දි එඩී: පැරීසියේ අරගලයේ යෙදෙන සංගීතඥයෝ -වත්මන් තත්ත්වයට කලාකරුවන් කෙතරම් නුසූදානම් ද!

මෙම ලිපිය ජුනි 5 වනදා ඉංග්‍රීසි බසින් පලවිය

“සෑම ශ්‍රේෂ්ඨ යුගයක ආරම්භයේ දී ම සිදුවන්නාක් මෙන්, කලාව බියකරු අසරනකමක් පෙන්වී ය.” -ලියොන් ට්‍රොට්ස්කි

දි එඩී

දි එඩී යනු නෙට්ෆික්ස්හි විකාශනය වන, අද්‍යතන පැරීසිය මුල් කරගත්, කොටස් අටකින් යුත් කතා මාලාවකි.

එහි කේන්ද්‍රීය චරිතය වන්නේ, ජෑස් සංගීත සමාජ ශාලාවක් වන දි එඩී හි අයිතිකරු ද, සංගීත තනු රචකයෙකු හා හිටපු පියානෝ ශිල්පියෙකු ද වන විප්‍රවාසී අප්‍රිකානු-ඇමරිකානුවෙකු වූ එලියට් උඩෝ (ආන්ද්‍රෙ ඔලන්ද්) ය. කතා මාලාව ආරම්භ වන අවස්ථාවේ, උඩෝ හා ඔහුගේ ව්‍යාපාර සහායකයා වන ෆාරිඩ් (තහාර් රහීම්) ඔවුන්ගේ ආයතනය දිගට ම පවත්වා ගැනීමට අරගලයේ යෙදෙමින් සිටිති. ගැටලු තවත් සංකීර්න කරමින්, එලියට්ගේ මුරන්ඩු නව යොවුන් දියනිය වන ජුලී (අමන්ද්ලා ස්ටන්බර්ග්) එක්සත් ජනපදයේ සිට පැමිනෙයි.

විවිධාකාර ආතතීන් පවතින සමාජ ශාලාවේ සංගීත කන්ඩායමට, පෝලන්තයේ උපන් ගායිකාවක් වූ ද, එක්තරා කාලයක එලියට්ගේ පෙම්වතිය වූ හා අනාගතයේ යලි පෙම්වතිය වීමට නියමිත වූ ද මායා (කෝල්ඩ් වෝහි ජොඇන්නා කුලිග්), පියානෝ ශිල්පී රැන්ඩි (ඇමරිකානුවෙක් වන රැන්ඩි කර්බර්), බේස් වාදන ශිල්පී ජූඩ් (කියුබාවේ උපන් දාමියන් නුවේවා), සැක්සෆෝන් වාදන ශිල්පී ජොවී (හයිටියානු-කැනේඩියානුවෙකු වන ජොවී ඔමිසිල්), ට්‍රම්පට් වාදන ශිල්පී ලුඩෝ (ප්‍රන්සයේ උපන් ලුදොවික් ලුවී) සහ බෙර වාදන ශිල්පිනී කැතරිනා (ක්‍රොඒෂියානු ලාඩා ඔබ්රදොවික්) අයත් වේ. කුඩා එහෙත් ප්‍රසිද්ධ වෙලඳ සලකුනක හිමිකරු වන ෆ්‍රෑන්ක් ලෙවී (බෙන්ජමින් බියෝලේ) තමන්ට වාර්තාගත පංගුවක් ප්‍රදානය කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

කතාංග අටෙන් හතකට ම පුද්ගල චරිතවල (“එලියට්,” “ජුලී,” “අමීරා,” “ජූඩ්,” “මායා,” “සිම්” හා “කැතරිනා”) නම් ලබා දී ඇති අතර, අවසන් කතාංගයට ලබා දී ඇත්තේ ස්ථානයේ හෝ තේමා ගීතයේ නාමයයි.

