරායංගන්ජ් හි කම්කරුවන් 26 ක්, සවාර්හි 24 ක්, ගාසිපූර්හි 14 ක්, අෂුලියා හි 7 ක්, ඩකාහි 6 ක් සහ සෙසු ප්‍රදේශවලින් ද කම්කරුවන් ඇතුලත් වේ. ඇඟලුම් කම්කරුවන් 10 දෙනෙකු සහ එක් කර්මාන්තශාලා නිලධාරියෙකු තහවුරු කරන ලද ආසාදනවලින් හෝ කොරෝනා වෛරස් වැනි රෝග ලක්ෂන පෙන්වීමෙන් පසු මියගිය බව වාර්තා වේ.

කර්මාන්තශාලා සේවකයින් අතර ආසාදන 20 ක් පමනක් ඇති බව පවසමින් බංග්ලාදේශ නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ සංගමය (බීජීඑම්ඊඒ) සමීක්ෂන සංඛ්‍යාලේඛන ප්‍රතික්ෂේප කල අතර, බංග්ලාදේශ කාර්මික පොලිසියේ දත්ත උපුටා දක්වමින් නිව් ඒජ් පුවත්පත පැවසුවේ ඇඟලුම් කර්මාන්තශාලාවලින් 81 ක් සහ ඉතිරි නවය වෙනත් කර්මාන්තශාලා වලින් ඇතුලුව කම්කරුවන් 90 දෙනෙකු ආසාදිත වී ඇති බවයි. 

සෞඛ්‍ය බලධාරීන්ගේ පාලනයෙන් ඔබ්බට වසංගතය උත්සන්න වෙමින් තිබියදීත්, අප්‍රේල් 26 වන දින ඇඟලුම් කර්මාන්තශාලා නැවත විවෘත කිරීමට ආන්ඩුව විසින් අවසර දුන් බැවින් මෙම කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙක් ආසාදනය වී ඇත.

අඩු වැටුප් සහිත කම්කරුවන් දහස් ගනනක් කර්මාන්තශාලා නැවත විවෘත කරන බවට සමාගම් කල නිවේදනවලට ප්‍රතිචාර දැක්වූ අතර, රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල සේවා ස්ථාන ජාතික වශයෙන් අගුලු දැමීම මැයි 30 දක්වා ක්‍රියාත්මක වේ. සාප්පු සංකීර්න විවෘතව තැබීමට අවසර ඇත්තේ දිනකට පැය කිහිපයක් පමනි. එක් සේවකයෙකු වන මොහොමඩ් මොෂියර් රොයිටර් පුවත් සේවයට පැවසුවේ තමාට දිගටම වැඩ කල යුතු බවයි. “මා සතුව මුදල් තිබුනා නම් මම අද රැකියාවට යන්නට සිදුවනු ඇතැයි ඔබ සිතනවාද? ඇත්ත වශයෙන්ම නැත."

කර්මාන්තශාලා හිමිකරුවන් කියා සිටින්නේ තමන් විසින් ආරක්ෂිත හා වැඩිදියුනු කල සේවා කොන්දේසි සපයා ඇති බවයි, නමුත් මාධ්‍ය විසින් කම්කරුවන්ගේ අදහස් උපුටා දක්වමින් ඔවුන් වෛරසයට ගොදුරු විය හැකි බවට අනතුරු අඟවයි. "බොහෝ කර්මාන්තශාලා හිමියන් ප්‍රමානවත් මුහුනු ආවරන සහ සනීපාරක්ෂක උපකරන ලබා නොදෙන බවත් කම්කරුවන්ට ඔවුන්ගේ වියදමින් ඒවා මිලදී ගත යුතු බවත්" කම්කරුවන් පැමිනිලි කරන බව ඩේලි ඔබ්සර්වර් වාර්තා කරයි.

නිර්නාමික රජයේ පරීක්ෂකවරු තිදෙනෙක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ බොහෝ කම්හල්වල යන්ත්‍ර සැකැස්ම අනුව කම්කරුවන් දුරස්ත කර තබා ගැනීම දුෂ්කර බවයි. එක් කම්කරුවකු ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ ඇය සේවය කරන “කර්මාන්ත ශාලාව පිරිසිදු නමුත් වසංගතයට පෙර මෙන් ජනාකීර්න” බවයි. ඇය මෙසේ ද පැවසුවාය: “මට බයයි. නමුත් නිවසේ සිටීම මගින් මගේ දරුවා පෝෂනය කිරීමටවත් මගේ කුලිය ගෙවීමටවත් නොහැකියි. අපි දුප්පත් මිනිස්සු.”

රාමසාන් ආගමික උලෙලේ අවසානය එලෙඹෙමින් තිබෙන බව ඉස්මතු කරමින්, අගමැති ෂීක් හසීනා තම ආන්ඩුව විසින් අවදානම් සහගතව කම්හල් නැවත විවෘත කිරීම සාධාරනීකරනය කිරීමට වෑයම් කලාය. “අපට සියල්ල වසා තබා ගත නොහැක” යනුවෙන් ඇය ප්‍රකාශ කලාය.

