මාලිගාවත්ත මූල්‍යාධාර වැඩසටහනක දී කාන්තාවෝ තිදෙනෙක් මියයති: ධනවාදයේ තවත් අපරාධයක්

පසුගිය මැයි 21 වැනි දා කොලඹ මාලිගාවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකුගේ මූල්‍යාධාර වැඩසටහනකට සහභාගී වූ පිරිසක් අතර ඇති වූ තෙරපීමකින් කාන්තාවෝ තිදෙනෙක් මිය ගියහ. 

රුපියල් 1500ක් වැනි සොච්චම් ආධාර මුදලක් ලබා ගැනීමට සියගනනක් දුගීන් රොදබැඳ ගැනීමෙන් ඇතිවූ මෙම ‍ඛේදවාචකය මගින් ඔවුනගේ ආන්තික දරිද්‍රතාව සිත් කම්පාවන අයුරින් ඉස්මතු කරයි. 

සිද්ධියෙන් මාලිගාවත්ත ලක්සඳ සෙවන අඩු ආදායම්ලාභී මහල් නිවාසයේ පදිංචි උම්මු සෆීඩා (62), මොහොමඩ් ෆරීනා මුසම්මිල් (68), සහ ජුම්මා මස්ජිද් පෙදෙසෙහි පදිංචි ව සිටි මොහොමඩ් ෆවුසියා නීසා (59) යන කාන්තාවෝ තිදෙනා ජීවිතක්ෂයට පත් වූහ. තවත් සිවු දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට තරම් අසාධ්‍ය තත්ත්වයට පත් ව සිටියහ. ඊට අමතරව රෝහල් ගත කල ගනන පහකි. 

සීසීටීවී කැමරාවක දර්ශන අනුව සිය ගනනක් ගැහැනුන් සහ පිරිමින් දෙපස පදික වේදිකාවල පෝලිම්වලින් පැමින පටු ගේට්ටුවකින් මුදල් ආධාර බෙදා දුන් තැනට ඇතුලු වෙති. ගේට්ටුව ඉදිරිපිට  දෙ තුන් සීයක පමන ජනකායක් පිරී සිටිති. සිද්ධිය ඇසින් දුටුවන් පවසන ආකාරයට තුවාල ලැබූ අය තෙරපී බිම වැටී ඇත්තේ තදබදය තුලින් ඇතුලට පිවිසීමට උත්සාහ දරද්දී ය. අවට රැස් ව සිටි අය පවසන්නේ දහසකට අධික ජනකායක් රැස් ව සිටි බවයි.  

මෙම ආධාර මුදල ලබාගැනීම සඳහා එම ස්ථානයට රැස්වූ සෑම දෙනෙක්ම පාහේ යම් තාවකාලික රැකියාවන් වලින් එදිනෙදා වේල පිරිමසා ගත් නාගරික දුගී පවුල් වල සාමජිකයෝ වෙති. නිවාස කුලී, ජල හා විදුලි බිල්පත්, ආහාර වියදම් ආදී සියල්ල සලකා බැලීමේදී ආන්ඩුවෙන් ලැබුනු රුපියල් පන්දහසක මුදල ඔවුන්ට සොච්චම් ආධාරයකට වැඩි යමක් නොවුනි. හැකි සෑම තැනකින්ම සොයා ගත හැකි අන්තිම රුපියල දක්වා සොයා යාමට තරම් මෙම දුගී ජනතාව අසරන කරනු ලැබුවේ වසංගත තත්වය තුලදී ඔවුන්ට නිසි සමාජ ආරක්ෂනයක් ලබාදීමට ආන්ඩුව අපොහොසත් වූ බැවිනි.

ධනපති ක්‍රමයේ නිර්මිතයක් වන දරිද්‍රතාවය සහ සමාජ අසමානතාවය විසින් නිර්මානය කෙරුනු මෙවැනි ඛේදවාචකයන් පිලිබඳ උදාහරන කලාපීය වශයෙන් වුවත් දුලබ නැත. 2004 වසරේදී අසල්වැසි ඉන්දියාවේ ලක්නව් නගරයේ දේශපාලන ප්‍රචාරක වැඩසටහනක අංගයක් වූ නොමිලේ සාරි බෙදාදීමක් අතරතුර ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් සහ කුඩා ලමුන් 22ක් මියගිය අතර, 2005 වසරේ තමිල්නාඩුවේ ගංවතුර ආධාර බෙදා දීමේ වැඩසටහනකදී ඇති වූ තෙරපීමකින් 42ක් මියගියහ.   

