එක්සත් ජනපද පොලිසිය විසින් කඳුලු ගෑස් යොදාගැනීම නිසා කොවිඩ්-19 වසංගතය උග්‍ර වනු ඇත

මෙම ලිපිය ජූනි 4 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

පසුගිය සතියේ එක්සත් ජනපදය පුරා විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය විසින් සැලකිය යුතු කඳුලු ගෑස් ප්‍රමානයක් යොදා ගැනීම නිසා පැතිර යන කොරෝනා වෛරස් වසංගතය උග්‍ර  වනු ඇත. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ඊයේ ප්‍රකාශයට පත් කල ලේ සසල කරන වාර්තාවකින් අවධාරනය කෙරුනේ, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පැකිලීමකින් තොරව භාවිතා කරන කඳුලු ගෑස් වායුව කෙලින්ම පෙනහලු වලට  පහර දෙන බවත් එහි විනිවිද යන ව්‍යසනකාරී බලපෑම් නිසා කොවිඩ්-19 වැනි ශ්වසන රෝගවලට මිනිසුන් ගොදුරු විය හැකි බවත්ය. 

මැයි 25  අනුස්මරන දිනයේ මිනසෝටා හි මිනියාපොලිස් හි දී පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමෙන් පසු රට පුරා නගර සිය ගනනක පසුගිය සතියේ මහජන විරෝධතා පැතිර ගියේය.

හිස සිට දෙපතුලටම සන්නද්ධව සිටි පොලිසිය හා හමුදා භටයන් කැරලි මර්දන කටයුතුවල යෙදී සිටියදී, බොහෝ දුරට සාමකාමී ජනකායක් හඬ නඟමින්  පෙලපාලි දැක්වීමේ දසුන් ප්‍රදර්ශනය කෙරුනි.  උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට ඉවබව නැතිව පහර දෙනු ද, රබර් උන්ඩ යොදා වෙඩි තබනු ද කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරනු ද ඒවායින් දැක්වින. “අරාජකවාදීන්, මැරයින්, කොල්ලකරුවන්, හා  ත්‍රස්තවාදීන්ට එරෙහිව නීතිය හා සාමය " රැකීමට  මෙම පියවර අවශ්‍ය බවට ට්‍රම්ප් ආන්ඩුව හා එහි ෆැසිස්ට්වාදී ආධාරකරුවන් පවසද්දී,  මූලිකව ප්‍රජාතන්ත්‍ර හා නීති විරෝධී මෙන්ම හිතාමතා අසමානුපාතික මෙම ක්‍රියා හෙලා දැකිය යුතුය.  එය මාරාන්තික වසංගතය මධ්‍යයේ සිදුවෙමින් තිබීම තත්වය වඩාත් නරක අතට හරවයි.

ලාස් වේගාස් හි විරෝධතාකරුවෙක් 2020 මැයි 31 වන ඉරිදා ලාස් වේගාස් තීරයේ කඳුලු ගෑස් ප්‍රහාර මධ්‍යයේ දිව යයි. (ඒපී ඡායාරූප / ස්ටීව් මාකස්)

එක්සත් ජනපදය කෙලවරකට පැමින ඇති බවත්, කොරෝනා වෛරසය අතීතයට අයත් දෙයක් බවත් සිතන, වර්තමාන අර්බුදය අවබෝධ කර ගැනීම සඳහා කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය දෙස බලන අයට සමාවට කාරනයක් නැත. කෙසේ වෙතත් යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස් ය.

ඇමරිකාව තුල විප්ලවය සහ ප්‍රතිවිප්ලවය

ඊයේ වන විට කොවිඩ්-19 න් එක්සත් ජනපදයේ නිල වශයෙන් ප්‍රකාශිත මරන සංඛ්‍යාව 109,000 කට ආසන්න විය. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මිලියන 1.9 ඉක්මවන අතර එය දිගටම ඉහල යයි. මෙම සංඛ්‍යා, අඩු තක්සේරුවක් ලෙස පුලුල් ලෙස සලකනු ලබයි. මාර්තු මැද සිට අඩු හෝ වැඩි  වශයෙන් ක්‍රියාත්මක කර තිබූ දැඩි අගුලු දැමීමේ පියවර නොවන්නට, මෙම සංඛ්‍යා ඊටත් වඩා නරක වනු ඇත. දැන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන්ගේ දැඩි අනතුරු ඇඟවීම් නොතකා, එම පියවර රට පුරා ලිහිල් කෙරෙමින් පවතී. ට්‍රම්ප් පාලනාධිකාරයේ බලහත්කාරය නිසා පමනක් නොව, ප්‍රාන්තවල ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන්ගේ මඟපෙන්වීම යටතේ  ප්‍රාන්තයක් ප්‍රාන්තයක් පාසා අනුගමනය කරන ආර්ථිකය විවෘත කිරීම මඟින්, ඉදිරි මාසවලදී වඩාත් දරුනු ආසාදන රැල්ලක් නිර්මානය කරනු ඇතැයි විශේෂඥයෝ කනස්සල්ල පල කරති. 

