මෝදි සහ රාජපක්ෂ අතර දුරකථන සංවාදය: රාජ්‍ය නායකයන් දෙදෙනකු අතර කුහක ප්‍රශංසා කර ගැනීමක්

පසුගිය සෙනසුරාදා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුරකතන සංවාදයක යෙදුනි. දුරකතන සංවාදයේ අරමුන “දැනට දිග හැරෙමින් පවතින කොවිඩ්-19 ගෝලීය වසංගතයේ කලාපීය සෞඛ්‍යමය සහ ආර්ථික බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව” මෝදිගේ නිල වෙබ් අඩවිය දක්වා තිබුනි. නමුත්, මෙම සංවාදයේ සැබෑ උත්සුකය වූයේ මහජනතාවගේ      සෞඛ්‍ය අවදානම නොව දෙ දෙනා ගේ උපායික අවශ්‍යතාවන් ය.

“සාක් හුවමාරු පහසුකම් යටතේ ප්‍රදානය කිරීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 400ට, ඩොලර් බිලියන 1.1ක මුදලක් එකතු කිරීමට ඉන්දීය ආන්ඩුවට හැකි නම් එය විදේශ විනිමය ගැටලු කලමනාකරනය කර ගැනීමට විශාල ආධාරයක්” යැයි, ශ්‍රී ලංකාවේ ජනාධිපති, ඉන්දියානු අගමැතිට සංවාදයේ දී පවසා ඇත.

අප්‍රේල් මාසයේ දී, ඉහත ඩොලර් මිලියන 400ක ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉල්ලා සිටියේ, කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ ඍජු විදේශ ආයෝජන ඓතිහාසික පරිමානයෙන් ඉවත් ව යාමත් සමඟ,  දිගු කාලීන ආර්ථික අර්බුදය වඩාත් තීව්‍ර වෙමින් පවතිද්දී ය. 

ශ්‍රී ලංකාවේ ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ ගැඹුර කෙතෙක් ද යත්, මෝගන් ස්ටැන්ලි දර්ශකයේ ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර පැවතියේ උග්‍ර නය අර්බුදයන්ගෙන් පීඩාවට පත් පාකිස්ථානයට සහ ඝානාවට පවා පහලිනි.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදිතය (දජානි) සියයට 1 සිට සියයට 3 දක්වා    ප්‍රතිශතයකින් මේ වසරේ දී හැකිලී යනු බවට අනුමාන කරයි. නය ශ්‍රේනිගත කිරීමේ ආයතනයක් වන ෆිච් ට අනුව ආදායම් වියදම් පරතරය දජානි න් සියයට 9.3ක් දක්වා ඉහල යනු ඇත.

කොවිඩ්-19 අර්බුදය හමුවේ අපනයන වෙලඳපොල කඩා වැටීමෙන් අර්බුදයට පත් කර්මාන්තකරුවන්ට මුදල් සම්පාදනය කෙරෙන මුදල් සංචිත සිඳී යන තත්ත්වයක තව තවත් මුදල් අච්චු ගැසීම වැනි මංමුලාසහගත පියවරයන්ට යාමට මහ බැංකුවට සිදු ව ඇත. මේ තත්වය යටතේ ධනපති ආන්ඩුව මුහුන දී ඇති අභියෝගයක් වන්නේ නය පැහැර හැරීමක් වලක්වා ගනිමින් ජාත්‍යන්තර මුල්‍ය පද්ධතිය ස්ථාවර ව පවත්වා ගැනීමයි.

ශ්‍රී ලංකාවට 2021 සිට 2023 දක්වා ඇඩො බිලියන 13.8 ක නය සහ පොලී ගෙවීමට ඇති අතර මේ වසරේ ගෙවීමට නියමිත ව තිබූ නය සහ පොලී මුදල වන ඇඩො බිලියන 4.8න් ඇඩො බිලියන 1.6ක් ගෝලීය හදිසි සෞඛ්‍ය අවදානම මධ්‍යයේම පියවීමට ධනපති ආන්ඩුව ක්‍රියා කර ඇත. 