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ උම්මු සෆීඩාගේ නිවසට ගියහ. සෆීඩා දියනියන් තිදෙනෙකු සහ පුතෙකුගේ මවකි. ඇය සහ ඇගේ සැමියා ජීවත් වූයේ ලක්සඳ සෙවන හි වර්ග අඩි 500කටත් අඩු නිවසක,  පස්දෙනෙකුගෙන් සමන්විත ඇයගේ එක් දියනියකගේ පවුලක සාමජිකයින් සමගයි. කොලඹ ප්‍රදේශයේ නාගරික දුගී පවුල් කුඩා ඉඩකඩක් ඇති මෙවැනි තට්ටු නිවාසවල කොටුවී සිටිති.   

ඇගේ අනෙකුත් දරුවෝද විවාහකයෝ වෙති. තම දරු මුනුපුරන්ගේ අනාගතය සාර්ථක වනු දැකීම ඇගේ බලාපොරොත්තුව වූ බව ඇගේ සැමියා මොහිඩීන් අසීස් කියා සිටියේ ය. “අපි හැමෝ ම කුලී වැඩ කරපු අය. පසුගිය මාස දෙක විවිධ ආධාරවලින් ගැට ගහ ගත්තේ. පවුලට ආධාරයක් වෙන නිසා තමයි එයා එදා ඒ ආධාරය අර ගන්න ගියේ. ඒ අවස්ථාවට සම්බන්ධ වුනු අනික් අයත් එ වගේ ම බලාපොරොත්තු ඇති ව එතැනට ගිය අය.” යැයි ඔහු ශෝකයෙන් පැවසී ය. 

තෙරපීයාමෙන් මියගිය උම්මු සෆීඩාගේ සැමියා සහ බෑනා කෙනෙකුවන ඉක්‍රම්

සෆීඩාගේ නිවසේම ජීවත් වන ඇගේ බෑනා කෙනෙකු වන ඉක්රම්,  වසංගත අගුලු ලෑම ඔවුන්ගේ ආර්ථික ජීවිතයට දැඩි බලපෑම් එල්ල කල ආකාරය පැහැදිලි කලේය. ඔහු එම ප්‍රදේශයේ බොහෝ තරුනයන් මෙන් කුලි වැඩ කරමින් දෛනික ආදායමක් උපයා ගන්නෙකි. ස්ථිර සුරක්ෂිත රැකියාවක් සොයා ගත නොහැකි වීම ඔහු කුලී වැඩට යොමු වීමට හේතුව විය.

“මම කඩවල්වල වැඩ, නාටාමි වැඩ කලා. බොහෝ විට උදේට ලැබෙන කාගෙන් හරි ලැබෙන දුරකථන අමතුමකින් තමයි වැඩක් ලැබෙන්නේ. එක පාරටම ඇඳිරිනීතිය දැම්මම අපි සම්පූර්නයෙන්ම අසරන උනා. එක එක තැන්වලින් ලැබුනු ආධාරවලින් තමයි ජීවිතේ ගැටගහගත්තේ” ඉක්රම් පැවසීය.

තමන්ගේ පවුල්වල සියලුදෙනාම පාහේ අවිධිමත් රැකියාවල නිරත වන බවත් ඒ සියලු දෙනාට වසංගත තත්වයට පෙර පවා එදිනෙදා වැඩ සොයා ගැනීම දුෂ්කරව කටයුත්තක් ව පැවති බවත් ඉක්රම් පැවසීය. 