මෙම සන්දර්භය තුල, දිගින් දිගටම සිදුවන මහජන විරෝධතා වලින් මතු කෙරෙන අන්තරායන් පිලිබඳව වසංගත රෝග විද්‍යාඥයින් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ලොස් ඇන්ජලීස්හි නගරාධිපති එරික් ගාර්සෙටි වැනි දේශපාලනඥයන් මිනිසුන් වෙනුවෙන් පෙනීසිටින බව මවා පෑමට උත්සාහ කරන්නේ, එවැනි රැස්වීම්  “සුපිරි පතුරවා හැරීම්” බවට පත්විය හැකි බැවින් නිවසේ රැඳී සිටින ලෙසට මිනිසුන්ට අනතුරු අඟවමිනි .  සහභාගි වන අය මුඛ ආවරන පැලඳ සිටින බව හෝ කුමන ආරක්ෂක මෙවලම් භාවිතා කරන බව සහතික කෙරුන ද මෙවන් තත්වයන් තුල සමාජ දුරස්තවීම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල  නොහැකි බව, සත්‍යයකි. විරෝධතා රැස්වීම්වල විශේෂිත අංගයන් වන සමීපව සිටිමින් හඬනැඟීම් හා කෑගැසීම් රෝග පැතිරීම සඳහා යෝග්‍ය තත්වයක් නිර්මානය කරයි.

කෙසේ වෙතත් අන්තරායකාරී වන්නේ කිට්ටුවෙන් පුරවැසියන් එක්රැස් වීම පමනක් නොවන බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවෙන් පැහැදිලි වෙයි. උද්ඝෝෂක “සමූහයන් පාලනය” කිරීමේ නාමයෙන් රාජ්‍ය යාන්ත්‍රනයේ පීඩාකාරී හස්තය භාවිතා කරන නිශ්චිත උපක්‍රම, එනම්,  විශාල පිරිසක් ඉඩකඩ සීමිත වෑන් රථ, බස් රථ සහ රැඳවුම් කුටිවලට ගාල්කිරීම, පිරිස් විසුරුවා හැරීමට කඳුලු ගෑස් ගැසීම මඟින්, වසංගතයේ ප්‍රචන්ඩත්වය දැඩි කිරීමට හා එය අඛන්ඩව පවත්වාගෙන යාමට සම්පූර්නයෙන්ම වාගේ ගනන් බලා ක්‍රියාත්මක කෙරෙන බවයි.

කඳුලු ගෑස් වලින් ක්ෂනිකව ඇතිවන කැස්ස, ඇස්වල සහ උගුරේ දැවිල්ල විනාඩි 30 ක් පමන පැවතිය හැකිය. එය අයිස් කුට්ටියේ මුඳුනත තුඩ පමනි. කඳුලු ගෑස් වල ප්‍රධාන සංඝටකය වන සීඑස් වායුවේ බලපෑම පිලිබඳව එක්සත් ජනපද මිලිටරිය විසින් 2012 දී කරන ලද අධ්‍යයනයකින් හෙලි වුනේ, ගෑස් වලට  නිරාවරනය වූ පුද්ගලයන්ට එසේ වීමෙන් දින කිහිපයකට පසුව, උග්‍ර ශ්වසන රෝග ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි බවයි.

හමුදාවට බඳවා ගන්නා ශාරීරිකව සවිමත් අය මෙන් නොව, වීදිවල සිටින බොහෝ දෙනෙකු විවිධ දුබලකම් වලින් පෙලෙන අතර එමඟින් ගෑස්වල බලපෑම  වඩා දරුනු විය හැකිය. කඳුලු ගෑස් වල බලපෑම අධ්‍යයනය කල ඩියුක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන ස්වේන්-එරික් ජෝර්ඩ් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ, විරෝධතාකරුවන්ට එරෙහිව කොපමන වාරයක් කඳුලු ගෑස් භාවිතා කරනවාද යන්න පිලිබඳව තමා කම්පාවට පත්වූ බවත්  “කොවිඩ්-19 නව රැල්ලක් පැනනැඟීමට මෙය කොතෙක් නම් බලපානු ඇත්ද යන්න තමා සැබවින්ම සැලකිලිමත් වන කාරනය ” බවත්ය.

රාජ්‍යයන් විසින් කඳුලු ගෑස්, දිගු කලක් තිස්සේ කැරලි මර්දන උපක්‍රමයක් ලෙස භාවිතා කරන අතර, නිදන්ගත බ්රොන්කයිටිස් හා සියලු වර්ගවල පෙනහලු රෝග ඇතිවීමේ වැඩි අවදානම සමඟ එය සම්බන්ධ ය. ගෑස්වල බලපෑම පිලිබඳ පර්යේෂන, එහි සැබෑ භාවිතය සමඟ නොගැලපෙන්නේ වුවත්, යුද්ධයේදී එය භාවිතය තහනම් කර තිබීමෙන් වුවත් පැහැදිලි වන්නේ එහි ඇති හානිකර තත්වයයි. කොරෝනා වෛරස්  වසංගතයේ ස්වභාවය සමඟ බැලූ කල, එය ඕනෑම සන්දර්භයකින්  වෙනත් තත්වයක් හා සැසඳිය නොහේ. පොලිසිය විසින් එය ඉවක් බවක් නැතිව භාවිතා කිරීමත් එවැනි උපක්‍රම භාවිතා කිරීමට ට්‍රම්ප් පරිපාලනය විසින් කරන පෙලඹවීමත්, පාලක ප්‍රභූවේ නිර්දය භාවය සහ කම්කරු පන්තියේ ජීවිත ගැන ඔවුන්ට ඇති නොතැකීමත් පිලිබඳ තවත් නිදර්ශනයකි.

Loading