විරෝධතාකරුවෝ ට්‍රම්ප්ගේ තර්ජන ප්‍රතික්ෂේප කරති, පොලිස් ඝාතනවලට එරෙහිව රටපුරා උද්ඝෝෂන පුලුල් කරති

මෙම ලිපිය ජූනි 3 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ට්‍රම්ප් පරිපාලනය සහ ප්‍රාන්ත ආන්ඩුකාරවරු, එක්සත් ජනපදයේ නගර 200 කට අධික සංඛ්‍යාවක සාමකාමී උද්ඝෝෂන මර්දනයට දස දහස් ගනනක් පොලිසිය සහ හමුදාව යෙදවීමට කටයුතු කරමින් සිටිති.

මැයි 25 වන දින මිනසෝටා ප්‍රදේශයේ මිනියාපොලිස් හි දී පොලීසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට  එරෙහිව පැන නැගුනු සියලු ජාතීන් හා ජනවර්ගවල තරුන තරුනියන්ගේ හා කම්කරුවන්ගේ ප්‍රබල ව්‍යාපාරය, ඇඳිරි නීතිය, සමූහ අත්අඩංගුවට ගැනීම් සහ පොලිස් භීෂනය මගින් මැඩපැවැත්වීමට අසමත් වී ඇත. රෝස් උද්‍යානයේදී සඳුදා, විරෝධතා මර්දනයට ඒකාධිපති බලතල භාවිත කරමින් නීතිවිරෝධී ලෙස හමුදාව යොදවන බවට ට්‍රම්ප් ෆැසිස්ට්වාදී තර්ජනයක් කලේය. එයින් රට පුරා නගරවල ලක්ෂ සංඛ්‍යාත විරෝධතා කරුවන්ගේ කෝපයත් අධිෂ්ඨානයත් වැඩි කර තිබේ. 

වොෂිංටන් ඩීසී හි ඩිමොක්‍රටික් නගරාධිපති මියුරියෙල් බවුසර්, සඳුදා රාත්‍රී 7:00 ට පමන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර, සාමකාමී උද්ඝෝෂකයන්ට එරෙහිව අනපේක්ෂිත ප්‍රහාරයක් දියත් කිරීමට සිය ගනනක් හමුදා පොලිසිය බලමුලු ගැන්වීමෙන් ට්‍රම්ප් එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත.

පෙලපාලි ජාත්‍යන්තරව පැතිරෙමින් ඇත. ලන්ඩන්, පැරිස්, බර්ලින්, කෝපන්හේගන්, ඇම්ස්ටර්ඩෑම්, ඩබ්ලින්, ඕක්ලන්ඩ්, සිඩ්නි, ටෙහෙරාන්, හැලිෆැක්ස්, ඉඩ්ලිබ් (සිරියාව) ඇතුලු තවත් බොහෝ නගරවල විරෝධතා හා පෙලපාලි පවත්වා තිබේ.

 හූස්ටන්හිදී 60,000 කට අධික පිරිසක් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ අය සමඟ පොලිස් ඝාතනයට එරෙහිව පාගමනකට එක් වූහ.  දස දහස් ගනනක් ඩ්‍රම්ස් වාදනය කල අතර සමහරු අශ්වයන් මත නැගී හූස්ටන් ඩව්න් ටවුන් නගරය හරහා ගමන් කලහ. නගර ශාලාව ඉදිරිපිට පාගමන අවසන් වූයේ විරෝධතාකරුවන් “මට හුස්ම ගන්න බැහැ” සහ “යුක්තිය නැත, සාමය නැත” යන සටන් පාඨ කියවීමෙනි.

