ඉදිරිදර්ශන

ඇමරිකානු ෆැසිස්ට්වාදය එපා! ට්‍රම්ප් බලයෙන් පහකිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලමු වරට මෙම ප්‍රකාශය ඉංග්‍රීසි භාෂාවෙන් පලකරනු ලැබුවේ 2019 ඔක්තෝබර් 14 වන දිනය. සිංහල සංස්කරනය 18 දින පලවින. එහි මෙසේ අනතුරු ඇඟවින, “ව්‍යවස්ථා විරෝධී හා නීතිවිරෝධී ආඥාදායකත්වයක් නිර්මානය කිරීම පිනිස ට්‍රම්ප් සිය ජනාධිපති ධුරයේ බලතල පාවිච්චි කරනු ඇත. මෑතක සිදුවෙමින් ඇති මිලිටරි-පොලිස් කඩාපැනීම්වල ආලෝකයෙන් ලෝසවෙඅ, මෙම තීරනාත්මක ලියවිල්ල යලි පලකරන්නේ ය.

***

කොන්ග්‍රසය විසින් ආරම්භ කරන ලද දෝෂාභියෝග පරීක්ෂනයට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය, විවෘතවම ෆැසිස්ට් ස්වරූපයක් ගෙන තිබේ. පසුගිය සතියේ මිනියාපොලිස්, මිනසෝටා සහ ලුසියානා හි ලේක් චාල්ස් හි කල කතා වලදී ට්‍රම්ප්, විදේශික භීතිකාව, වර්ගවාදය සහ යුදෙව් විරෝධයට විවෘතව ආයාචනා කලේය. “ඇමරිකාවට වෛර කරන අන්ත වාමාංශික හා සමාජවාදී” දේශපාලඥයින් ලෙස ඔහුගේ හෙලා දැකීමට ලක්වූ තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව පොලීසියේ හා අනෙකුත් දක්ෂිනාංශික බලවේගයන්හි සිය ශ්‍රාවකත්වය පෙලගස්වා ගැනීමට ඔහු උත්සාහ කලේය.

ඇමරිකානු ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයකින් ට්‍රම්ප් උත්සාහ කරන්නේ, ජනාධිපති ධුරයේ බලය ඒකාධිපති පාලනයක් ඇති කිරීම සඳහා යොදා ගැනීමට ය. සියලු ව්‍යවස්ථාමය සීමාවන් අවඥාවට ලක් කරමින් ට්‍රම්ප්, බලයේ රැඳී සිටීමට සාපරාධී සහ ප්‍රචන්ඩ ක්‍රම භාවිතා කිරීමට තමන්ගේ සූදානම පෙන්නුම් කලේය. “තවත් අවුරුදු 16 ක්” තමන් ධුරයේ රැඳී සිටීමට අදහස් කරන බවට මිනියාපොලිස් රැස්වීමේදී ඔහු කෑගැසුවේය එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දැමීමෙන් තොරව එය කල නොහැකිය. තමන් ඉවත් කිරීමේ ඕනෑම පියවරක් “සිවිල් යුද්ධයකට” තුඩු දෙන බව ප්‍රකාශ කරමින් ඔහු, පෞද්ගලික ආඥාදායකත්වයක් වෙනුවෙන් කරන ලද නීති විරෝධී ප්‍රකාශවල ප්‍රචන්ඩකාරී ඇඟවුම් ප්‍රසිද්ධියේ කථා කලේය. සිය දේශපාලන විරුද්ධවාදීන් “රාජද්‍රෝහී” චෝදනාවට වරදකරුවන් වන බවට ට්‍රම්ප් කල ප්‍රකාශය, අත්අඩංගුවට ගැනීමේ හා සාපරාධී ලෙස තහනමට ලක් කිරීමේ අවතාරයෙන් වැසී තිබේ. විශේෂයෙන්ම බ්‍රහස්පතින්දා ඔහු කල කතාවේ නිශ්චිත ඡේදයක දී ට්‍රම්ප් සිරියාවෙන් හමුදා ඉවත් කිරීමට ගත් සිය තීරනය ආරක්ෂා කරමින් ප්‍රකාශ කලේ, “අපි සොල්දාදුවන් ගෙදර ගෙන එනවා. අපට ඔවුන් වෙනත් දෙයක් සඳහා අවශ්‍ය විය හැකිය, ඔවුන් සූදානම් කරනු ඇත” යනුවෙනි.