ඉතිරි ඇඩො බිලියන 3.2 ගෙවීම සඳහා ඉන්දියානු ආන්ඩුවේ ඇඩො බිලියනයක මුදල් හුවමාරු පහසුකම ද ඇතුලු ව විවිධ පිලිවෙත් අනුගමනය කරමින් සිටින බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබේ. මේ අනුව ඉන්දියාවෙන් ඉල්ලා සිටින මුදල ඉතිරි නය වාරිකයෙන් තුනෙන් එකක් වන තරම් දැවැන්ත මුදලකි.

මෝදිගේ නිල වෙබ් අඩවියේ මේ ගැන සඳහනක් නොවෙතත්, ඔහු “ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ උදවු කිරීමට එකඟ වූ බවට”  ජනාධිපති රාජපක්ෂගේ මාධ්‍ය නිවේදනය සඳහන් කර සිටී.

කෙසේ නමුත්, ඉන්දියාව ආරම්භයේ පටන් ම වසංගතය යොදා ගත්තේ චීනයට එරෙහි ව කලාපය තුල තම අනුහස තහවුරු කර ගැනීමට ලැබුනු අවස්ථාවක් වශයෙනි. වෛද්‍ය ආධාර සැපයීමේ ආවරනය ඇති ව “කොවිඩ් කඩිනම් ප්‍රතිචාර කන්ඩායම්” ඉන්දු පැසිෆික් සාගර කලාපීය රටවලට යැවීමට ඉන්දියාව කටයුතු කලේ ය.

ඉන්දියාවේ කලාපීය අභිලාෂයන් චීනයට එරෙහි තම යුද ධාවනයට ගලපා ගැනීමට පසුගිය දශක දෙකක කාලය තුල වොෂින්ටනය යෙදී සිටි අතර මෝදිගේ පාලනය යටතේ මෙම සබඳතා වඩාත් විවෘත බවක් අත්පත් කර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ධනපති පන්තියට වොෂින්ටනයේ කක්ෂයට අනුගත වීමට පැවති ප්‍රධාන ම බාධකය ඔවුන්ගේ දැවැන්ත ආර්ථික අර්බුදයයි. 2015 දී එක්සත් ජනපදයේ “ආසියාවට හැරීම” විදේශ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස, වොෂින්ටනය අතයොදා කල මෙහෙයුමකින් බලයට ගෙන එනු ලැබූ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට, 2017 දී නැවතත් චීන ආයෝජනවලට ඉඩ සලසා දෙමින්, එරටෙහි ආර්ථික ආධාර මත රඳා පැවතීමට සිදු විය.

චීනය, කොවිඩ්-19 අර්බුදය තුල, රාජපක්ෂ ආන්ඩුවට විවිධ ආධාර ලබා දුන් අතර මැයි 13 වැනි දා චීන ආයෝජන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම ගැන චීන ජනාධිපති ෂී ජිංපිං ජනාධිපති රාජපක්ෂ සමඟ දුරකතන සංවාදයක් පැවැත් වූ බව සිංහුවා පුවත් සේවය වාර්තා කලේ ය.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ දින පටන් ම, වොෂින්ටනය ශ්‍රී  ලංකාවේ නව පාලන තන්ත්‍රය තම විදේශ  ප්‍රතිපත්තියට  පැහැදිලි ව අනුගත කරවා ගැනීමට ඍජුවමත් ඉන්දියාව හරහාත් පීඩනය යොදමින් සිටියේ ය. වොෂින්ටනය සහ බීජිනය අතර මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනාධිපති රාජපක්ෂ විටින් විට සඳහන් කලත් ඔහු වොෂින්ටනයේ පීඩනයට අනුගත වෙමින් සිටියේ ය. 

ශ්‍රී ලංකාවේ ජනාධිපතිගෙන් ඇඩො බිලියනයක අතමාරුවක් සඳහා ඉල්ලීම ඉදිරිපත් කෙරෙන්නේ මෙ බඳු තත්ත්වයක් තුලයි.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවෙි නිවේදනයන්ට අනුව, ශ්‍රී ලංකාව තුල ඉන්දියානු සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ ශ්‍රී ලංකාව තුල අගය එකතු කිරීමේ කර්මාන්ත සහ වෙනත් ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා කෙරී ඇත.

