විදෙස්ගත ශ්‍රී ලාංකික කම්කරුවන් අත්හැර දැමීම මගින් රාජපක්ෂ ආන්ඩුව ඉහල යන කොවිඩ්-19 ආසාදනයන්ට ප්‍රතිචාර දක්වයි

සමන් ගුනදාස
1 ජූනි 2020

මෙම ලිපිය මැයි 29 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ශ්‍රී ලංකාවේ සංක්‍රමනික කම්කරුවන්, මැද පෙරදිග සිට පෙරලා නිවෙස් වෙත ගෙන ඒමට සැලසුම් කර තිබූ ගුවන් ගමන්, ආන්ඩුව මේ සතියේ නවතා දැමීය. බොහෝ දෙනා කොරෝනා වෛරසයේ ආසාදනයට ලක්ව තිබූ බව සොයාගැනීමෙන් අනතුරු ව මෙම තීරනය ගනු ලැබී ය.

“ශ්‍රී ලාංකිකයන් පෙරලා සිය රටට ගෙන ඒම සඳහා නව යාන්ත්‍රනයක් සැලසුම් කිරීමට නියමිත” බව මැයි 26දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය අංශය නිවේදනය කලේ ය. මෙම “නව යාන්ත්‍රනය” පිලිබඳ තොරතුරු තවමත් හෙලිදරවු කර නැත.

කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා බදාදා මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ, විදෙස් රටවල සිට ආපසු පැමිනි කම්කරුවන් අතරින් කොරෝනා වෛරස් ආසාදන 157ක් වාර්තා වී තිබූ බව යි. “මැද පෙරදිග (මැපෙ) රටවල සිට තවත් ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන ආව හොත්, ආසාදිත රෝගීන් ගනන ඉහල යාමේ හැකියාව තිබෙනවා” යි ඔහු කීවේ ය.

කොට්ටාවේ දී බස් රථයක ආසනයක් ලබාගැනීමට පොරකන කම්කරුවන් (ස්තුතිය: ලෝසවෙඅ)

මැයි 24 හා 28 අතරතුර, ශ්‍රී ලංකාවේ තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව 383 කින් ඉහල ගොස් සමස්ත සංඛ්‍යාව 1524 දක්වා වර්ධනය විය. මෙම ඉහල යාම නව වාර්තාවක් වූ අතර, එය ඉහල යන ආසාදනයන් සමග පොරබැදීම සඳහා තවත් රෝහල් දෙකක් -හම්බන්තොට හා තෙල්දෙනිය- ආන්ඩුව විසින් වෙන් කරනු දැකගත හැකි විය. මෙම ක්ෂනික නැග්ම, කුවේට්, වෛරසය ආසාදිත සංක්‍රමනික කම්කරුවන් ඩුබායි හා කටාර් සිට ආපසු පැමිනීමේ හා ශ්‍රී ලංකාවේ නාවික භටයන් අතර ආසාදිතයන් වැඩිවීමේ ප්‍රතිඵලයක් විය.

නියමිත කාලයේ දී තමන් ව ආපසු ගෙන්වා ගැනීම සංවිධානය කිරීම කොලඹ ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා, තමන් ආසාදනයට භාජනය වූ බව සංක්‍රමනික කම්කරුවන් නිවැරදි ව පෙන්වා දී ඇත. කුවේටය තුල පමනක් වීසා කල් පසු ව අතරමං වූ සංක්‍රමනික කම්කරුවෝ 16,000කට අධික සංඛ්‍යාවක් තවමත් සිටිති.

කුවේට් ආන්ඩුව අප්‍රේල් 21දා “පොදු සමා කාලයක්” ප්‍රදානය කල නිසා, මෙම කම්කරුවන්ට රටින් පිටවීමට හැකි විය. කුවේටය තුල වසංගතය ක්ෂනික ව පැතිර යද්දී පවා, ශ්‍රී ලංකාවේ ආන්ඩුව ඔවුන් ආපසු ගෙන්වා ගැනීම වහා ම සංවිධානය කිරීමට අසමත් විය.

ශ්‍රී ලාංකික කම්කරුවන්ගෙන් බොහෝ දෙනා අන්ත අසරන ව, දැනට අනාරක්ෂිත තදබදයෙන් පිරි වාසස්ථානවල සිටින අතර, කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පිටත දී විරෝධතාවක් ද පැවැත්වී ය. තමන් ආපසු කොලඹට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලමින් කම්කරුවන් කිහිප දෙනෙක් යූටියුබ් වීඩියෝවක කතා කල හ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නගරයක් වන සාජාහි ශ්‍රී ලාංකික මුද්‍රන ශිල්පියෙක් වන ආර්. වික්‍රමනායක ලෝසවෙඅ වෙත කතාකරමින්, පසුගිය මාසයේ ඔහුගේ වැටුප සියයට 50කින් කපා ඉන්පසු මැයි මාසයේ සියයට 40 කින් අඩුකල බව කීවේ ය. කලින් ඩිරාම් 1,600ක් (එක්සත් ජනපද ඩොලර් 435ක්) වූ ඔහුගේ මාසික වැටුප දැන් ඩිරාම් 640ක් පමනි.

