ඉදිරිදර්ශන

ඩෙමොක්‍රටිකයෝ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය වසන් කරති

මෙම ලිපිය ජූනි 3 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින

රට පුරා පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතා මැඩපැවැත්වීම සඳහා තමා හමුදාව යොදවන බවට  ට්‍රම්ප් නිවේදනය කිරීමෙන් පසුව, ඩෙමොක්රටිකයෝ  ට්‍රම්ප්ගේ නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රනය වසන් කිරීමට හා අවතක්සේරු කිරීමට කටයුතු කරමින් සිටිති.

ට්‍රම්ප් සිය සෘජු පාලනය යටතේ පවතින වොෂිංටන් ඩී.සී. හි දැවැන්ත මිලිටරි බලමුලුගැන්වීමක්  හරහා, මිලිටරිය හා පොලීසිය පදනම් කර ගනිමින් ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ උත්සාහයක යෙදී ඇත. ආක්‍රමනශීලී ලෙස ප්‍රතිචාර නො දක්වන්නේ නම් හමුදාව යොදවන බවට සඳුදා තර්ජනය කිරීමෙන් පසුව පෙලපාලි මැඩපැවැත්වීමට ඔහු ප්‍රාන්ත ආන්ඩුකාරයන්ට බලපෑම් කරමින් සිටී.

අඟහරුවාදා රාත්‍රියේ ට්‍රම්ප් නිව් යෝක් නගරය උලුප්පා දැක්වූයේ,  “නිව් යෝක්වල හොඳ ම අයට ඔවුන්ගේ විජ්ජා පෙන්වීමට ඉඩ දී නැති නමුත්  නොසැලකිලිමත්, රැඩිකල් වමට හා වෙනත් අයට රැස්කිරීමට ඉඩ දී ඇති ගැම්ම  සමග, ඔවුන්ට අමතර උදව් අවශ්‍ය වනු ඇති” බවට ට්වීටර් පනිවුඩයක් ලියමිනි.  එනම් ජනාධිපතිගේ පාලනය යටතේ මිලිටරිය යෙදවීම යි. ට්‍රම්ප්ගේ ක්‍රියා පිලිබඳව කොන්ග්‍රසයේ ඩෙමොක්‍රටික් සාමාජිකයන්, ආන්ඩුකාරවරුන් හා නගරාධිපතිවරුන්ගේ  ප්‍රසිද්ධ ප්‍රකාශන තුල ට්‍රම්ප්ගේ ක්‍රියාවන්හි ෆැසිස්ට් හා අධිකාරී ස්වභාවය නො සලකා හැරියේ, ඒ වෙනුවට උද්ඝෝෂන පාලනය කිරීමේ දී ට්‍රම්ප් “උපකාරී” නො වේ යැයි අවධාරනය කරමිනි.

2020 ජුනි 1 වන සඳුදා ධවල මන්දිරයේ සිට ශාන්ත ජෝන් දේවස්ථානයෙන් පිටත ජනාධිපති සඳුදා පැවති මාධ්‍ය හමුව සඳහා කඳුලු ගෑස් භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෆයෙට් උද්‍යානයේ කැරලි මර්දන පොලිසිය විසින් වටකරනු ලැබීය. (AP ඡායාරූපය / පැට්‍රික් සෙමන්ස්කි)

 

ට්‍රම්ප්ගේ ප්‍රකාශ “අපැහැදිලි” යැයි කියමින් ඩෙමොක්‍රටික් චිකාගෝ නගරාධිපති ලෝරි ලයිට්ෆූට් පැවසුවේ, “අපි ඕනෑවට වඩා ප්‍රතික්‍රියා නොකරමු” කියා යි.  තමන් මිලිටරි මැදිහත්වීමක් ඉල්ලා සිටිනවා දැ යි ඇසූ විට, මිචිගන් ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් පිලිතුරු දුන්නේ, මෙය අවශ්‍ය වන්නේ “ඔවුන් [ට්රම්ප් පරිපාලනය] ගිනිගෙන දැවෙමින් තිබුන ගින්නකට බොහෝ ගෑස් දැම්ම නිසා” බවයි.  

ට්‍රම්ප්ගේ තර්ජන නො තකා දස දහස් ගනනින් ඉදිරියට ආ පෙලපාලිකරුවන්ගේ ධීරත්වයට හාත්පසින් ම වෙනස්ව, ඩෙමොක්‍රටිකයින් ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔවුන්ගේ පොදු දුබලකම, බියගුලුකම හා නිවටකම සමගිනි.

ඩෙමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන් අඟහරුවාදා විනාඩි 30 ක ශෝකජනක සදාචාරයෙන් පිරුනු දේශනයක් පැවැත්වූයේ ය. ට්‍රම්ප්ට “යමක් ඉගෙන ගත හැකිව තිබූ නිසා” බයිබලය කියවීම සම්බන්ධයෙන්, ඔහු තම කැමැත්ත ප්‍රකාශ කල අතර ට්‍රම්ප් “බිය හා බෙදීම්” ඇති කිරීම ගැන විවේචනය කලේ ය.

