කොරෝනා ආසාදන දරුනු ලෙස ඉහල යාම නොතකා දකුනු ආසියාවේ ධනපති ආන්ඬු අගුලු දැමීම් ලිහිල් කරයි.

මෙම ලිපිය මැයි 25 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

දකුනු ආසියාව පුරා වේගයෙන් ඉහල යන කොරෝනා වෛරස්  ආසාදන හා මරන සංඛ්‍යාව නොසලකා හරිමින් කලාපයේ ධනපති ආන්ඩු ආර්ථිකය “නැවත විවෘත කිරීම” සඳහා අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීමට පටන් ගෙන තිබේ. සමස්ථයක් ලෙස ගත් කල, මේ දක්වා කලාපයේ ආන්ඩු විසින් සනාථ කරන ලද කොරෝනා වෛරස්  ආසාදිතයින්ගේ සංඛ්‍යාව 229,000 ක් වේ. එය මැයි 1 වන විට වාර්තා වූ සංඛ්‍යාවට වඩා 3.5 ගුනයකටත් වඩා වැඩිය. ඊයේ වන විට නිල කෝවිඩ් මරන  සංඛ්‍යාව 5,290 ක් විය.

වඩාත්ම තැතිගන්වන සුලු කරුන නම් මෙම සංඛ්‍යාවන් වසංගතයට ගොදුරු වූවන්ගේ සහ මරනවල සැබෑ සංඛ්‍යා ඉතා අඩුවෙන් තක්සේරු කල අගයන් වීමයි. කලාපය පුරා සෞඛ්‍ය ආරක්ෂන යටිතල පහසුකම් නොමැති වීම හේතුවෙන් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් රෝගය හඳුනා ගැනීමට නොහැකිව, මූලික වෛද්‍ය ප්‍රතිකාර පවා නොමැතිවම මිය යති. කෝවිඩ් 19 පර්යේෂන සංඛ්‍යා අතිශය විනාශකාරී ලෙස ඉතා අඩු මට්ටමක පැවතීම, සෞඛ්‍ය ආරක්ෂන යටිතල පහසුකම් වල නොසෑහීම පිලිබඳ  එක් ඇඟවුමකි. ඉන්දියාව ජනගහනයෙන් මිලියනයකට පරීක්ෂන සිදු කර ඇත්තේ 2,135 ක් පමනි. එය පකිස්ථානයේ 2,149, බංගලාදේශයේ 1 481 එක්සත් ජනපදයේ 44 200 ක් සහ රුසියාවේ 59 300 කි.  

අගුලු දැමීම හේතුවෙන් රැකියා හා ආදායම් අහිමි වූ මිලියන සිය ගනනක් පීඩිත ජනතාවට සහ වැඩ කරන ජනතාවට සහන සැලසීමට කලාපයේ සියලුම ධනපති ආන්ඩු නරුම ලෙස අපොහොසත් වී ඇත. සරනාගත කඳවුරු වලට ගාල් කරන තෙක් මිලියන ගනනක් ඉන්දීය සංක්‍රමනික කම්කරුවන් තම ජීවිත ආරක්ෂා කර ගැනීමට  පා ගමනින්ම නිවෙස් කරා ගමන් කර ඇත. මෙය කම්කරුවන් මුහුනදෙන අතිශය දරුනු ජීවන කොන්දේසි  ඉන්දියාව තුල දෘශ්‍යමාන වූ ආකාරයයි.

ආරක්ෂිත ආම්පන්න පැලඳ සිටින පුද්ගලයෝ කොරෝනා වසංගතයෙන් මියගිය පුද්ගලයෙකුගේ දේහය ආදාහනය කරන විට අවසන් චාරිත්‍ර ඉටු කරති , 2020 මැයි 14 වන බ්‍රහස්පතින්දා ඉන්දියාවේ ජම්මු හි දී (ඡායාරූපය: AP ඡායාරූප / චන්නි ආනන්ද් )

ඔවුන් අතහැර දැමූ එම ධනපති ආන්ඩු විසින්ම දැන්, ජනතාවගේ දිලිඳු බව නරුම ලෙස ගසාකමින්, ඉදිරි සති හා මාස කිහිපය තුල වෛරසය ව්‍යාප්තිය වේගවත් වන අනාරක්ෂිත කොන්දේසි යටතේ, කම්කරුවන් නැවත වැඩට දැක්කීමට බල කිරීම යුක්ති සහගත  කෙරෙයි.