දි එඩීහි රඟපාන ආන්ද්‍රෙ ඔලන්ද් හා තහාර් රහීම්

දි එඩීහි ප්‍රධාන රචක-නිර්මාන ශිල්පියා වන්නේ ජැක් තෝන් වන අතර, රෙබෙකා ලෙන්කීවික්ස්, රැචෙල් ඩි-ලැහේ, හමීඩ් ලියොවුවා හා ෆිලිප් හවුස් අනෙකුත් රචනාමය ප්‍රතිපදානයන් සිදු කරති. ඩේමියන් චැසෙල් (විප්ලෑස්, ලා ලා ලෑන්ඩ්), හොවුදා බෙනියාමිනා, ලයිලා මරක්චි හා ඇලන් පෝල් යන හතර දෙනා කතාංග දෙක බැගින් අධ්‍යක්ෂනය කල හ. කතා මාලාවේ චරිත මූලික වසයෙන් ඉංග්‍රීසි හා ප්‍රන්ස කතා කිරීමට අමතර ව අරාබි හා පෝලන්ත භාෂා ද කතා කරති.

සියලු දෙනා දක්ෂ සංගීත ශිල්පීන් වන කන්ඩායමේ සාමාජිකයෝ, කතාංග අට දිග හැරෙද්දී බොහෝ සෙයින් කර්බර් හා ග්ලෙන් බයාද් විසින් රචනා කරන ලද ජෑස් සංගීතාංග ඉදිරිපත් කරති.

දි එඩී තුල නාටක කිහිපයක් එකවර සිදු වෙයි. දැනට ද සඳහන් කර ඇති පරිදි, සංගීත කන්ඩායම මූල්‍ය ආපදාවකට මුහුන දී සිටී. පලමු කතාංගයේ දී සම-අයිතිකාර ෆාරිඩ් ඝාතනයට ලක් වන්නේ, පෙනී යන පරිදි, සටකපට වංචනිකයන් සමග ගනුදෙනුවලට එලඹී සංගීත කන්ඩායමේ ගැටලු විසඳා ගැනීම දරන ලද සිය උත්සාහයන්හි ඛේදනීය ප්‍රතිවිපාකයක් ලෙසය. ෆාරිඩ්ගේ ඝාතනය විමර්ශනය කිරීම සහ සමාජ ශාලාව අත්පත් කරගැනීමට මැරවරයින් කරන සැලසුම් ව්‍යර්ථ කිරීමට එලියට් ප්‍රයත්න දැරීම කතා මාලාව පුරා ආතතිමය හා ගැලවී යා නොහැකි අංශ ලෙස පවතී. එක්තරා අවස්ථාවක දී පොලීසිය ද උඩෝ මත ඔවුන්ගේ පීඩනය යෙදීම අරඹයි.

තමන්ට ම ස්ථානයක් සොයාගැනීම පිනිස උඩෝගේ දියනිය වන ජුලී ගෙන යන අරගලය සහ ඇයට සම්පූර්න අවධානය දෙනු ඇති පියෙක් ආඛ්‍යානයේ තවත් රැහැනක් තනයි. සංගීතමය හා පුද්ගලික අභිලාෂයන් තිබෙන, සංක්‍රමනික පවුලක තරුනයෙක් වන සිම් (අදිල් ඩේබි) සමග ඇය මිත්‍රත්වයක් ඇති කරගනී. ෆාරිඩ්ගේ වැන්දඹුව වන අමීරාට හා ඇයගේ දරු දෙදෙනාට මුහුන දී ජයගත යුතු තීව්‍රතර ශෝක සන්තාපයක් පවතී. බේස් ශිල්පී ජූඩ්ට බිඳුනු හදවතක් හා මුහුන දිය යුතු මත්ද්‍රව්‍ය ඇබ්බැහි කමක් ඇත. කන්ඩායමේ ගායිකාව හා එලියට් සමග දැනටත් පවතින,  අතිශය සතුටුදායක හෝ සන්තෘප්තිමත් නො වන සබඳතාවක් තිබෙන මායාට, ආර්ථික සුරක්ෂිතතාව ලබාදෙනු ඇති රැකියාවක් වන ජනප්‍රිය ගායන තරුවකට පසුබිම් ගායිකාව වීමේ අවස්ථාවක් ලැබේ. මැරවරයන් පිලිබඳ ව හා ෆාරිඩ්ට ඔවුන් සමග තිබූ සබඳතාව පිලිබඳ ව මුලින් පෙන්නුම් කලාට වැඩි යමක් කැතරිනා දනී.