ආඥාදායක බලතල පිලිබඳ ඔහුගේ අවධාරනයේ සන්දර්භය තුල ගත් විට, “වෙනත් දෙයක්” තුල, ඇමරිකාවේ විපාර්ශවයට එරෙහිව මිලිටරි බලය යොදාගැනීමේ පැහැදිලි තර්ජනය ගැබ්ව ඇත. ඇමරිකා-මෙක්සිකෝ දේශසීමාවෙහි සංක්‍රමනිකයින්ට මෘග ලෙස පහරදීම පිනිස මිලිටරිය මෙහෙයවීමේදී ධවල මන්දිරය දැනටමත් එය ආරම්භ කර තිබේ.

ට්‍රම්ප් ජනාධිපති ධුරය පැහැදිලිවම ෆැසිස්ට් ලක්ෂන සහිත දක්ෂිනාංශික අධිකාරීවාදී තන්ත්‍රයක් තුලට වේගයෙන් අඬු විහිදවමින් සිටින බව, ප්‍රතික්ෂේප කිරීම කෙසේ වෙතත් අඩු තක්සේරු කිරීම වුව ද යමෙකු දේශපාලන යථාර්ථයට පිටුපස හැරවීමකි. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ෆැසිස්ට්වාදයේ පිලිකාවෙන් සදාකාලිකවම නිදහස්ය “එය මෙහි සිදුවිය නොහැක” යන පැරනි කියමන නිරපේක්ෂකවම යල්පැන ඇත. ට්‍රම්ප් වැනි මැරයකු ධවල මන්දිරයට නැඟගැනීම පිලිබඳ කාරනයම පවත්නා දේශපාලන ක්‍රමයේ අවසාන අර්බුදයට සාක්ෂි දරයි.

ට්‍රම්ප්ගේ පරිපාලනය, ඇමරිකානු ධනවාදයේ ගැඹුරට මුල් බැසගත් ආර්ථික හා සමාජ ප්‍රතිවිරෝධයන්ගේ නිමැවුකි. ජනගහනයේ ධනවත්ම සියයට එකක් අතේ ඉමහත් ධනස්කන්ධයක් සංකේන්ද්‍රනය වීම සහ පෙර නොවූ විරූ ආකාරයේ සමාජ අසමානතාව සාම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම සමඟ පෑහෙන්නේ නැත. පසුගිය දශක හතර තුල එක්සත් ජනපදය වඩ වඩාත් කතිපයාධිකාරී සමාජයක් බවට පරිනාමය වී තිබේ. ජනගහනයේ ඉමහත් බහුතරයෙන් හුදෙකලා වී ඇති, ජීවන කොන්දේසි නැංවීම සඳහා වන සෑම ඉල්ලීමක්ම තම ධනයට තර්ජනයක් ලෙස සලකන මෙම කතිපයාධිකාරය, වැඩි වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සතුරු වේ.

නිව්යෝර්ක්හි මූල්‍ය පාතාලයේ නිෂ්පාදනයක් වන ට්‍රම්ප්, අවශ්‍ය ගොරහැඩි කමෙන් ද අශිෂ්ඨත්වයෙන් ද කතිපයාධිකාරයේ ඒකාධිපති ආවේගයන් ප්‍රකාශ කරයි. සමාජවාදය හා කොමියුනිස්ට්වාදය පිලිබඳ ඔහුගේ උමතු හෙලාදැකීම්, සමාජ ප්‍රතිසංස්කරන සඳහා ඉල්ලීම් අනිවාර්යයෙන්ම ධනේශ්වර දේපල අත්පත් කර ගැනීමේන් කුලුගැන්වෙන, විශාල වශයෙන් ධනය යලි බෙදාහැරීමකට තුඩු දෙනු ඇතැයි යන ධනවතුන්ගේ වැඩිවන භීතියේ ප්‍රකාශනයකි.