ජනගහනයෙන් බහුතරය මුහුන දෙන අතිශය කාලකන්නි ජීවන කොන්දේසි මගින් අවධාරනය කරන්නේ, යටත් විජිතවාදයේ සහ අධිරාජ්‍යවාදී පරපීඩනයේ උරුමය ජය ගැනීමට, දකුනු ආසියාවේ ප්‍රතිගාමී හා දූෂිත ධනේශ්වරයේ සියලු පාර්ෂවයන්ට පවතින නොහැකියාවයි.

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමන වන බිලියන 1.93 ක ජනගහනයක් සිටින දකුනු ආසියාව, ලෝකයේ වඩාත්ම ජනාකීර්න කලාපයයි. දරිද්‍රතාව ඉතා පුලුල් ලෙස ව්‍යාප්ත වීම සහ මහජන සෞඛ්‍ය පද්ධති බිඳ වැටීම නිසා දකුනු ආසියානු කලාපය විශේෂයෙන් කෝවිඩ් 19 වැනි වසංගත වලට ගොදුරු වීමේ අවස්ථාව ඉතා වැඩිය. වඩාත්ම අනතුරුදායක කරුන නම්,  ඉන්දියාවේ දිල්ලිය සහ මුම්බායි, පාකිස්තානයේ කරච්චි සහ බංග්ලාදේශයේ ඩකා ඇතුලු කලාපයේ විශාලතම නගර වල පිහිටා ඇති ඇතැම් පැල්පත් නිවාස සංකීර්න වල කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් තිබෙන බව තහවුරු වීමයි.

ඉන්දියාව

කොවිඩ් 19 ආසාදිතයින් 125,100 ක් සහ  මරන 3,700 කට වැඩි සංඛ්‍යාවක් සහිත ඉන්දියාව, කලාපයේ ආසාදන හා මරන වලින් අඩකට වඩා වැඩි ප්‍රමානයකට වග කියයි.  නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව  මාර්තු 25 දා පැය කිහිපයක් ඇතුලත හදිසියේ නිවේදනය කල ඉවබව නැති අගුලු දැමීම, කොරෝනා වසංගතය  ව්‍යාප්ත වීම වේගවත් කලේය. ඊනියා අවිධිමත් අංශයේ රැකියා වල නියුතු මිලියන ගනන් කම්කරු පීඩිත ජනතා සඳහා මූල්‍ය ආධාර සැපයීමේ වැඩ පිලිවෙලක් නොමැතිව මෙම පියවර ගනු ලැබින.

මිලියන සංඛ්‍යාත සංක්‍රමනික කම්කරුවන් විශාල නාගරික ප්‍රදේශ වල සිට තම ගම්මාන වෙත ආපසු යාමට උත්සාහ ගැනීම හේතුවෙන් කොරෝනා වෛරසය ද  ඔවුන් මගින් ගම්මාන කරා ව්‍යාප්ත විය. ඉන්පසුව මැයි 3දා මෝඩි, ධනපති පන්තියේ මහා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ආසාදන අඩු මට්ටමක පැවති රටේ “හරිත කලාප” වල අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කලේය. මෙම පියවර හේතුවෙන් වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වී මේ වන විට, දෛනිකව ආසාදිතයින් සියයට 5 ත් 7 ත් අතර අගයක් ගනී.

මැයි 23 වන විට  ඉන්දියාවේ දෙවන විශාලතම නගරය වන මහාරාෂ්ට්‍රයත්,  මිලියන 20 කට ආසන්න ජනගහනයක් සිටින මුම්බායි නගරයත් කොවිඩ් ආසාදිතයින් 47,000 ක් සහ මරන 1,577 ක් වාර්තා කිරීමත් සමගින් වසංගතයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වී ඇත. ඉහල යන ආසාදිතයන් සංඛ්‍යාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාවන් ඉක්මවන අතර කොවිඩ් ආසාදිතයින්ට  රෝහල් ඇඳන් ලබා ගැනීම සඳහා “පොරොත්තු ලේඛනයක”( waiting list) හි රැඳී සිටීම සදහා නියෝග කිරීමට මුම්බායි බලධාරීන්ට බල කෙරුනි.

ගුජරාට් මහාධිකරනය සෙනසුරාදා නිකුත් කල නියෝගයකින් විස්තර කල පරිදි, අහමදාබාද්හි රජයේ රෝහලක තත්වය, “ශෝඛජනක” එමෙන්ම “සිරගෙයක් වැනි වූ, ඇතැම් විට ඊටත් වඩා නරක කොන්දේසි සහිත” ස්ථානයකි . ආසියාවේ විශාලතම රෝහල ලෙස සලකන රෝහලෙන් සිකුරාදා වන විට කොරෝනා වෛරස් මරන 377 ක් වාර්තා වී ඇත.