දි එඩීහි රඟපාන අමන්ද්ලා ස්ටන්බර්ග්, ආන්ද්‍රෙ ඹලන්ද්, අහාර් චාෆික් හා ලෙයිලා බෙක්ටි

 බොහෝ කොටම නලුවන් - විශේෂයෙන් ඒ අතරින් හොලන්ඩ් (සෙල්මා, මූන්ලයිට්) -  සහ සංගීතඥයන් ම ද ඇතුලත් ව, දි එඩී කතා මාලාව තුල ආකර්ෂනීය අංශ පවතී. සංගීතය ලොව සොලවන තරමේ නොවූව ද, සිත් ඇදගන්නාසුලුය. අතරින් පතර එය, ජෑස් සංගීතයට පමනක් උත්තේජනය කල හැකි එම නො පැහැදිලි, සරාගී, අඳුරු මනෝගතියට කැඳවුම් කරයි. සාපේක්ෂ ව ව්‍යාජ අලංකාරයෙන් තොර විලාසිතාවක් සහිත පැරීසියේ ස්ථාන මනෝරම්‍ය වේ. කතා මාලාවේ බහු-ජනවාර්ගික, බහු-භාෂාමය ස්වභාවය ද සතුටුදායක ස්වරයක් කාවද්දයි. එහි අවසන් අවස්ථා රුචිකර හා සංවේදනීය වේ. 

කෙසේවෙතත්, මගේ අදහසට අනුව, දි එඩීහි දුර්වලතාවන් සැලකිය යුතු ලෙස එහි ශක්තීන් අභිබවා යයි. සියල්ලට ඉහලින්, එහි වඩාත් ආගන්තුක සැරසිලි ගලවා ඉවත් කල විට කොටස් අටකින් සමන්විත මෙම නාට්‍ය මාලාව, අද්‍යතන චිත්‍රපටකරනයේ හා රූපවාහිනී නාටකයේ ප්‍රධාන හා අර්ධ වසයෙන් අනිවාරනීය බවට පත් ව ඇති වස්තු බීජ හා තේමාවන් යලි වතාවක් ඉදිරිපත් කිරීමේ ආකෘතියට සත්‍ය ලෙසම අනුගත වී ඇති බැව් පෙනී යයි. එනම්, දරුවන් ලිංගික අපයෝජනයට ලක්කිරීම (හෝ ඒ පිලිබඳ ඉඟි), එකිනෙකා කෙරෙහි “කැපවීමට” පෙම්වතුන් අසමත් වීම, භාවමය වසයෙන් ගිලී යමින් සිටින දූ පුතුන් වෙනුවෙන් කාලය වෙන් කිරීමට මව්වරුන් හා පියවරුන්ට නො හැකි වීම, දරුවෙකු අහිමිවීමේ කම්පනය ජයගැනීමට දෙමාපියන් දරන උත්සාහය, සහකරුවා හෝ සහකාරිය අහිමිවීමේ වේදනාව සමග පොරබැදීමට ස්වාමිපුරුෂයෙක් හෝ බිරිඳක් දක්වන ප්‍රයත්නය ආදිය වන අතර, ඒවාට යමෙක් පට්ට ගැසූ අවසන් වාක්‍ය ඛන්ඩය ද එකතු කල යුතු ය: එනම්, අද්‍යතන චිත්‍රපටකරනය සම්බන්ධයෙන් ගත් කල, සියලු දුසිරිතේ මූලය ලෙස දුෂ්ට නැගෙනහිර යුරෝපියානු පරිහානිගත දිවි පෙවෙත්වල පැවැත්මයි.  