‍ට්‍රම්ප් පරිපාලනය එහි පදනමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිමූර්තියකි. මුල සිටම ඔහුගේ ජනාධිපති ධුරය අවජාතක ය. මැතිවරන විද්‍යාලයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යාන්ත්‍රනය හරහා ට්‍රම්ප් තේරී පත් වූයේ, මිලියන තුනකට ආසන්න මහජන ඡන්ද ප්‍රමානයක් අහිමිවූ තතු තුලය. ඔහුගේ පරිපාලනයේ සුලුතර තත්ත්වය පිලිගනිමින් නොව ට්‍රම්ප් ක්‍රියා කරන්නේ ඉමහත් වැඩි ඡන්දකින් බලයට පත් වූවාක් මෙනි. එහෙත්, සියලු නරුම ජනතාවාදී වාචාලකම් සහිත ඔහුගේ ප්‍රතිපත්ති දැවැන්ත මහජන විරෝධයක් පැන නංවන බව ඔහු හොඳින් දැන සිටී.

පොලීසිය, ආරක්ෂක නිලධාරීන් සහ හමුදා ප්‍රේක්ෂකයින් ඉදිරියේ ට්‍රම්ප්ගේ පෙනී සිටීම මෙන්ම දේශපාලනික වශයෙන් පසුගාමී හා විකර්ශනයවූ කොටස් ආකර්ශනය කර ගැනීම සඳහා නිර්මානය කරන ලද, පරෙස්සමින් වේදිකා ගත කරන ලද ඔහුගේ රැස්වීම් සියල්ලම, එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලු සාම්ප්‍රදායික නෛතික සීමාවන්ට පිටින් ක්‍රියාත්මක වන ඒකාධිපති පාලන තන්ත්‍රයක් පදනම් කරගෙන ඔහුට කටයුතු කල හැකි දේශපාලන පසුබිමක් නිර්මානය කිරීම සඳහා ගනන් බලා දරන ලද උත්සාහයක කොටසකි.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ඓතිහාසික සන්ධිස්ථානයකට පැමින තිබේ. බලය පවත්වා ගැනීමට උත්සාහ කරන විට ට්‍රම්ප් ජනාධිපති ධුරය වඩ වඩාත් නීති විරෝධී, ඒකාධිපති හා ප්‍රචන්ඩකාරී ස්වභාවයක් ගනු ඇත.

මෙම පරිපාලනය බලයෙන් පහ කිරීම දේශපාලන අවශ්‍යතාවකි. නමුත් මෙම පරමාර්ථය සාක්ෂාත් කරගන්නේ කවුරුන්ද සහ කුමන ක්‍රම මගින්ද යන්න ජීවිතය හා මරනය පිලිබඳ ප්‍රශ්නයකි.

මේ දක්වා ට්‍රම්ප්ට එරෙහි නිල විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂය විසින් සියතට ගෙන පාලනය කර තිබේ. දෝෂාභියෝග පරීක්ෂනය, පාලක පන්තිය තුල වඩ වඩාත් කටුක කන්ඩායමික අරගලයේ ප්‍රතිපලයකි. බුද්ධි අංශ, මිලිටරිය සහ ව්‍යාපාරික-මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ අතෘප්තිමත් කොටස් මත පදනම්ව ඩිමොක්‍රටික් පක්ෂය මාලිගා කුමන්ත්‍රනයක ක්‍රමවේදයන් භාවිතා කරයි.

රාජ්‍ය යාන්ත්‍රනය තුල ට්‍රම්ප්ගේ විරුද්ධවාදීහු, එක්සත් ජනපදයේ ගෝලීය තත්ත්වය දිගු කාලීනව පහත වැටීමේ ඇඟවුම් පිලිබඳව හොඳින් දැන සිටිති. ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය අස්ථිර හා අනපේක්ෂිත යැයි ඔවුන් සලකන අතර, විශේෂයෙන් රුසියාව සහ සිරියාව සම්බන්ධයෙන් ගත් කල, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රධාන භූ-මූලෝපායික අවශ්‍යතා ලෙස ඔවුන් සලකන දෙයට ඒවා පටහැනි ය. පලමුවෙන් රුසියානු විරෝධී උද්ඝෝෂනය හරහා ද දැන් යුක්රේන ජනාධිපති සමඟ ට්‍රම්ප් පැවැත්වූ දුරකථන සංවාදය ද පදනම් කරගෙන ඔවුන් විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ කරුනු වලට කේන්ද්‍රගත වී ඇත්තේ මේ හේතුව නිසා ය.