ලෝක කම්කරු සංවිධානයට අනුව ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිකයන්ගෙන් සියයට 66ක් මෙ ලෙස අවිධිමත් රැකියාවල යෙදෙන අය වෙති. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ අවශ්‍යතා පිරිමසා ගැනීමට මාසිකව අවම රුපියල් 35,000ක මුදලක්වත් අවශ්‍ය වන බවත් එවැනි අවිධිමත් රැකියාවලදී අඛන්ඩව වැඩ නොලැබෙන නිසා එම මුදල සම්පූර්න කරගැනීම අපහසු බවත් ඉක්රම් පැහැදිලි කලේය.

වසංගත අගුලු ලෑම් මධ්‍යයේ සහ ඉන් පසුව තමන් මුහුන දෙන කොන්දේසි ගැන ඉක්රම් වැඩිදුර කල පැහැදිලි කිරීම් වලින් හෙලිදරව් වූයේ ඔහු ඇතුලු නාගරික දුගීන් දහස් ගනනක් පොදුවේ මුහුනදී සිටින දුෂ්කර තත්වයයි.

“මේ ගෙවල් වල වාරිකය ගෙවාගන්න එක කාටත් මේ වෙලාවේ අමාරුයි. මේකට මුකුත් සහනයක් දෙන බවක් සඳහන් කරලා නෑ. රස්සාව කෙරුවොත් තමයි ගෙවා ගන්න සල්ලි තියෙන්නෙ. මාස තුනක් සතයක් උපයලා නෑ. මේ වගේ වෙලාවලට නය ඉල්ල ගන්න වෙනවා. අසනීපයක් වුනත් එහෙමයි. ඊට පස්සෙ හම්බු කරන එක අනික් අතට දෙනවා වගේ පොලී ගෙවන්න වෙනවා” යැයි ඔහු පැවසීය. 

අනෙක් අතට ඔවුන්ට ජීවත් වීමට සලසා ඇති මෙම නිවහන් ප්‍රදේශ රෝගාබාධ පැතිර යාමට තෝතැනි බවත්, නිවාසවල තදබදය නිසා කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරන කායික දුරස්ථභාවය පවත්වා ගැනීම සිහිනයක් බවත් ඔහු පැවසීය. 

යාබද ව පිහිටා ඇති බන්ඩාරනායකපුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් වැඩිවශයෙන් වාර්තා වීමට හේතු වූයේ කුඩා ඉඩක වැඩි ජනගහනයක් වාසය කිරීම හේතුවෙනි.

ඉන්දියාව ලෝකයේ ප්‍රධාන වසංගත ව්‍යාප්ති භූමියක් බවට පත්වීම ගැන අවධාරනය කල අක්රම් “තව රැල්ලක් ආවොත් අපිට මොකක් වෙයි ද කියන්න බෑ. ගොඩක් මිනිස්සු තවත් නන්නත්තාර වෙනවා.” යැයි කීවේය. 

මියගිය සෆීඩා ඇතුලු බොහෝ දෙනෙක් ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්නයට පැමින ඇත්තේ ඇපල් වත්ත ප්‍රදේශයෙනි. එහි පැවති ඔවුන්ගේ නිවාස මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් කඩා ඉවත් කිරීම හේතුවෙන් මෙලෙස පදිංචිය මාරු කිරීමට සිදුව ඇත. 

ධනපති ආන්ඩු නියමිත ප්‍රමිතියෙන් මෙන්ම ප්‍රමානවත් ඉඩකින්ද තොර මෙම නිවාස ඉදි කර ඒවායේ දුගී ජනතාව පදිංචි කර ඇත්තේ,  ඔවුන් ජීවත් වූ ඉහල වානිජ වටිනාකමකින් යුක්ත වූ ඉඩම් මහා ආයෝජකයන් සඳහා නිදහස් කර ගැනීම සඳහා ය. 

නමුත් මේ නිවාස ඔවුන්ට වන්දි වශයෙන් ප්‍රදානය කෙරුනු ඒවා නොවේ. මාස 400ක් සඳහා මාසික ව රුපියල් 3000ක් ගෙවීමෙන් පසු ව මෙම නිවාසවල අයිතිය නිවැසියන්ට හිමි වෙයි. 

