දුම්මලසූරිය හේලිස් කම්හලේ කම්කරුවෝ වැටුප් කප්පාදුවට එරෙහිව අඛන්ඩ වර්ජනයේ

දුම්මලසූරිය, වතුගහමුල්ලේ පිහිටි, හේලීස් සමූහයට අයත් චේස් පී හේලීස් කොහු කර්මාන්ත ශාලාවේ කම්කරුවෝ, කම්හල් පරිපාලනය විසින් සිය වැටුප් කප්පාදු කිරීමටත්, නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමටත් එරෙහිව මාසයකට වැඩි කාලයක් පුරා අඛන්ඩ වර්ජනයේ නිරත වී සිටිති. 

රට තුල කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කම්හලේ නිෂ්පාදන කටයුතු නවතා දැමුවේ මාර්තු මස මැදදී ය. අප්‍රේල් මස නැවත වැඩ ආරම්භ කිරීමේ දී, සමාගම් පරිපාලනය විසින් කම්කරුවන්ගේ වැටුප අඩකින් පමන කප්පාදු කර, නිෂ්පාදන ඉලක්ක ඉහල දමා තිබේ. 

අප්‍රේල් සහ මැයි මාසවල වැටුප් පමනක් නොව, සෑම වසරකම අප්‍රේල් මාසයේ දී ලබාදෙන අවුරුදු දීමනාව ගෙවීම ද කම්හල් පරිපාලනය විසින් පැහැර හැර තිබේ. 

180 ක් පමන වන කම්හලේ කම්කරුවෝ පරිපාලනයේ මෙම ප්‍රහාරවලට එරෙහිව කම්හල ඉදිරිපිට මාර්ගය හරස් කොට මේ මස 04 දා විරෝධතාවයක් පැවැත්වූහ. 

කම්හලේ කම්කරුවන්ගේ වැටුප තීන්දු කරනු ලැබුවේ කම්කරුවන් වියනු ලබන ලනු ප්‍රමානය අනුවයි. පැය 08 ක වැඩ මුරයක ලනු විවීමේ නිරතවන කම්කරුවෙකු හට දිනකට උපයා ගත හැකි වූයේ රුපියල් දහසක් පමනි. නව කොන්දේසි යටතේ එම අගය රුපියල් 310 කින් පමන කප්පාදු වනු ඇත. 

ලනු විවීමට ගන්නා කොහුවල රොඩු සහිත වීම හෝ වෙනත් හේතූන් මත කොහුවල තත්වය බාල වුවහොත් විවිය හැකි ලනු ප්‍රමානය අඩුවන බවත් එවන් දිනවලට කම්කරුවන්ගේ වැටුප රුපියල් 415 ක් තරම් සොච්චමක් වන බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක්වූ කම්කරුවෝ ප්‍රකාශ කලහ.   

වසර 11 ක සේවා කාලයක් ඇති මුත් රැකියාව ස්ථීර නොමැති දෙදරු මවක්, ලනු විවීමේ නිරත කම්කරුවන්ගේ කොන්දේසි විස්තර කලා ය: “තුන් දෙනෙක් වැඩ කරන මැෂින් එකක පොටවල් කිහිපයකින් යුත් ලනු මීටර් 250 ක රෝලක් වියන්න අපිට රුපියල් 64 ක් දුන්නා. ඒ වගේ රෝල් 45 ක් විතර අපි දවසකට ගහනවා. එක් අයෙකුට රුපියල් දාහක් විතර දවසකට ලැබුනා. දැන් රෝල් ගනන 65 ක් දක්වා වැඩි කරලා. එකකට ගෙවන ගානත් රුපියල් 18 කින් කපලා. ඒ අනුව අපේ පඩිය රුපියල් 350 න් විතර කපලා. අනික ඒවගේ ටාගට් එකක් අපිට දෙන්න බෑ”.  

ඇයගේ ස්වාමිපුරුෂයා අසනීප තත්වයෙන් පසුවෙයි. ඒ තත්වයේ දී ස්වාමිපුරුෂයා හා පාසල් යන එක් දරුවෙකු ඇගේ වැටුපෙන් යැපෙන බව පැවසූ ඇය වැටුප් කප්පාදුව අසාධාරන බවත් එය දරා ගත නොහැකි බවත් පැවසුවා ය. 

වැටුප් නොගෙවූ අප්‍රේල් සහ මැයි දෙමස වෙනුවෙන් වැටුපෙන් අඩක් ගෙවන ලෙස කම්කරු කාර්යාලයෙන් පරිපාලනයට උපදෙස් දී ඇතිබව සඳහන් කල තවත් කම්කරු කාන්තාවක්,  එය “බලවත් අසාධාරනයක්” බව කෝපයෙන් පැවසුවාය. 

“ෆැක්ටරි හිමියෝ මෙහෙම වැටුප් කපන්නේ හාල් ඇතුලු කන බොන දේවල්වල මිල අඩු කරලා දැ” යි තවත් කම්කරුවෙක් ප්‍රශ්න කලේ ය. නව ක්‍රමයෙන් කම්කරුවෙකුගේ මාසික වැටුපෙන් රුපියල් 7,000 ක් විතර කප්පාදු වන බව ඔහු ප්‍රකාශ කලේ ය. 

“ආන්ඩුවේ කොරෝනා අරමුදලට හේලිස් එකෙන් මිලියන ගානක් දීලා තියෙනවා. දැන් ඒවා අපෙන් අල්ලන්න හදනවා වගේ. කොහොම වුනත් අපි දන්න විදිහට ගිය අවුරුද්දේ ලාභවලින් මේ අවුරුද්ද දුවන්න තරම් ලාභයක් ෆැක්ටරියට තියෙනවා” යයි තවත් කම්කරුවෙක් කීවේය. 