රාජ්‍ය තුල ට්‍රම්ප්ට එරෙහි විරුද්ධත්වය පිලිබඳ උත්සුකයන් පෙරට ගෙනයන සමාජ හා දේශපාලන අවශ්‍යතා, එහි ක්‍රමවේදයන් තීරනය කරයි. දක්ෂිනාංශික ව්‍යාපාරයක් වර්ධනය කිරීමට උත්සාහ කරමින් ට්‍රම්ප්දෝෂාභියෝගයට ප්‍රතිචාර දක්වන අතර ඩිමොක්‍රටිකයින් අධිෂ්ඨාන කරගෙන සිටින්නේ, ට්‍රම්ප්ට එරෙහිව මහජන කෝපය ඇවිලවිය හැකි සියලු දෙයින් වැලකී සිටීමට ය. මේ අර්ථයෙන් ගත් කල, එක්සත් ජනපදය තුල පුපුරන සුලු සමාජ ගැටුම් අවුලුවන ඕනෑම දෙයකට බියෙන්, තම උරහිසට උඩින් නිතරම පිටුපස බලන තම විරුද්ධවාදීන්ට වඩා ට්‍රම්ප්, දේශපාලන යථාර්ථයන් පිලිබඳ පුලුල් වැටහීමක් පෙන්නුම් කරයි.

දෝෂාභියෝග විමර්ශනය මුලුමනින්ම වසා ඇති දොරවල් පිටුපස පවත්වනු ලබන්නේ ද එය අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ ගැටුම්වලට පමනක් සීමා කරන්නේ ද මේ නිසාය. ට්‍රම්ප් පාලනය කෙරෙහි ඩිමොක්‍රටිකයන්ගේ ආකල්පයේ භින්නෝන්මාද හා කුහක ස්වභාවය ද එය පැහැදිලි කරයි. “ජාතික ආරක්ෂාව” අඩපන කිරීම සහ පුටින් ආන්ඩුවේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති උමතු ලෙස හෙලාදැකීම ද දේශීය පිලිවෙතේ තීරනාත්මක කරුනු මත ට්‍රම්ප් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සාහ දැරීම ද අතර ඔවුන් පැද්දෙන්නේ ද මෙබැවින්ය.

ඔවුන්ගේ මතභේද කෙතරම් කටුක වුවත් පාලක පන්තියේ සියලු කොටස්, සමාජ වැඩ සටහන් විනාශ කිරීම, වැටුප් හා ප්‍රතිලාභවලට පහරදීම, සංක්‍රමනිකයන්ට පහරදීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වැනසීම සහ දැවැන්ත ලෙස මිලිටරිය ගොඩනැගීම සම්බන්ධයෙන් එකඟ වෙති. ඔවුන්ගේ ගැටුම් මධ්‍යයේ ඩිමොක්‍රටිකයින්, ට්‍රම්ප්ගේ වාර්තාගත ආරක්ෂක වියදම් වැය ශීර්ෂය සම්මත කල අතර ධනවතුන්ගේ බදු කපාහැරීමේදී ඔහුට නොමඳ සහාය පිදීය.