එය මුලුමනින් ම පාහේ, තථ්‍ය වසයෙන් එහි සෑම අවුන්සයක් ම, ගුප්ත පුද්ගලික අර්බුදයකි. එය බොහෝ සෙයින් නීරස වන අතර, සමහර අවස්ථාවන්හි දී නොරිස්සනසුලු බවට පවා පත්වේ.

දි එඩීහි රඟපාන ලාඩා ඔබ්රාදොවික්

(මීට අමතර ව, අපරාධකරුවන් විසින් ඉදිරිපත් කෙරෙන අන්තරායන් සමග පොරබැදීමට එලියට් පොලීසිය වෙත යා යුතු බව නිශ්චිත නමුත්, පොලිස් නිලධාරීන් වෙත ඔහු “ශුද්ධවන්තයෙක්” ලෙස පැමින ඔවුන් සමග ඇති කරගන්නා සමීප සබඳතාව ඔහුගේ සදාචාරාත්මක හා සංවේදනාත්මක නැවත ඉපදීමේ කේන්ද්‍රය ලෙස පවතීය යන්න යම් ආකාරයකින් කැපී පෙනෙන කරුනකි.)

විශාලතම අඩුපාඩුව වන්නේ තමා ගැන ම සිතීම හා ස්වයං තැවුල විසින් හාත්පස පතුරුවන වාතාවරනයයි. මෙහි සලකා බැලෙන අල්ප ගනයේ ගැටලු හැරුනු විට වෙනත් විශාල ගැටලු මහපොලව මත නැතැයි යමෙක් සිතනු ඇත.

කලාකරුවන් දුසිම් ගනනක් පෙනී සිටිමින්, හේතු දක්වනු ලැබෙන පැය අට තුල ජනගහනයේ අනෙකුත් කොටස් මුහුන දෙන වඩා සාමාන්‍ය ගැටලු හා ජීවන කොන්දේසි ගැන, එක් හෝ සඳහනක් තිබේ ද? නැත, එකක් වත් නැත. එතරම් ම ආත්මාර්ථකාමී වීම විය හැක්කක් වන නමුත්, එවන් දෘෂ්ටියක් විවේචනය කරනු ලැබීමට උචිත ය. නිශ්චිත ව කිවහොත්, චැසෙල් හා කන්ඩායම ඉදිරියෙන්ම සිටින කලාකරුවන් නොවිය හැක. එහෙත් ඔවුන්ට මූලික ව වෙනස් ආකාරයකින් ඉදිරියට ඇදෙන “වඩා වැඩි දියුනු” කලාකරුවන් විය නො හැකි ද? අපි එය සනාථ කිරීමක් නො දකිමු. සාම්ප්‍රදායික වේවා, “රැඩිකල්” වේවා, වර්තමානයේ කලාකරුවන්ගේ අතිමහත් බහුතරයකට “දේශපාලනය” යනු ලිංගික, ලිංග භේදීය හා වාර්ගික දේශපාලනය යි.  

කාන්තා චරිත මත පටවනු ලැබ ඇති තමා කෙරෙහි ම තැකීමේ ගුනය විශේෂ සම්බාධනයකි. ජුලීගේ චරිතයට කැපකර ඇති කතාංගය විශේෂයෙන් ම ඉවසුම් නො දෙන්නකි. (ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කල සටහනකින් එය “අතිශය වේදනාකාරී” යි කියැවේ.) මේ පැයේ ගමන් මග තුල අනෙකුන් සමග අන්තර්ක්‍රියා කිරීමේ දී තරුනියගේ ආකල්පය “ඔව්, ඔව්, ඒත් මා ගැන කවරේ ද?” යන්නට ලඝු කල හැකි ය. “ඒක හොඳයි, ඒත් මා ගැන කවරේ ද?” “දැන් ඒක ඇති- මා ගැන කවරේ ද? මා ගැන කවරේ ද? මා ගැන කවරේ ද!” වාසනාවට, කතා මාලාවේ පසු භාගයේ දී ස්ටන්බර්ග් ඇයගේ චරිතයේ ආත්මාර්ථකාමීත්වයෙන් අඩු, වඩා හොඳ අංශ පෙන්නුම් කරයි.