නිව්යෝර්ක් නගරයේ පස්වරු 2.00 ට ආරම්භ වූ දහස් ගනනක් විරෝධතාකරුවන් සම්බන්ධවූ පෙලපාලිය මැන්හැටන් පාලම හරහා මැන්හැටන් දෙසට ගමන් කලේ තවත් පෙලපාලිකරුවන් පිරිසකට එකතු වීමටය. පාලමේ කෙලවරේ මෑන්හැටන්හිදී පොලිස් පවුරක් විරෝධතාකරුවන්ගේ මග හරස් කල අතර ඔවුන්ට පාලම උඩ රැඳීසිටීමට බල කෙරින. හැරී යාමට තීරනය කිරීමට පෙර විරෝධතාකරුවෝ පොලිසිය අවසර දෙන තෙක් පැය දෙකක් තිස්සේ බලා සිටියහ. පෙලපාලිකරුවන් පාලමේ අනෙක් පැත්තට පැමිනි පසු, තවත් පොලිස් පවුරක් ඔවුන්ගේ මග හරස් කරගෙන සිටියේය. පැය දෙකක් තිස්සේ පොලිසිය කිසිවෙකුට පාලමෙන් බැසීමට ඉඩ දුන්නේ නැත. පොලිසියේ මැර උපක්‍රමය පිලිබඳව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීම හේතුවෙන් පොලිසියට පසුබැසීමට සිදු වීමෙන් පෙලපාලිකරුවන් නිදහස් කෙරුනි.

දකුනු කැලිෆෝනියාවේ, කම්කරුවෝ සහ තරුනයෝ 20,000 කට අධික පිරිසක් ලොස් ඇන්ජලීස් සහ හොලිවුඩ් පුරා නිර්භීත මෙන්ම උද්‍යෝගිමත් ලෙස පෙලපාලි දැක්වූහ.මෙම සාමකාමී උද්ඝෝෂන සඳහා දැඩි ලෙස සන්නද්ධ වූ ජාතික ආරක්ෂක භටයන් සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීම සඳහා සුප්‍රසිද්ධ හම්වීස් වාහන යොදවා තිබුනි.

කම්කරු පන්තියේ සෑම ප්‍රජාවක් මතම ක්‍රියාත්මක වන පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි පුලුල් මහජන විරෝධය පෙන්නුම් කරමින්, ග්ලාස්ගෝ, කෙන්ටකි වැනි ග්‍රාමීය නගරවලද විරෝධතා පැන නැගී තිබේ. දකුනු, මධ්‍යම කෙන්ටකි ප්‍රදේශයේ 14,000 ක ජනතාවක් සිටින මෙම නගරයේ පදිංචිකරුවන්ගෙන් සියයට 86 ක් “සුදු” ජාතිකයන් ය. එම නගර වල අඟහරුවාදා දහවල් විරෝධතාකරුවන් 400 ක පමන පිරිසක් උද්ඝෝෂනයේ යෙදී සිටියහ.

ඉතා සාමකාමී ස්වභාවක් දක්නට ලැබුනද, ආන්ඩුකාරවරුන්, නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය නිලධාරීන්  මිලියන 60 කට අධික ජනතාවක් වෙසෙන ප්‍රාන්ත 27 ක නගර 200  ඇඳිරි නීතිය පනවා ඇත. ලොස් ඇන්ජලීස්හි සවස 6:00 සිටද, නිව්යෝක් නගරයේ රාත්‍රී 8:00 සිටද ඇඳිරි නීතිය  ක්‍රියාත්මක වේ. මුලුු ඇරිසෝනා ප්‍රාන්තයම ආවරනය වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. 

ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන නිව්යෝර්ක් ආන්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ සඳුදා රාත්‍රී 11.00 ට ඇඳිරි නීතිය පැනවූ අතර අත්අඩංගුවට ගැනීම් 700 කට අධික විය. මෙවැනි සාහසික මට්ටමේ පොලිස් මර්දනයකින් පවා සෑහීමකට පත් නොවූ ට්‍රම්ප්, “පහත් පරාජිතයින් ප්‍රදේශය දෙකඩ කිරීමට පෙර “ජාතික ආරක්ෂක භටයන් යොදවන්න ” යනුවෙන් ට්වීටර් පනිවිඩයකින් කියුමෝට නියෝග කර ඇත.