ගැටුම පාලක පන්තිය තුල ඇති බෙදීම්වලට පමනක් සීමා වී ඇති තාක් කල් ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රගතිශීලී ප්‍රතිපලයක් ලැබිය නොහැකිය. ඩිමොක්‍රටිකයන්ගේ දෝෂාභියෝගය අසාර්ථක වුවහොත්, එයින් ට්‍රම්ප්ගේ දේශපාලන ස්ථාවරය ශක්තිමත් වනු ඇත. එය සාර්ථක වුවහොත් ට්‍රම්ප්ගේ සහචරයා වන මයික් පෙන්ස් ජනාධිපති ධුරයට පත්වනු ඇත. එපමනක් නොව, දෝෂාභියෝගය ඇත්ත වශයෙන්ම ධවල මන්දිරය මත පවතින සීඅයිඒ සහ එෆ්බීඅයි හි දේශපාලන බලපෑම ශක්තිමත් කරනු ඇත. එය, න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාව සමඟ භයානක ගැටුමක් සාධාරනීකරනය කරන රුසියානු විරෝධී උමතුව මත පදනම් වූ විදේශ ප්‍රතිපත්තියක් නීත්‍යානුකූල කරනු ඇත. මින් කුමන ප්‍රතිපලය ලැබුන ද එය කම්කරු පන්තියට ඉමහත් අනතුරක් වනු ඇත.

හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන් සහ ට්‍රම්ප්ගේ යුක්රේන දුරකථන ඇමතුම සමඟ ඩිමොක්‍රටික් පක්ෂය හා මාධ්‍යය තුල ඇති ග්‍රස්තිය විසින් කරනු ලබන්නෙන් තත්වය පීලිපැන්නවීමය. ට්‍රම්ප් බලයෙන් පහ කිරීමේ මහජන ව්‍යාපාරයකට ඔහුගේ සැබෑ අපරාධ හඳුනා ගැනීම අවශ්‍ය වේ. එපමනක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ජනගහනයෙන් අති බහුතරයකින් සමන්විත කම්කරු පන්තියේ සමාජ අවශ්‍යයතා ඉදිරියට ගෙන යාමේ අරගලය සමඟ පැහැදිලිවම සම්බන්ධ විය යුතුය.

පහත සඳහන් හේතූන් මත ට්‍රම්ප් ඉවත් කල යුතුය:

ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී ආඥදායකත්වයක් ගොඩ නැඟීම සඳහා ට්‍රම්ප් ජනාධිපති ධුරයේ බලය යොදා ගනී.

දේශ සීමාව දිගේ තාප්පයක් ඉදිකිරීම ඇතුලු සිය දේශීය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් හමුදාව යොදා ගනී.

ව්‍යවස්ථානුකූලව නියම කර ඇති කාලසීමාව ඉක්මවා බලයේ රැඳී සිටින බවට ට්‍රම්ප් තර්ජනය කරමින් සිටින අතර, ඔහුගේ පරාජයට තුඩු දෙන මැතිවරනයක් නීත්‍යානුකූල යැයි තමා නොපිලිගන්නා බව පෙන්වා දී තිබේ.

ට්‍රම්ප් සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය උසිගැන්වීම සහ සංක්‍රමනිකයන් සහ යුදෙව්වන් වෙත එල්ල කරන ලද සමූහ ඝාතන වලට සම්බන්ධ ෆැසිස්ට් පුද්ගලයින් දේශපාලනිකව දිරිමත් කරයි.

ට්‍රම්ප් එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ රැඳවුම් කඳවුරු ඉදිකිරීම ඇතුලුව සංක්‍රමණිකයින්ට සහ සරනාගතයින්ට විරුද්ධව කටයුතු කරයි.

සෑම වසරකම ඇමරිකානුවන් දහසකට වැඩි පිරිසකගේ මරනයට වගකිව යුතු පොලීසියේ ප්‍රචන්ඩකාරී ක්‍රියා ට්‍රම්ප් විසින් දිරිමත් කරනු ලබයි.

ජාත්‍යන්තර හා දේශීය නීතිය උල්ලංඝනය කරමින් ට්‍රම්ප්, එක්සත් ජනපද නියෝග කඩ කරන රටවල් “අතුගා” දමන බවට තර්ජනය කරයි.

ට්‍රම්ප් ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති කතා කිරීමේ නිදහස උල්ලංඝනය කරමින්, ධනවාදයට එරෙහි විරෝධය රාජද්‍රෝහී ක්‍රියාවක් සමඟ සමාන කරයි.