වැන්දඹු අමීරා ලෙස රඟපාන බෙක්ටි ද පෙලෙන පොදු සන්තාපය වන්නේ, ආත්මතෘප්තියේ හා සමහර අවස්ථාවලදී දැඩි ලෙස කෝපාවිෂ්ට උරුමකම් පෑම්වල සංයුක්තය වන තමා කෙරෙහි ම පසුතැවිලි වීමේ හැඟීමෙහි අධි මාත්‍රාවයි. වෘත්තීය මධ්‍යම පන්තීන්ගේ පලල් කොටසක් පරිභෝජනයට ගෙන ඇති අනන්‍යතා දේශපාලනය, කලාව කෙරෙහි දක්වන භයංකර ප්‍රතිවිපාකයන්ගෙන් එකක් වන්නේ, එය විසින් කෙටි මාවත් තෝරාගැනීමට (හෝ උපපථ කරනයට) ඉඩ හරිනු ලැබීම හා දිරිමත් පවා කරනු ලැබීමයි. කාන්තා චරිතයකට, විශේෂයෙන් ම “වෙනත් වර්නයක කාන්තා චරිතයකට” කිරීමට තිබෙන්නේ හුදු පෙනී සිටීම පමනක් වන අතර, දෙන ලද චරිතය කරන්නේ හෝ කියන්නේ කුමක් ද යන්න නො තකා ප්‍රේක්ෂකයාගෙන් අනුකම්පාව, සහයෝගය, ආකර්ෂනය හා ගෞරවයෙන් පවා යුක්ත ව ප්‍රතිචාර දැක්වීම අපේක්ෂා කරනු ලැබේ. එවන් සිද්ධියක දී කිසිවක් නාටකාකාර ව ගොඩනැංවීමක් හෝ සනාථ කිරීමක් අවශ්‍ය නොවන අතර, සත්‍ය වසයෙන් ම කලාත්මක වන කිසිවක් කිරීමට ද අවශ්‍ය නොවේ; කාර්ය සටහනට අනුව ධනාත්මක ප්‍රතික්‍රියාව සිදු වනු ඇතැයි සරල ව උපකල්පනය කෙරේ. ගාම්භීර හා ඒත්තු ගන්වනසුලු කලාවට එවන් ප්‍රවිෂ්ටයක් මාරාන්තික වේ.

සාමාන්‍යයෙන්, දි එඩීහි පිරිමි හා කාන්තා යන දෙවර්ගයේ ම චරිත, ඔවුන් වෙනුවෙන් කැප කරන ලද කතාංගවල දී අවම බලපෑමක් දක්වති. ඔවුන් අප අබිමුව ගතකරන කාලය වැඩිවන පමනට සංකල්පවල දුර්වලතාව ඉස්මතු වේ. මොවුන් වනාහි යමෙක් ඔවුන් ව හඳුනාගත් විට කීමට වැඩිපුර යමක් නැති තනි පුද්ගලයන් ය. උදාහරනයක් ලෙස, මායා හා ඇයගේ මව පෙනී සිටින අදාල නොවන හා නිෂ්ඵල අනුපෙල ද ඇතුලුව, “ඇයගේ” කතාංගයේ දී වඩා අප්‍රසන්න හා කලහකාරී වන අතර, තරුන ගැහැනියට චෝදනා නැගීමේ අවස්ථාවක් සම්පාදනය කිරීම හැර එම අනු පෙලෙහි වෙනත් පැහැදිලි අරමුනක් ඇති බවක් පෙනෙන්නට නැත. එහෙත් සෙසු කතාංග වල ඇය සාපේක්ෂව සිහි නුවනින් කටයුතු කරන්නියකි.