දුරකතන සංවාදයෙන් පසු මෝදි “ශ්‍රී ලංකාව ජනාධිපති රාජපක්ෂගේ නායකත්වය යටතේ සාර්ථක ව කොවිඩ්-19ට එරෙහි ව සටන් කරමින් සිටින බවට” ට්විටර් සටහනක් තැබී ය. 

මෝදිගේ ප්‍රකාශය තවත් පුම්බමින් තමන්ට ප්‍රශස්තියක් ලියා ගැනීමට ජනාධිපති රාජපක්ෂ තම මාධ්‍ය නිවේදනය  අවස්ථාවක් කර ගත්තේ ය.  එය ජනාධිපති රාජපක්ෂ “අමාරු සහ ඉක්මන් තීරන ගතහැකි නිරවුල් දැක්මක් ඇති නායකයෙකු” වශයෙන් ඉන්දියානු අගමැතිගේ ප්‍රශංසාවට ලක් වී යැයි සටහන් කලේ ය.

හින්දු-ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂයේ නායක මෝදි, ගුජරාටයේ මුස්ලිම් සංහාර සම්බන්ධයෙන් කුප්‍රකට ය. ගෝලීය වසංගතයට පෙර නැග එමින් පැවති පන්ති අරගල රැල්ල වාර්ගික රේඛා ඔස්සේ අපගමනය කිරීමේ අටියෙන්, මුස්ලිම් ජනතාවට කෙනෙහිලිකම් කිරීමේ පුරවැසි පනත් සංශෝධනයක් ගෙන ආ මෝදි ආන්ඩුවට එරෙහිව, දැවැන්ත මහජන විරෝධතාවන් පැන නැගින. 

කොවිඩ්-19 හමුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මුලුමනින්ම නොතකා හරිමින්, මෝදි ආන්ඩුව ගෙනගිය සාපරාධී පිලිවෙත හේතුවෙන් දැන් ඉන්දියාව වසංගතයේ    ප්‍රධාන ගොදුරක් බවට පත් ව ඇත. 

අනෙකා, එනම් ජනාධිපති රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ දෙමල විරෝධී යුද්ධයේ අවසන් භාගයේදී රටෙහි ආරක්ෂක ලේකම් පදවිය දරමින්,  අහිංසක දෙමල ජනයාට එරෙහි ලේවැකි     ප්‍රහාර මෙහෙයවීම සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා ලද්දෙකි. පන්ති අරගල රැල්ල තලා දැමීමට ධනපති පන්තියට පොරොන්දු වෙමින් බලයට පැමිනි ඔහු මිලිටරියෙන් වාරු ලබන ආඥාදායක පාලන තන්ත්‍රයක් ගොඩ නැගීමට කටයුතු කරමින් සිටී.

රාජපක්ෂ, මෝදිගෙන් එබඳු ප්‍රශංසාවක් ලැබීමේ පුදුමයක් නැත. දෙ දෙනා ම, වසංගතය මධ්‍යයේ ම කම්කරු පන්තියේ ජීවිත බිල්ලට දෙමින්, ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය යලි අරඹා ඇත. 

ඔවුහු, කම්කරු නීති කටු ගා දමමින්, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් රැකියා වලින් නෙරපා දැමීමේ, දැවැන්ත පරිමානව වැටුප් කප්පාදු කිරීමේ සහ සූරාකෑම තීව්‍ර කිරීමේ රුදුරු පිලිවෙත් ක්‍රියාවට දැමීමට අවශ්‍ය සියලු කොන්දේසි,  ධනපතියන්ට සම්පාදනය කර දෙති. 

කුමන වියදමකින් හෝ, ධනපති ව්‍යවසායකයන්ගේ ලාභ රැකදීම දෙ දෙනාගේම පිලිවෙතයි. “අගතියට පත් කන්ඩායම් වෙනුවෙන් ඔබ ඉදිරිපත් කල ආර්ථික උත්තේජන පැකේජය මම විශේෂයෙන් ම අගය කරමි” යැයි ජනාධිපති රාජපක්ෂ තමන්ගේ පැත්තෙන් මෝදිට ප්‍රශංසා කලේ ය.

Loading