ට්‍රම්ප් පරිපාලනයට එරෙහි අරගලය සහ වඩාත් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, ධනවාදයට හා ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි සටනක් වන අතර එය, ඩිමොක්‍රටික් පක්ෂයට එරෙහිව සහ එයින් මුලුමනින්ම ස්වාධීනව ගෙනයා යුතුය.

එක්සත් ජනපදය ගෝලීය අර්බුදයක කේන්ද්‍රස්ථානයයි. සෑම තැනකම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම බිඳ වැටෙමින් තිබේ. ජර්මනියේ තුන්වන රීකය වැටීමෙන් වසර 75 කට පසු, ෆැසිස්ට්වාදය නැවතත් භයානක දේශපාලන බලවේගයකි. ප්‍රන්සයේ එමානුවෙල් මැක්‍රොන් ආන්ඩුව, වැඩෙන සමාජ නොසන්සුන්තාවයට එරෙහි නියෝග මගින් පාලනය ගෙනයනු ලබයි. බ්‍රිතාන්‍යය පාලනය කරනු ලබන්නේ ෆැසිස්ට් බොරිස් ජොන්සන් විසිනි. බ්‍රසීලයේ හා ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික හා අන්තවාදී ජාතිකවාදී ආන්ඩු බලයේ සිටී.

අන්තවාදී අසමානතාවය සහ නිමක් නැති යුද්ධය මත පදනම් වූ සමාජ ක්‍රමයක් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නොගැලපේ. 1930 ගනන්වල පාඩම නම් ෆැසිස්ට්වාදයට හා අධිකාරීවාදයට එරෙහි සටන පදනම් විය හැක්කේ ධනවාදී විරෝධී හා පැහැදිලිවම සමාජවාදී වැඩපිලිවෙලක් මත පමනක්ය යන්නයි.

මෙම සටනට අවශ්‍යවන්නේ, පන්ති අරගලයේ ක්‍රමවේදයන් වන අතර එහි පරමාර්ථය, පුද්ගලික ලාභය මත නොව සමාජ අවශ්‍යතා මත පදනම්ව, ධනය රැඩිකල් ලෙස යලි බෙදාහැරීම, යෝධ සමාගම් සහ බැංකු වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීම සහ සැලසුම්ගත ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරුවන්ගේ බලය පිහිටුවීමයි.

මීට වසර දෙකකට පෙර, “මාලිගා බල කොල්ලය ද පන්ති අරගලය ද: වොෂිංටනයේ දේශපාලන අර්බුදය සහ කම්කරු පන්තියේ මූලෝපාය” යන ප්‍රකාශයේ දී ලෝසවෙඅ මෙසේ ලිවීය.

මහජන අරගල එක්සත් ජනපදයේ න්‍යාය පත්‍රය තුල ඇත. විරෝධතා පෙලපාලි සහ වැඩ වර්ජන රට පුරා පොදු දෙයක් බවට පත්වනු ඇත. මෙම විශ්ලේෂනයෙන් ගලා එන දේශපාලන නිගමනය, ට්‍රම්ප්ට සහ ඔහු නියෝජනය කරන සියල්ලට එරෙහි කම්කරු පන්තියේ අරගල, රිපබ්ලිකානුවන්ට හා ඩිමොක්‍රටිකයින්ට පමනක් නොව, ධනේශ්වර ක්‍රමයට සහ එහි රාජ්‍යයට එරෙහි ස්වාධීන දේශපාලන මහජන ව්‍යාපාරයක් වෙන කවරදාකටත් වඩා ඉල්ලා සිටින්නේය යන්නයි.

මහජන අරගල තවදුරටත් “න්‍යාය පත්‍රයට” පමනක් ඇතුලත් වන ඒවා නොවේ. ඒවා දැනටමත් ආරම්භ වී ඇති අතර තීව්‍ර වෙමින් පවතී. පසුගිය වසර දෙක තුල මහජන කෝපය හා කම්කරු පන්තියේ විරෝධය එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව පුලුල් ලෙස ප්‍රකාශ වී තිබේ.