ට්‍රම්ප්ගේ නියෝග අකුරටම පිලිපදිමින්, අඟහරුවාදා පැවති අසාමාන්‍ය ආකාරයේ මාධ්‍ය හමුවකදී කියුමෝ, නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුව විරෝධතාවලට දැක්වූ ප්‍රතිචාරය “නින්දාවක්” ලෙස ප්‍රකාශ කලේය. ඔහු ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන නගරාධිපති බිල් ඩි බ්ලැසියෝට අනතුරු අඟවමින් කියා සිටියේ “නගරාධිපති අවතැන් වීම වෙනුවට වහාම ජාතික ආරක්ෂක බලකාය යෙදවීමේ” විකල්පය යොදාගත යුතු බවයි.

මීට පෙර අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී ද බ්ලැසියෝ “පොලිස් නිලධාරීන්ට දරුනු ප්‍රහාර එල්ල කිරීම” හෙලා දකිමින් මේසයට තඩිබෑවේය. පසුගිය පැය 96 තුල NYPD මැර ප්‍රහාර, ගෑස් ගැසීම් සහ විරෝධතාකරුවන්ට අඩන්තේට්ටම් කිරීම් සමාජ මාධ්‍ය වීඩියෝ දුසිම් ගනනක් මගින් ප්‍රචාරය වී ඇති නමුත් බ්ලැසියෝ, පොලිසිය වැලඳගනිමින් පවසන්නේ, “පොලිස් නිලධාරියෙකුට පහර දෙන ඕනෑම අයෙකු අප සියල්ලන්ටම පහර දෙයි” යනුවෙනි. පුවත්පත් සාකච්ඡාවේදී ඔහු සති අන්තයේ ඇඳිරි නීතිය දීර්ඝ කරන බව නිවේදනය කලේය. ඩි බ්ලැසියෝට “පිටස්තර ප්‍රචන්ඬකාරීන්” සඳහා  ඕනෑ තරම් චෝදනා තිබුන ද, 32 හැවිරිදි රෝහල් සේවක රේන් වැලන්ටයින්ට නිව්යෝර්ක් පොලිසිය සිදු කල දරුනු ප්‍රහාරය ඔහු සඳහන් කලේ නැත. රේන් සෙනසුරාදා රාත්‍රියේ බෘක්ලින්හි කිංග්ස් ප්‍රාන්ත රෝහලේ  තම සේවා මුරය අවසන් වී පැමිනි සේවකයෙකි.

සාකච්ඡාවකදී වැලන්ටයින් ප්‍රකාශ කර ඇත්තේ, තරුනයෙකු පසුපස හඹා යන පොල්ස් නිලධාරීන් කන්ඬායමට තමා මුන ගැසෙන විට ඔහු සේවා මුරය අවසන් වී ගෙදර යමින් සිටි බවයි. නිලධාරීන් විසින් ඔවුන් හඹා ආ පුද්ගලයා වට කර ගෙන ඇති ආකාරය පටිගත කල ඔහුට ද පසුව පොලිසිය “ඉවත්ව යන ලෙස” අන කොට පහර දීමට පටන් ගෙන ඇත.

පහරදීමෙන් වැලන්ටයින්ට සීටී ස්කෑන් දෙකකට භාජනය වීමට සිදු වූ අතර හිසෙහි වූ තුවාලය වැසීමට මැහුම් 7 ක් දැමීමට සිදු විය. “මම ගෙදර යන්නයි ආවෙ ” යනුවෙන් බිම වැතිර සිටියදී ඔහුට පහර දුන් නිලධාරීන්ට වැලන්ටයින් කෑගසා පවසා ඇත. එක් පොලිස් නිලධාරියෙක් පිලිතුරු දෙමින්, “හොඳයි, ඔබ ඒ සදහා පැමින ඇත්තේ වැරදි වෙලාවක.” යනුවෙන් පවසා ඇත.