විශාල කර්මාන්තශාලා විවෘත කිරීම කම්කරුවන් අතර වෛරස් ව්‍යාප්තිය වේගවත් කර ඇත. දිල්ලිය ආසන්නයේ හර්යානා හි පිහිටි මරුටි සුසුකි සමාගම සතු මනේසා  එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කර සතියකින් පලමු කෝවිඩ් ආසාදිත රෝගියා වාර්තා වූ අතර සෙනසුරාදා වන විට  දෙවන ආසාදිතයා වාර්තා විය. මැයි 8 වන දින නැවත විවෘත කරන ලද චෙන්නායි ප්‍රද්ශයේ හුන්ඩායි එකලස් කිරීමේ කම්හලේ කම්කරුවන් තිදෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

මෝදි ආන්ඬුව පෞද්ගලීකරනය  වේගවත් කිරීම ද, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනය කාලයක් තිස්සේම ඉල්ලා සිටින ආකාරයට කම්කරු සහ ඉඩම් නීති වෙනස් කිරීම ද, ආයෝජකයන්ට ගැති ඔවුන්ට වාසි සහගත නවතම අකාරයේ “ප්‍රතිසංස්කරන” යටතේ වෙලඳපල නැවත විවෘත කිරීමට නැමී සිටියි. මෙම ප්‍රතිසංස්කරනවල අරමුන, කම්කරු පන්තිය සූරාකෑම තීව්‍ර කිරීමයි. එමගින් වොෂිංටනයේ උවමනාව පරිදි චීනයට විකල්ප නිෂ්පාදන දාම කේන්ද්‍රස්ථාන ඇති කිරීම සඳහා එක්සත් ජනපදය පදනම් කරගත් සමාගම් ආකර්ෂනය කර ගැනීම ඇතුලු ගෝලීය ආයෝජනවලින් විශාල කොටසක් ඉන්දියාවට ලබා ගැනීමයි.

පසුගිය සතියේ මෝදි ආන්ඩුව වසංගත අගුලු දැමීමේ පියවරයන්ගේ “නිර්නායක” සංශෝධනය කරන ලද්දේ අද සිට “ජාතික ගුවන් ගමන්  සංශෝධනය කිරීමට” ඉඩ ලබා දෙමිනි.

පකිස්ථානය

කොවිඩ් 19 ආසාදන සීග්‍රයෙන් ඉහල ගොස් තිබියදීත්, පසුගිය සතියේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ආන්ඩුව අර්ධ අගුලු දැමීම ඉවත් කලේය. රාමසාන් අවසන් වන විට එලඹෙන ඉස්ලාමීය උත්සව සමය ආසන්නයේ දී පවුල් හා කන්ඩායම් එක්රැස් වන අවස්තාවක අගුලු දැමීම ඉවත් කිරීම ආන්ඩුවේ වගකීම් විරහිත පියවරකි.

කොවිඩ්-19 මරන සංඛ්‍යාව 1100 පසුකර යන අතර තහවුරු ආසාදිතයින් 52,000ක් වාර්තා විය.

ඛාන් ආන්ඩුව වෛද්‍ය විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් නොසලකා රාමසාන් සමයේදී මුස්ලිම් පල්ලිවල ආගමික එක්රැස්වීම් සඳහා ඉඩ දුන්නේය. වොෂිංටන් පෝස්ට් පුවත්පතට අදහස් දැක්වූ ඉස්ලාමාබාද් හි  කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහලක ජ්‍යෙෂ්ට වෛද්‍යවරයකු වන වසීම් කවාජා පවසන පරිදි, රාමසාන් කාලයේ සිට මේ දක්වා ඉතා සීග්‍රයෙන් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහල ගොස් තිබේ. ඒ අතර, අගුලු දැමීමේ කාලය තුල දැඩි ආර්ථික පීඩාවන්ට ලක්වූ මිලියන ගනන් පීඩිත කම්කරුවන් සහ වැඩ කරන ජනතාව රැකියාවක් සොයා ගැනීමට සහ කුස ගිනි නිවා ගැනීමට අරගලයක යෙදෙති.