එක්සත් ජනපදයේ පසුගිය දෙවසර තුල ගුරුවරුන්ගේ වැඩ වර්ජන රැල්ලෙන් පසුව, පසුගිය දශක කිහිපය තුල මෝටර් රථ කම්කරුවන්ගේ දීර්ඝතම වැඩ වර්ජනය, මේ වසරේ ජෙනරල් මෝටර්ස් කම්කරුවන් 48,000 ක් විසින් මාසයක් පුරා ගෙනයන වැඩ වර්ජනය, හට ගත්තේය. වැඩ වර්ජනය නවතා දැමීමට වෘත්තීය සමිති උත්සාහ කරන තත්වය තුල, පෙන්සිල්වේනියාවේ, මේරිලන්ඞ් සහ ෆ්ලොරිඩාවේ මැක් ට්‍රක් සේවකයින් 3,500 ක් සහ ඇරිසෝනා සහ ටෙක්සාස් හි පතල් කම්කරුවන් 2,000 ක් විසින් නව වැඩ වර්ජන දියත් කර තිබේ. චිකාගෝ හි ගුරුවරුන් 20,000 කට වැඩි පිරිසක් මේ සතියේ වැඩ වර්ජනය කරනු ඇත.

ට්‍රම්ප් බලයෙන් පහ කල හැකි සහ ඔහුගේ ප්‍රතිගාමී වාචාලකමේ අර්ථය හෙලි කල හැකි සමාජ බලවේගය මෙහි ඇත. ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව කම්කරුවන් තරුනයින් සහ ශිෂ්‍යයින් විසින් මහජන පෙලපාලි හා විරෝධතා සංවිධානය කල යුතුය. මෙම ව්‍යාපාරයේ තර්කනය, දේශපාලන බලය පිලිබඳ ප්‍රශ්නය මතු කරන දේශපාලන මහා වැඩ වර්ජනයක් දෙසට ය. එවැනි ව්‍යාපාරයක් සංවිධානය කිරීම සඳහා කම්කරු අරගල හුදකලා කිරීමට හා මර්දනය කිරීමට වෘත්තීය සමිති දරන උත්සාහයට විරුද්ධව කම්කරු පන්තියේ සියලු කොටස් එක්සත් කිරීම සඳහා මහජන වැඩපොලවල් සහ ප්‍රාදේශීය කමිටු අතර අන්තර් සම්බන්ධිත ජාලයක් ඇති කිරීම අවශ්‍ය වේ.

ට්‍රම්ප් පරිපාලනයට එරෙහි සටන, සමාජ අසමානතාවයට, සමාජ වැඩසටහන් හා යටිතල පහසුකම් විනාශ කිරීමට, රැකියා හා වැටුප් වලට පහරදීමට , සමස්ත තරුන පරපුරක් මුහුන දෙන භයානක තත්වයන්ට, සංක්‍රමනික කම්කරුවන්ට දරුනු ලෙස පීඩා කිරීමට, පරිසරය පිරිහීම සහ නොනවතින හා පුලුල් වන යුද්ධයේ ප්‍රතිවිපාක වලට එරෙහි අරගලය සමඟ බද්ධ කල යුතුය. එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ හා තරුනයින්ගේ විරුද්ධත්වය, ලොව පුරා කම්කරුවන් අතර සමාජ අරගල පුපුරා යෑම සමඟ සම්බන්ධ විය යුතුය. ඔවුන් මුහුනපා සිටින්නේ එකට බැඳුනු අවශ්‍යතා හා ගැටලුවලටයි.

මෙම වෛෂයික ව්‍යාපාරය සවිඥානික සමාජවාදී වැඩපිලිවෙලක් හා ඉදිරිදර්ශනයකින් මෙහෙයවිය යුතුය. සමාජවාදී සමානතා පක්ෂය සහ එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ මෙම සටනේ පෙරමුන ගෙන සිටී. මෙම ඉදිරිදර්ශනයට එකඟ වන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලොව පුරා එහි සහෝදර පක්ෂ ගොඩනැගීමට තීරනය කරන ලෙසයි.

සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන කමිටුව

Loading