බිඩෙන් ක්ෂනිකවම විරෝධතාකරුවන්ගේ ක්‍රියා සමාන කලේ, ෆැසිස්ට් ජනාධිපතිවරයාගේ කටයුතු හා ඔහු විසින් උසිගන්වා ඇති පොලිස් කඩාපැනීම් සමඟිනි. “ප්‍රචන්ඩත්වයට තැනක් නැත,” බිඩෙන් පැවසී ය. “දේපල කොල්ලකෑමට හෝ විනාශ කිරීමට හෝ පල්ලි ගිනි තැබීමට හෝ ව්‍යාපාර විනාශ කිරීමට තැනක් නැත. … සියලු මිනිසුන් ආරක්ෂා කිරීමට හා සේවය කිරීමට දිවුරුම් දී ඇති අපගේ පොලිසිය, ආතතීන් උත්සන්න කිරීමට හෝ අධික ප්‍රචන්ඩත්වයට යොමු වීම පිලිගත නොහැකිය. ”

ජනාධිපති නීතිවිරෝධී ක්‍රියාවන්හි යෙදී සිටින අතර එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව බිඳ හෙලීමට උත්සාහ කරමින් සිටිති යි යන කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්නය බිඩෙන් විසින් මග හැරියේ ය.

 කථානායිකා නැන්සි පෙලෝසි හා සෙනෙට් බහුතර නායක චාල්ස් ෂුමර් ට්‍රම්ප්ගේ රෝස උද්‍යාන කථාව පිලිබඳ ඡේද හතරක පූර්න ප්‍රකාශයක් නිකුත් කල අතර එහි “මිලිටරිය” යන වචනය ඇතුලත් නො වීය.

“අපේ රට එක්සත් වීමට හඬ නඟන මොහොතක, මේ ජනාධිපතිවරයා එය ඉරා දමමින් සිටි” යයි ඔවුහු පැවසූහ. “සියලු ඇමරිකානුවන්ගේ ගෞරවය හා අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන්, නීතිය ක්‍රියාත්මක කරන්නන්ගෙන් හා වගකීමට  බැඳී සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.”

වොෂිංටනයේදී කල කතාවෙන් පසු ට්‍රම්ප්ගේ ඡායාරූප විජ්ජාවම පිලිබිඹු කරමින් පෙලෝසි අඟහරුවාදා උදෑසන මිනිත්තු දෙකක දේශනයක් කරමින් කැමරා ඉදිරියේ  බයිබලයක් අල්ලා ගෙන සිටියා ය. “ගිනි මොලවන්නෙකු නො ව නිවා දමන්නෙකු වීමට  එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ඔහුට පෙර සිටි බොහෝ ජනාධිපතිවරුන්ගේ නායකත්වය අනුගමනය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු”  යි පවසමින් පෙලෝසි තම කතාව අවසන් කලා ය.

පෙලෝසිගේ සභාපතිත්වයෙන් යුත් ඩෙමොක්‍රටිකයන්ගේ දෝෂාභියෝග උද්ඝෝෂනය  නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ දී අවසන් වූයේ මීට මාස හතරකට පෙර ය. යුක්‍රේනයේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ දුරකථන ඇමතුමක් කේන්ද්‍ර කර ගත් “අධි අපරාධ සහ වැරදි ක්‍රියා” සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග ලිපි නියෝජිත මන්ත්‍රී මන්ඩලය විසින් අනුමත කරන ලදී. එහිදී ට්‍රම්ප් රුසියාවට එරෙහි යුද්ධය සඳහා ද යුක්‍රේනයට දෙන මිලිටරි ආධාර ද අත්හිටවා ඇති බවට චෝදනා එල්ල විය. ට්‍රම්ප් අවසානයේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ රිපබ්ලිකානුවන්  විසින් පාලනය කරනු ලබන සෙනෙට් සභාව විසිනි.

ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා යුක්‍රේන දුරකථන සංවාදය ඩෙමොක්‍රටිකයන් පදනමක් ලෙස  සැලකූ නමුත්, දේශීය විරෝධතාවන්ට එරෙහිව එක්සත් ජනපද භූමියේ මිලිටරිය යෙදවීමේ උත්සාහය ඔවුහු නිහඬව ලෙස්සා හරිති. ට්‍රම්ප්  ධුරයෙන් ඉවත් කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මන්ඩලය යලි කැඳවීමක් හෝ ට්‍රම්ප් නිලයෙන් පහ කිරීමට නව යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස පෙලෝසි හෝ වෙනත් ඩෙමොක්‍රටිකයෙකු  විසින් ඉල්ලා නැත.

ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින හමුදා නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් වන තම ආන්ඩුවට එරෙහි විරෝධය “නවතා දමන්නැ”යි ට්‍රම්ප් කරන ඉල්ලීම් අමු අමුවේ නීති විරෝධී ය. යේල් නීති මහාචාර්ය බෘස් ඇකර්මන් පසුගිය වසරේ කියා සිටි පරිදි:

ආරම්භයේ සිට ම ඇමරිකානු ව්‍යවස්ථාමය සම්ප්‍රදාය, දේශීය නීතිය බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් හමුදාව යෙදවීමට තදින් ම විරුද්ධ වී තිබේ. 1878 ප්‍රඥප්තියක  මුල් බැස ගත්තා වූ ද 1956 දී ව්‍යවස්ථාගත කරන ලදද්දා වූ ද ප්‍රධාන විධිවිධානයක් ප්‍රකාශ කරන්නේ, දේශීය වශයෙන් නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා  “ව්‍යවස්ථාව හෝ කොන්ග්‍රසයේ පනතක් මගින් පැහැදිලිව ම අවසර දී ඇති විට හැර,” “හමුදාවේ හෝ ගුවන් හමුදාවේ ඕනෑ ම කොටසක් හිතාමතා ම භාවිතා කරන ඕනෑ ම අයෙකු,” “මෙම ශීර්ෂය යටතේ දඩ ගැසීමකට යටත් කිරීම හෝ අවුරුදු දෙකකට වැඩි නො වන කාලයකට සිරගත කිරීමට හැකි ය.” 

ලෝසවෙඅ නැවත නැවතත් සඳහන් කර ඇති පරිදි, පසුගිය වසර තුනහමාර තුල ට්‍රම්ප්ට එරෙහි ඩෙමොක්‍රටිකයින්ගේ විරුද්ධත්වයේ අරමුන වූයේ මාලිගා කුමන්ත්‍රනයක් සිදු කිරීම යි. ඔහුගේ පරිපාලනයේ ආරම්භයේ සිට ම, ඩෙමොක්‍රටිකයින් ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ප්‍රතිපත්තිවලට එරෙහි පුලුල්ව පදනම් වූ මහජන විරෝධය මැඩපැවැත්වීමට හා එය අවමංගත කිරීමට කටයුතු කලේ, එය තමන්ගේ ම ප්‍රතිගාමී රුසියානු විරෝධී උද්ඝෝෂනය පිටුපස පෙලගස්වමිනි. 

දැන් ට්‍රම්ප්ට එරෙහිව විශාල මහජන ව්‍යාපාරයක් පවතින විට ඩෙමොක්‍රටිකයෝ තත්වය සන්සුන් කිරීමේ නිරර්ථක උත්සාහයකට යොමුව සිටිති.  “ගිනි ඇවිලවීම” ගැන ට්‍රම්ප් විවේචනය කරන විට, ඔවුන් ප්‍රකාශ කරමින් සිටින්නේ කම්කරු පන්තිය තුල දැවැන්ත සමාජ පිපිරීමක් පිලිබඳ තම භීතිය යි.

පසුගිය වසර තුනහමාරක කාලය සම්බන්ධයෙන් ගත් විට, මූල්‍ය කතිපයාධිකාරයේ දේශීය ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අංග සම්බන්ධයෙන් ඩෙමොක්‍රටිකයින් ට්‍රම්ප් සමග එක්ව කටයුතු කර ඇත. පුලුල් වන කොරෝනා වසංගතය මධ්‍යයේ ඔවුහු, වෝල් වීදියට ඩොලර් ට්‍රිලියන ගනනක ඇපදීම ඒකමතිකව අනුමත කල අතර, ට්‍රම්ප් පරිපාලනය විසින් මෙහෙයවනු ලබන වැඩට ආපසු යාමේ උද්ඝෝෂනය ක්‍රියාත්මක කිරීමට උදව් කරති.

නියත වශයෙන් ම යහපත් කිසිවක් ඩෙමොක්‍රටික් පක්ෂයෙන් සිදු නොවනු ඇත. එය වෝල් වීදියේ හා හමුදා බුද්ධි අංශවල පක්ෂයකි. පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි දැවැන්ත හා පුලුල් වන විරෝධතා සහ ඒවා පිටුපස සිටින කම්කරුවන් අතර ඇති පුලුල් සමාජ කෝපය සජීවිකරනය කරන මනෝගතීන්ට එය තරයේ ම සතුරු ය.

ට්‍රම්ප් තන්ත්‍රයට එරෙහි අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ ඩෙමොක්‍රටිකයින්ට, රිපබ්ලිකානුවන්ට හා සංගත හා මූල්‍ය ප්‍රභූවේ සමස්ත දේශපාලන යාන්ත්‍රනයට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම තුලින් පමනි. පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි අරගලය සහ ජනාධිපති ආඥාදායකත්වයට ට්‍රම්ප් ගන්නා පියවර අසමානතාව, සූරාකෑම හා ධනවාදී ක්‍රමයට එරෙහි අරගලය සමඟ සංයෝජනය කල  යුතු ය.

Loading