ධනපති ආන්ඩුව ගෙන යන මෙම සාපරාදී පියවරයන්ට විරෝධය  දක්වන කම්කරුවෝ ආන්ඩුවේ කුරිරු මර්දනයට මුහුන දෙති. පාකිස්තානයේ ජාතික වෘත්තීය සමිති සම්මේලනය වාර්තා කලේ, කරච්චි නුවර ජාත්‍යන්තර සංනාමයක් සහිත ඩෙනිම් ඇඳුම් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවෙන් නොගෙවූ වැටුප් ඉල්ලා විරෝධතාවයේ යෙදුනු  කම්කරුවන්ට පොලිසිය සහ කර්මාන්තශාලා ආරක්ෂකයින් විසින් වෙඩි තැබීමෙන් එක් සේවකයෙකු තුවාල ලබා ඇති බවයි. කලමනාකාරිත්වය විසින් කම්කරුවන්ගේ රැකියා කප්පාදු කිරීමට එරෙහිවද කම්කරුවෝ මෙම විරෝධතාවයේදී හඬ නැඟූහ. 

පාකිස්තාන පාලක පන්තිය උත්සුකවන ප්‍රධානතම කාරනය,  වසංගතය හේතුවෙන් ඇති වන ආර්ථික බිඳවැටීම ඔවුන්ගේ ආයෝජන හා ධනයට කෙසේ බලපායිද යන්නයි. වසංගතය ආරම්භයේ 2019 දී අවසන්වූ ඩොලර් බිලියන 6 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇප ගිවිසුමට අදාල ගෙවීම් සඳහා  ඉස්ලාමාබාදය, අතිරේකව ඩොලර් බිලියන 1.4 ක හදිසි නයක්  ලබා ගත් අවස්ථාවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද දරුනු ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීමට ඛාන් ආන්ඩුව පියවර ගෙන ඇත. 

පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරනය නිකුත් කල තීන්දුවකින් අවධාරනය කලේ, පාලක පන්තිය තම රටේ පුරවැසියන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට වඩා ජාමූඅ සහ ගෝලීය ආයෝජකයින්ගේ ඉල්ලීම් ඉටුකිරීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන බවයි. “පෞද්ගලික ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරික කටයුතු" වලට සම්බන්ධ නොවන ලෙසත් පවතින තත්වය කෙරෙහි  විශ්වාසය බිඳ වැටුනහොත්, ඔවුන් සිය ආයෝජන වෙනත් රටවලට රැගෙන යනු ඇතැයි ඉන් ආන්ඩුවට අනතුරු අඟවනු ලැබින. පාකිස්තානය “බරපතල ලෙස පීඩාවට පත් නොවූ” තත්වයකදී කොරෝනා සමඟ සටන් කිරීම සඳහා “මෙතරම් මුදල් වියදම් කරන්නේ” මන්දැයි එය ආන්ඩුවෙන් ප්‍රශ්න කර තිබුනි.

බංගලාදේශය

මැයි 10 වන දින, අගුලු දැමීම් ඉවත් කිරීම බංගලාදේශයේ වෛරස් ව්‍යාප්තිය වේගවත් කර තිබේ. සාප්පු සංකීර්න සහ වෙලඳපොලවල් විවෘත කිරීමටත් පුද්ගලික ප්‍රවාහන කටයුතු සඳහාත් අවසර  දී ඇත. අප්‍රේල් 26 ත් පෙර කර්මාන්තශාලා විවෘත විය.

සෙනසුරාදා උදෑසන වන විට මුලු ආසාදන සංඛ්‍යාව 32,000 හා මරන 450 ක් විය. මිලියන 160 ක ජනගහනයක් සිටින රටක, දිනකට පරීක්ෂන 10,000 ක් වැනි ඉතා සුලු සංඛ්‍යාවක් සිදු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත. අවශ්‍ය වෛද්‍ය උපකරන නොමැතිවීම හේතුවෙන් රෝගීන් වෛද්‍ය පහසුකම් ලබා නොදී ආපසු හරවා යවා ඇති බවට වාර්තා වේ.