කර්මාන්තශාලා නැවත විවෘත කිරීමට හසිනා රජය විසින් ගත් තීරනයට රාමසාන් සමග කිසිදු සම්බන්ධයක් නැති නමුත් එය බංග්ලාදේශ ඇඟලුම් හාමුපුතුන්ගේ සහ අනෙකුත් අපනයන කර්මාන්ත ප්‍රධානීන්ගේ ඉල්ලීම්වලට දැක්වූ ප්‍රතිචාරයකි. එය ලොව පුරා ආන්ඩු විසින් කම්කරුවන් මත පනවා ඇති කුරිරු හා වෛද්‍ය විද්‍යාත්මක නොවන “පොකුරු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්ති සමඟ එකපෙලට සිටගනියි. 

සෞඛ්‍ය සේවා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය වෛද්‍ය නසිමා සුල්තානා මාර්තු අග දී ප්‍රකාශ කලේ රජයේ ආයතනයට “වෛරසය සඳහා ප්‍රතිශක්තිය ගොඩනැගීමට” අවශ්‍ය බවය. මෙය දස දහස් ගනනක් කම්කරුවන්ට මරු කැඳවිය හැකි ප්‍රතිපත්තියකි.

වැඩෙන කම්කරු පන්තියේ කෝපය හා නිසියාකාර කෝවිඩ්-19 ආරක්ෂන පියවරයන් නොමැතිකම ගැන කනස්සල්ල මධ්‍යයේ, බීජීඑම්ඊඒ හි අධ්‍යක්ෂ ෆයිසාල් සමාද් මහතා පැවසුවේ ඉහල පෙලේ මහා ව්‍යාපාරික කන්ඩායම් විසින් ක්ෂනික දුරකථන අංක සහිත අර්බුද කලමනාකරන කන්ඩායමක් පිහිටුවා ඇති බවයි. ආරක්ෂිත කොන්දේසි සඳහා කම්කරුවන්ගේ ඉල්ලීම්වලට කන්ඩායම් සාමාජිකයෝ වහාම ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔහු කියා සිටියේය.

රටේ ඩොලර් බිලියන 40 ක වාර්ෂික අපනයන ආදායමෙන් සියයට 84 ක් පමන බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තය සතුය. වියට්නාමය, චීනය සහ කාම්බෝජය වැනි ගෝලීය ප්‍රතිවාදීන්ට එරෙහිව නිෂ්පාදන හා ලාභ පවත්වා ගැනීම සඳහා කර්මාන්ත ප්‍රධානියෝ දස දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා සහ ජීවිත කැප කිරීමට සූදානම් ය. බීබීසී මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බීජීඑම්ඊඒ සභාපතිනි රුබානා හක් අනතුරු ඇඟවූයේ “ඇඟලුම් කම්හල් කම්කරුවන් මිලියන දෙකකට වඩා[මිලියන හතරෙන්] රැකියා අහිමි විය හැකි” බවයි.

රැකියා හා වැටුප් කප්පාදුව ද, වැටුප් හා ආගමික උත්සව ප්‍රසාද දීමනා නැවැත්වීම ද සහ කෝවිඩ්-19 අන්තරාය ද හමුවේ ඇඟලුම් කම්කරුවෝ දහස් ගනනක් දෛනික විරෝධතාවලදී වීදි බැස ඇත.

සෙනසුරාදා, අෂුලියා හි මැග්පී කොම්පොසයිට් ටෙක්ස්ටයිල් හා මැග්පී ස්වේටර් කම්හල්වල කම්කරුවෝ 1,500 ක් පමන පසුගිය මාසයේ වැටුප් හා නිවාඩු දීමනා ඉල්ලා සිටිමින් රැලි පවත්වා පසුව ඩකා-අරිචා අධිවේගී මාර්ගය අවහිර කලහ. පොලිසිය පෙලපාලිකරුවන්ට බැටන් පොලු සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් කම්කරුවන් පස් දෙනෙකුට තුවාල සිදු කලේය.

එක් කම්කරුවකු ඩේලි ස්ටාර් වෙත මෙසේ පැවසීය: “අප්‍රේල් මාසය සඳහා වැටුප සහ පසුගිය වසරේ වාර්ෂික ඉපැයීමේ දීමනාව තවමත් බලධාරීන් විසින් ගෙවා නොමැති නිසාත්, අපි කර්මාන්ත ශාලාව තුල වාඩිවීමේ වැඩසටහනක් පවත්වමින් සිටියෙමු.” තවත් කම්කරුවකු පැවසුවේ: “අපේ වැටුපෙන් සියයට 60 ක් අප්‍රේල් මාසයේදී භාර ගැනීමට අපි සූදානම් වූ නමුත් කර්මාන්තශාලා හිමිකරු තවමත් එය ගෙවා නැහැ. අපට මුදල් නොලැබුනේ නම් අපි කුසගින්නේ සිටිමු. ” බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවන්ගේ සාමාන්‍ය මාසික වැටුප ටකා 8,000 ක් (ඇමරිකානු ඩොලර් 95) පමන වේ.