ලංකාවේ ඉහලම ධනපතියා ලෙස සැලකෙන ධම්මික පෙරේරා හේලීස් සමූහයේ සම සභාපතිත්වය දරයි. කෘෂි, වතු, ඇඟලුම්, කොහු, හෝටල්, ප්‍රවාහන වැනි ක්ෂේත්‍ර ගනනාවක නිෂ්පාදනය කටයුතු සිදු කරන හේලීස් සමූහය රටවල් ගනනාවකට සිය නිෂ්පාදන අපනයනය කරන දැවැන්ත සමාගමකි. නිෂ්පාදනය කරන ලනු ඇමරිකාව, ජපානය සහ යුරෝපයේ තවත් රටවලට අපනයන කරනු ලැබේ. 

හේලීස් සමූහයට අයත් තවත් කොහු කම්හලක් දුම්මලසූරියට සමීප නගරයක් වන මාදම්පේ පිහිටා තිබේ. එහි කම්කරුවන් ද නව ප්‍රහාරවලට යටත් කොට ඇති බව සහ වතුගහමුල්ල කම්හල වසා දමා තිබෙන තත්වයේ දී එහි ඇති කොහු මාදම්පේ කම්හලට ගෙන ගොස් නිෂ්පාදන කටයුතු ගෙන යන බව කම්කරුවෝ පැවසූහ.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයට (ශ්‍රීනිසේස) අයත් කම්හලේ වෘත්තීය සමිතිය කුලියාපිටිය කම්කරු කාර්යාලයට නව තත්වය සම්බන්ධයෙන් පැමිනිලි ඉදිරිපත් කර තිබේ. පසුගිය 21 දා පැවති අවසන් සාකච්ඡාවේ දී කම්හල පරිපාලනය කම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සාකච්ඡා තවදුරටත් දිග්ගැස්සී තිබේ.   

වසර පහත් විස්සත් අතර කාලසීමාවක් රැකියාවේ නිරත වී සිටියත් (විධායක මට්මමේ නිලධාරීන් කිහිප දෙනෙක් හැර) එකම කම්කරුවෙකු හෝ මෙම කම්හලේ ස්ථීර කොට නොමැතිවීම මගින් වෘත්තීය සමිති හා කම්කරු කාර්යාල   ක්‍රියාත්මක වන්නේ කා වෙනුවෙන් ද යන කාරනය පැහැදිලිව පෙන්නුම් කරයි. 

ධනපති ලාභ පද්ධතිය යටතේ කම්කරු පන්තියට සහන දිනා ගත හැකි යයි මිථ්‍යාවන් වපුරන වෘත්තීය සමිති, ලංකාවේත් ලෝකය පුරාමත් ලෝක ධනවාදයේ අර්බූදය තුල ක්‍රියාත්මක වී ඇත්තේ අර්බූදයේ බර කම්කරු පන්තිය මත පටවන උපකරන ලෙසයි. 

රාජපක්ෂ ආන්ඩුව, හාම්පුතුන් හා වෘත්තීය සමිතිවලින් සැදුම්ලත් ත්‍රෛපාර්ශ්වික කාර්ය සාධක බලකා රැස්වීම් වලදී, කොරෝනා වසංගතය මධ්‍යයේ කම්කරුවන් නැවත වැඩට දැක්කීමේ, වසංගත ව්‍යසනයෙන් මහා සමාගම් රැක ගැනීමේ සහ නව රැකියා කොන්දේසි කම්කරුවන් මත පැටවීමේ හාම්පුතුන්ගේ යෝජනාවලට ලංකාවේ ප්‍රධාන පෙලේ වෘත්තීය සමිති නායකයෝ සිය එකඟත්වය පල කලහ. 

කම්කරු කාර්යාල, කම්කරු උපදේශන සභා වැනි ධනපති රාජ්‍යයේ උපකරන සැමදා ක්‍රියාත්මක වී ඇත්තේ, කම්කරු   ශ්‍රමය සූරාකෑමේ පිලිවෙත් වඩාත් තීව්‍රකොට ඉදිරියට ගෙනයෑමටයි.    

කෙසේ නමුත්, දුම්මලසූරිය හේකාබ් කොහු කම්හලේ කම්කරුවන්ගේ අයිතීන් ධනපති රාජ්‍යයේ උපකරනයන් වන කම්කරු කාර්යාල, කම්කරු උසාවි මගින් ආරක්ෂා වෙතැයි මිථ්‍යාවන් වගා දිගා කර ඇත්තේ ශ්‍රීනිසේස පමනක් නොවේ. 

ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) අයත් ලංකා විව්ස් වෙබ් අඩවියට අනුව, පෙසප නායකයෙකු වන දුමින්ද නාගමුව පසුගිය 20 දා නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවට ගොස් රටපුරා කම්කරුවන්ට එරෙහි ප්‍රහාර සම්බන්ධ “ගැටලු” ඉදිරිපත් කර තිබේ. 

ලිඛිතව හා වාචිකව ඉදිරිපත්කල මෙම ගැටලු සම්බන්ධව “බලධාරින්ගේ සාධාරන මැදිහත්වීමක් ඉටු නොවන්නේ නම්” විරෝධතා ක්‍රියාමාර්ගවලට අවතීර්න වන බව නාගමුව ප්‍රකාශ කරයි. 

පෙසප ඇතුලු ව්‍යාජ-වාම පක්ෂවල හා වෘත්තීය සමිති වල මෙම වැඩකටයුතුවල අර්ථය වනුයේ, ප්‍රහාරයන්ගේ මූලය වන ධනපති ක්‍රමයට සහ එම ප්‍රහාර ක්‍රියාවට නංවන ධනපති ආන්ඩුවට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් වලකාලීමයි. 

Loading