දි එඩීහි රඟපාන ආන්ද්‍රෙ ඔලන්ද්

මැරවරවයන් අතින් බිහිසුනු ලෙස පහර කෑමෙන් පසුව පවා, තමා කෙරේ ම යොමු වී සිටින බවක් නොපෙන්වන එකම කාන්තා චරිතය වන්නේ බෙර වාදන ශිල්පිනී කැතරිනා ය. ලාඩා ඔබ්රදොවික් කතා මාලාව තුල එන වඩාත් ම චමත්කාරජනක රඟපෑමක නිරත වෙයි.

වසංගතය හා දැන් පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි මහජන විරෝධතා මධ්‍යයේ දි එඩී සම්ප්‍රාප්ත වීම නිසැකවම දුෂ්කරතාවන් තියුනු, බලගතු අස්වැසිල්ලකට ඇද දමයි. වර්තමාන තතු යටතේ යමෙක් සමාව භජනය කරන්නේ අඩුවෙනි. කොරෝනා වෛරසයේ සහ බලධාරීන්ගේ තො තකා හැරීමේ හා අපරාධකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදයේ 110,000ක් හා ප්‍රන්සයේ 30,000ක් ජනයා මිය ගොසිනි. එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා කුමන්ත්‍රන උත්සාහයක් දියත් කර ඇත්තේ, මාධ්‍ය හෝ ඩිමොක්‍රටික් පක්ෂය වෙතින් විරෝධයකට මුහුන නො දෙමිනි.

කලාකරුවෝ, ඉන් හොඳම අය පවා, “හොඳම කාල වකවානුවල” දී වුව, සෑමවිටම සිද්ධීන්ට බොහෝ පිටුපසින් ගාටති. විශේෂයෙන් ම පසුගිය දශක හතර තුල මේ මෙම ප්‍රවනතාව තවත් උග්‍ර වූවා පමනි. ආත්මීයවාදයේ “වාම” හෝ රැඩිකල් රූපාකාරයන් ඇතුලු බොහෝ දෘෂ්ටිවාදාත්මක ප්‍රවනතා, චිත්‍රපටකරුවන් සහ ස්වයං-ආවේශය හා සමාජීය උදාසීනත්වය ප්‍රවර්ධනය කරන අනෙකුත් අය මත ක්‍රියාකාරී වේ. බොහෝ දෙනා මෙම මතය හදවතෙහි තබාගත්තෝ ය: “ලෝකය පිලිබඳ ව කිසිවක් කල නො හැක; යමෙක් කල යුතු වන්නේ තමා කෙරේ ම යොමු වීම යි.”

මහජනයාගේ හිස්වලට ඉහලින් මහා සිදුවීම් විදාරනය වීම හා ඝට්ටනය වීම ඇරඹී තිබේ. වසංගතයක් වේවා පොලිස් නිලධාරියෙකු විසින් සිදුකරන ඝාතනයක් වේවා ප්‍රේරක සිද්ධියෙහි සුවිශේෂී රූපය පෙරදැකිය නො හැකි වුව ද ඇමරිකානු හා ලෝක ධනවාදය විනාශයක් කරා ගමන් කරමින් තිබෙන බව හා යෝධ සමාජ ඝට්ටනයක් අත ලඟ බව, කල් තබා හඳුනාගෙන අනතුරු ඇඟවීම කල හැකි විය.

චිත්‍රපටකරුවෝ, සංගීතඥයෝ හා අනෙකුත් කලාකරුවෝ ජනගහනයේ වඩාත් ම අඩුවෙන් සූදානම් කොටස් අතරට අයත් වෙති. “මහා යුගයක” ආරම්භයේ දී කලාව සෑමවිට ම “බියකරු අසරන කමක්” ප්‍රදර්ශනය කරන බව ආසන්න වසයෙන් ශතවර්ෂයකට පමන පෙර ට්‍රොට්ස්කි ලිවී ය. වර්තමාන තත්ත්වයෙන් එලියට මාවතක් පෙන්විය හැකි එකම සමාජ බලවේගය වන කම්කරු පන්ති ව්‍යාපාරය හා එම ව්‍යාපාරය තුල සමාජවාදී අදහස්වල වැඩෙන බලපෑම මත බොහෝ දේ රඳා පවතී.

Loading