මේ මොහොත වන විටත්, ආන්ඩුකාරවරුන්  කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ ප්‍රාන්ත 28 ක ජාතික ආරක්ෂක සෙබලුන් දහස් ගනනක් සක්‍රීය කර ඇත. කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ මුවාවෙන් පසුගිය මාසවල සේවයේ යොදවා සිටි ආරක්ෂක භටයන් 45,000 ට අමතරව, විරෝධතා මර්දනයට ආරක්ෂක සොල්දාදුවන් 20,400 ක් යොදවා ඇති අතර තවත් දහස් ගනනක් සූදානම් කර ඇත.

බලකායෙන් වැඩි ප්‍රමානයක් මිනසෝටා හි යොදවා ඇති අතර කැලිෆෝනියාවේ 2,000 කට ආසන්න සංඛ්‍යාවක් සක්‍රීය කර ඇත. මේ වන විට සොල්දාදුවන් 1,200 ක් ලොස් ඇන්ජලීස් හි ද 100 ක් ලෝන්ග් බීච් හි ද 530 ක් සක්‍රමෙන්ටෝවේ ද ස්ථානගත කර ඇත.

 ඉලිනොයිස් ආන්ඩුකාර ඩිමොක්‍රටික නියෝජිතයෙකු වන ජේ. බී. ප්‍රිට්ස්කර් අඟහරුවාදා, භටයන් 250 කින් යුත් ආරක්ෂකයින් චිකාගෝහි සක්‍රිය කර ඇත. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු තම පාලක පන්ති නියෝජිතයින්ට සහතික වූයේ “අවශ්‍ය පරිදි  හමුදාව සහ පොලීසිය යෙදවීම දිගටම සිදු කරන්නෙමු” යනුවෙනි. පාලක පන්තියේ ප්‍රධාන අවධානය ගැන පැහැදිලිවම සඳහන් කරමින් ප්‍රිට්ස්කර් පොරොන්දු වූයේ “පුද්ගලික දේපල ආරක්ෂා කිරීම සඳහා අපට කල හැකි සෑම දෙයක්ම අපි කරන බවයි.”

වොෂිංටන් ඩීසී හි ජාතික ස්මාරක වටා සොල්දාදුවන් යොදවා ඇත. ටෙනසි සිට 278 වන සන්නද්ධ අශ්වාරෝහක රෙජිමේන්තුවේ (ඒසීආර්) සෙබලුන් පැමිනෙන තුරු, ඉන්ධන ගැලුම් 2500 ක් ප්‍රවාහනය කල හැකි දැවැන්ත ඒ 4  ට්‍රක් රථ තුනක් නගර වීදි හරහා ගමන් ගත්තේය. අඟහරුවාදා වන විට යෙදවීමට නියෝග කර ඇති සෙබලුන් 1,000ක් සෙනසුරාදා වන විට කැපිටෝල් වෙත පැමිනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ACR ඒකක “දඩයම් කර මරාදමන” (“hunter-killer”) ඒකක ලෙස හැඳින්වේ.

ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුදපිටිවල සිට බ්‍රැඩ්ලි ප්‍රහාරක රථ සමඟ 278 වන සේනාංකයේ  සොල්දාදුවන් කැපිටෝල්හි ආරක්ෂාවට යොදවනු ඇත. පුපුරන ද්‍රව්‍ය ප්‍රතික්‍රියාකාරී සන්නාහයක්, මිමී 25 M242 බුෂ්මාස්ටර් දාම තුවක්කු, ඇදගෙන යන යුද ටැංකි නාශක මිසයිල සහ  M240 මැෂින් තුවක්කුවක් සහිත බ්‍රැඩ්ලි ප්‍රහාරක රථයක යුද පිටියේ අරමුන වන්නේ, සැහැල්ලු අවි විනාශ කිරීම සහ විශාල M1A1 යුද ටැංකි ප්‍රහාර සඳහා සඳහා සතුරු ටැංකි එලියට ඇද ගැනීමය.  