කොට්ටාවේ දී කම්කරුවන් බස් රථයකට ගොඩවෙන ආකාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ සමාජ-දුරස්ථකරනය පවත්වාගෙන යා නො හැකි බවයි. (ස්තුතිය: ලෝසවෙඅ)

ආන්ඩුවේ රෝහල්, රෝගීන්ගෙන් පිරී පවතින බැවින්, සංක්‍රමනික කම්කරුවන්ට ඔවුන් රෝගාතුර වුවත්, සිටින තැන්වල ම රැඳී සිටින ලෙසට උපදෙස් දෙන ලද බව ඔහු කීවේ ය. මෙම කම්කරුවන්ට   ප්‍රවේසම් වන ලෙස උපදෙස් දීම හා ඔවුන් සිටින තැන් ලියාපදිංචි කරන ලෙස කීම හැරුනු විට ශ්‍රී ලංකාවේ ආන්ඩුව කිසිවක් කර නැත.

මැද පෙරදිග තුල ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවෝ මිලියනයකට අධික ගනනක් සිටිති. එම සංඛ්‍යාව, කලාපය තුල ගොරතර කොන්දේසි යටතේ අඩු වැටුපට ඩාදිය හෙලන, බහුමිලියන ගනනක් වන දකුනු ආසියානු ශ්‍රම බලකායේ එක් සංරචකයකි.

මුදල් හිඟයෙන් පෙලෙන ශ්‍රී ලංකාවේ ආන්ඩුව, මෙම කම්කරුවන් විසින් වාර්ෂික ව එවන ඩොලර් බිලියන 7ක් වන ප්‍රේෂන මත රැඳී සිටී. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින්, මෙම කම්කරුවන්, “රටෙහි ජීවනාලිය” ලෙස කුහක අයුරින් උත්කර්ෂයට නංවා ඇතත්, හිටපු ඇමතිවරයෙකු හා පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායකයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ කල කතාවකදී, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවෙහි සැබෑ ආකල්පය එලියට පැන්නේ ය. මේ සතියේ දෙරන රූපවාහිනියේ සාකච්ඡාවට සහභාගි වූ ඔහු, ආසාදිත කම්කරුවන් “බෝම්බ” ලෙස හැඳින්වී ය.

මැද පෙරදිග ආන්ඩුවලට සංක්‍රමනික කම්කරුවන් ආපසු එවීමට අවශ්‍ය වුවත්, කොලඹ ආන්ඩුව එයට මනාප නො වී ය. විදේශගත කම්කරුවන් ආපසු ඒම අධෛර්යයට පත්කරමින්, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මෙසේ කීවේ ය: “එක්තරා කාලයකට පෙර අපි ශිෂ්‍යයන්ට කල අයුරින් මෙම සේවකයන්ට අප ආයාචනය කරන්නේ, ඔවුන්ගේ ආපසු පැමිනීම නිසා ඇති විය හැකි රැකියා අහිමි වීම හෝ අධ්‍යාපන අවස්ථාව අහිමි වීම හෝ විශාල ප්‍රමාදයන් ප්‍රවේසමින් සලකා බලන ලෙස යි.”

මෙම කම්කරුවන් කෙරෙහි ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ ආකල්පය, ෆෙඩ්‍රික් එංගල්ස් 1845 දී ලියූ එංගලන්තයේ කම්කරු පන්තියේ තත්ත්වය නමැති කෘතිය තුල බ්‍රිතාන්‍ය ධනේශ්වරය පිලිබඳ ව සිදුකල නිරීක්ෂන ප්‍රතිරාවය කරයි: “එයට (ධනේශ්වරයට), මුදල් ම මිස අනෙකක් මෙලොව නො පවතී. ක්ෂනික ලාභය හැර අන්‍ය ප්‍රීති ප්‍රමෝදයක් එය නොදනී. රත්තරන් අහිමිවීම හැර අන් වේදනාවක් ද එය නො දනී. මෙම වස්තුකාමය හා තෘෂ්නාව ඉදිරියේ, එකදු මානව හැඟීමකට හෝ අදහසකට අදූෂිත ව පැවතිය නොහේ.”

මැයි 26දා, අතරමං වූ ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවන්ගේ ආයාචනාවන් ප්‍රතික්ෂේප කල කොලඹ ආන්ඩුව, වෛරසයේ බලපෑමට වඩාත් ම ලක්වූ කොලඹ හා ගම්පහ වානිජ මධ්‍යස්ථානයන් ඇතුලු සියලු දිස්ත්‍රික්කයන් හි දිවාකාලීන අගුලු දැමීම අවසන් කරමින්, ආර්ථිකය ඉව බව නැති ලෙස යලි විවෘත කිරීම දිගට ම කරගෙන ගියේ ය. 