විශේෂයෙන්  කම්කරුවන් ආපසු වැඩට දැක්කීමේ ආන්ඩුවේ ව්‍යාපාරයෙහි මූලික එල්ලයව ඇති ඇඟලුම් ක්‍ෂේත්‍රයේ සේවයේ නියුතු කම්කරුවන්ට වෛරසය දැඩි හානි පමුනුවා ඇත. අවම වශයෙන් කොරෝනා වෛරස් රෝග ලක්ෂන සහිත ඇඟලුම් කම්කරුවන් දස දෙනෙකු සහ එක් කලමනාකරුවෙකු මිය ගොස් ඇත. පාලක පන්තිය කම්කරුවන්ගේ ජීවිත සාපරාධී ලෙස නොසලකා හැරීමට හේතු වී ඇත්තේ ඇඟලුම් කර්මාන්තය බංග්ලාදේශයේ ඩොලර් බිලියන 40 ක වාර්ෂික අපනයනයෙන් සියයට 84 ක් පමන උපයා ගැනීම නිසාය. බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්තය චීනය, කාම්බෝජය සහ වියට්නාමය ඇතුලු අනෙකුත් අඩු වැටුප් සහිත රටවල් සමඟ කුරිරු තරඟයක නියැලී සිටී.

පසුගිය බදාදා වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් විරෝධතා දැක්වූ, අෂුලියා , සැවාර් , ගාසිපූර් , නාරායංගන්ජ් සහ චැටෝග්රෑම් ඇතුලු කර්මාන්තශාලා 50 ක කම්කරුවන්ට පොලිස් බැටන්  ප්‍රහාර එල්ල විය.

බදාදා රාත්‍රියේ, 16 දෙනෙකුට මරු කැඳවමින් රටේ වෙරලබඩ ප්‍රදේශවලට කඩා වැදුනු ඇම්ෆාන් සුලි කුනාටුව,  කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන සමාජ හා සෞඛ්‍ය ව්‍යවසනය තවත් උග්‍ර කලේය. පීඩිත ජනතාව මත සුලි කුනාටුව  කඩා වැදීමට පෙර, වෛරසය පැතිරීමට එරෙහිව කිසිදු පූර්වාරක්ෂාවක් නොමැතිවම සරනාගත කදවුරු 15,000 ට අධික සංඛ්‍යාවකට මිලියන 2.4 ක පිරිසක් ගාල් කිරීමට බලධාරීන්ට සිදුවිය. ලොව විශාලතම සරනාගත කඳවුරුවලින් එකක් වන, මිලියනයක රෝහින්ග්‍යා සරනාගතයන් සහිත  කඳවුරක කෝවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇත.

ඇෆ්ගනිස්ථානය

දශක දෙකක, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී සෘජු මැදිහත්වීම හමුවේ සිදු කරන ලද වාඩිලෑම් හා නව යටත් විජිත පාලනය යටතේ පීඩා විඳි, යුද්ධයෙන් විනාශ වූ රටෙහි මිලියන 32 ක වැසියන් සඳහා සෞඛ්‍ය හා සමාජ යටිතල පහසුකම් නොමැති තරම්ය. ඉරිදා වන විට කොවිඩ් ආසාදන 9,998 ක් සහ මරන 216 ක් නිල වශයෙන් වාර්තා විය.

රටේ ආසාදිතයින්ගෙන් තුනෙන් එකක්ම අගනුවර වන කාබුල් හි වාර්තා වී ඇති අතර, මාර්තු 8 වනදා සිට එහි  විටින් විට අගුලු දැමීම් සිදු කර ඇත. කලාපයේ අනෙකුත් සියලුම රටවල් වල මෙන්ම කොරෝනා අගුලු දැමීමේ පියවරයන් හේතුවෙන් කම්කරුවන්ගේ විරැකියාව සහ දරිද්‍රතාවය උග්‍ර වී තිබේ. මැයි 8 වෙනිදා අල් ජසීරා වාර්තා කලේ, “අගුලු දමා තිබියදීත්, බොහෝ අය නැවත පාරට බැස ඇත. මේ අවස්ථාවේ පාරට බැස ඇත්තේ සිඟමන් යැදීමටයි“ යනුවෙනි.

ශ්‍රී ලංකාව

මැයි මාසයේදී ව්‍යාපාරික කටයුතු නැවත විවෘත කිරීමේ අරමුනින් වසංගතය හා ආසාදන සංඛ්‍යා ලේඛනවල භයානක කම ශ්‍රී ලංකා බලධාරීන් විසින් අවතක්සේරු කර ඇත. ආසාදිතයින් 1089 ක් වැනි විශාල සංඛ්‍යාවක් වාර්තා වීම නොතකා ධනපති ආන්ඩුව අඟහරුවාදා සිට  රාත්‍රී පැය 6 ක කාලයක් පමනක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර දිවා කාලයේදී ඇඳිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

කොරෝනා වසංගතය ඉතා හොඳින් පාලනය කර ඇති බවට ආන්ඩුව කයිවාරු ගැසුව ද පෙබරවාරි 18 දින සිට මේ දක්වා සිදු කර ඇත්තේ සාමාන්‍යයෙන් දිනකට පරීක්ෂන 600 ක් වැනි ඉතා සුලු ප්‍රමානයකි. සෞඛ්‍ය සේවකයින්ට ප්‍රමානවත් තරම් පුද්ගලික ආරක්ෂන උපකරන (පී.පී.ඊ.) ලැබෙන්නේ නැත.