මාරාන්තික කොවිඩ්-19 වසංගතයට ට්‍රම්ප් පරිපාලනය සහ පාලක පන්තිය දක්වන ප්‍රතිචාරය සහ මහජන විරෝධතාවලට ඔවුන් දක්වන ප්‍රතිචාරය අතර පැහැදිලි වෙනසක් තිබේ. කොවිඩ්-19 සම්බන්ධයෙන් ගත් කල, ධවල මන්දිරය, සෙනෙට් සභිකයින් සහ කොන්ග්‍රස් සභිකයින් අන්තරාය අවතක්සේරු කිරීමට උත්සාහ කල අතර සති ගනනාවක් තිස්සේ කිසිවක් සිදු නොවූ අතර  වෝල් වීදියට ඩොලර් බිලියන ගනනක ඇපදීමක් සඳහා ඔවුන් යුහුසුලු විය. පාලක පන්තියේ ද්වේෂ සහගත නොසලකා හැරීම හේතුවෙන් දස දහස් ගනනක් වැලැක්විය හැකිව තිබූ මරන සිදුවී ඇත. ඉදිරියේදී තවත් මරන සිදුවීමට ඉඩ හැර තිබේ.

විරෝධතා සම්බන්ධයෙන් ගත් කල, පැය කිහිපයක් ඇතුලත  දහස් ගනන් පොලිසිය බලමුලු ගන්වන ලද අතර ඊට අමතරව ප්‍රාන්ත හමුදා සහ ජාතික ආරක්ෂක බලකාය ද  යොදවා තිබුනි.

පෙලපාලිවලට එරෙහි මෙම දැවැන්ත මර්දනයට මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පීන් ද ඉලක්ක කරගන්නා ලදී. මාධ්‍ය සඳහා නිදහස පදනමේ විධායක අධ්‍යක්ෂ ට්‍රෙවර් ටිම් විසින් සපයන ලද දත්ත වලට අනුව, “මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීම්” 211 ක් ද, අත්අඩංගුවට ගැනීම් 33 කට අධික සංඛ්‍යාවක් ද, පහරදීම් 148 ක් (පොලීසිය විසින් 118 ක්) සහ උපකරන හානි හෝ ප්‍රවෘත්ති කාමර හානි 30 ක් සිදුව ඇත.

ෆිලඩෙල්ෆියා අසල ෆිෂ් ටවුන් හි, බේස්බෝල් පිති, මිටි සහ පොරෝ වලින් සන්නද්ධ ව සිටි ෆැසිස්ට් මැරයන් 70 දෙනෙකුගෙන් යුත් කන්ඬායමකට නිදහසේ සැරසැරීමට ඉඩ දුන්නේ  ඇයිද යන්න පිලිබඳව පොලිසියට තවමත් පිලිතුරු නොමැත. WHYY හි දේශීය රූපවාහිනී නිෂ්පාදක ජෝන් එහෙරන්ස් ඇතුලු විරෝධතාකරුවන්ට හිරිහැර කිරීම සහ පහර දීම සඳහා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට මැර කන්ඬායම් වලට නිදහස ලැබී තිබුනි.

විරෝධතාකරුවෙකුට පහර දුන් අවස්ථාවේදී ඊරන්ස් සහ ඔහුගේ පෙම්වතිය පහර දුන් කන්ඬායම පටිගත කිරීම නිසා ප්‍රහාරයට ලක්වීමෙන් පසුව සඳුදා සවස ඊරන්ස් රෝහලට ගෙන යන ලදී. පහරදීම සිදු වූ වීථියේ පොලිසිය සිටියද, විවිධ පොලිස් නිලධාරීන් ගොඩනැඟිල්ලකට එහායින් සිටියද, පහරදීම සම්බන්ධයෙන් කිසිවෙකුට එරෙහිව චෝදනා නඟා හෝ අත්අඩංගුවට ගෙන නොමැත.

Loading