මැයි 16 වන දින රජය, සමාගම් හිමිකරුවෝ සහ වෘත්තීය සමිති නායකයෝ හමුවී පාවාදීමේ ගිවිසුමක කොන්දේසි වලට එකඟ වූහ. කම්කරුවන්ගේ ඉල්ලීම් උල්ලංඝනය කරමින්, වෘත්තීය සමිති නිලධරයන් විසින් අදියර දෙකකින් ගෙවනු ඇතැයි සිතිය හැකි බෝනස් දීමනා ගෙවීමේ ගනුදෙනුවකට සහාය දුන්හ. එනම්, ආගමික උත්සවයට පෙර මූලික වැටුපෙන් සියයට 50 ක් සහ උත්සවයෙන් පසු තවත් සියයට 50 ක් යනුවෙනි. මෙම පාවාදීමට සම්බන්ධ වෘත්තීය සමිති වූයේ [ගෝලීය වෘත්තීය සමිති එකමුතුවක් වන] ඉන්ඩස්ට්‍රිඕල් හි බංග්ලදේශ් කවුන්සිලය (අයිබීසී) සහ ජාතික ඇඟලුම් කම්කරු සම්මේලනයයි.

ඇඟලුම් කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා බොහෝමයක් සිදුවී ඇත්තේ හ-මීම් ගෲප් , එන්වෝයි ගෲප් සහ ඉස්ලාමික් ගෲප් ඇතුලු වෘත්තීය සමිති නොමැති විශාල කම්හල්වල වන අතර එය බීජීඑම්ඊඒ සහ සංගත වෘත්තීය සමිති යන දෙඅංශයෙන්ම තැති ගැනීමට හේතු විය. හ-මීම් ගෲප් හි කම්කරුවන් 50,000 ක් පමන ද, එන්වෝයි ගෲප් හි 21,000 ක් ද සහ ඉස්ලාමික් ගෲප් හි 15,000 ක් පමන සිටිති.

සේවා යෝජකයන්ට සෘජුවම කරන ලද ආයාචනයක් මගින් අයිබීසී මහලේකම් සලාඋඩින් ෂැපන් වැඩ වර්ජන මැඩපැවැත්වීමේදී වෘත්තීය සමිතියේ ප්‍රයෝජනය පෙන්වා දුන්නේය. “නොසන්සුන්තාවයකට මුහුන දී සිටින කර්මාන්තශාලා බොහොමයකට වෘත්තීය සමිති නොමැත.” ඔහු පැවසීය. “එම හිමිකරුවන් වෘත්තීය සමිතිවලට ඉඩ දුන්නොත් අපට ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමට හැකි වනු ඇත.” යනුවෙන් වැඩිදුරටත් දැක්වූ ඔහු බංග්ලාදේශ කම්කරුවන්ගෙන් සියයට 10 ක් පමනක් වෘත්තීය සමිතිවලට හෝ කම්කරු සම්මේලනවලට අනුබද්ධව සිටීම ගැන කනස්සල්ලට පත්විය.

පසුගිය සතියේ, කොරෝනා වෛරසය පිලිබඳ රජයේ ජාතික තාක්ෂනික උපදේශක කමිටුවේ සාමාජිකයෙක් නිර්නාමිකව මාධ්‍යයට පැවසුවේ “කෝවිඩ්-19 රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට රජයට ඇති හැකියාව අපෙන් වසන්කර ඇත.” යනුවෙනි.

මෙම ප්‍රකාශය සිදු කෙරුනේ ලොව විශාලතම සරනාගත කඳවුර වන රොහින්ග්‍යා සරනාගතයින් මිලියනයක් පමන ජීවත් වන කොක්ස් බසාර් හි බොහෝ කඳවුරු වලින් එකක් වන කුටුපලොන්ග් හි පුද්ගලයින් තිදෙනෙකුට ආසාදනය වී ඇති බව පරීක්‍ෂනවලින් සනාථ වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් හෙලි කිරීමෙන් පසුව ය. මෙම කඳවුරු තදබදයෙන් යුක්ත වන අතර ප්‍රමානවත් සනීපාරක්ෂක පහසුකම් නොමැත. සේව් ද චිල්ඩ්රන් ඉන් බංග්ලඩේෂ් හි සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ෂාමිම් ජහාන් අනතුරු ඇඟවූයේ “කෝවිඩ්-19 මගින් දහස් ගනනක් මිය යා හැකි ඉතාමත් සැබෑ අනතුර අප ඉදිරියේ පවතී.” යනුවෙනි.

Loading