අත්තනෝමතික පාලනයකට මග හෙලි කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කොරෝනා වසංගතය ගසාකනු ලබයි. සමාජ දුරස්ථභාවය බලාත්මක කිරීමේ මුවාවෙන් කොලඹ ප්‍රදේශයේ යුද හමුදාව බලමුලු ගන්වා ඇත. කොරෝනා වසංගතය මුවාවෙන්, ප්‍රතිගාමී කම්කරු ප්‍රතිසංස්කරන ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද ආන්ඩුව කටයුතු කරන අතර ඒ සඳහා ධනේශ්වර ගැති වෘත්තීය සමිතිවල සහායද ලැබී ඇත.

දශකයක් පුරා දැවැන්ත ලෙස  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපාදන කප්පාදුවට ලක් වීමෙන්ද, වසර තිහකට ආසන්න සිවිල් යුද්ධය හේතුවෙන්ද, මහජන සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙමින් තිබේ. ගිනිකොන දිග මෝසම ආරම්භ වීමත් සමඟ ඩෙංගු උන සහ මී උන  පැතිර යාමෙන් අර්බුදය තව දුරටත් සංකීර්න විය හැකි බව වසංගත රෝග විද්‍යාඥයින් අනතුරු අඟවයි. 

නේපාලය

නිල සංඛ්‍යා ලේඛන වලට අනුව සෙනසුරාදා සවස වනවිට නේපාලයේ වාර්තා වී ඇත්තේ කොරෝනා ආසාදිතයින්  548 ක් සහ මරන 3 ක් පමනක් වුවද ,එය සැබෑ සංඛ්‍යාවන් දරුනු ලෙස අවතක්සේරු කිරීමකි.  නේපාලයේ  ඇත්තේ අතිශය සීමිත සෞඛ්‍ය සේවා පද්ධතියක්  වන අතර කොරෝනා වසංගතය සමඟ කටයුතු කිරීමට එයට කිසිසේත්ම හැකියාවක් නැත.

මේ වන විට අවිධිමත් අංශයේ  සහ ග්‍රාමීය ප්‍රදේශවල පීඩිත කම්කරුවෝ ආන්ඩුවේ අගුලු දැමීමේ පියවරයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. ඉන්දියානු-නේපාල දේශ සීමාවේ සංක්‍රමනික කම්කරුවෝ දහස් ගනනක් අතරමංව සිටිති. ඊට අමතරව, මැද පෙරදිග රට වලදී අධික ලෙස ශ්‍රම සූරාකෑමට ලක්වූ නේපාල සංක්‍රමනික කම්කරුවන් ලක්ෂ ගනනක් භයානක තත්ත්වයන් හමුවේ කොටු වී සිටියි.

දරිද්‍රතාවය, විරැකියාව සහ අගුලු දැමීම හේතුවෙන් ඇති ව තිබෙන මහජන කෝපය ප්‍රතිගාමී මාවත් වලට හැරවීම සඳහා කත්මන්ඩු ධනපති ආන්ඩුව නේපාල ජාතිකවාදය අවුස්සමින් ඉන්දියාව සමඟ දේශසීමා ආරවුලක් යලි පන ගන්වයි. නවදිල්ලිය විසින් මෑතකදී අත් කර ගත් ඉන්දියාවේ උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ නේපාලය හිමිකම් කියන ප්‍රදේශ හරහා චීනයේ ටිබෙට් ස්වයං පාලන කලාපයට මාර්ගයක් විවෘත කිරීමත් සමග, අගමැති ෂර්මා ඔලි,  මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශ තම ආන්ඩුව විසින් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවට පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පොරොන්දු විය. ”

මාල දිවයින

450,000 ක් පමන ජනගහනයක් වෙසෙන, මාල දිවයිනේ කොවිඩ් ආසාදිතයන් 1,274 ක් ද මරන 4 ක් ද වාර්තා වී තිබේ. විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන මූලාශ්‍රය වන සංචාරක කර්මාන්තයේ බිඳවැටීම රටේ ආර්ථිකය ගැඹුරු අර්බුදයකට ඇද දමා තිබේ.

Loading