ධනපති ආන්ඩු කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ වියදමින් මහධනපතියන්ගේ ලාභ අවශ්‍යතා තහවුරු කර දෙන ආකාරය පිලිබඳ දීර්ඝ සාකච්ඡාවක්, අක්රම් සහ ලෝසවෙඅ වාර්තාකරුවන් අතර වර්ධනය විය.

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, කොරෝනා වසංගතය පාලනය කල බවට ගසන පම්පෝරි වලට විපරීතව, ආරම්භයේ සිටම මහජනතාවගේ ජීවිත නොතකා සාපරාධී ලෙස ක්‍රියාත්මක වූ ආකාරය සාකච්ඡාවට භාජනය විය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අවධාරනය කල මහා පරිමාන පීසීආර් පරීක්ෂන ආන්ඩුව කිසිවිටෙකත් ක්‍රියාත්මක නොකලේ, මහජනතාවගේ ජීවිත වලට වඩා, ඒ සඳහා වැයවන මුදල සැලකිල්ලට ගනිමිනි. නමුත් වසංගතයෙන් මහා ව්‍යාපාරයන්ට සිදුවන හානිය පූරනය කරනු වස් ඔවුනට රුපියල් බිලියන ගනනක් පොම්ප කලේය. 

සමාජ ධනය පතුලේ සිට ඉහලට ඇදී ගොස් මුල්‍ය කතිපයාධිකාරයට අයත් ධන කුවේරයන් අතලොස්සක් අත සමුච්ඡය වන ආකාරයේ රුදුරු පිලිවෙත් ලොවපුරා ආන්ඩු ක්‍රියාත්මක කරමින් සිටින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ අසමානතාව, දරිද්‍රතාව සහ විරැකියාව කඳු ගැසෙන බවත් සාකච්ඡාවට භාජනය විය.

“එක් ධ්‍රැවයක ධනය සමුච්ඡයවීම යනු, ඒ සමගම, ප්‍රතිවිරුද්ධ  ධ්‍රැවයේ, එනම් ප්‍රාග්ධනය ලෙස තමාගේ ම නිශ්පාදිතය නිපදවන්නාවූ පන්තිය පාර්ශ්වයේ, කාලකන්නිභාවය, ශ්‍රමයේ පරිපීඩිතභාවය, වහල්භාවය, නූගත්කම, කුරිරුකම සහ සදාචාරාත්මක පරිහානිය සමුච්ඡය වීමයි” යන කාල් මාක්ස් ගේ සුප්‍රකට ප්‍රකාශයට එහිදී අවධානය යොමු කෙරින. 

ශ්‍රී ලංකාව ගතහොත්, රටෙහි සමස්ත ආදායමෙන් අඩකටත් වැඩි    ප්‍රමානයක් අත්පත් කරගනු ලබන්නේ ජනගහනයේ ඉහලම ආදායම ලබන සියයට 20 බවත් පහලම ආදායම ලබන සියයට 20 ට අයත් වන්නේ රටේ සමස්ත ආදායමෙන් සියයට 5 කටත් අඩු අගයක් බව වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. 

2015 සිට 2019 දක්වා අගමැති ධුරය දරමින් මෙම රුදුරු වැඩපිලිවෙල ක්‍රියාවට නැංවූ රනිල් වික්‍රමසිංහ, මාලිගාවත්තේ ඛේදවාචී ඉරනමට ගොදුරුවූ ජනතාව වෙනුවෙන් නිකුත් කරන ශෝක පනිවුඩ තුල ඇත්තේ කිඹුල් කඳුලු බවද වාර්තාකරුවෝ පෙන්වා දුන්හ.

“ධනපති ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස මහජනතාව සමාජ ඛේදවාචකයකට ගොදුරු වෙලා තියෙන බව පැහැදිලියි. ඒ වගේ ම ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල කම්කරුවන් දුගීන් අපි වැනි ම කොන්දේසිවලින් බැට කනවා. වර්ගවාදයට, ජාතික සීමාවන්ට පිටින් ලෝකේ කම්කරුවන් එකතු වෙමින් මේ අර්බුදය ජයගන්න ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කලයුතු බව පැහැදිලි” යැයි අවසානයේදී අක්‍රම් පැවසීය.

Loading