යුද හමුදාපති සිල්වා නරුම ලෙස මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි මාරාන්තික වෛරසයට එරෙහි යුද්ධය ජයගනිමින් සිටිනවා. තවත් සති කිහිපයක් යන තෙක් සෞඛ්‍යය හා ආරක්ෂක උපදෙස් මහජනයා විසින් දරාගනු ඇතැයි මා අපේක්ෂා කරන අතර, ප්‍රධාන දෙය වන්නේ ශාරීරික දුරස්ථභාවය හා සනීපාරක්ෂාව යි.”

සෙනග පිරුනු බස්රථවල හෝ දුම්රියවල ගමන් කිරීමට සිදුවන හා සමාජ දුරස්ථකරනය පවත්වාගත නොහැකි වැඩපොලවල රැකියාවෙහි නිරත වීමට සිදුවන කම්කරුවන්ට මෙම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කල නො හැක.

අතරමං වූ සංක්‍රමනිකයන්ගේ ඉරනම කෙරෙහි රාජපක්ෂ ආන්ඩුවේ අනුකම්පා විරහිත නො තැකීම, ශ්‍රී ලංකාව තුල වෙසෙන කම්කරුවන් කෙරෙහි එහි ආකල්පය ම වෙයි. රැකියා අහිමිවූ හෝ ආදායමක් රහිත මිනිසුන් සංඛ්‍යාව ගැන ජාතික මට්ටමේ තක්සේරුවක් කිරීමට ආන්ඩුව කරදර වී නැත. වැටුප් හා විශ්‍රාම වැටුප් කපා දමා ඇත්තේ කාගේ ද යන්න හා වැඩ පැය ගනන වැඩිකර ඇත්තේ කාගේ ද යන්න පිලිබඳ නිල තොරතුරු නැත.

ලොව පුරා එහි සහචරයන් මෙන්, ශ්‍රී ලංකාවේ ආන්ඩුව ද මාධ්‍යවල සහයෝගය සහිත ව, වෛරසයට නිර්බාධිත ව පැතිර යමින් සමාජයේ වඩාත් ම ගොදුරු විය හැකි කොටස්වලට ආසාදනය වීමට ඉඩ දෙන “පොකුරු ප්‍රතිශක්ති” පිලිවෙත් ආවෘත ලෙස අනුගමනය කරයි.

ජනවාරි මාසයේ පලමු ආසාදිතයා සොයාගනු ලැබූ තැන් පටන් මාරාන්තික රෝගය නො තකා හල රාජපක්ෂ ආන්ඩුව, ගැටලුව “පාලනය යටතේ” පවතින බව ප්‍රකාශ කලේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ඩබ්ලිව්එච්ඕ) උපදෙස් නො තකා හරිමින් සිටින කොලඹ ආන්ඩුව, ශ්‍රී ලංකාව “ව්‍යාපාර සඳහා විවෘත” යයි අවධාරනය කරමින් තත්ත්වය පිලිබඳ රෝස පැහැ පින්තූරයක් මැවීමට උත්සාහ දරයි.

ඩබ්ලිව්එච්ඕවේ හදිසි අවස්ථා ප්‍රධානී වෛද්‍ය මයික් රයන්, කොවිඩ්-19 ආසාදන තවමත් “මධ්‍යම හා දකුනු ඇමරිකාවේ සහ දකුනු ආසියාවේ හා අප්‍රිකාවේ ඉහල යමින් පවතින” බවත්, “පලමු රැල්ල නැවැත්වීමට ගත් පියවරයන් ඉක්මනින් ඉවත් කලහොත් ආසාදන රේට්ටු ඉතා ඉක්මනින් යලි ඉහල යා හැකි” බවත් මැයි 25දා ප්‍රකාශ කලේ ය.

ජාතික සෞඛ්‍ය කාර්යාංශය විසින් ඊයේ (මැයි 28) නිකුත් කල සංඛ්‍යා ලේඛනවලට අනුව, පෙබරවාරි 18 හා මැයි 27 අතරතුර සිදුකරන ලද සාමාන්‍ය දෛනික පරීක්ෂන ගනන යන්තම් 883 කි. එය ලෝකයේ අඩුතම අනුපාතයන්ගෙන් එකකි.

කතුවරයා පහත ලිපි නිර්දේශ කරයි.

වසංගත මරන සංඛ්‍යාව 100,000ට ආසන්න වෙද්දී ඩව් ජෝන්ස් ඒකක 25,000 ඉක්මවයි

කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂනය වීම වලකා ජීවිත රැක ගැනීමට සාමාන්‍ය කම්කරුවන්ගේ කම්හල් හා වැඩපොල කමිටු පිහිටුවනු!